පත්තර කාටූනයකට නැඟෙන්න කැමති ජනප්‍රිය නළුවෙක්

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි
පෙබරවාරි 7, 2019

දැනගෙන යන ගමන සුරක්ෂිතය. නොදැන යන ගමන අවදානම්ය. ඕනෑම ක්ෂේත්‍රයක රැඳී සිටින්නන්ගේ පැවැත්ම උදෙසා ද එකී කියමන් වලංගුය. රඟපෑමේ නියළෙන්නෝ ද තමන් කරන කියන දේ පිළිබඳ දැන සිටිය යුතුය. එසේත් නැතිනම් නොදන්නා දේවල් අධයනය කිරීම ද අවැසිය. එවිට තමන්ගේ ගමනද සුරක්ෂිතය. නව පරපුරේ බහුතරයකගේ පොදු කාරණයක් වනුයේ ඔවුන් තම ක්ෂේත්‍රය පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක නොයෙදීමය. ඒ අය අතර යමක් අධ්‍යයනය කිරීමෙන් රංගන චාරිකාවේ නියැළෙන්නෝද අතැඟිලි ගාණට හෝ සිටිති. ඉසුරු ලොකුහෙට්ටිආරච්චි අයත් වනුයේ එකී වර්ගීකරණයටය. මතුපිටින් අතගා ලැබෙන චරිතය රඟනවාට වඩා ඉන් ඔබ්බට ගොස් තමන්ගේ පැත්තෙන් ද අඩු වැඩි වශයෙන් එකතු කොට ඔහු රංගනයේ යෙදෙනු දැකිය හැකිය.

ඉසුරු ඔබ රඟපෑ චරිත තුනක් තුන් ආකාරයකින් අපට දක්නට ලැබෙනවා. ඒවත් එක්ක ඔබ කාර්යබහුල වෙලා වගෙයි?

දෙරණ රාවණ නාට්‍යයේ කුවේරගේ චරිතයත්, ඉරුදේව නාට්‍යයේ කාලදේව කියන චරිතයත් සහ සඳහැංගිලා නාට්‍යයේ නාරද යන චරිත තුන තමයි ඔබ ඒ සඳහන් කළ චරිත. කුවේර කියන්නේ දුෂ්ටයෙක්, කාලදේව වීර සෙන්පතියෙක්. ඊට හාත්පසින්ම වෙනස් නාරද කියන චරිතය. ඌ මචං දකුණෙ පොරක්. කොළඹ ඇවිත් ජීවත්වීමේ උත්සාහයක යෙදෙනවා. මං නාරද චරිතය රඟපාන්නේ දකුණේ මිනිස්සු කතා කරන විදිහට. පොඩි නෙවෙයි තරමක අධ්‍යයනයක යෙදුණා. නාරද සීරියස් කතා කළාට බලා ඉන්න අයට කමඩි වගේ පේන්නේ. මේ වගේ චරිතයන් කරද්දී නිරන්තරයෙන් අධ්‍යයනයක යෙදිය යුතුයි නේද නැතිනම් අපි ෆේල් වෙනවනෙ.

ඔබ වගේ කෙනෙකු අධ්‍යයනයක යෙදෙනවා කියලා මං දන්නවා. ඒ ගැනත් වචනයක් කතා කළොත්?

අධ්‍යයනයක් නොකළොත් ක්ෂේත්‍රයේ හරියට රැඳෙන්න බැහැ. මේ වෘත්තියේදී අනිවාර්යයෙන්ම හැදෑරීමක් කරන්න ඕනමයි. කාලයක් මට කැම්පස් එකේ නාට්‍ය හා රංග කලාව හදාරන්නට ලැබුණා. ස්වයං අධ්‍යයනයකත් යෙදෙනවා. අපි දැන් හිතාගෙන ඉන්නේ මහේන්ද්‍ර පෙරේරාව අල්ලගෙන අපි වගේ ඉගෙන ගන්න උනන්දු වෙන ක්ෂේත්‍රයේ යමක් කළ නළු නිළියෝ කිහිප දෙනෙකු සමඟ වර්ක්ෂොප් වගයක් පටන් ගන්න.

ඔබ පරපුරේ ඇතැම් අයට රඟපාන්න ඉගෙන ගන්න වෙලාවක් නැහැ කියනවා. ඒ වගේම රඟපාලා ජනප්‍රිය වුණායින් පසුව ඉගෙන ගන්න අමතක වෙනවා?

රංගනය කියන්නේ විද්‍යාවක්, සයන්ස් එකක් එක තැන නවතින්නේ නැහැ. දවස ගානේ අප්ඩේට් වෙනවා. අපිත් ඒ හා සමානව දිනපතා යාවත්කාලීන විය යුතුයි. නැත්නම් වෙන්නේ වඳ වෙන්න. එක තැන පල් වේවී ඉන්නවද රඟපෑම ඉගෙන ගෙන ඉදිරියට යනවද කියන කාරණය තමන් අතේ තියෙන්නේ.

විදෙස් රටවල නිර්මාණවලට අභියෝග එල්ල කරමින් රජ කතා නිර්මාණය කිරීමේ ප්‍රවණතාවක් වත්මනහි බිහි වෙලා. ඔබත් එක්තරා එහි කොටසක් නියෝජනය කරනවා?

මේ කාරණය බං අපේ ගොඩක් දෙනෙක් වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ. ඉන්දියාවට අභියෝග කරන්න නෙවෙයි මේවා කරන්නේ. අපිට ඉන්දියාව වගේ දැවැන්ත රටකට අභියෝග කරන්න බැහැ. ඉන්දියාවෙන් ගේන අපේ රට පිළිලයක් වුණු නිර්මාණවලට තමයි මේ අභියෝගය අපි කරන්නේ. ඉන්දියාව හා සමාන මට්ටමකට අපේ නිර්මාණවල කොලිටිය තියෙනවා. ඒක එහෙම විය යුතුයි. මේ වගේ නිර්මාණ දෙරණෙන් කළත් හිරු එකෙන් කළත් මං ඒ වගේ රඟපෑමක නැතත් ඉතා ඉහළින් මං ඔවුන් කරනා වෑයම අගය කරනවා.

හඬ කැවීම ජීවන වෘත්තියක් කරගත්තු පිරිසක් ඉන්නවා නේද? ඔවුන් ඔබත් එක්ක අමනාප වේවි ඒ අදහස් දැක්වීමට?

ටයිටස් තොටවත්ත මහත්තයාගේ කාලේ ඉඳලා හඬ කැවිම තිබුණනෙ මචං. දැන් බලපං ඔෂීන් වගේ නිර්මාණ අපි කොච්චර ආසාවෙන් ද බැලුවෙ. අද එහෙම නෙවෙයිනෙ. හවස හතරෙ ඉඳලා රෑ දහය වෙනකම් විකාශය වන නිර්මාණ බලන්න. ඉතා සුළු ඉඩ ප්‍රමාණයක් තමයි අපේ නිර්මාණවලට වෙන් වන්නේ. මං කියන්නේ ඩබිං වැඩ සටහන් නවත්වන්න නෙවෙයි. ඒවා සීමා කළ යුතුයි. ඉන්දියාවෙන් ගෙන් වූ ඇඩ් පවා අද ඩබ් කරලා පෙන්වන්නේ. බලන්නකො පුළුවන් ද කියලා අපේ රටේ ඇඩ් එකක් ඉන්දියාවේ පෙන්වන්න. කෝටි ගණන් උන් ටැක්ස් ගහන්නේ.

ජනප්‍රිය නළුවන්ගේ ලැයිස්තුවට ඔබ ඇතුළු වුණේ බොහොම පමා වෙලා. නිර්මාණ රැසක රඟපෑවත් එහෙම වුණේ ඇයි?

ඒකට හේතුව මචං මං ප්‍රේමවන්තයාගේ චරිතය විතරක් රඟ නොපෑම. මං කරපු ඇතැම් චරිතවලට මිනිස්සු වෛර කරනවා. අපිව දැක්කම මූණට හිනාවෙනවා තමයි. නමුත් හිත යටින් චරිතෙට බනිනවා. එහෙම වුණාම රසිකයන්ගේ ආදරය නොලැබෙන්න පුළුවන්. චරිතාංග රංගන ශිල්පියකු වීම නිසයි එහෙම වෙන්නේ. මට නම් ඒක අවුලක් නැහැ.

ඒ වුණාට ඔබට ඇති තරම් මඩ ප්‍රහාර එල්ල වුණා. ඔබ ඒවට හොඳින් මුහුණ දුන්නත් සාමාන්‍ය මනුෂ්‍යයකු වශයෙන් ඔබට ඒවා මතකයෙන් බැහැර කරන්නට බැහැ?

ඵල ඇති රුකටනෙ ගල් ගහන්නේ. එක අතකින් මං මචං පට්ට සතුටුයි. ඒ අයට නැති දේවල් මට තියෙන කොට දරාගන්න අමාරු වෙලා, අමාරු වෙලා බැරිම තැන තමයි මඩ ගහන්න පටන් ගත්තේ. මගේ තුන් හිතකවත් වෛරයක් නැහැ. ඕවා නිසා මගේ ගමන මං නවත් වන්නෙත් නැහැනෙ. දවසක මං කැමැතියි මාව පත්තරේක කාටුන් එකක් විදිහටත් අඳිනවා නම්.

ශාන් රූපස්සර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.