කෙටි කාලයකින් අපේ අයට හැමදේම අමතක වෙනවා

- ආනන්ද අබේනායක
පෙබරවාරි 7, 2019

අතීතයේ යුගයක් සිහිපත් කරන්න

වීරයා ගෙදර ඇවිත්

ආනන්ද අබේනායක යනු විශිෂ්ට ගණයේ ටෙලි නිර්මාණ රැසක් පුංචි තිරයට ගෙන ආ සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. 1992 වසරේ සරසවිය සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබූයේ ද ඔහු විසින් නිෂ්පාදනය කළ 'සාගරයක් මැද' චිත්‍රපටය යි. 'කන්දෙ ගෙදර', 'මැණික් නදිය ගලා බසී', 'රම්‍ය සුරම්‍ය', 'තක්සලාව', 'චෙස්', 'ජීවිතයට ඉඩ දෙන්න', 'අප්පච්චී', 'බැද්දේ කුලවමිය' ටෙලි නාට්‍ය සේම 'සංසාරේ පියසටහන්' ඔබ වෙත ගෙන එන ඔහුගේ නවතම ටෙලි නිර්මාණය වන්නේ 'වීරයා ගෙදර ඇවිත්'. පසුගිය ජනවාරි 19 වැනිදා සිට සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී රාත්‍රී 8.35ට ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙන 'වීරයා ගෙදර ඇවිත්' පිළිබඳව සරසවිය ඔහු සමඟින් කළ සංවාද සටහන මෙලෙසින් දිග හැරෙන වගයි.

'වීරයා ගෙදර ඇවිත්' යුද්ධය සමඟින් සබැඳුණු කතාවක්ද?

ඔව්. මේ කතාව ඇරඹෙන්නේ, යුද්ධයෙන් මරණයට පත් වූවා යැයි සඳහන් වූ සොල්දාදුවකු එයින් වසර තුනකට පමණ පසුව තම නිවෙසට පැමිණීමත් සමඟින්. නමුත් ඒ වනවිට ඔහුගේ දෑස අන්ධභාවයට පත්වී අවසන්. මෙතෙක් කාලයක් ඔහු මරණයට පත් වූ බව සිතා ජීවත් වන නෑදැ හිත මිතුරන්ගේ දුරස් වී යාම මෙන්ම ආදරය ද අහිමි වීම ඔහු අත්විඳීන අයුරු මේ ඔස්සේ දිග හැරෙනවා.

මේ කතාව සත්‍ය සිදුවීම් සමඟත් සබඳකම් ඇති?

සත්‍ය සිදුවීමක් සමඟ මෙහි කිසිම සබඳකමක් ඇත්තේ නැහැ. මේ ටෙලි නිර්මාණය ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපතිනී ඉනෝකා සත්‍යාංගනිගේ කතා සංකල්පයක් අනුව නිර්මාණය කෙරෙන ටෙලි නාට්‍යයක්. තිරරචනය කරන්නේ නාමල් ජයසිංහ විසින්.

මෑත කාලීනව යුද්ධය පසුබිම් කරගත් නිර්මාණ දකින්න ලැබෙන්නේ නැති තරම්?

ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මේ වන විට දශක ගණනක් පුරා අපේ රටේ යුද්ධයක් තිබූ බවත් බොහෝ දෙනාට දැන් අමතකව ගිහින් තියෙන බව පේනවා. මෑතකදී එවැනි යම් සිදුවීමක් වන තැනක මමත් හිටියා. දවසක් මම බැංකුවට ගිය අවස්ථාවක පෝලිමේ මට ඉදිරියෙන් සිටියේ යුද හමුදා සෙබළෙක්. ඔහු නිල ඇඳුමි සැරසී සිටි නිසා මම ඇහුවා "මල්ලී ඇයි පෝලීමේ ඉන්නේ " කියලා. මොකද නිල ඇඳුමෙන් සිටින හමුදා නිලධාරියෙකුට පෝලීමේ රැඳී නොසිට අදාල කාර්යය ඉටු කර ගැනීමේ නිදහස හිමියි.

"මේකනේ මහත්තයා මම දැන් පෝලිමෙන් පිට එතැනට ගියොත් මේ පෝලිමේ ඉන්න අයගේ කතා අහගෙන ඉන්න බැහැ". ඔහු මට පිළිතුරු දුන්නේ එලෙසින්. ඔහුගේ ඒ කතාව මගේ හිතට තදින්ම වැදුනා. යුද්ධය අවසන් වූ කාලයේ ජනතාව ඒ රණවිරුවන් වෙත දැක්වූ ආදර ගෞරවය මොන තරම් ද? හැබැයි දැන් එහෙම නැහැ.

මොකද කෙටි කාලයකින් අපේ අයට හැමදේම අමතක වෙනවා. මේ විදියට අපට රණවිරුවන් කවදාවත් අමතක කරන්න බැහැ. මොකද අද අපි නිදහසේ පාරේ බැහැලා යන්නේ මේ රණවිරුවන් නිසා. ඉතින් 'වීරයා ගෙදර ඇවිත්' ටෙලි නිර්මාණය සමඟින් ඒ අතීතයේ එක්තරා යුගයක් අපේ අයට නැවතත් සිහිපත් වේවි.

යුද්ධය නිසා තරුණයන් දහස් ගණනක් ආබාධිත වුණා. ඇතැම් අයට අත් පා අහිමි වුණා. ඇතැමුන්ට දෑස් අහිමි වුණා. මේ කතාවේ රණවිරු චාමරගේ දෑස් අන්ධභාවයට පත් වී තිබෙනවා?

චාමර කියන්නේ තම ජීවිත කාලයේ යුග කිහිපයක් දෑසින් ලෝකය දුටු අයෙක්. 'වීරයා ගෙදර ඇවිත්' නිර්මාණයේ චාමරගේ චරිතය අන්ධ බවට පත් කිරීමෙන් පෙන්වන්නේ ඔහු සැබෑ ලෙසින් ලෝකය දකින්නේ දෑස් අන්ධ වූ පසුව බවයි.

මේ චරිතය වෙනුවෙන් රොෂාන් රවීන්ද්‍රගේ සූදානම ගැනත් කියමු?

අන්ධ චරිතයක් නිරූපණය අප හිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒ වගේම තමයි දෑස් පෙනෙන පුද්ගලයෙකුගෙන් එම චරිත ස්වභාවය රංගනයක් ලෙසින් ගැනීමත් අධ්‍යක්ෂවරයෙකුට අභියෝගයක්. මේ චරිතය තුළදී ඔහුට ප්‍රයෝජනයට ගත හැක්කේ කණ පමණයි.

රොෂාන් මේ චරිත නිරූපණය වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඔහු ඒ වෙනුවෙන් වෙනම අධ්‍යයනයක නිරත වුණා. දෑස් නොපෙනෙන පුද්ගලයන් හමු වී ඔවුන් ඇසුරු කරමින් ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කළා. එම කැපවීම චාමර නම් චරිතය නිරූපණයට විශාල පිටුවහලක් වූ බව මගේ විශ්වාසය යි.

චාමර හමුදා සෙබළෙක් වීම නිසාම යුද්ධයේ සංරක්ෂිත දර්ශන එහෙමත් මෙම ටෙලි නිර්මාණයට ඇතුලත් කරලා ඇති?

චාමර හමුදා සෙබළෙක් වීම නිසා කම්පනයක් ලෙසින් පමණක් අතීත සිදුවීම් පෙළක් ඔහුගේ මනසේ මැවෙන අවස්ථාවක් එළඹෙනවා. ඒ වෙනුවෙන් අපට යුද්ධයේ රූප රාමු කිහිපයක් යොදා ගැනීමට සිදු වුණා. එහි ධාවන කාලය තත්පර දහයක් විතර ඇති. ඒ හැර යුද්ධයේ වෙනත් කිසිම දර්ශනයක් මෙහි ඇතුළත් වෙන්නේ නැහැ.

ඔබ මේ කතාව තුළ ප්‍රේමය ගැන කතා කරන්නේ කොහොමද?

මේ කතාව තුළත් ප්‍රේමයට විශේෂ තැනක් වෙන් වෙලා තියෙනවා. කතාව ආරම්භ වන්නේ චාමරට දෑස් පමණක් නොව ප්‍රේමය ද අහිමි වීමෙන්. නමුත් ඔහු ඉදිරියේදීත් ආදරය අත්විඳීවි.

මෙහි කතා තේමාව, තිරරචනය සහ අධ්‍යක්ෂණය යන අංශ ත්‍රිත්වයේ සහයෝගය කොහොම ද?

ඉනෝකාගේ කතා සංකල්පයට අනුව නාමල් ජයසිංහ විසින් තිරරචනය කරනවා. නාමල් මීට පෙර අවස්ථා කිහිපයකදීම මා සමඟින් කටයුතු කර තිබෙනවා. මගේ නිර්මාණ අතරින් 'ජීවිතයට ඉඩ දෙන්න' ටෙලි නාට්‍ය නාමල් ජයසිංහ විසින් තිරරචනය කළා. ඔහුගේ පළමු තිරරචනයත් එය යි. 'අප්පච්චී' ටෙලි නාට්‍යයේ තිරරචනය කළෙත් ඔහු විසින්.

'වීරයා ගෙදර ඇවිත්' ටෙලි නිර්මාණයත් ඔබේ අනෙකුත් නිර්මාණ සේම කොටස් ගණන සීමිතයි ද ?

ඒක අනිවාර්යයෙන්ම එහෙම තමයි. මේ ටෙලි නිර්මාණය කොටස් 40කින් යුක්ත වෙනවා. මේ වන විට එහි අවසන් කොටස් කිහිපය සමඟින් අපි ගනුදෙනු කරමින් ඉන්නේ.

වර්තමානයේ සාමාන්‍යයෙන් ටෙලි නිර්මාණ අවසන් වෙන්නේ කොටස් සියයට වැඩි සංඛ්‍යාවන් ගෙන් ?

කතාවක් කියන්න කොටස් සියයක් යා යුතු වෙන්නේ නැහැ. දැන් මේ කතාවට වුණත් කොටස් හතළිහකුත් වැඩියි කියලයි මට හිතෙන්නේ. මගේ 'මැණික් නදිය ගලා බසී' ටෙලි නාට්‍යයට ඇතුළත් වුණේ කොටස් දහතුනක් පමණයි.

ඒ කොටස් දහතුනෙනුත් මම කතාවක් කිව්වානේ. මගේ ටෙලි නිර්මාණ අතරින් වැඩිම කොටස් ගණනක් ඇතුලත් වුණේ 'අප්පචිචී' ටෙලි නාට්‍යයට විතරයි. ඒක අවධි තුනක් නිරූපණය කළ යුතු වූ නිසා කොටස් හැට පහක් වෙන තෙක් ගෙන යන්න සිදු වුණා. පෞද්ගලිකව ටෙලි නිර්මාණයක් කොටස් පනහකට වඩා ගෙන යන්න මම අකමැතියි. කොටස් ගණන වැඩි කරන්නේ ව්‍යාපාරයක් විදියට ටෙලි නිර්මාණ කරගෙන යන අය යි.

'වීරයා ගෙදර ඇවිත්' ටෙලි නිර්මාණයේ ජනප්‍රියත්වය අනුව කොටස් ගණන වැඩි කිරීමට ජාතික නාළිකාවෙන් යෝජනාවක් ආවොත්?

ඒ යෝජනාවට කවදාවත් මම එකඟ වෙන්නේ නැහැ.

මෙම ටෙලි නිර්මාණය වෙනුවෙන් රංගන පිරිවර තෝරා ගත්තේ කෙසේ ද?

මා සමඟ හැමදාම වැඩ කරන පිරිසක් ඉන්නවා. මේ වනවිට දක්ෂයන් රැසක් මට ක්ෂේත්‍රයට ගෙන එන්න හැකි වෙලා තියෙනවා. ඒ අනුව දක්ෂ තරුණ පරම්පරාවක් මේ ටෙලි නිර්මාණයටත් දායක කර ගෙන ඉන්නවා. ඊට ඉහළින් චාන්දනී, චන්ද්‍රා කළුආරච්චි, ජයනි සේනානායක වැනි ප්‍රවීණ ශිල්පීන් පිරිසකුත් ඉන්නවා. මේ දෙකොට්ඨාසයේම අපූරු සංකලනයක් මෙම ටෙලි නිර්මාණයට ඇතුලත් කර තිබෙනවා. දිනූපා කෝදාගොඩ මගේ පොහොය නාට්‍යයකින් පැමිණි රංගන ශිල්පිනියක්. සේවියර් කණිෂ්ක ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙසින් කරන නිරූපණයත් අගය කළ යුතුයි.

ටෙලි නිර්මාණයකදී ඔබේ මූලික අවධානය යොමු වන අංශ මොනවා ද?

මම සාමාන්‍යයෙන් ටෙලි නිර්මාණයක් කරන විට ප්‍රවේසම් වන කාරණා දෙකක් තියෙනවා. එයින් පළමු වැන්න කතාව. කතාව මිනිස්සුන්ගේ නාඩිවලට දැනෙන්න ඕනි. දෙවැන්න තමයි යම් නිර්මාණය කරන්න කලින් එය මට දැනෙන්න ඕනි. මට දැනෙන්නේ නැතුව නිර්මාණයක් කරන එකේ කිසිම තේරුමක් නැහැ. ඒ නිසා කතාවක් තෝරා ගැනීමේදි මේ කාරණා දෙක සම්බන්ධයෙන් මම ගොඩක් ප්‍රවේසම් වෙනවා. අතීතය දෙස හැරී බැලුවොත් මගේ කතා එකිනෙකට වෙනස් වෙලා තියෙන්නේ මේ කාරණා නිසා තමයි. ඒ විතරක් නෙවෙයි නළු නිළියන් තෝරා ගැනීමේදීත් මම ගොඩක් ප්‍රවේසම් වෙනවා. මොකද ඔවුන්ට මා පවසන දේ තේරුම් ගත හැකි විය යුතුයි. ඔවුන්ට මා පවසන දේ තේරුම් ගන්න බැරි නම් නිර්මාණයේ අසාර්ථකත්වය ආරම්භ වන්නේ එතැනින්. ඒ නිසා මම මගේ නිර්මාණවලට දායක කර ගන්නා රංගන ශිල්පීන්ගේ අධ්‍යාපන මට්ටම කෙරෙහි පවා උනන්දුවක් දක්වනවා. ඒකෙන් කියන්නේ මම අධ්‍යාපන සහතික බලනවා කියන එක නෙවෙයි. මනුස්සයෙක් එක්ක කතාබහ කරන විට ඔහු හෝ ඇය කෙතරම් උගත් බුද්ධිමත් අයෙකු දැයි තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා හිත මිත්‍රකම්වලට මම චරිත දෙන්නේ නැහැ.

මේ නිසා ඔබේ නිර්මාණවල දකින්න ලැබෙන්නේ එකම පිරිසක්?

එහෙම නම් හිතිලා තියෙනවා. මෙහෙමයි චාන්දනී, මනෝරත්න, අයිරාංගනී සේරසිංහ, මහේන්ද්‍ර වැනි අය සමඟින් මම නිරන්තරයෙන් ගනුදෙනු කරනවා. අපි අතර ගනුදෙනුවත් ඉතා හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේම ඔවුන් වේදිකාවෙන් පැමිණි අය. වේදිකාවෙන් පැමිණි අය තුල හොඳ හික්මීමක් තියෙනවා. මොකද ඔවුන් අද මෙතැන ඉන්නේ එදා හොඳ කට්ටක් කාලා තියෙන නිසා. ඒ වගේම ඔවුන් එක රැයෙන් රූපවාහිනියේ තරු වුණ අයත් නෙවෙයි. එකම පිරිස වුණත් ඔවුන්ගෙන් නිර්මාණයට සිදුවන රංගන දායකත්වය අති විශේෂයි.

රූපවාහිනි නාළිකා ආක්‍රමණය කළ විදෙස් ටෙලි රැල්ල ගැන අදහස මොකක්ද?

මෙතනදී වැරැද්ද මූලිකව දෙපිරිසක් අතරේ බෙදී යනවා. පළමු කොටස්කරුවා වන්නේ රූපවාහිනි නාළිකා. ඔවුන් මුදල් උපයා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් ගෙනවිත් විකුණනවා. අනිත් කණ්ඩායම නම් ඒවා නරඹන ප්‍රේක්ෂකයන්. මේ වගේ හරසුන් නිර්මාණ පෙන්වන්නේ නරඹන්නන් පිරිසක් සිටින නිසා බව අමුතු වෙන් කියන්න වුවමනා නැහැ. ඒ වගේම බොහොමයක් ඉන්දීය ටෙලි නිර්මාණ වෛරය සහ පළිගැනීම්වලින් පිරිලා. අපේ අයත් මේවා දැකලා ඒ තත්ත්වයට වෙනවා. ඒ විදියට අඳීන්න පළදින්න ගිහින් ආර්ථික පසුබෑම්වලට පවා ලක් වෙනවා.

වර්තමාන දේශීය ටෙලි නිර්මාණ ප්‍රමිතිය ගැන මොකද හිතෙන්නේ?

වර්තමානය වන විට දකින්න ලැබෙන්නේ එකම තැනකට සීමා වෙලා නිර්මාණ කරන පිරිසක්. ඔවුන් එහෙම කරන්නේ ලාබ අපේක්ෂාවෙන් පමණයි. මේ අනුව වර්තමානයේ බොහොමයක් ටෙලි නාට්‍ය නිර්මාණය කරන්නේ ලාබ අපේක්ෂාවෙන්ම පමණයි. සමාජයට වැදගත් යමක් දීම ඔවුන් කිසිසේත්ම අපේක්ෂා නොකරන දෙයක්. අපි 'අප්පච්චි' ටෙලි නිර්මාණය රූගත කිරීම වෙනුවෙන් නෙදර්ලන්තයටත් ගියා. කොළඹ, බදුල්ල, තිස්සමහරාමය වගේ ප්‍රදේශ ගණනාවක රූගත කළා. මේ විදියට නිර්මාණයට අවශ්‍ය ස්ථානවලට රූගත කරන්න යාම මගේ නිර්මාණවල විශේෂත්වයක්. ඒ වගේම 'වීරයා ගෙදර ඇවිත්' ටෙලි නිර්මාණයේ රූගත කිරීම් වෙනුවෙනුත් අපි ගාල්ල, අනුරාධපුර සහ තිස්සමහාරාමය වැනි ප්‍රදේශවලට ගියා.

ඔබ විසින් නිර්මාණය කර ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙන 'සංසාරේ පිය සටහන්' විසිපස් වසරක් පසුකර අවසන්?

මට ඒ ගැන ලොකු සතුටක් දැනෙනවා. 'සංසාරේ පියසටහන්' ආරම්භ කළේ මමයි සෝමවීර සේනානායකයි එකතු වෙලා. ඒ ඔස්සේ සෑම පොහොය දිනකම අපි ඒකාංගික ටෙලි නිර්මාණයක් ඉදිරිපත් කළා. පොහොය දිනයේ මේ වගේ ටෙලි නාට්‍ය ඉදිරිපත් කිරීම ආරම්භ වුණේ 'සංසාරේ පිය සටහන්' සමඟින්. බණ කතාවක් අහනවාටත් වඩා රූප මාධ්‍යයෙන් කියන දේ බොහෝ දෙනාගේ හිත්වලට කාවදිනවා. මගේ විශ්වාසයත් ඒකාංගික නිර්මාණ ඔස්සේ වැඩි රසඥතාවයක් ප්‍රේක්ෂකයාට ලබාදිය හැකි බවයි. ඒ විතරක් නෙවෙයි මේ ඔස්සේ සමාජයට සුවිශාල සේවයක් වුණු බවත් මගේ හිතට දැනෙනවා.

ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වේදිකාවෙන්. නමුත් මේ වන විට ඔබ එයින් දුරස් වෙලා?‍

වේදිකා නාට්‍ය නිර්මාණවලට දායක වීම අතින් නම් දුරස් වුණත් වේදිකා නාට්‍ය නිර්මාණ නැරඹීමෙන් නම් දුරස් වෙලා නැහැ. එදා 1976 වසරේදී මම කලාවට පා තැබුවේ ධර්මසිරි බණ්ඩාරනායකගේ 'ඒකාධිපතියා' වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයකින්. වේදිකා නාට්‍ය නිර්මාණයක් කරන්න මගේ හිතේ ලොකු උනන්දුවක් තියෙනවා. ඒත් ඒකට හරියන පිටපතක් ලැබුණේ නැහැ. තවමත් බලාපොරොත්තු අත් හැරලා නැහැ. ඒ නිසා ඉදිරියේදී මා අතින් වේදිකා නාට්‍ය නිර්මාණයක් නිෂ්පාදනය වේවි.

මේ වන විට ඔබේ ටෙලි නිර්මාණ බොහොමයක් සම්මානනිය වෙලා තිබෙනවා. දශක හතරක් ඉක්මවූ ඔබේ කලා ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

විශාල තෘප්තියක් හිතට දැනෙනවා. වයස අවුරුදු පහේදි විතර මම චිත්‍ර කතා පොත් ඇඳලා ඒවා මැෂින් එකේ මහලා අම්මාට සත පනහකට විකුණනවා. ටික කාලෙකින් ඒකේ පිටු ගණන එහෙම වැඩි කරලා රුපියල් දෙකකට විතර විකුණනවා. ඇත්තටම නම් කලාවේ ආරම්භය සිදු වුණේ මේ විදියටයි. මගේ අම්මටත් චිත්‍රපට පිස්සුවක් තිබුණා. අලුත් චිත්‍රපටයක් ආවම ඒක බලන්න පළවෙනි දවසෙම යන්නේ මාත් එක්ක. ඒ ගමනේ මම දැන් ලොකු දුරක් ඇවිත් තියෙනවා. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය වගේම සිනමාවටත් මගේ දායකත්වය ලබා දෙන්න හැකි වුණා. ඒ ඔස්සේ හරවත් නිර්මාණ ප්‍රේක්ෂකයන්ට පිරිනැමීමෙන් මා ලබන සතුට අප්‍රමාණයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.