අමු සිංහල කියන අයගෙත් ඇස් පාට පාටයි

පාර දිගේ, තුන්වෙනි යාමයේ, කළු දිය දහරින් කැලඹූ
පෙබරවාරි 7, 2019

 ඉන්දිරා ජොන්ක්ලාස්

පාර දිගේ, කළු දිය දහර, තුන්වෙනි යාමය ආදි චිත්‍රපට ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කළේ ඒවායින් කතා කළ වස්තුබීජයන් සේම රිදී තිරයට එක් කළ නැවුම් මුහුණු නිසාය. ඉන්දිරා ජොන්ක්ලාස් ඒ අතර මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ නිළියක යැයි කීම අතිශයෝක්තියක් නොවේ. වසර තිස්තුනහමාරක් මෙරටින් බැහැරව සිටියත් ඇය මව් රටට පැමිණි වහා අප සරසවිය පාඨක ඔබ වෙනුවෙන් ඇය හමුවීමට ගියේ එබැවිනි.

අපි වර්තමානයෙන් අතීතයට ගොස් අනාගතය ගැන කතා කරමු?

ඔව්. මමත් මහත්තයත් අවුරුදු තිස්තුනහමාරක් හිටියේ ඩුබායි රටේ ඉඩම් සංවර්ධන ව්‍යාපෘතියක. ඒ රැකියාවෙන් 2016 ඔක්තෝබර් මාසයේ විශ්‍රාම අරගෙන ලංකාවට ආවා. ඒත් මගේ පවුලේ අය එක එක රටවල නිසා නිතර එහි යනවා.

එතුවක් කල් ඔබ එහි රඳවන්න සමත් වූ රැකියාව?

ලෝකේ පුදුමයක් කියලා හිතෙන මට්ටමට මුහුදේ වැලි වලින් මිදි ගහක හැඩයට දූපත් හැදුවා ඩුබායි රජය. ඒ රටේ ෂෙයික්ට අවශ්‍ය ලෝකයේ ජනප්‍රියතම සංචාරක ගමනාන්තයක් බවට තමන්ගේ රට පත් කිරීමට. ඔහු තේරුම් ගත්තා සංචාරකයන් ඒ වගේ රස්නෙ රටක් තෝරා ගන්න නම් ලස්සන සුදු වෙරළ තීරයක් තිබෙන්න ඕනා කියලා. ඒත් පෞද්ගලික හෝටල් ආදියට දීලා ඒගොල්ලන්ගේ ස්වාභාවික වෙරළ විනාශ වෙලා තිබුණේ. ඒ නිසා දිය කඩනයන් දාලා පුදුම විදිහට ඒ වැල්ල ප්‍රතිනිර්මාණය කළා. මට මතක් වෙනවා මගේ මහත්තයාගේ සීයා කොළඹ වරායේ දිය කඩනය නිර්මාණය කළ බව. ඔහු බ්‍රිතාන්‍ය යුගයේ ඉංජිනේරුවෙක්. නම ක්ලමැන්ටිස් ස්මිත්. ඩුබායිවල අපට නොමිලේ ඉඩම දෙන්නේ. අපි එයින් ලාභ පෙන්වන්න ඕනා. මම ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණියක් විදිහටයි ඒ ව්‍යාපෘතියේ කටයුතු කළේ. අපි සේරම රජයේ සේවකයන්. ඒ අටේ අණ්ඩුවේ සේවකයෙකුට බොහොම ගෞරවණීය තත්ත්වයක්, පිළිගැනීමක් වගේම ජනතාවට නියමාකාර සේවයක් කිරීමට හොඳ අවස්ථාවක් තිබෙනවා. එය අපට හරි හොඳ අත්දැකීමක් වුණා.

ඇයි ඔබ ආපසු එන්න තීරණය කළේ?

ඇත්තටම ඩුබායිවල ඉඳීම සුරංගනා ලෝකෙක ඉන්නවා වගේ දෙයක්. අපි සාමාන්‍ය තත්ත්වයෙන් නෙවෙයි ජීවත් වෙන්නෙ. සියලු දේම හරියට පිළිවෙළයි, පිරිසුදුයි, ලස්සනයි, යටිතල පහසුකම් දියුණුයි. මම උදාහරණයක් කීවොත් ඒ ගොල්ලන්ගේ අවුරුදු 20ක් පැරැණි මෙට්‍රො එක වුණත් ගමන් කරද්දි අලුත්ම එකක් වගේ. ඒක ඇතුළේ සීට් ඉරන්න, චුයිංගම් අලවන්න, කෙළ ගහන්න මුකුත් බැහැ. ඇත්තෙන්ම ඇමෙරිකාවට වඩා හොඳයි. විනය රකින්න, උදව් කරන්න, පාලනයට පොලීසිය ඉන්නවා. එහෙම රටක ඉද්දි මට හිතුණා චුට්ටක් ඇත්ත ජීවිතෙන් අපි ඇත්ව ගියාද කියලා. එහේ ජීවන අරගලයට වඩා මෙහෙ අරගලය සම්පූර්ණයෙන්ම වෙනස්. වාහන තදබදය තිබෙනවා, උෂ්ණාධික බව තිබෙනවා, අපිළිවෙල තිබෙනවා. ඒ සියල්ල රස විඳීන්න මට හිතුණා. මම ලංකාව සුරංගනා කතාවක් වගේ මවාගෙන ආවෙ නැහැ. මම සම්පූර්ණ යථාර්ථය දැනගෙන මටම පො‍රොන්දුවක් දුන්නා මේ දේවල්වලට කෙඳීරි ගාන්නේ නැහැ කියලා. මොකද ලංකාවේ ප්‍රශ්නයක් ගැන කියන්නත් කෙනෙක් නැති තරම්. අපි ආසයි දෙයක් වෙනස් කරන්න, ඒත් දේශපාලනයට නොබැඳී එය කොහොම කරන්නද කියලා තේරෙන්නේ නැහැ.

ඔබ කතාකරන්නේ දේශපාලනයට සම්බන්ධවීමේ අදහසකින්වත්ද?

(සිනාසී) නෑ. මගේ බරට රත්තරන් දෙනවා කීවත් මම දේශපාලනය කරන්නේ නෑ. මෙහෙ හොඳ නාමයක් තියාගෙන වැඩ කරන්න බැහැ.

ඒත් ඔහොම ධනාත්මකව හිතන අය දේශපාලනේට එනවා නම් රට හදන්න පුළුවන්?

වෙන්න ඕනෙ ඒක තමයි, හැබැයි මගේ කැඳවීම ඒක නෙවෙයි.

එහෙනම්?

ඇත්තෙන්ම අපි හැමෝගෙම දිනපතා කටයුත්ත දේව සේවයක්. අපි මොන ආගමේ වුණත් ධර්මය, දේව වචනය බෙදාගෙන ඒ අදහන ආගමට කැඳවලා, අපේ දිනපතා පෞද්ගලික ජීවිතේ ඒවා පිළිපදින්නේ නැත්නම් එය ආත්ම වංචාවක්. අපි කාටත් තිබෙනවා වගකීමක්. ඒත් මෙහෙ වෙලාවට වැඩ කිරීම, ඊමේල් එකකට උත්තරයක් ගන්න හරි අමාරුයි. අඩුම ගානේ දුරකථනයේ ප්‍රශ්නයකට අදාළ ආයතනයේ හදිසි ඇමතුම් ඒකකයට කතා කළාම ඒ අංකයත් වැරැදියි කියනවා නම් මොකක්ද ඒ ආයතනයේ වගකීම. මම ගොඩක් පාරිභෝගික සේවාවල යෙදී තිබෙනවා මගේ වෘත්තියේදී. ඒ පාඨමාලා හැදැරුවා. ඒ වගේ පාඨමාලා විශේෂයෙන් රජයේ ආයතනවලට හඳුන්වා දෙන්න පුළුවන් නම් මම කැමතියි. ඒත් මම මේ දවස්වල නිතර මේ රටේ රැඳෙන්නේ නැහැ. ඒ නිසා තව ටික කලකින් හෝ ඒ වගේ පාඨමාලාවක් අංශක තුන්සිය හැටක දැක්මක් එක්ක කරන්න උත්සාහ කරන්න හිතනවා. අපි බලමු.

අපි දැන් කතා කරමු චිත්‍රපට ගැන. කාලයක් වෙන රටක ඉද්දි සිනමාව අමතක වුණාද?

මෙහෙමයි, රඟපෑම කියන විෂයයට මම ඩුබායිවලදි කොහොමටත් සම්බන්ධ වුණේ නෑ. ඒත් මම හරි ආසයි චිත්‍රපට හදන්න. ඒ නිසා අපේ පල්ලියේ කණ්ඩායම සමඟ පොඩි පොඩි චිත්‍රපට වගේම නාට්‍යත් කළා. කවදත් කලා මාධ්‍යයක් ලෙස සිනමාවට තිබෙන ආශාව මගෙන් ඉවත් වුණේ නෑ. අපි චිත්‍රපට බැලුවා. ඒ වගේම ඩුබායිවල මගේ ව්‍යාපෘතිය උස ගොඩනැඟිලි සැදීමේ එකක්. ජුමේරා ලේක්ස් ටවර්ස් කියලා. කාන්තාරය මැද්දේ විල් තුනක් සහ උද්‍යානයක් සමඟ ඒ වටේ තට්ටු තිස්පහ හතළිස් පහ උස ගොඩනැඟිලි හැදුවා. ඒ ඩුබායි රටට සැම දෙයකින්ම නොම්බර එක වීමේ ලෙඩක් වගේ ආසාවක් තිබෙනවා. ඒ නිසා ඒ අය 'ෆිල්ම් ලොකේෂන්' එකක් හැටියටත් තමන්ගෙ රට පෙන්වන්න හුඟක් දඟලලා තිබෙනවා. මිෂන් ඉම්පොසිබල් ගොස් ප්‍රොටොකොල්, ටොම් කෲස්ගේ චිත්‍රපට පෙළ හැදුවේ ඩුබායිවල. ඒක තමයි ඒ අයගේ ලොකුම ජයග්‍රහණය. ඊට පස්සේ පැරමවුන්ට් ෆිල්ම්ස් ස්ටාර් ට්‍රෙක් හදන්න තෝර ගත්තෙ මගේ ව්‍යපෘතිය. ඒ අය චිත්‍රපටයෙන් සියයට 90ක් කළේ කැනඩාවේ, ඉතිරි 10 ඩුබායිවල අපේ තට්ටු 65ක ගොඩනැඟිල්ල වගේම අනාගත ලෝකේ මවන්න අපේ ගොඩනැඟිලි සංකීර්ණයම භාවිත කළා. මම තමයි සම්බන්ධීකරණයට හිටියේ. එක දවසක ෂූට් එකක් වෙනුවෙන් අවුරුද්දක් ප්ලෑන් කළා. හැම සතියෙම මීටින් තියලා දැනට තිබෙන ප්‍රශ්න මොනවාද? ඒකට විසඳුම මොකක්ද කියලා සාකච්ඡා කළා. පුංචි බීජයකින් වගේ පටන්ගත්ත දේ ෂූටින් දවස වෙද්දි විශාල ගහක් වගේ. පන්සිය දෙනකුට වැඩියි ඒ අයගේ තාක්ෂණික කණ්ඩායම විතරක්. ක්‍රිස් ස්පයින්, සොයිසා ගානා වගේ අය ආවා. කොහොමද චිත්‍රපටයක් ඔච්චර පිළිවෙළට කරන්නෙ කියන එක. සැම දෙයක්ම කොන්ත්‍රාත් අත්සන් කරලා, අවසර සහිතව නීති රීති එක්ක. ඒක මට ෂෝක් අත්දැකීමක්. ඒ වගේම ජැකී චෑන්ගෙ චිත්‍රපටයකුත් කළා, කාර් රේස් එකක් එහෙම. සම්පූර්ණ අනෙක් පැත්ත. (සිනාසෙයි)

එයින් ඔබ සිනමාව පිළිබඳ හොඳ අවබෝධයක් ලැබුවා. එහෙමද?

මම කැමතියි ඕනැම දෙයක් පුළුල් දැක්මක් සහිතව කරන්න. ඒත් චිත්‍රපටවල මම රඟපාද්දි මට ඒ වගේ අවබෝධයක්, අවදිව සිටීමක් තිබුණෙ නැහැ. මම ආසයි ඒ දවස්වලත් මම ආලෝකකරණය, කැමරාව ආදිය ගැන තව ටිකක් අවදියෙන් ඉන්න තිබුණානම්.

ඔබේ සිනමාගමනය ආරම්භ වුණේ කළුදිය දහරෙන්?

ඔව්. මම වේදිකා නාට්‍යවලට ඉස්කෝලේ යන කාලෙ ඉඳන්ම සම්බන්ධ වුණා. මම ගියේ කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයට. අපේ එහා පැත්තේ තිබුණේ ශාන්ත බෙනඩික්ට් පාසල. ඒ දෙකේම හුඟක් සංගීතයට දක්ෂ අය හිටියා. අපි සම්බන්ධ වෙලා ටැලන්ට් ෂෝස්, මියුසිකල් ඊව්නිංස් කරලා තියෙනවා. නැටුම් කළා, ලයනල් වෙන්ඩ්ට් එකේ ඉංග්‍රීසි නාට්‍යවලට සම්බන්ධ වුණා. මොකද මගේ මහත්තයාත් වේදිකාවට හරි කැමතියි. ඒත් මට මතක නැහැ මණික් සන්ද්‍රසාගර හමු වුණේ කොහොමද කියලා. ඔහුගේ බිරිඳ මම හොඳට අඳුරනවා. එහෙමද? මට මතක නැහැ. ඊට පස්සේ මම සවුන්ඩ් ඔෆ් මියුසික් වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වුණා. කළුදිය දහරට කලිනුත් මම වේදිකා නාට්‍යවල හිටියා. බැඳපු අලුතමත් නාට්‍ය කීපයක හිටියා. මට ඒ මුකුත් හරියටම මතක නැහැ දැන්. (සිනාසී) ඇත්තම කීවොත් මම අතීතය මෙනෙහි කර කර ඉන්නවාට වඩා වර්තමානය සහ අනාගතය දකින්න ආසා කෙනෙක්. ඒ වගේම පුවත්පත්වල ගිය ලිපි එකතු කරගෙන, පොතක අලවලා ඒ දිහා බල බල මගේ රංගනය ගැන හිතන කෙනෙක් නෙවෙයි. ඒ නිසා අවශ්‍ය ප්‍රධාන කරුණ හැර සියුම් විස්තර මගේ මතකයේ තියා ගන්නේ නැහැ. ඇත්තෙන්ම අතීතකාමය කියන්නේ අපිව හොඳට වට්ටන්න පුළුවන් දෙයක්. හැබැයි අපි අද මෙතන ඉන්නේ අතීතය හින්දා. අතීතයෙන් අපි ගත යුත්තේ අපිට කොහෙද වැරදුණේ කියන එක සහ කොහොමද වැරැද්ද හදාගත යුත්තේ කියන දෙයයි. පතිරාජ මහත්මයාගේ සමරු උත්සව දේශනයෙත් කීවේ කලාවේ වුණත් අතීතය, ගැමි ජීවිතය හරි ෂෝක් අද ජීවිතයට වඩා කියලා හිතන එකෙන් ඇතිවන ප්‍රශ්නය තමයි.

එහෙනම් අපි ඔබට මතක අතීතයෙන් බිඳක් කතා කරමු?

ඊවා රණවීරගේ හිතවතෙකු වූ ජෝන් ඩියැන් ඩාස් කියන වාමාංශික පිටරැටියා මගේ මහත්තයා අඳුනන නිසා මට ඊවා හඳුනගන්න ලැබුණා. ඊවා, සුනිලා අබේසේකර සහ මම නාට්‍යයක් කරන්න සූදානම්ව හිටියා. ඒ යුගයේ දේශපාලනය සම්බන්ධව. ඒ එක්කම ජේවීපී විප්ලවය ආවා. ඊටපස්සේ ඒ නාට්‍යයට මොනවා වුණාද මන්දා. සුනිලාගේ සහ මගේ යාළුකම පැවතුණා. එයා තමයි ධර්මසේන පතිරාජට මා ගැන කියන්න ඇත්තේ කියලා මට හිතෙනවා.

පාරදිගේ චිත්‍රපටය ගැන ඔබට මොකද හිතෙන්නේ?

පාරදිගේ මංගල දර්ශනයටවත් මට සහභාගී වෙන්න ලැබුණද කියලා මතක නැහැ. ඒත් චිත්‍රපටයේ මුල් කොටස දැක්කට පස්සෙ මට දැන් තේරෙනවා 'පතී' ඇයි අලුත් මුහුණක් ඒකට හෙව්වෙ කියලා. ඒක පාවී යන චරිතයක්. නාගරික තරුණියක්. ගමේ මුල් මුකුත් නැහැ. බෝඩිංකාර ජීවිතයක්, කසාද නොබැඳ ලිංගික සබඳතා පවත්වනවා. එවැනි සමාජයක බිහිවීම තමයි එදා චිත්‍රපටයෙන් පෙන්නුවේ. ඊට පස්සේ තමයි මට ධර්මසිරි බණ්ඩාරනායක හමුවුණේ. අපි ජුලියස් සීසර් නාට්‍යය කළා හේග් කරුණාරත්න සමඟ. ඔහුට ඕන වුණා ඒ කාලේ වැඩිය වේදිකාවේ නැති විදිහකට ක්‍රියාදාම ස්වරූපයෙන් මේ නාට්‍යය කරන්න. අර්නස්ට් මැකින්ටයර් ක්‍රියාදාම නිර්මාණයට හිටියා. මටයි මහත්තයාටයි සල්ලි ටිකකුත් තිබුණ නිසා අපි නිෂ්පාදනය කළා. ඔක්කොමලා රඟපැවා. මම පෝෂියා හැටියට, මගේ මහත්තයා කැසියස් ලෙස, කැරන් බ්‍රෙකන්රිජ්, බෲටස්ට, වින්ස්ටන්ට් සේරසිංහ සීසර්, ශීලා අංගිත් හිටියා කැල්පර්නියාට, රිචඩ් ඩි සොයිසා මාක් ඇන්තනිට. මම ළඟදි තමයි දන්නේ ධර්මසිරි මාව දන්නේ ඒ නාට්‍යයෙන් කියලා. ඔහු කළා ජල සම්පාදන මණ්ඩලයට කාන්තාරයේ සිහිනය කියලා වාර්තා චිත්‍රපටයක්. පේදුරු තුඩුවේ ඉඳන් එලිෆන්ට් පාස් දක්වා එන නැඟෙනහිර කොටසේ තියෙනවා මැදපෙරදිග කාන්තාරයක් වගේ කොටසක්. හරි ලස්සනයි. ගහක් කොළක් මුකුත් නැහැ. ඒකේ එකම එක ගහක් ධර්මසිරි හොයාගෙන ඒ වටේ තමයි රූපගත කිරීම් කළේ. ඊට පස්සේ 81දි තුන්වෙනි යාමය චිත්‍රපටයට මට කතා කළා.

ඔබේ ඒ ඉදිරිපත් කිරීම් ඒ යුගයේ යම් ආන්දෝලනයට තුඩු දුන්නා?

මම අසු තුන වෙද්දි විදෙස්ගත වුණා. ඒ නිසා ප්‍රේක්ෂකයන්ගේ අදහස් දැනගන්න ලොකු අවස්ථාවක් ලැබුණේ නැහැ. මම උසස් පෙළ කරද්දි අපේ සුපවයිසර් මට කතා කළා චිත්‍රපටයකට. මටත් ආසාවක් තිබුණා වේදිකා නාට්‍යයකට වඩා වෙනස්ව චිත්‍රපටයක චරිතරයක් මවන්නේ කොහොමද කියන දේ අත්දකින්න. ඒ නිසා මම එකඟ වුණා. ඒත් මට එය සම්පූර්ණ කරන්න බැරි වුණා. අන්තිමට කාන්ති සිල්වා කියන ශිල්පිනිය යොදාගෙනයි චිත්‍රපටය නිමා කරලා තිබුණේ.

ඔබ ඔය කියන්නේ ගිනිගත් 'ෂෙල්ටන් සහ කාන්ති' චිත්‍රපටය ගැනද?

නැහැ. එහෙම චිත්‍රපටයක් මට මතකත් නැහැ. මේ චිත්‍රපටයට වුණේ, විභාගය ඉවරවෙනවාත් සමඟම මම විවාහ වුණා. අලුත බැඳපු කෙනකුට චිත්‍රපට සඳහා කාලය වැය කරන්න අපහසුයි. මම 1969 බැන්දේ. ඊට පස්සේ මණික් කතා කරද්දි අපි බැඳලා ටිකක් කල්. පාරදිගේ චරිතය වුණත් මට කියන්න බැහැ මම ලොකුවට මවලා රඟපැවා කියලා. ඒ චරිත ලක්ෂණ මගේ ස්වාභාවික හැසිරීම්වලට සමානයි වගේ. මම අඩි උස සපත්තු දෙකකුත් දාගෙන සාරියත් බාගෙට උස්සගෙන‍ෙ විජය (කුමාරණතුංග) එක්ක අර පඩිපෙළ නඟින දර්ශනය ළඟදි දැක්කාම මටම හිනා ගියා. ඒක සාම්ප්‍රදායික නැති ගමනක්. සමහර විට පතිරාජ ඒ මගේ ස්වභාවය, වෙනස ඒ කාලෙ පෙන්වන්න කැමති වෙන්න ඇති. වසන්ති (චතුරාණි) වුණත් අමුතු මුහුණක්නෙ. අපි දෙන්නගේ චරිතවල වෙනස අපේ මුහුණුවලිනුත් පෙනුණා.

තුන්වෙනි යාමය ගැන මතක මොනවාද?

මම අදවනතුරු තුන්වෙනි යාමය මුල ඉදන් අගට දැකලා නැහැ. ඒත් අපේ පවුලම ඒකේ රඟපැවා. මගේ මහත්තයා තමයි පූජකයාට ඉන්නේ. මගේ නැන්දම්මා විදේශීය කාන්තාවක් වගේ කතා කරනවා, එයාගේ අම්මා බර්ගර් තාත්තා බ්‍රිතාන්‍ය ජාතික නිසා එහෙම උච්චාරණය කරන්න පුළුවන්. මගේ අම්මා නම් උත්සවේ පිරිස අතර හිටියේ. මගේ මහත්තයා සම්පූර්ණ බර්ගර්. නුවර හිටියේ. ඒ අය හරි පිළිවෙළයි. අම්මගේ, තාත්තගේ පරම්පරාවල, හොලන්ඩ්වලින් පිටත්වෙන නැව්වල, ඒ මඟීන්ගේ නම් පවා ලේඛනගත කරලා තියෙන්නේ. 1650-80 අතර තමයි ඒ අය මෙහෙට ඇවිත් තියෙන්නේ. මම තමයි ඒ පවුලට සිංහල කෙනෙක් හැටියට ආවේ. මමත් බාගෙට බර්ගර්. මගේ අම්මා බර්ගර්. මගේ තාත්තා සිංහල. ද සිල්වා අබේසේන. ඒ අය අමු සිංහල කියලා කීවට ඇස්වල එහෙම ලා කොළ පාට, ලා නිල් පාට තියෙනවා. පෘතුගීසි කලවම් ඇති. මෝදර පැත්තේනේ. අවුරුදු 500ක් තිස්සේ කොච්චර මිශ්‍රවෙලා ඇත්ද අපි? ඊට කලින් වුණත් විජය ආවෙත් කොහෙන්ද? පුරාණ ලෝකේ මිනිස්සු හරියට ගමන් කළා රටින් රටට. ඒ නිසා මගේ විශ්වාසයක් තියෙනවා මුළු ලෝකෙම මිශ්‍රයි කියලා. ඒක හොඳ පටන් ගැන්මක් මේ භේද ඔක්කොම දුරලන්න.

එදා සහ අද සිනමාව ගැන ඔබට අදහසක් තිබෙනවාද?

මම ආවට පස්සේ බලන්න වුණේ චිත්‍රපට පහයි. ස්වරූප, නෙලා, වෛෂ්ණාවී, බහුචිතවාදියා සහ මැතිව්. ඒ පහම හුඟක් වෙනස්. ඒ නිසා ජනප්‍රිය සිනමාව ගැන මට කියන්න හැකියාවක් නැහැ. විවාදයක් තිබෙනවා චිත්‍රපටයකින් දිය යුත්තේ සමාජයේ වන දේවල් විවේචනයද නැත්නම් පණිවිඩයද කියලා. මට හිතෙන විදිහට මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා (සිනාසී) පාර දිගේටත් වඩා පාර දිගේම ගිහින් අද තරුණයන්ගේ අති භයානක මානසික තත්ත්වයක් ගැන කියනවා. එයා අතීතයෙන් කිසි දෙයක් ඉගෙන නොගත්ත, මිනීමරුවෙකු නොවුණත් මිනිසුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන අපරාධකාරයෙක්. ඒ වගේම ආපහු තමන් කරන දේ පටන් ගන්නවා. මම ඒ වගේ ජීවත්වන අය සමඟ කිසිම විදිහකට එකඟ වන්නේ නැතත් චිත්‍රපටයෙන් විසඳීමක් නොදුන්නත් ඒ වගේ චරිත ඉන්න බව කීම එක අතකට හොඳයි. ඒත් මට කනගාටු ඒ වගේ චිත්‍රපට ඉක්මනින් ජනතාවට බලන්න අවස්ථාව නැති එකයි. ස්වරූපවලටත් වුණේ ඕකම බව මට 'පතී' කීවා.

ඔබ කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැළුණු කෙනකු හැටියට මේ ප්‍රශ්නය දකින්නේ කොහොමද?

අද නිෂ්පාදකවරු හොඳ චිත්‍රපටවලටත් මුදල් යොදවනවා. ඒත් සියයට සියයක කැපවීමක් නැති බවයි පේන්නේ. චිත්‍රපටයේ මුල් කොපිය ගන්න වියදම් කළාට මදි. ප්‍රචාරක කටයුතු ආදිය කරලා ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න ඕනා. මට දැනගන්න ලැබෙන හැටියට චිත්‍රපට සංස්ථාවෙන් මේ ප්‍රශ්නවලට සුදුසු පියවර ගන්නේ නැහැ. චිත්‍රපට වුණත් කලාත්මක වගේම වාණිජ අංශ තුලනාත්මකව තිබෙන්න ඕනා. ඇත්තෙන්ම අපට පුළුවන් ඒක කරන්න. මොනවා වුණත් මෙය කර්මාන්තයක්. මම ළඟදි දැක්කා ස්ටීවන් ස්පිල්බර්ග් පිළිබඳ වාර්තා වැඩසටහනක්. ඒකෙත් පෙන්වන්නේ ඔහුගේ කණ්ඩායම නැත්නම් ඔහුට මේ තරම් ඉක්මනින් චිත්‍රපට කරන්න බැරි වෙන බවයි. අපි වගකීමක් බාරගන්නවා නම් ඒක හරියට කරන්න ඕනා. අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු අතර හොඳ කොන්ත්‍රාත්තුවක්, එකඟතාවක් ඇති වෙන්න ඕනාමයි දෙයක් සාර්ථක වෙන්න.

 ආපසු චිත්‍රපටයකට කතා කළොත්?

ඔව් මම කැමතියි. ඒත් මගේ ක්‍රිස්තියානි විශ්වාසය ගැන හෝ ඵලදායී දෙයකට පමණක් සහභාගී වෙන්න. එතනදී මට ලැබෙන චරිතය කළුද සුදුද කියලා ප්‍රශ්නයක් නැහැ. මතකද මම බැද්දෙගම කරන පුංචි චරිතය. පෞද්ගලිකව එහෙම කට හොඳ නැති විදිහට ජීවත්වෙන්න මම අකමැති වුණත්, ලෙස්ටර් පීරිස් මාව ඒ චරිතයට තෝරාගත්තාම මම හරි සතුටු වුණා. ඒකයි මම කියන්නේ මට නිරූපණය කරන්න කෙබඳු චරිතයක් තිබුණත් සමස්ත චිත්‍රපටය, නැත්නම් ඒ ව්‍යාපෘතිය නිසා මිනිස්සුන්ට බලාපොරොත්තුවක් ගෙනෙන, ධනාත්මක සිතුවිලි ගෙනෙන, හරියට ග්‍රීක නාට්‍යවල වගේ භාවශුද්ධියකට ගෙනත් අවසානයේ හොඳ හුස්මක් ගන්න පුළුවන් බව පිටපත කියවද්දි දැනෙනවා නම් මම ලැස්තියි.

 ඔබ කලින් චිත්‍රපටවලට සම්බන්ධ වුණෙත් එහෙම හිතලද?

මට ඒ කාලෙ එහෙම අදහසක් තිබුණේ නැනේ. මම රෝමානු කතෝලික පවුලක ඉපදුණේ. මම හරියට දේවල් ප්‍රශ්න කළා. දෙවියන්වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා නම් මීට වඩා ලොකු තැනැත්තෙක් විය යුතුයි කියලා. මම අවුරුදු 17දි ඇමෙරිකාවට ගියා. ඒ කාලේ හිපි සංස්කෘතියේ මතවාද මමත් මගේ යාළුවොත් අනුගමනය කළා. මම සියලු ආගම් පිළිබඳ හැදැරීමකට පසුවයි මේ තීරණයට ආවේ. මම ක්‍රිස්තියානි වුණේ අවුරුදු තිස් නවයෙදි ඩුබායිවලදි. මමත්වයෙන් බේරිලා දෙවියන් වහන්සේට ප්‍රසාදය ඇතිවන දේවල් කරන්න, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ජීවමානයි කියන දේ මම අවසානයේ පිළිගත්තා.

ඔබ අධ්‍යක්ෂණයට යොමු වෙන්න හිතනවාද?

ලංකාවේ ගොඩක් දක්ෂ අය ඉන්නවා. නළු නිළියන්, පරිගණක ග්‍රැෆික් ශිල්පීන්, සංගීතඥයන්. ඒ නිසා මගේ අදහසක් තිබෙනවා අලුත් දෙයක් කලාත්මක විදිහට කරන්න. අපේ රටේ හොඳ ඉඩක් තිබෙනවා මනුෂ්‍යත්වය පිළිබිඹු වන පුංචි පණිවිඩ දෙන්න. ඒ වැනි යමක් නම් කරන්න ඕනා.

ඒ කියන්නේ ලංකාවට ආදරෙයි?

ලංකාව හොඳ රටක්. මම හැම රටටම ආදරෙයි. හැම මනුෂ්‍යයකුටම ආදරෙයි. මට ඕනෙම රටක ජීවත්වෙන්න පුළුවන්. මගේ දරුවන් දෙන්නා ඉන්නේ උතුරු ඇමෙරිකාවේ. මට මුණුපුරන් දෙන්නයි මිනිබිරියන් තුන්දෙනකුයි ඉන්නවා. ඒ අයත් එක්ක ඉඳීමත් මට අත්‍යාවශ්‍යයි. විශ්‍රාමිකයි කීවට මම දැනට ක්ලැසිකල් බැලේ උගන්වනවා. පල්ලියේ වැඩට උදව් වෙනවා. අපි පොඩි කාලේ ආදරේ කළ වයසක අය බලන්න යනවා. මම ලියන්න ආසයි. මම දැනට ලියාගෙන යනවා මගේ ජීවිතයේ අනුග්‍රහය කොහොමද ලැබුණෙ කියන එක. මම කැමති ධනාත්මක දේවලටනේ. ඒ නිසා මගේ ජීවිතේ ජය ගන්න පවුලේ සියලුදෙනාගේන් ලැබුණු ආශීර්වාදය ඔවුන් සමඟ ගනුදෙනු කරන්න මට සහාය දුන්නේ කොහොමද කියලා. ජේසු කීවා ඔබ අන් අයගෙන් ලබන්න බලාපොරොත්තු වන දේ ඔබ අන් අය වෙනුවෙන් කරන්න. කියලා. ඉතින් අපියි පටන් ගත යුත්තේ. ඒ නිසා මම ලියන්නේ මේ දවස්වල 'ග්‍රේස් ටේල්ස්' නැත්නම් 'අනුග්‍රහයේ කතා'.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.