ප්‍රියාගේ සිහින විජිතයේ සරන ලක්ෂිතගේ ආදරය

පෙබරවාරි 7, 2019

තාත්තෙකුටයි, පුතෙකුටයි තියෙන්නේ ලේ බැඳීමක්. ඒක කොයි තරම් ශක්තිමත් ද කියනවා නම් මේ ලෝකේ කිසි ජගතෙකුට ඒ බැඳීම නවත්වන්න හැකියි කියලා මට හිතෙන්නේ නෑ. තාත්තා කෙනෙක්ගේ හිතේ දරුවෙක් වෙනුවෙන් ඇති වෙන්නේ හරි අපූරු සිතුවිලි කන්දරාවක්. වෙලාවකට හීන ගොඩක්. කිරි සිනා දකින සුරතල් මුවේ පටන් යස ඉලන්දාරියෙක් දක්වා වුණත් තාත්තා කෙනෙකුට තමන්ගේ පුතා හරියට අද ඊයේ උපන් කිරි දරුවා වගේ.

අපට හම්බ වුණේ යස ඉලන්දාරියෙක්. ඒත් ඒ ඉලන්දාරියා ගැන කියන්නට කලින් තාත්තා ගැන කිව්ව නම් හොඳයි කියලා මට හිතුණා. තාත්තා අපේ ගායන ක්ෂේත්‍රයේ ප්‍රවීණතම ගායන ශිල්පියෙකු වශයෙන් අදටත් කාගේත් ජනාදරය දිනා ගත්තු ප්‍රියා සූරියසේන. මම කලින් සඳහන් කරපු යස ඉලන්දාරියා ඔහුගේ ආදරණීය පුතු ලක්ෂිත සූරියසේන.

ඊටත් වඩා ඔහු අපේ රටට හඳුන්වා දිය යුතු හොඳම ක්‍රමයක් තිබෙනවා.

ආචාර්ය ලක්ෂිත සූරියසේන. ඔහු අපේ රටට සම්පතක්. එක පැත්තකින් ඔහු අපේ රටේ ජනප්‍රියතම ගායන ශිල්පියකුගේ කලා උරුමය අනාගතයට රැගෙන යන උරුමක්කාරයා වශයෙන් අපට වටිනවා. හැබැයි අනිත් පැත්තත් ඊට වඩා බරයි. ඔහු නැමෝ තාක්ෂණය පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි කරගත් අපේ රටේ මිණි කැටයක්.

මේ දෙන්නම අපිට හමු වුණේ තවත් සුවිශේෂී කටයුත්තකට කාර්යබහුල වෙමින් සිටියදී. එහෙත් සුපුරුදු ළෙන්ගතු සෙනෙහස පුද කරමින් අපි කෙටි වේලාවකට හෝ පිළිසඳරකට එක් වුණා.

ප්‍රියා සූරියසේන අපේ ගායකයා මේ දිනවල කාර්යබහුල වනුයේ සිය එකම පුත් ලක්ෂිතට මනමාලියක කැන්දන් ඒම වෙනුවෙනි. පියෙකුගේ යුතුකම් මනා ලෙස ඉටු කොට සිය දූ දරුවන්ට හොඳින් උගන්වා ඔවුන් යහපත් පුරවැසියන් ලෙස සමාජයේ ඉහළ තලවල වැජඹෙනු බලා එයිනුදු තෘප්තිමත් නොවී සිය දරුවන්ගේ ආවාහ විවාහ කටයුතු වෙනුවෙනුත් හේ අද වෙහෙස මහන්සි වේ.

මේ දෙදෙනා දෙසම බැලූ විට අපිට සිතුණේ මෙවන් පියෙක් ලද පුතෙක් සේම, මෙවන් පුතෙක් ලද පියෙක් ද අතිශයින්ම වාසනාවන්ත බවය. පිය-පුතු සෙනෙහසක් පිළිබඳව නොලියවුණක් වුවත් ඔහු ගායනා කළ ගීතයකුත් ඒකට කොයි තරම් ගැළපෙනවද කියලා හිතුණා.

‘මට වාසනා . . . ඔබ මට වාසනා

උප නූපන් ආත්මයේ . . .

මට ඔබ - ඔබ මට වාසනා . . .’

‘ඇත්තටම කිව්වොත් පුතා ගැන මට ලොකු සතුටක් තියෙනවා. එයා අද නැනෝ තාක්ෂණය පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි කර ගත් කෙනෙක්. අධ්‍යාපනය පැත්තෙන් ඉහළම තැනක ඉන්නවා වගේම, දැන් මගේ නිර්මාණ ඉදිරියට ගෙන යාමේ වගකීමත් ඔහු බාර අරගෙන තියෙනවා. පුතාට ඉතාම හොඳට සින්දු කියන්න පුළුවන්. පහුගිය කාලේ රූපවාහිනී වැඩ සටහන් කිහිපයකම ඔහු මගේ ගීත ගායනා කළා. අහපු දැකපු හැම කෙනෙක්ම කිව්වේ මං වගේම ගීත ගායනා කරනවා කියලා. ඇත්තටම ඒක මගේ හිතට ලොකු සතුටක්. දැන් මගේ උරුමය, මගේ හැකියාව ඉදිරියට ගෙන යන්න ලේ උරුමයෙන් ආපු කෙනෙක් ඉන්නවා.’

ප්‍රියා කියනුයේ සිතේ උපන් අපිරිමිත වූ පුත්‍ර ස්නේහයකිනි. ඔහු වේදිකාවේ ගී ගයත්දී ලක්ෂිත කුඩා දරුවෙකු ලෙස ඒවා අසා සිටින්නට ඇත. නිතර දෙවේලේ නිවෙසට එන සංගීත ශිල්පීන් සේම සංගීතයටම පසුබිම් වූ පරිසරයක ජීවත් වීම ද ඔහුට කුඩා අවදියේ සිටම අරුමයක් නොවන්නට ඇත.

‘පුතා පුංචි කාලෙ ඉඳලම සංගීතයට කැමැත්තක් තිබුණා. ඒත් එයා ඒ කාලේ වැඩි අවධානයක් යොමු කළේ එයාගේ අධ්‍යාපන කටයුතුවලට. එයා කැමති දේ කරන්න අපෙන් බලපෑමක් තිබුණේ නෑ. පුංචි කාලේ ඉඳන්ම ඉස්කෝලේ ගියේ කොළඹ ආනන්ද විද්‍යාලයට. මගේ ජීවිතේ කාර්ය බහුලම කාලේ වුණත් රෑ සංදර්ශණවලට ගිහින් කොයි තරම් රෑ වෙලා ආවත් උදේට පුතා දාන්න ඉස්කෝලෙට යන්න වුණොත් මම යනවා. එයා අ. පො. ස. උසස් පෙළට තෝර ගත්තේ විද්‍යා විෂයන්. ඒ අනුව උසස් පෙළ සමත් වෙලා එයා ගණිත අංශයෙන් මොරටුව විශ්ව විද්‍යාලයට තේරුණා. මේ කාලය ඇතුළත එයා ඉතින් ඔය නිවාඩු පාඩු වෙලාවක බොක්ස් ගිටාර් එකත් අරගෙන ගීතයක් කිව්වා මිසක් සංගීත පැත්තට යොමු වුණේ නෑ. එයා කරපු බැරෑරුම් විෂය පථයත් එක්ක ඒකට නිදහසක් තිබුණේ නෑ. කොහොම වුණත් විශ්ව විද්‍යාලයේ මාස 6 - 7 ක් ඉන්න කොට එයාට ඇමරිකාවට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඊට පස්සේ එයා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ස්ටැන්ෆෝඩ් විශ්ව විද්‍යාලයට ඇතුළු වෙලා නැනෝ තාක්ෂණය පිළිබඳ ආචාර්ය උපාධිය දක්වා ඉගෙන ගත්තා.’

ජීවන හිණි පෙතේ තම පුතුන් ඉහළට නඟිනවා දකින තරම් සතුටක් තාත්තෙකුට තවත් තියෙයිද? ලක්ෂිත ඒ සතුට සිය පියාණන්ට නොඅඩුව පිරිනැමූ පුත්‍රයෙක්. ආචාර්ය උපාධියෙන් පසු ඔහුට එහිම රැකියාවක නියුතුවීමේ අවස්ථාව ද ලැබිණ.

ඇත්තටම ඇමරිකාවේ රැකියාවක් ලැබුණත් මගේ බලාපොරොත්තුවක් නෑ දිගටම විදේශයක රැඳී සිටින්න. මට අවශ්‍ය වෙන්නේ ඉක්මනින්ම ලංකාවේ පදිංචි වෙන්න. පසුගිය කාලයේ මම ලංකාවට ඇවිත් නැනෝ ටෙක්නොලොජි ඉන්ස්ටියුට් එකේ උපදේශකවරයෙක් වශයෙනුත් කටයුතු කළා.

මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නවා මගේ විවාහ මංගල්‍යයේ කටයුතු වෙනුවෙන්. මගේ සහකාරියත් මොරටුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් විදියට කටයුතු කරනවා. අපි දෙන්නට දෙන්න හොඳ අවබෝධයකින් ඉන්නවා. ඇය මගේ වෘත්තීය ජීවිතය වගේම මගේ කලා ජීවිතේ ගැනත් අවබෝධ කරගෙන ඉන්න නිසා ඉදිරි ජීවිතය ගෙනියන්න පහසු වෙයි කියලා මට හිතෙනවා. විවාහයෙන් පස්සේ නැවත විදේශ ගත වුවත් ඉතා ඉක්මනින් ඇවිත් ලංකාවේ පදිංචි වෙනවා. ඒ කියන්නේ මගේ වෘත්තීය පැත්තෙනුත්, කලාව පැත්තෙනුත් මට විශාල දෙයක් මේ රටට කරන්න තියෙනවා. . .’

ලක්ෂිත තම රටට ආදරේ පුතෙකි. තම මවුපියන්ට සේම මවු බිමට ද තම උගත් දෙයින් ප්‍රයෝජනවත් යමක් තිළිණ කරන්නට බලාපොරොත්තු වන පුතෙකි.

වෘත්තීය ජීවිතයෙන් පරිබාහිරව ගතහොත් සිය කලාකාමී පියාගේ උරුමය ඉදිරියට රැගෙන යාමට ද ලක්ෂිතට ලොකු වගකීමක් සහ යුතුකමක් තිබේ. ප්‍රියා සූරියසේනලා මේ රටේ ජන හදවත් තුළ ආදරණීය ගායකයින් ලෙස ලැගුම් ගත්තේ අද මෙන් දවසින් දෙකින් එක රැයින් ජනප්‍රිය වූ තරු ලෙසින් නොවේ. ඔවුන් කාලාන්තරයක් තිස්සේ දුක් මහන්සියෙන් නිර්මාණකරණයේ යෙදෙමින් ගොඩ නඟා ගත් මහා වෙහෙසක ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ අතීතය දුෂ්කර වුවත් එය සමරන්නට ප්‍රියා කැමතිය. හේතුව අතීතයක් නැති මිනිසෙකුට වර්තමානයක් ද අනාගතයක් ද නොමැති නිසා වන්නට ඇත.

‘ආපස්සට හිතත්දි මට ජීවිතේ ගැන සතුටුයි. මම හිතන්නේ මගේ ගීත දෙකක් මුලින්ම ජනප්‍රිය වුණේ 70 දශකයේ මුල් භාගයේ වෙන්න ඕන. මම නාත්තණ්ඩියේ ගමේ ඉන්න කාලේ තමයි සංගීතයට පෙම් බැන්දේ. ඒ කාලේ ඉතින් ගායනය වාදනය ඉගෙන ගත්තා. ඔහොම ඉන්න අතරතුරේ ගුරු පත්වීම්වලට ඉල්ලුම් කරන්න තිබුණා. ඒ වෙනකොට මම මගේම ගීත දෙකක් තුනක් විතර කියලත් තිබුණා. ඒ ගැන දැනගෙන ඒ කාලේ ඒ පළාතේ හිටපු මන්ත්‍රීවරයා ගුරු පත්වීමට මාව නිර්දේශ කරලත් තිබුණා. මට මුලින්ම පත්වීම ලැබුණේ කටුනේරිය මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා හැටියට. ඊට පස්සේ කැලණිය ගුරුකුලයට ආවා. පස්සේ කළුබෝවිල විද්‍යාලයට ආවා. දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ වැඩ කරන කාලේ මම ගායකයෙකු විදියට හරි ජනප්‍රියයි. ඒත් එක්ක ඉස්කෝලේ වැඩ කරන එක අපහසු වුණා. දවසට දුරකථන ඇමතුම් 10 - 15 ක් එනවා. ලියුම් 40 - 50 ක් එනවා. විදුහල්පතිවරයාටත් ඉවරයක් තිබුණේ නෑ මගේ කෝල්වලට උත්තරදීලයි, මගේ ලියුම් තෝරලයි. අනිත් පැත්තෙන් විදේශ සංචාර. ඒ හින්ද දරුවන්ටත් මගේ අතින් අවැඩක් වෙයි කියලා මම අස් වුණා.’

ප්‍රියා අතීතය සමරයි. ප්‍රියාගේ එකල ජනප්‍රිය ගීත කිහිපයක් මේ මොහොතේ මතකයට නැඟේ.

‘හෙට දවසේ අප දෙදෙනා

අද වාගෙම හමු විය යුතුවේ

අද දවසේ මවෙත ගෙනා

මිහිර හෙටත් ගෙන ආ යුතුවේ . . .’

මේ ප්‍රියාගේ ජනප්‍රිය වූ මුල්ම ගීත අතුරින් එකකි. ඒ අතරට අඳුර, අඳුර මගේ ගීතය ද ඇතුළත් වෙයි.

ඒ කාලේ මට ගීත ලියලා දෙන්න හිටියා රෝහණ මද්දුමරාල කියල කෙනෙකුයි ප්‍රේමසිරි විජේතුංග කියලා කෙනෙකුයි. ඊට පස්සේ තමයි මම ගුවන් විදුලියට ආවට පස්සේ අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, කේ. ඩී. කේ. ධර්මවර්ධන, චන්ද්‍රදාස ප්‍රනාන්දු වැන්නෝ හම්බ වුණේ. සංගීතඥයො විදියට සරත් දසනායක, ක්ලැරන්ස් විජේවර්ධන, ස්ටැන්ලි පීරිස් වගේ අය හමු වෙනවා. මගේ බොහොමයක් ගීතවලට මා විසින්මත් තනු නිර්මාණය කර ගත්තා. ධර්මරත්න පෙරේරා මට රචනා කරලා දුන්න ‘ළිහිණින් රෑන පියා සලන්නේ - මන්දාරම් වැහි පොද වැටෙන්නේ’ ගීතය ඒ කාලේ අතියින්ම ජනප්‍රිය වුණා. ‘අඳුර අඳුර මගේ, හෙට දවසේ අප දෙදෙනා, සරතැස නිවා දිවි ගමනේ’ වගේ ගීතවලට තනු නිර්මාණය කර ගත්තේ මමමයි.

80 දශකය එළඹෙන විට ප්‍රියා සූරියසේන යන නම මෙරට ගීත ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රිය වූවකි. ප්‍රියා සතු වූයේ එතෙක් ගීත ක්ෂේත්‍රය තුළ නොවූ වෙනස් ආකාරයේ හඬ පෞරුෂයකි. ප්‍රේමණීය සංවේදනා අතිශය හැඟුම්බරව ගීත ලෝලීනට දැනවීමේ ඉඩකඩ මේ හඬ තුළ වැඩි විය. ඒ නිසාම එදා ඔහු ගැයූ ප්‍රේම ගීත රැසක් මෙරට ගීත ලෝලින් ආදරයෙන් වැළඳ ගත්තේය.

‘හෙට දවසේ අප දෙදෙනා

අද වගේම හමු විය යුතුවේ

අද දවසේ මවෙත ගෙනා

මිහිර හෙටත් ගෙන ආ යුතුවේ . . .’

ප්‍රේමකීර්ති ද අල්විස් රචනා කළ මෙවැනි ගීත ඒ අතර සුවිශේෂ වේ. ඒ විතරක්ද ‘මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා, ජීවිතේ මගේ ඔයා කියලා, ඉස්සර මා ඔබ දකින්න ආවේ, හදවත ඉල්ලා නොලැබුණු විටදී, මුළු මුහුදම හඬයි, මං වෙනුවෙන් එක, සුදු වත කමලේ, මේ පාළු මාවතේ, ආපසු එනවා ඇතුළු මෙකී නොකී ගීත රැසක් ඔහු අපට දායාද කළේය. වැඩි ප්‍රසිද්ධියක් නොමැති වුව ද චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රය තුළ ද ප්‍රියාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට ඔහු සමත් වූවෙකි. එයට හොඳම උදාහරණය වන්නේ අතිශයින්ම ජනප්‍රිය ගීතයක් වන ‘කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා’ ගීතයයි. එය මිල්ටන් මල්ලවාරච්චිත්, ප්‍රියා සූරියසේනත්, ග්‍රේෂන් ආනන්දත් යන මෙරට ප්‍රවීණතමයින් තිදෙනෙකුගේ හඬින් ගැයුණකි.ඉතා ළඟින් යන හඬවල් තුනක සුසංයෝගය අතිශය ආකර්ශණීය යන්න මේ ගීතය අපට පසක් කළේය. දශක පහකට ආසන්න කාලයක් මෙරට ගී ලොව රසවතුන් නැළ වූ ප්‍රියාගේ හඬින් අද ද මේ ගී රස විඳින්නට ශ්‍රාවකයන් දක්වනුයේ නොමඳ උනන්දුවකි. එදා මෙදාතුර රැළි පිට රැළි පෙරලමින් විවිධ ගායකයන් ක්ෂේත්‍රයට පැමිණිය ද මේ ගීතම ගායනා කරමින් ගීත ක්ෂේත්‍රයේ අනන්‍යතාවක් හදා ගන්නට උත්සාහ කළ ද ඒ සියල්ල අතරේ මිණි කැටයක් මෙන් ප්‍රියා අද ද වැජඹෙනුයේ ඔහු සතු වූ ඒ ආකර්ශණීය හඬේ සහ ගීත ශෛලියේ උසස් බව නිසාය.

ලෙයට ලෙය එක්වෙමින් එකී ආකර්ෂණීය හඬ සේම ගායන හා සංගීත හැකියාව ද නොඅඩුව ලබමින් අද ප්‍රියාගේ පුත් ලක්ෂිත ද පිය උරුමය අනාගත පරපුර වෙනුවෙන් සුරකින්නට ඉදිරිපත් වීම ප්‍රියාට ආදරය කරන සහ ගීතයට පෙම් බඳින සුවහසක් ශ්‍රාවක ජනතාවගේම වාසනාවකි.

‘ඇත්තටම කිව්වොත් මගේ අප්පච්චි පිළිබඳ මම නිහතමානීව ආඩම්බර වෙනවා. මගේ ජීවිතේ ගෙවුණු ළමා වියේ සිට මේ දක්වාම අප්පච්චි විශේෂ පුද්ගලයෙක් කියලා මට දැනුණා. මම පාසලට යද්දිත් වෙනත් ගමනක් යද්දිත් අප්පච්චිට ලැබුණු විශේෂත්වය දැක්කා. මම පුංචි කාලේ සංදර්ශණවලට යද්දි අප්පච්චි මාව එක්කගෙන යනවා. විශාල සංදර්ශන වේදිකාවේ අප්පච්චි සිංදු කියන හැටි මම බලාගෙන ඉන්නවා. එතකොට ඉතින් මගේ හිතෙත් ආසාවක් ඇති වුණා ගීත ගායනා කරන්න. පුංචි කාලේ ඉඳලම මටත් ඒ හැකියාව තිබුණා. මට මතකයි මම ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉන්න කොට ජන ගී ගායනාවලින් පළමුවැනියා වුණා. 6, 7, 8 ශ්‍රේණිවලදිත් ගීත ගායනා කළා. ඒත් එක්කම මම විද්‍යාව පැත්තට යොමු වුණාට පස්සේ ඒක දිගට කරගෙන යන්න මට කාලයක් නැති වුණා. අප්පච්චි කවදාවත් අපට බලපෑම් කළේ නෑ අපේ අනාගතය ගැන. අපි කැමති විදියට ඒක තෝර ගන්න ඔහු ඉඩ දුන්නා. ඒ අනුව මම O/L සමත් වෙලා A/L ගණිත අංශය තෝර ගත්තා. මොරටුව විශ්ව විද්‍යාලයේ මාස කිහිපයක් ඉගෙන ගනිමින් ඉන්නකොට තමයි මට ඇමරිකාවට ශිෂ්‍යත්වයක් ලැබුණේ.’

ලක්ෂිත පවසනුයේ පියා පිළිබඳ උපන් ඉමහත් සෙනෙහසකිනි. තම වෘත්තීය ජීවිතයට ළඟාවන තුරු, ආචාර්ය උපාධියක් ලබනතුරුම ජීවන ගමනේ ඉලක්ක සොයා ගිය ඔහු අද නැනෝ තාක්ෂණය පිළිබඳ ආචාර්ය උපාධිධරයෙකි.

‘වෘත්තීය ජීවිතය තුළ මම ඉගෙන ගත්ත දෙයින් විශාල දෙයක් ලංකාවට කළ හැකියි. දැනට මම ඇමරිකාවේ රැකියාවක නියුතු වුණත් ඉතාම ළඟකදී ලංකාවේ පදිංචියට පැමිණීමට බලාපොරොත්තු වෙනවා. නැනෝ තාක්ෂණය උපයෝගී කරගෙන මේ රටේ සංවර්ධනයට අති විශාල මෙහෙයක් කරන්න පුළුවන්. අපි උදාහරණයකට ගත්තොත් ලංකාවේ කෘෂි කර්මාන්තය දියුණු කරන්න, බල ශක්තිය පැත්තෙන් යොදාගෙන වැඩිපුර කාර්යක්ෂමතාවයක් ඇති කරන්න, පිරිසුදු ජලය නිෂ්පාදනය කරන්න මෙකී නොකී බොහෝ දේ සඳහා මේ තාක්ෂණය අපට යොදා ගන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලාංකිකයෙක් විදියට ඒ කර්තව්‍යයට උර දෙන ගමන්ම තාත්තගේ නිර්මාණ ඉදිරියට ගෙනියමින් සංගීත ලෝකයේ දිගටම රැඳී සිටින්නත් බලාපොරොත්තු වෙනවා. තාත්තාගේ ගීත අතරින් පොඩි කාලේ ඉඳලම මම ‘සිහින විජිතයේ සරන්නේ සදා’ කියන ගීතයට මම ප්‍රිය කරනවා. 2013 දී මම මේ ගීතය ටිකක් වෙනස් කරලා කළා. රංග දසනායක තමයි අඥථඪය කළේ. ඊට අමතරව මම දැන් සංගීතය ටිකක් ඉගෙන ගන්න පැත්තට යොමු වෙලා ඉන්නවා ගී තනු නිර්මාණය කිරීමේ බලාපොරොත්තුත් ඇතුව. අප්පච්චිත් එක්ක අළුත් ගීතයකුත් කළා. ඉතින් ඉදිරි මාස කිහිපය ඇතුළත අප්පච්චි වෙනුවෙන් ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අප්පච්චි ක්ෂේත්‍රයට ඇවිත් 2018 වසරට හරියටම අවුුරුදු 50 ක් සපිරෙනවා. අප්පච්චි මුල්ම ගීතය කරලා තියෙන්නේ 1968 දීයි. ලක්ෂිත පැවසුවේ ඉමහත් බලාපොරොත්තු සහිතවය.

ලක්ෂිතගේ දිවියේත් සොඳුරුම අවස්ථාව වන සිය මංගල දිනය පසුගිය සතියේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී සංගීත ක්ෂේත්‍රයේ බොහෝ තරු ඇතුළු සියළු දෙනාගේ ආශිර්වාද මැද සිදු වුණ අතර පෞද්ගලික දිවියේ නව ඇරැඹුමට මෙන්ම ඉදිරි සංගීත දිවියේ නව ගමනකට සුභාශිංසන මේ සමඟ!

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.