ටජ් මහලක් තනවන්න නෑ මට ඔබෙ සෙනෙහසට හිමි

වින්ටර් බ්ලොසම් ජෝතිපාල මහත්මියගේ හෙළිදරව්ව
පෙබරවාරි 7, 2019

“පණ අදිනවා වගේනේ ඒක. හරි අමාරුවෙන් කීවෙ. මම අහන්නවත් කැමති වුණේ නැහැ. ගෙනියන මිනිස්සු එක්කත් මම සණ්ඩු වෙනවා. අසනීප වුණා කියලා ඒ අය අහන්නෙත් නැ. මේ මනුස්සයා නොගිහින් ඉන්නෙත් නැ. ජෝතිගෙ අම්මලා තාත්තලා කියන දෙයක්වත් අහනවයැ.

‘ඈ බං උඹ නහිනවා. මැරිලා වැටෙනකල් උඹ දන්නැති වෙයි කියලා තාත්තා බනිනවා. ඉතින් ඒ අයටත් බැරිනම් මට පුළුවන්ද? මට පුළුවන් විදිහට, මට ඇතිවෙච්ච ළමයින්ට කොහොම කොහොම හරි උගත්කම දීගෙන රස්සාවකට යන්න ලැස්ති කෙරෙව්වා මිස.”

පසුගිය සතිවල ජෝතිපාලයන්ගේ බිරිය වින්ටර් බ්ලොසම් මහත්මිය හමු වන්නට ගිය අතර වාරයේ වූ රසවත් සිදුවීම් මෙන්ම ඇගේත් තරුණ ජෝතිගේත් හමුවීමේ විස්තර සහ සේයා රූ අපි ඔබට ගෙන ආවෙමු. අද එහි අවසන් කොටස මෙසේ සටහන් කරමි

සේයා රූ එකතු කිරීමේ අටියෙන් නිශ්ශංක අතරමැදින් කියන දෙබස් ඉවසමින් මම බ්ලොසම් මහත්මියගේ මුවින් හැලෙන තොරතුරක් ඩැහැගැනීමේ ප්‍රයත්නයක යෙදෙමි. අරලිය ගහ මන්දීරයේ හිමිකරුවන්ගේ පරපුරෙන් එන බ්‍රිතාන්‍ය ජාතික ඉඩම් හිමි වැවිලිකරු පියකුට සහ උඩරට සිංහල කුල පරම්පරාවක මවකට දාව උපන් දරුවන් සත් දෙනකුගෙන් යුත් පවුලක පෝසත් දියණියක් වූ බ්ලොසම් තරුණිය හෙදියක ලෙස කොළඹ රෝහලකට පැමිණීමෙන් සිය ඉරණම විසඳුණු ආකාරය කෙමෙන් හෙළිදරවු කරමින් සිටින්නීය. තරුණ ජෝතිගේ යහළුවන්ගේ උදව්වෙන් රෙජිස්ට්‍රාර් කන්තෝරු ගොස් මංගල්‍යය ලියාපදිංචි කළ දෙදෙනා පප්පාගෙන් වසන්වීමට විවිධ කුලී ගෙවල වෙසුණහ.

“ඉතින් ඊට පස්සේ?”

“මම අවුරුදු විස්සක් කැනඩාවේ තුන්වෙනි දුව ගාව ඉඳලා මෙහෙ ඇවිත් දැන් අවුරුදු දෙකක් විතර ඇති නේද සුජී. දැන් මෙහෙත් සෙනඟ වැඩියි. අපේ ඉංග්ලන්ඩ් එකෙත් ඉන්නවා නැයො. එහෙ හරි සවුත්තුයි මෙහෙ තව හොඳයි. දැන් පොඩි පොඩි වතුවල ගෙවල් හදලා, කැම බීමත් කිසි රසක් නැහැ. අපේ කොණ්ඩ පවා ඉදිලා. හමත් හංකඩ වෙලා වගේ මොනවාදෝ වෙලා. ඉස්සර මගේ කොණ්ඩෙ මෙතෙන්ට තිබුණා.” දණහිස පෙන්වා කියන ඇයට මම සිනාසී කියමි. “අපෙත් කොණ්ඩෙ නම් ඉදිලා. ඒවා ගණන් ගන්න එපා. අපිට කියන්නකො ඉතින් ලව්ස්ටෝරි එකේ ඉතිරි ටික බැන්දට පස්සෙ? මොකද එච්චර ප්‍රසිද්ධියකුත් නැති දැට් පාල දිස් පාල කෙනකුට කැමති වුණේ?”

“ලව් ඉලව් වෙලා තියෙන්නේ බැන්දට පස්සෙ. (සිනාසෙමින්) කියන්නත් ලැජ්ජයි. අනේ මන්දා මට කියන්න තේරෙන්නේ නැහැ මොකට කැමති වුණාද කියලා. ඒක අපේ දෛවය වෙන්ඩ ඇති නේ? බැන්දට පස්සේ ඉතින් අර විනෝද මුකුත් නෑ. ළමයි ළපටි එක්ක ගිරේට අහුවෙලා. හිරකාරයෝ වෙලා. ඒත් හරි අහිංසකයි ඒ මනුස්සයා හරි නිශ්චලයි.”

“ඒ වගේම ඉතින් උසයි මහතයි ලස්සනයිනේ නේද?”

“මො..න ලස්සනක්ද කෝටු කිතයියෙක් වගේ උසට උසේ. කෙට්ටුම කෙට්ටුයි. ඒ වුණාට ජෝතිට හරි මනුස්ස ගති තිබුණා.” එය වහා නිවැරැදි කරන්නී සුජි අක්කිය.

“ඇයි මමී ඩැඩා කෙට්ටු උස වුණාට හැන්ඩ්සම්නේ ඒ කාලෙත්”

“ඕ..ව් ඉතින් අපි යාළුවොනේ. සුජීට හරි ආදරෙයි ඩැඩා. කොහොම හරි ෂර්ලි තමයි අපිට කළේ මේ වැඩේ. (සිනා සාගරයකි.) නෑ ඉතින් නරකක් නෑ. අපි හරි විදිහට ජීවත් වෙනවා නම් එච්චරයිනෙ. පස්සේ ඉතින් අපි එකතුවෙලා ‘බකප්’ කරලා ගත්තා ජෝතිව.”

“ඇයි මමී, කොහොමත් ඩඩා ඉංග්ලිෂ් මීඩියම්නේ ඉගෙන ගත්තෙත්.” සූජීගේ විරෝධය යළිත්.

“ඩඩා පනිනවා. පන්ති කට් කරනවා. එහෙන් මෙහෙන් කර කර ෂර්ලි අංකල්ලත් ඔක්කොම එකතුවෙලා කොල්ලො කට්ටිය කට්ටි පැන පැන. එහෙම ඉඳලා තමයි ඔය සින්දු කියන්න එහෙම අරගෙන ඔය තරම් ජනකාන්ත ගායකයෙක් වුණේ. අනෙ අම්මෝ කොහෙ කොහෙ හිටපු මිනිස්සුද කොහෙ කොහෙ ඉඳලද දේවල් වුණේ. අපි තැන තැන හිටියා. පාගොඩ දෙමටගොඩ ඔක්කොම ගොඩගොඩවල් තමයි. නැත්නම් පප්පට අහුවෙනවානේ එක තැනක හිටියොත්. පප්පා සැරයි. බනින්නේ ‘ස්ක්‍රීචිං ලයික් අ ග්‍රාස්හොපර්’ (රැහැයියෙක් වගේ කෑගහනවා) කියලා. අම්ම නිසා තමයි අපි ඔහොමවත් බේරුණේ. ජෝතිපාලත් හරි ආදරෙයි අපේ මම්මට. මම ඉතින් උඩරට මැණිකෙනෙ. අපේ අම්මගෙ විදිහට. සුද්දනේ තාත්තා. එඩ්මන්ඩ් වින්ටර්. ජෝතිපාල ඉතින් පාත රටනේ. අනේ මේවා බලාගෙන ගියාම පිස්සු කතා වාගේ. අනිච්චේ දුක්කේ.”

මිටමොළවාගත් දකුණත කම්මුලේ තබාගෙන ඇය කල්පනා කරයි.

“පප්පා රැහැයියෙක් වගේ කීවට මුළු රටක්ම ආදරෙයි ජෝතිපාල මහත්තයගේ හඬට” මම කියමි.

“ඔව් පස්සේ එයාගේ හඬ හොඳට පොලිෂ් වෙලා දියුණු වුණානේ. නරකයක් වුණේ නැහැ අපි බැඳගත්තට”

“බබාලා එහෙම ලැබුණම?”

“හරි ආසයි බබාලට ඔය සින්දු එහෙම කිව්වෙ ඒ ගොල්ලන්ට”

“මතකද ඒවා?”

“ම්.. අනේ මන්දා ඔය එක එක සින්දු කිව්වේ ළමයින්ට තමයි.”

“පුතෙක් හිටිය නම් හොඳ නැද්ද හඬ ගෙනියන්න.”

“එහෙනම් ඔය මොකක් හරි ඇඳ ගනී. අඟර දඟර දායි. ඊට පස්සෙ දඟරෙ තමයි. කකුල් හතරෙන් ගෙදර එද්දි ගැනිටයි වදේ. ආපෝ... මට දුවන්න වෙයි පස්සෙන් තාත්තගේ වගේම පුතේ පුතේ ගගා.” ඇය මතය වෙනස් කරන්නේම නැත.

“දැන් ඔය අලුත් අය එහෙම ඒ සින්දු කියනවානේ? සමහරු ඒගොල්ලන්ගේ වගේනේ ඒවා කියන්නේ” මම කියන්නේ අවුස්සන අටියෙනි.

“කමක් නෑ ... ඉතින්. එහෙමත් ඉන්න එපැයි කට්ටිය. ඒ අය ඒ සින්දුවලට ආසා නිසානේ කියන්නේ නේද? අලුතෙන් එනවනම් කොච්චර හොඳද ඒ වගේ සිංගර් කෙනෙක් නේද?” එහි අරුත් දෙකක් මට හැඟෙයි. එකක් නම් මෙතුමියගේ නිර්ලෝභී, අනුකම්පාසහගත ගුණයයි. දෙවැන්න කවුරුන් කෙසේ ගැයුවත් ඒ ජෝතිපාල නොවන බවයි.

“ආන්ටිත් ෂෝස්වලට එහෙම ගිහින් තියෙනවාද?”

“මුලදි ගියා. පස්සේ කොහෙද ඉතින්. අනෙක මට බෑ ඒ කට්ටියගෙ ඉවරයක් නැති ඉල්ලීම් ඉවර වෙනකල් නිදිමරාගෙන ඉන්න. ජෝති අය්යේ වන් මෝ ප්ලීස්. වන් වන් ජෝති අංක..ල්, ජෝති අය්යා. අනේ තව එකක්. ඉවරයක් නැනේ ඉතින්. සමහරු බීලා කනමදයො වගේ මේ ලෝකෙ දෙයක් දන්නේ නෑ.” තරමක කේන්තියකි.

“ඉතින් ආන්ටිට මොකද හිතුණේ?”

“හිතපු දේවල්ද වෙලා තියෙන්නේ? හපෝ... අපි එව්වට හැඩගැහුණා. වුණේ එච්චරයි, නර්සිං කරං හිටපු මට.”

“ආන්ටිත් පල්ලියේ කොයාර් එකේ එහෙම සින්දු කියනවානේ පුළුවන්කමකුත් තියෙද්දි ඇයි ඒ පැත්තෙන් ගියේ නැත්තේ?”

“මම කොයාර් එකේ හිටියා තමයි. නෑ ඉතින් හිතුවොත් දෙයක් කරන්න බැරිකමක් නැනේද? ඒත් අනේ මම සින්දු කියන්න ගියෙ නෑ අනේ... කට්ටිය හිනාවෙනවා. එයත් එහෙමයි, පප්පා වුණත් කැමති නැහැනේ. (හදිසියේ මතක් වූවා සේ) ගියානම් ඉන්ඩ හම්බෙන්නැති වෙයි. පප්පා වෙඩි තියයිද දන්නෙත් නැ. පප්පා හරි සැරයි.”

“සින්දු කිව්ව නම් තනියම ගෙදර ඉන්න වෙන්නෑනේ ආන්ටි?”

“ඔව්. රෑ එළිවෙනකල් සමහරදාට. දන්නවනේ සනදර්ශනවලට ගියාම. මිනිස්සු විනෝද වනවනෙ. අපේ මිනිහා ගෙදර එන්නෙත් නෑ මිනිස්සු සන්දර්ශනේ දාලා ගෙදර යන්නෙත් නෑ. එයාගේ සින්දු දන්නැද්ද ඉතින් ආදරවන්තයොන්ගෙ සින්දු තමයි. තරුණ කට්ටිය හරි කැමතියිනේ ඒවට. අනේ දැන් නෑනේ ඒ වගේ ගායකයො. (කල්පනා කරයි.) ජෝති සිංහල සින්දු කියන සිංගර් කෙනෙක් වුණාට ළමයි ආසා ඉංග්ලිෂ් පැත්තට... ඕව්...

සුජී අක්කි එය නිවැරදි කරයි. “ඩඩාගේ සින්දු අහනවා අපි. ඒ ඇරුණාම තමයි අහන්නේ ඉංග්ලිෂ් ඒවා. ඩඩා සන්දර්ශනවලට අපිව ගෙනියන්නේ කාටවත් ඇඟේ වදින්න දෙන්නැතිව අත් දෙකෙන් මෙහෙම ‍සෙනඟ ඈත් කරකර. (ඇය දෑතින් සෙනඟ දෙපසට තල්ලු කර ඒ මැදින් රැලිවලට නායකයන් ගෙනයන සහායකයන්ගේ ස්වරූපයෙන් රඟපා පෙන්වයි) අපි එතන කේක් ගෙඩිය වගේ ඉඳලා එනවා කිසිම වැඩක් නැ. සමහර මිනිස්සු සින්දු ඉල්ලන්නේ ‘ජෝති අය්යා මෝරාගෙ සින්දුව...’ කියලා.”

“මම හිතුවේ ඒක කාඩ් එකක් කියලා” මම කියමි.

“නෑ නෑ ඇත්ත. සමහරු ‘ගුලි ගුලී’ කියලා කැගහනවා. අර සුසුදු වැල්ල සින්දුව කියන්න කියලා. අපිට හරි ලැජ්ජයි ඉතින්. අපිට වැඩිපුර බලන්න වෙන්නේ ආච්චිගේ ගෙවල්ගාව කොස්වත්ත හන්දියෙ තියෙන සංගිත සන්දර්ශනේ තමයි. වෙන ඒවාට ලේසියෙන් ගෙනියන්නේ නැනේ.” ඇය වේලාව බලයි. ඇගේ උඩවැඩියා වගාවට වතුර දාන්නට කල් පැමිණ ඇත. අපි ඇය නිදහස් කරමු. මම කොළොප්පමක් කරමි.

“ආන්ටිත් සින්දු කීවා නම් අපි එන්නේ ජනප්‍රිය ගායිකා බ්ලොසම් ගැන ලියන්නනේ?”

“අපි බෝඩිංවල හිටපු හින්දද කොහෙද එහෙම බරක් පතළක් තේරුණේ නැහැ. ඕ..ව් ඔය ඉන්නේ ඇන්ජි (ඇන්ජලින් ගුණතිලක), සුජාතා (අත්තනායක) එහෙම. ඒ ගොල්ලොත් හරි ආදරෙයි මට. සහෝදරියෝ වගේ. ඉස්සර අපේ ගෙදරමයි. හරිම හොඳයි.”

ඒ නම් ගොන්නට මම තවත් නම් එකතු කරන්නට උත්සාහ කරමි. ඇයගේ ප්‍රතිචාරය තරමක් දැඩිය. මුහුණේ වහන්නට එන මැස්සෙකු එලවන්නට මෙන් අත්ල සලන ඇය මෙසේ කියයි. “ගොඩේ අයට හොඳ මනුස්සයෙක් අහුවුණාම රවට්ට ගන්නමයි බලන්නේ. දුවල වුණත් ෆීල්ඩ් එකට යනවාට ජෝති කැමති වුණේ නැනේ. එයා දන්නවානේ වෙන දේ ගියාම.” මම මාතෘකාව වෙනතක යොමු කරමි.

“‍ගෙදර වැඩපළ ගැන අදහසක් ජෝති මහත්තයාට නැද්ද?”

“ඔය සන්දර්ශන එහෙම ඉවර වුණාම වැවිලිකාරයො එහෙම දෙනවා ගෝනි පිටින්. හුඟක් වෙලාවට ජෝති ගෙනෙන්නෙත් නැ. එයාගෙන් ගෝලයෝ ඒ ගෝනි පිටින් ගන්න වෙලාවලුත් තියෙනවානෙ. සමහර විට ගෙදර ගේන්නෙත් නැ. ගෙදරට බඩු ෆ්‍රිජ්වල දාලා තියෙනවානෙ. මමම උයලා තිබුණොත් කන්න ආසයි. අප්පෝ... ලුණුමිරිස්, අච්චාරු එහෙම කන්න හපනා. ඒවා බෝතල් ගණන් හදලා තියනවා. හැබැයි එයා ඕන කුණු ගොඩක් කනවා. කන බනේ එච්චර හොයන්නේ නැහැ. අනෙ අම්මේ... මොන ජීවිතද කියලා හිතෙනවා. හැබැයි හරි ආදරෙයි දරුවන්ට. ඒකමයි පුතෙක් නැති වුණේ.”

ඇගේ ආසාව පුතකුටද? මට නොතේරේ. මම වෙනකක් අසමි. “එද්දි බබාලට මොනවා හරි ගේනවද?”

ඇයට සිනා යයි. “බබාලට ගේන්න තියා එයාගේ ඉන ඉහ කර පවා අතගාගෙන එවන්නෙ මිනිස්සු. හොඳ වෙලාවට ඇඳුම විතරයි. මට ඉතින් අත් උදව්වට අයත් හිටියානෙ. එයාගේ අක්කලා නංගිලාත් මගෙ වැඩවලට උදව් කළා. ප්‍රේමලතා, සුවිනීතා, ට්‍රික්සි, අයිරා එහෙම කියල. වින්ටක්කා කියලා මට කියන්නෙ. හරි ආදරෙයි. අනෙක, අපිට හාල් පොල් එළවලු ඔක්කොම ජාති තිබුණනෙ. අපේ වතුවලින් ගෙදරට හැම දේම එවනවානෙ. ඒකත් එක හේතුවක් මෙයාට නිදහස වැඩිවෙන්න. වගකීමක් බරක් නෑනේ.”

“අලුතෙන් සින්දුවක් එහෙම කීවම ආන්ටිට අහන්න කියලා කියනවද?”

“එ..හෙම පුරුද්දක් තිබුණේ නැහැ අපේ. මම ඉන්ටෆියර් කරන්න ගියෙ නෑ ඊට පස්සේ එයාගේ වැඩසටහන්වලට. ඒක එයාට කරදරයිනේ. ගෙදර අම්මණ්ඩි ගෙදර වැඩ කරගන්න දැනගන්න එපැයි. අනෙක මම ඉංග්ලිෂ් ස්ටේෂන් එකක් දාගත්තාම ඒක අහනවා මිස වැඩිය සිංහල ඒවා ඇහුවෙත් නැනේ.”

“ආන්ටිට ජෝති මහත්තයා අන්තිම සින්දුව කීව දවස මතකද?”

“පණ අදිනවා වගේනේ ඒක. හරි අමාරුවෙන් කීවෙ. මම අහන්නවත් කැමති වුණේ නැහැ. ගෙනියන මිනිස්සු එක්කත් මම සණ්ඩු වෙනවා. අසනීප වුණා කියලා ඒ අය අහන්නෙත් නැ. මේ මනුස්සයා නොගිහින් ඉන්නෙත් නැ. ජෝතිගෙ අම්මලා තාත්තලා කියන දෙයක්වත් අහනවයැ. ‘ඈ බං උඹ නහිනවා. මැරිලා වැටෙනකල් උඹ දන්නැති වෙයි කියලා තාත්තා බනිනවා. ඉතින් ඒ අයටත් බැරිනම් මට පුළුවන්ද? මට පුළුවන් විදිහට, මට ඇතිවෙච්ච ළමයින්ට කොහොම කොහොම හරි උගත්කම දීගෙන රස්සාවකට යන්න ලැස්ති කෙරෙව්වා මිස.”

ඇගේ හඬ සිහින් වී යයි. “යාළුවො එක්කගෙන යනවා හොඳ වෙච්ච ගමන්. ගිහින් බොන්න දෙනවා. ‘මම දාල යන්නෙ නැ මගෙ සුදු රත්තරං’ කියලා කිව්වට දාලා නොගියෙ නැහැ. එපා කියපු දේවල් කොරලා නේන්නං ඔය ගියේ. මට සැර කරන්නත් බෑ පොඩි එකෙක් වගේ එක වෙලාවකට. මට පව් කියලත් හිතෙනවා අනේ මේ වගේ මනුස්සයකුට. අපේ මමි මට බනිනවා ‘අපෝ උඹ යස්සනී වගේ කන්න හදන්නැතුව හිටපාං මේ අහිංසක මනුස්සයාව. නිකං පව් සිද්ධ කරගන්නැතුව හිටපාං. බලපං වචනයක් වත් නොකියා ඉන්න හැටි හිඟන්නා වගේ වැටිලා.’ ඒත් මම කියන්නේ මේ මනුස්සයාව අරං ගිහින් පොවලා පොවලා මැරෙනවානෙ නේද? අපෙ මමි කියනවා. ‘පුතේ ඔය ගිනිවතුර දාගෙන ඇති වැඩේ මොකක්ද? දරුවන්ට ඉන්න එපැයි හයිය ඇති කෙනෙක්.’ එයා එතකොට කියනවා ‘නෑ මමි මම ආයෙ බොන්නේ නෑ.’ ටිකක් ලොකු වෙලා තේරෙන කාලෙ දුවලා කියනවා ‘අනේ ඩඩා බොන්න එපා ඩඩා’ එතකොට එයා කියනවා ‘පුතේ මට සින්දු කියන්න බැනෙ එහෙම නැතුව‘ ‘එහෙනම් අනිත් මාමලා බොන්නේ නැතුව කියන්නේ’ මේගොල්ලො කියනවා. එතකොට එයා අහනවා. ‘කොහොමද ඕගොල්ලො දන්නෙ ඒ අය බොනවද නැද්ද කියලා.’ ඕන්න. ඉතිං කාටද කියන්නේ? මම යාළුවන්ට බනිනවා ‘ආ එනවද බැටැලියන් එක එක්කරගෙන යන්න’ කියලා. ඒ වෙලාවට ‘අනේ අනේ සිස්ටර්’ කියලා මට අඬා වැටිලා මෙයාව එක්කං යනවා. මටනෙ වදේ, මං තනියෙන් කරගහගෙන කෙල්ලො හතරදෙනෙක්. මම අන්තිමට සිගරට් බීලා පෙන්නුවා එයාට. එයා බොනවා නම් හිටපං මමත් එහෙම කරනවා කියලා. මට හිනාවෙලා කීවා ‘අනේ මෝඩකං නොකර නිකං ඉන්ඩ ළමයෝ’ කියලා. එයා කැමති නැ ඒ වැඩේට පුරුදු වෙනවාට. දොස්තරලා කීවා අන්තිමට. හිස් ලිවර් ඉස් ඕල් ගෝන් මෙන්. ජස්ට් ගිවප්’ (එයාගේ අක්මාව ඔක්කොම දිය වෙලා. මේ වැඩේ අතැරලා දාමු) කියලා. දොස්තරලාත් හරි ආදරෙයිනේ වෙලාවකට කියනවා අපිට ජෝතිව ගැටගහලා කූඩුවක දාන්න කියලා. මමත් ඉතින් ඒ ෆීල්ඩ් එකේ හිටිය හින්දා දන්නවා. කටු ඔක්කොම ගහලා ඩ්‍රිප්ස් දීලා තියෙද්දි මට බලන්න පුළුවන්ද? කාට කියන්නද මම? ඉල්ලං කන පරිප්පුවක්නෙ. මනුස්සයෙක් දැනගන්න ඕන තමන්ට බොන්න පුළුවන් ප්‍රමාණය. නෑ ඕක සින්දුකාරයොන්ගෙ හැටිලු නේද? ඒ ගොල්ලන්ට වයින් වෙලා එන්න නම් ඕනලු ඒක” ඇය සුසුමක් හෙළයි.

“මහා සෙනඟක් ඇවිත් ආයෙත් නොඑන්නම එක්කන් ගියා කියලා දැනුනම?”

“නැති වුණාම පාළුවක් දැනෙන්න ගෙදර හිටිය මනුස්සයෙක් වෙන්න එපැයි. මම හැමදාම පාළුවෙන් හිටියේ.” මොහොතක් ඇය මවාගත් තරහකින් සිටියි. පසුව කියයි.

“අන්තිම කාලේ මාත් එක්ක ලෝකෙ හැටි ගැන කතා කළා. හුඟක් දේවල් කීව්වා. වෙනස් දේවල්. මට මතකත් නෑ අනේ... ඒත් නැති වුණ දවසේ මට ලොකුතනිකමක් දැනුණා. මට නම් ඉතින් පාළු සුසානෙක ඉන්නවා වගේ තමයි දැනෙන්නෙ. ඒත් මොනවා කරන්නද ඉතින්. දෛවයේ හැටි තමයි. කොච්චර කතා කරත් වැඩක් නැහැ. අපි ඉපදෙන්නේ මැරෙන්න. එයා දන්නවා හිතුවොත් දෙයක් නොකරන ගැනියෙක් නෙවෙයි මම කියලා.”

සිංහල ගීත කලාවේ ජනප්‍රිය ගායන යුගයක් බිහි කළ යුග පුරුෂයකුගේ බිරිදකව සිට අවුරුදු අසූවක් සපුරන ඇයට ඒ මතකයන්ගේ වේදනාව තවත් උසුලන්නට ඉඩ නොතබන උපායක් ලෙස අපි සුජී අක්කිගේ ඕකිඩ් මල් යාය බලන්නට යමු. මැක්සිගේ පවුල කොටුවක සිට අපට බුරයි. ඇය දුඹුරු පැහැතිය. පැටවා නම් මැක්සිගේ කපාපු පළුව මෙනි. ඒත් වලගය දිගය. මැක්සිට උපතින්ම උරුම වූ කොට වලිගය මෙන් නොව. පිළිකන්න කෙලවරේ බාර්බටන්ඩේසියා පැළ තවානකි. එහි මල් පිරී ඇත. ඒවා වවන, සාත්තු කරන පාඩමක් සුජී අක්කිගෙන් ලැබේ. ඊට යාබද ඕකිඩ් තවානයි. අප සමඟ හරිහරියට ආ වින්ටර් බ්ලොසම් ජෝතිපාල මහත්මිය කඩිසරව හරිතාගාරයේ සැරිසරමින් දිය බට එහා මෙහා කරමින් මලින් පිරුණු උඩවැඩියා ඉති පරීක්ෂා කරන්නීය. “මම ‘බ්ලූමිං බ්ලොසම්ස්’ කියලා මේකට නම තිබ්බේ මමීගෙ නම බ්ලොසම් නිසා. සුජී අක්කි කියයි. අපි ඒ පිළිබඳ කතාවෙද්දි බ්ලොසම් මහත්මිය මල් කිනිත්තක් පිරිමදිමින් මුමුණයි. “මං ආසයි අදත් අපිත් එක්ක ජෝති හිටියනං මේ දරුවන්ගේ දරුවොත් බලන්න.”

අපි තිගැස්සී බලමු.

“මාත් එක්ක ඈත ට්‍රිප් ගිය කාලෙ ජෝති අදත් හිටිය නං...” ඇය කීවේ අපට නොව උඩවැඩියා මලකටය.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.