සමන් - ඩිලාන් කතාබහක...

සමන්ගේ තණ නිල්ල දිගේ ඇදී ගොස් ඩිලාන්ගේ පෑරෙන නෙතු අගට
පෙබරවාරි 14, 2019

''තණ නිල්ල දිගේ

ඇදිලා යනවා

සිත මා පිරිලා

දහසක් නෙතු මා දෙස

යොමු වෙනවා

සිත මා පිරිලා..."

අසූව දශකයේ මුල් භාගයේ බිහිවුණු මේ ගීතයත් සමඟ සමන් ද සිල්වාගේ නාමය මෙරට ගී ලොව අමරණීය නාමයක් බවට පත් වූ බව නොරහසක්. ලාංකේය ක්‍රිකට් වසන්තය තුළ එදා සිට මේ දක්වාම මේ ගීතයට ඇත්තේ සුවිශේෂීත්වයක්. සමන් ද සිල්වා ගැන සුවිශේෂ සඳහනක් කරන්නට විශේෂත්වයක් වූයේ ඔහුගේ නාමය ඉදිරියට ගෙන යන්නට දෙවැනි පරපුර ඉදිරියට පැමිණ තිබීමේ සුබ පණිවිඩය ලාංකේය ගීත රසිකයන් වෙත රැගෙන ඒමටයි. අපේ රටේ ගී පරපුරේ උරුමය මතු මතුවටත් පවත්වාගෙන එන දූ දරු පරම්පරාවක්ම සිටින බව කවුරුත් දන්නා කාරණයක්. එකී දරු පරපුරට සමන්ගේ පුත් ඩිලාන් ද සිල්වාත් දැන් එක් වී ඇත.

තමන්ගේ ලේ උරුමය, පරපුර රැගෙන යන්න සේම, තම දේපල බලා කියා ගන්නා සේම, තමන් ඉමහත් ආදරයෙන් භක්තියෙන් නිර්මාණය කර ගත් නිර්මාණ ගොන්න ආරක්ෂා කර පවත්වාගෙන යාමේ උරුමය ද රැඳෙනුයේ තම දූ දරුවන් වෙතය. දරුවන් විසින් මවුපියන් වෙත ඉටු කළ යුතු යුතුකමක් ලෙස ද එය සඳහන් කළ හැකිය.

අපි දරුවෝ හදන්නේ ඉමහත් බලාපොරොත්තු ඇතුව සේම, නිර්මාණකරුවෙකු නිර්මාණකරණයේ යෙදෙන්නේ ද මහත් වූ කැප කිරීමකින්, බලාපොරොත්තුවකින් යුක්තවය. තම උරුමයන් සමඟ තමන් සතු නිර්මාණ සියල්ල ද ආරක්ෂාකාරීව පවත්වාගෙන යෑම තරම් සතුටක් නිර්මාණකරුවෙකුට තිබිය නොහැකියි.

"අපි ගීත ලෝකයට පිවිසුණේ, ඒ තුළ නමක් හදා ගත්තේ හුඟාක් අමාරුවෙන්. දැන් වාගේ එක රැයින් ජනප්‍රිය වෙලාවත්, එස්. එම්. එස්. මනාප වලින්වත් නොවෙයිනේ. මට මතකයි මම ක්ෂේත්‍රයට ආව කාලේ අපි ගුවන් විදුලියට සම්බන්ධ වුණේ Oudition ගිහිල්ලා. 1976 දී මම ගීත තුනක් ඉදිරිපත් කළා. ඒ කාලේ කටහඬ, ගීතයේ පද රචනය, අර්ථය, ගීත තනුව ඇතුළු සියළු දේ පිළිබඳ ඇගයීමක් කරලා තමයි පාස් කරන්නේ. මගේ හඬ අහලා මුලින්ම පරීක්ෂණ මණ්ඩලය කිව්වේ 'හරිම කඨෝර හඬක්' කියලයි. ඉදිරිපත් කරපු ගීත තුනෙන් එකයි පාස් කළේ. ආයෙත් සැරයක් රෙකෝඩ් කරලා තමයි පාස් කර ගත්තේ.'

සමන් කියන්නේ අතීතෙට ගිහින්. අද කාලේ ගායකයෝ ගායිකාවෝ බිහි වෙනවා දකින කොට ඔවුන්ට පුදුමත් හිතෙනවා ඇති. ඒ කාලේ ඒ වෙනුවෙන් කොයි තරමක කට්ටක් කෑවද කියල මතක් වෙනවා ඇති. ඒත් සමන් කියන්නේ ඒ කට්ට කාලා ආපු නිසා තමයි අද තවමත් මේ විදියට මෙතන රැඳෙන්නේ කියලයි.

'අපි හැමෝටම අතීතයක් තියෙනවා. ඒ අතීතේ මතක තියෙන්න ඕන. වර්තමානය හොඳ වෙන්නත්, අනාගතය ගොඩ නැඟෙන්නත්, මම සංගීත ක්ෂේත්‍රයට ආව අතීතේ මට හොඳට මතකයි. මුලින්ම මම සංගීත කණ්ඩායමක් හදාගෙන හෝටල්වල සිංදු කිව්වා. ඊට පස්සේ තමයි ගායකයෙක් විදියට මතු වෙන්න පටන් ගත්තේ. ජෙම්ටෝන් ලේබල් එකෙන් කරපු අන්තිම තැටි දෙක කළේ මං හිතන්නේ මම. 'පුරහඳ නැඟෙනු' හා 'මුස්තාපා' කියන ගීත දෙක. ඊට පස්සේ කැසට් ආව නිසා කැසට් පැත්තට යොමු වුණා. මට මතකයි ඒ පුංචි EP  තැටි දෙක කරන්න මට පුළුවන් වුණේ අපේ ගායකයා වර්නන් පෙරේරා නිසයි."

"ඒත් සමන් ද සිල්වා ක්ෂේත්‍රයේ ජනප්‍රිය වෙන්නේ 'තණ තිල්ල දිගේ' සින්දුවත් එක්කයි. 1983 දී මේ ගීතය කළේ ක්ලැරන්ස් විජේවර්ධන. එදා ඉඳලා අදටත් ඒ ගීතය එක සේ ජනප්‍රියයි. මට මතකයි මේ ගීතය කැසට් ගීතයක් විදියට කරලා මමයි වර්නන් පෙරේරායි, නිහාල් නෙල්සනුයි ගියා අස්ගිරියට ඒ කාලේ අපේ ක්‍රිකට් නායක බන්දුල වර්ණපුරට කැසට් එක පිළිගන්වන්න. ඊට පස්සේ සින්දුව වීඩියෝ කරලා දුන්නා සුනිල් සිරිවර්ධන. ඒ කාලේ රූපවාහිනී චාර්ට් එකට ගීතය ඇතුළත් කලාට පස්සේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමි වුණේ මේ ගීතයට."

සමන්ට අතීතය හොඳ හැටි මතකය. ඒ නිසාම ඔහුගේ අද දවස මෙන්ම හෙට දවස ද පැහැදිලිය. වත්මනෙහි ඔහු වැඩිපුරම කාලය ගෙවන්නේ විදේශගතවය. හේතුව විදේශ සංගීත සංදර්ශනයන්ය.

"ඇත්තටම කිව්වොත් අද වන විට ලංකාවේ සංගීත සංදර්ශණ හුඟාක් අඩු වෙලා තියෙන්නේ. නිර්මාණයන් බිහි වෙන්නේ ද හුඟාක් අඩුවෙන්. මම මීට අවුරුද්දකට විතර ඉහත දී 'කේන්දරය' කියලා ගීතයක් රෙකෝඩ් කළා. ඊට පස්සේ කළේ නෑ. ඒක සංගීතවත් කළේ අර්නස්ට් සොයිසා. ගීතය රචනා කළේ රොහාන් රූපසිංහ විසින්. අපි අලුතින් ගීතයක් කළත් ඒක ප්‍රචාරය කරගන්න පුදුම තරම් අමාරුවක් තියෙන්නේ. මට විතරක් නෙමෙයි පරණ ගායන ශිල්පීන් හැමෝටම එහෙමයි. ගුවන් විදුලි නාලිකාවක් අපේ ගීතයක් ප්‍රචාරය කළත් කරන්නේ පරණ ගීතයක් තමයි. අද අපේ නාලිකාවලින් ඇහෙන්නේ අමුතු ආකාරයේ ගීතනේ. ඒවට තියෙන්නේ එකම ශෛලියක්. අද ඉන්න ගායකයන්ගේ කටහඬ තෝර ගන්න බෑ. ඉස්සර නම් සී. ටී. ගේ, ජෝතිපාලගේ, මිල්ටන් පෙරේරාගේ, මිල්ටන් මල්ලවාරච්චිගේ, නිහාල් නෙල්සන්ගේ, ඇන්ටන් ජෝන්ස්ලාගේ හඬ වෙන වෙනම අපට හඳුනාගන්න පුළුවන්. හඬ ඇහෙන කොටම කියන්න පුළුවන් මේක කියන්නේ අහවලා කියලා. දැන් නම් හොයාගන්න බෑ කොයි ගායකයා ද මේ ගීතය කියන්නේ කියලා.

සංගීත ක්ෂේත්‍රයේ සමන් ද සිල්වාට තියෙන්නේ වෙනම ශෛලියක්. වෙනම හඬ පෞරුෂයක්. ඒ ශෛලියත්, හඬත් සමඟ ඔහු බොහොම දුර ගමනක් ආවා. ගුවන් විදුලි පරීක්ෂණ මණ්ඩලය කඨෝර හඬක් තියෙන්නේ කිව්වට ඒ හඬින් ඔහු අද සුවහසක් ශ්‍රාවක පිරිසක් ප්‍රීති ප්‍රමෝදයට පත් කරනවා. ඔහු බොහෝ විට ගයන්නේ වේග රිද්මයේ ගීත. කලකට ඉහත වොලී බැස්ටියන් ගයපු 'අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්' වැනි ගීතත් අද පරපුර අහන්නේ සමන් ද සිල්වා නිසයි.

"ඇත්තටම මම කවදාවත් හිතුවේ නෑ මේ විදියට ජනප්‍රිය ගායකයෙක් වෙන්න. මගේ අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්. තාත්තා දිස්ත්‍රික් ඔෆිසර් කෙනෙක්. මම ඉපදුණේ බදුල්ල පස්සරදී. ඒ කාලේ භූගෝලය කරත්දී ඉන්දියාව තියෙන්නේ ලෝක සිතියමේ කොහෙද කියලා මම දැනගෙන හිටියට අනෙක් රටවල් ගැන මම දැනගෙන හිටියේ නෑ. ඒත් අද මම රටවල් වැඩිම ගණනකට ගිය ගායකයෙක් වෙලා. ඒක මටවත් හිතාගන්න බෑ. වෙලාව තමයි. මේ පසුගිය දාක ගිහින් ආවේ 213 වැනි සංදර්ශනයට. මං හිතන්නෙ එංගලන්තයට විතරක් විසි වතාවකට වැඩිය ගිහින් තියෙනවා".

සමන් ද සිල්වා ගායකයෙක් විදියට ගුවන් විදුලි ගීත ගණනාවක් ගායනා කර තිබෙනවා. ඒ විතරක් නොවෙයි කැසට් ගීත මෙන්ම චිත්‍රපට ගීතත් 12 - 13 ක් ගායනා කර තිබෙනවා. ගායන ජීවිතයත් එක්ක බැඳුණ සංගීත කණ්ඩායම් ශිල්පියෙක් විදියට සමන් මේ රටේ ඉහළින්ම වැජඹුණ ශිල්පියෙක්. ඔහුගේ සංගීත දිවියේ ඇරඹුමත් එතැනයි.

"මගේ පළවෙනි බෑන්ඩ් එක People Next Door.. අපි මුලින්ම සෙල්ලම් කළේ ගල්කිස්ස හෝටලේ. දැන් ඒ Band එකේ මම විතරයි ලංකාවේ ඉන්නේ. ඊට පස්සේ මම ලංකාවේ ජනප්‍රිය Band  එකක් වුණ 'සියැක්' එකට සම්බන්ධ වුණා. පස්සෙ කාලෙක 'සියැක්' එක මම මිලදී ගත්තා. අදටත් 'සියැක්' මං ළඟ තියෙනවා. මම සංගීත ශිල්පියෙක් හැටියට හිටියට මට වෙනම වෘත්තීය ජීවිතයක් තිබුණා. 1973 ඉඳල හෝටල්වල සිංදු කිය කිය ඉන්න ගමන් රැකියාවල්වලට ඉල්ලුම් කළා. අන්තිමට මම රාජ්‍ය මැණික් සංස්ථාවේ රැකියාවට ගියා. 1995 ආර්. ප්‍රේමදාස මහත්මයා නැති වුණ දවසෙම මම මැණික් සංස්ථාවේ රැකියාවෙන් අයින් වුණා. ඊට පස්සේ තමයි මම 'සමන් ඇන්ඩ් ද ක්ලෑන්' බෑන්ඩ් එක පටන් ගත්තේ.

වෘත්තීය ජීවිතෙන් ඉහළට ගියා වගේම ජනප්‍රියත්වයෙන් අඩුවක් නොවුණා වගේම ඔහු පෞද්ගලික ජීවිතේ පියෙක් විදියට සාර්ථකත්වය ලැබුවා. අද ඔහු ලොකු මහත් වූ දරුවන් තිදෙනකුගේ දයාබර පියෙක්. ඩිලාන් ඔහුගේ වැඩිමල් පුතා. බාල පුතා ඩුබායි හි රැකියාවක නියුතු වෙනවා. දියණිය විවාහ වී ඔහුගේ නිවෙස අසල පදිංචි වී සිටිනවා.

"තාත්තා කෙනෙක් විදියට මගේ පවුලට, දරුවන්ට මම යුතුකම් ඉටු කරලා ඉවරයි. දරුවන්ට උගන්නලා ඔවුන් තැනකට ගෙනත් තියෙනවා. මගේ පුතාලා දෙන්නම ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පුංචි කාලේ ඉඳන්ම දෙන්නා හැදුණේ වැඩුණේ සංගීත පරිසරයක වුණත් ඉස්කෝලේ යන කාලේ දෙන්නගෙම වැඩි උනන්දුව තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවට. නමුත් දෙන්නම දැන් හොඳ සංගීතඥයෝ. දෙවැනි පුතා බ්ලූම්ෆීල්ඩ් කැප්ටන් වෙලත් හිටියා. දෙන්නම ඉගෙන ගෙන ඉවර වුණාට පස්සේ තමයි සංගීතය පැත්තට යොමු වුණේ. ලොකු පුතා වැඩිපුර ඉගෙන ගන්න පිටරට ගියා. දැන් එයා හෝටල් 17 ක ව්‍යාපාර කළමනාකරුවෙකු ලෙස කටයුතු කරනවා. සති අන්තයේ එයා එයාගේම Band එකක් කරනවා. දෙන්නටම හොඳට සිංදු කියන්නත් පුළුවන්. ඒ අය ලංකාවට ඇවිත් මේ ගීත සහ සංගීත කටයුතු හරියට පවත්වාගෙන නොගියොත් මම පිටස්තර කෙනෙකුට දෙනවා. ඒ මොකද මේ නිර්මාණ අනාගත පරපුරට ඇහෙන්න ඕන. වොලී බැස්ටියන්ගේ සින්දු ටික මම කිව්වේ නැත්නම් අද ඇහෙන්නෙ නෑනේ. ඉතින් මගේ ගීත ටිකත් ඒ වගේ ඇහෙන්න ඕන. ජීවිතේ කිසි දවසක මම මගේ ගීත තුට්ටු දෙකට විකුණන්නේ නම් නෑ. පොල් සම්බෝලයි බතුයි කාලා ඉන්න එක ඊට වඩා වටිනවා. ප්‍රේමකීර්ති ද අල්විස්ලා, කේ. ඩී. කේ. ධර්මවර්ධනලා, ආනන්ද පුංචිහේවලා, සරත් ද අල්විස්ලා, හේමසිරි හල්පිටලා, ෂෙල්ටන් වීරරත්නලා, අර්නස්ට් සොයිසලා, රංජිත් ඩයස්ලා, ක්ලැරන්ස් විජේවර්ධනලා ඇතුළු පිරිස රුපියලක්වත් ගන්නේ නැතුව මේ ගීත හදලා දුන්නේ. එහෙම හදපු ගීත විකුණන්න මට බෑ.

තාත්තා දුක් මහන්සියෙන් හදා වඩා ගත් දේ ඉදිරියට පවත්වාගෙන යාම දරුවන්ගේ වගකීමය. ඒ වගකීම ගන්නට අද සමන්ගේ පුත් ඩිලාන් ද පෙර පැමිණ සිටියි.

"ඇත්තටම කිව්වොත් සමන් ද සිල්වාගේ පුතා විදියට මම හඳුන්වන එක මට ලොකු ආඩම්බරයක්, ගෞරවයක්. තාත්තට කොච්චර මිනිස්සු ආදරෙයිද කියලා අපි දැකලා තියෙනවා. අපිට කෙනෙක් ආදරයක්, ගෞරවයක් දක්වන්නෙත් ඒ පසුබිමේම ඉඳලයි. තාත්තා පිළිබඳ අපට පුංචි කාලේ ඉඳලම සුන්දර මතකයක් තියෙනවා. ගේ ඇතුලේ හැම වෙලේම ඇසුණේ සංගීතය. සින්දු. ගේ පිරිලා හිටියේ ගායක ගායිකාවන්ගෙන්. වාදකයන්ගෙන්. අපිටත් පුංචි කාලේ ඉඳලම ඒ ආභාසය ලැබුණා. ඒ වුණාට පාසල් කාලෙදි මගේ වැඩි අවධානය යොමු වුණේ ක්‍රිකට්වලට. තාත්තත් ඒකට කැමැති වුණා. ඉගෙන ගෙන ඉවර වුණාට පස්සේ තමයි තාත්තගේ උරුමය දිහාට නැඹුරු වුණේ. ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ අවුරුදු 3 ක් විතර තාත්තගේ 'සමන් ඇන්ඩ් ද ක්ලෑන්' බෑන්ඩ් එකේ මම ඩ්‍රම්ස් ගැහුවා. ඊට පස්සේ මම බිස්නස් මැනේජ්මන්ට් ඉගෙන ගන්න එංගලන්තයට ගියා. ඒකට වැඩියෙන් හේතු වුණේ අම්මා. මොකද අම්මට ඕන වුණා එයාගේ බිස්නස් ඉදිරියට මට බාර දෙන්න. ඒ නිසා ඉගෙන ගන්න කාලෙදි ර්භඵඪජ ගැන වැඩිය හිතුවේ නෑ. දැන් ඉගෙන ගෙන ඉවරයි. රැකියාවක නියුතු වෙනවා. නමුත් එංගලන්තයේ ඕචදඤ එකකුත් කරනවා. බොහෝ විට ලංකාවෙන් යන අයට එහෙදි ඕචජඬ කරන්නේ අපේ සංගීත කණ්ඩායම තමයි.

මේපාර ලංකාවට ආවේ ගීත කිහිපයක් කිරීමේ බලාපොරොත්තුවෙන්. මෙතෙක් සංදර්ශනවලදී මම තාත්තගේ ගීත කිව්වා. දැන් මගේම ගීත 2 ක් පහුගිය දවස්වල කළා. ගීත දෙකම රචනා කළේ මනුරංග විජේසේකර. එකක් ගයාන් රැන්ඩි සංගීතවත් කළා. අනෙක දිලාමි තේජන සංගීතවත් කළා. එකක වීඩියෝ එකත් කළා. අනෙක් එක එංගලන්තයේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට සංගීතය පැත්ත ගැන හිතන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

"පෑරෙනා නෙතු අගට

ආදරේ බොඳ වුණා. . ."

මේ ඩිලාන් ද සිල්වාගේ නවතම ගීතය. තාත්තාගේ ශෛලියෙන් මිදුණත් අනාගතයට පිය උරුමය රැගෙන යන්නේ ඩිලාන්. ඒකට ආරම්භයක් විතරයි මේක.

පියාගේ ගමන් මඟ ඉදිරියට ගෙන යන්න එකතු වෙන අලුත් පරපුරේ රෑනට ඩිලාන් ද සෙනෙහසින් එකතු කර ගනිමින් සමන්ට සහ ඩිලාන්ට අපේ සුබපැතුම් එක් කරමු!

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.