අපේ චිත්‍රපටයකට රාජකීය පරපුරෙන් සැලකිලි

දේවින්ද කෝන්ගහගේ
පෙබරවාරි 21, 2019

“ගිරිවැසිපුර චිත්‍රපටය සම්පූර්ණ වැඩ කටයුතු හමාර කර නිල පූර්ව ප්‍රචාරක පටය අද (21) සවස නිකුත් කරනවා. මා දන්නා තරමින් ලංකාවේ පළමු තෛ‍්‍රභාෂික චිත්‍රපටය ලෙස මෙය හැඳීන්විය හැකියි. භාෂාත්‍රයෙන්ම දර්ශන සහ උපසිරැසි සහිතවයි මෙය රූගත කෙරුණේ සහ ප්‍රදර්ශනය වන්නේ.

ඊට වැඩි භාෂා ගණනකින් මෙය හඬකවනවා. මෙවැනි කටයුත්තකට මුලපිරූ ඉතිහාස කතාවක් රැගත් මුල්ම චිත්‍රපටය ගිරිවැසිපුර වීම විශේෂයක්. එනිසයි මෙහි දෙමළ සහ සිංහල පූර්ව ප්‍රචාරක පට දෙකම එකවර අද ජනගත කිරීම සඳහා කොළඹ පදනම් ආයතනයේදී මාධ්‍ය වෙත ලබා දෙන්නේ.

“ සරසවිය වෙත පැමිණි ගිරිවැසිපුර අධ්‍යක්ෂ දේවින්ද කෝන්ගහගේ අපට කීවේය.

ඊට අමතරව ෆේස්බුක් පිටුවක් ඔවුන් ගිරවැසිපුර වෙනුවෙන් වෙන් කර තිබේ. හුදෙක් චිත්‍රපටයක් වෙනුවෙන් වෙන්කළ එකම මුහුණු පොතේ පිටුව මෙය නොවූවත් එහිද වෙනසක් ඇතැයි ඔහු කියූ කරුණු අනුව පැහැදිලි වෙයි.

“මේ එෆ්බී පිටුව ෆිල්ම් එකේ පබ්ලිසිටිවලටම කළ එකක් නෙවේ. චිත්‍රපටයේ තොරතුරු වගේම ඉතිහාස තොරතුරු, විස්තර, අධ්‍යාපනික දත්ත මේ සමාජය තුළ සංසරණය කිරීමේ අරමුණින් කළ එකක්. මොකද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන තියෙන්නේ අපිම හදපු බොරු මතයක්. ඇත්තටම විදේශිකයන් අපට කිසි වරදක් කළේ නැහැ. අපි හැමදාම උත්සාහ කළේ අපේ වැරදි සුද්දා පිටේ දාලා අපේ කුණු සෝදා ගැනීමයි. නුවර රාජධානිය පිළිබඳ තොරතුරු දැනගන්න මේ පිටුව භාවිත කරන්න පුළුවන්. චිත්‍රපටයක් වෙනුවෙන් මෙවන් එෆ්බී පිටුවක් අරඹන මුල්වතාවත් මෙයයි.”

චිත්‍රපටය පිළිබඳ කතාබහකට වඩා ඔවුන් පසුගියදා ඉන්දියාවේ යෙදුණු සංචාරයේ විස්තර මේ මොහොතේ සරසවිය පාඨකයන් සමඟ බෙදා ගැනීම සුදුසු යැයි සිතිණි.

අපි දේවින්දගෙන් ඒ පිළිබඳ විමසමු.

“පූර්ව ප්‍රචාරක පට ඉක්මනින්ම ලංකාවේ නිකුත් කළ යුතු බවට අදහස එන්න හේතුවත් ඉන්දියන් සංචාරයම තමයි. ගිරිවැසිපුර නිෂ්පාදනය අවසන් කර විශේෂ දර්ශන වාර දෙකක් සහ මාධ්‍ය හමුවක් අපි පැවැත්වූවා. ඒ තොරතුරු සරසවිය ඇතුළු මාධ්‍යවල පළවුණා. වඩා වැදගත්ම කාරණාව අපේ නිර්මාණ ඉලක්ක කරන්නේ සිංහල ජනසමාජය පමණයි. ඒත් ගිරිවැසිපුර මේ රටේ සමස්ත ජනතාව ඉලක්ක කරනවා. සිංහල චිත්‍රපටයක් බලන්න ගිය දෙමළ ජනතාව කවුද කියලා ඇහුවොත් එවැනි අය නැති තරම්. ඒත් දේශීය වශයෙන් අපේ නිෂ්පාදනය ජනවර්ග සියල්ලටම නැරඹිය හැකි එකක් කිරීමයි අපේ අරමුණ වුණේ. ඒ වගේම නොසිතූ විරූ ලෙස දෙමළ මාධ්‍ය අපට ප්‍රචාරය ලබාදෙන්න ගත්තා. ඉන්දියාවෙත් වාර් තා වුණා, මෙය යථාර්ථවාදී පර්යේෂණාත්මක කෘතියක් බව. ඉන්පසු ඔබේ ලේක්හවුස් ආයතනයේ තිනකරන් පුවත්පතේ මාධ්‍ය වේදියකු වන මනි ශ්‍රීකාන්තන් වෙල්ලෝර් ජාතිකයකු ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ අපට වඩා පර් යේෂණ කර ලිපි පළ කළ අයකු ලෙස මේ චිත්‍රපටය පිළිබඳ පණිවිඩය ඉන්දියාවට ගෙන ගොස් තිබෙනවා. ඒ අනුව ඉන්දීය මාධ්‍ය වගේම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් පැවැතෙන 6 සහ 7 වැනි පරම්පරාවලට අයත් රජකුමාරයන්.”

ලංකාවෙන් පිටකරන වෙලාවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට දරුවන් සිටිබව සඳහන් වන්නේ නැහැ?

“ඔව්. ඒත් වෙල්ලොරෙට ගිහින් සිර අඩස්සියේ ඉන්න අතර දෙවැනි බිසවට දරුවන් දෙදෙනකු ලැබිලා, එක්කෙනෙක් විතරයි ජීවත් වන්නේ. ඔහුගෙන් පැවතෙන 6 වැනි පරපුරේ බාලුරාජාට දැන් වයස 65ක්. ඔහුටත් පුතෙක් ඉන්නවා හරිහර රාජා කියලා. 7වැනි පරපුරේ ප්‍රධානියා අශෝක් රාජා තමයි රජු හැටියට සලකන්නේ. ඔහු අවිවාහකයි. වයස 40ක්. ඒත් ඔවුන් දැන් සාමාන්‍ය ජන ජීවිතයට හුරු වෙලා. මේ පරපුරේ පුදුමය තමයි පරම්පරාව විසින් රජු ලෙස සලකන කෙනා එක්කෝ බඳීන්නේ නැහැ. ශ්‍රී වික්‍රම වගේ බැන්දත් ළමයි නැහැ වගේ දේවල් සිදුවීම. ඒ නිසා පරපුර එහාට යයිද කියලා ප්‍රශ්නයක් තිබෙනවා.”

මේ පරපුර හරියටම හඳුනාගන්න ලංකාවෙන් ඔබට සාක්ෂි තිබුණාද?

“රජු අල්ලගෙන ගියාට පස්සේ ඉන්දියාවේ ආණ්ඩුකාරවරයා කිව්වලු ලංකාවෙන් ගෙනා පිරිසක් අපට නඩත්තු කරන්න බැහැ කියලා. ඒ නිසා රොබට් බ්‍රවුන්රිග් මේ රටේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා සන්නසකින් අණක් නිකුත් කරනවා මේ අයව ජීවිත කාලය පුරාම නඩත්තු කරන්න වෙල්ලෝර් බලකොටුවට මුදලක් යවන්න කියලා. ඒ අනුව එදා සිට 1965 වනතුරු ලංකා රජයෙන් ඉන්දියාවේ වෙල්ලෝරයේ වෙසෙන මේ පරපුරට වේතනයක් නැත්නම් ඩෝල් එකක් යවලා තිබෙනවා. එයින් පවුල් 25ක් රැකිලා තිබෙනවා. ඒය අවසානයට ලැබූ කෙනා තමයි බාලු රාජා. කොහොම වුණත් අවුරුදු ගාණක් තිස්සේ මුදල් එකතු කරන්නන් නැත්නම් කලෙක්ටර්වරු මාරු වෙද්දි තමන්ගේ පඩියටත් වඩා විශාල මුදලක් ලංකාවෙන් එන පවුල මොකක්ද කියලා බැලුවලු. එතකොට තමයි දැනගෙන තියෙන්නේ මේ ලංකාවෙන් ආ රජ පරම්පරාවක අය කියලා. කොහොම වුණත් 1965 විවිධ දේශපාලන හේතු නිසා මේ මුදල නවත්වා තිබෙනවා. මම නම් එය අමානුෂීය දෙයක් හැටියට දකින්නේ. හැබැයි ඒ තත්ත්වයට සහනයක් වෙන්න මේ ලේක්හවුස් ආයතනය රජ පවුලට උදව්වක් කර තිබෙනවා. අර ඩෝල් එක නතර කළාම මේ පවුල්වල විශාල කඩා වැටීමක් ඇතිවෙනවානේ. පිරිස සී සීකඩ යනවා. මේවා බාලුරාජාගේම වචන. ඔවුන්ට කන්න අඳීන්න බෙහෙතක් හේතක් කරගන්න මුදල් නැතිව දුගී බවට පත්වෙනවා. මොකද ඔවුන් කවදාවත් තව කෙනකු යටතේ රැකියාවක් කරන්න පුරුදු වෙලා නැහැ. ඒත් මේ වැඩේ නිසාම ඔවුන්ට රැකියා සොයාගෙන යන්න සිදුවෙලා. ඒ අතර බාලුරාජාගේ නංගිට 1960 දශකයේ හිටපු අපේ අග්‍රාණ්ඩුකාරවරයකුගෙන් මංගල යෝජනාවකුත් රැගෙන එහි බලන්න ගොස් තිබෙනවා. ඒත් ඔහු රජ පෙළපතේ නොවන නිසා නංගි කැමති වෙලා නැහැ. ඒත් ආණ්ඩුකාරවරයා ඒ පවුලට කරන සැලකීමක් ලෙස ඇගේ මල්ලි කෙනෙක් ලංකාවට කැඳවාගෙන ඇවිත් ලේක්හවුස් ආයතනයේ රැකියාවක් ලබා දී තිබෙනවා. ඒත් ඔහු පඩියකට වැඩ කරලා හුරු නැති නිසා ගෝල්ෆේස් එකේදි මුහුදට පැන සියදිවි නසාගන්න උත්සාහ කර තිබෙනවා. ඒත් එය කවුරුන් හෝ දැක වළක්වලා. පස්සෙ ආයේ ඉන්දියාවට යවලා. ඒත් ඔහු ආපසු මදුරාසි වෙරළේදී සියදිවි නසාගෙන. දැන් නම් ඒ පිරිස සාමාන්‍ය ජීවිතයට හුරු වෙලා. හරිහරරාජා මදුෙරෙවල ඉහළම පෙළේ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. බාලුරාජා වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍ර යේ ප්‍රවීණයෙක්. අශෝක්රාජා ඉහළම පෙළේ ව්‍යාපාරිකයෙක්. මේ අයට රජකාලේ ඉඳන්ම කියූ නම තමයි කන්ඩි රෝයල් ෆැමිලි ඔෆ් මදුෙරෙ. සුද්දො ඒ දුන්න නම නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නිවාස අඩස්සියේ රඳවා තැබූ නිවෙසෙ නමත් කණ්ඩි මහල්. එය ලංකාවේ සිරගේ වගේ නොවේ. ලොකු තට්ටු දෙකේ බංගලාවක්. එකම වෙනස යකඩ දොරවල් තිබීම විතරයි. උදේ 6ට එළියට දාලා හවස 6ට ඇතුළට දානවා. සුද්දො තෑගි කළ චෙස් පුවරුවේ රජුගේ ඉත්තන් රතු පාටටත් සුද්දන්ගේ ඉත්තන් සුදුවටත් තිබිලා තියෙන්නේ. මානසික ආතතිය නැති කරන්න තනියම චෙස් ක්‍රීඩා කරලා රජු සුදු ඉත්තන්ව පරද්දනවලු. මොකද තමන්ගේ රටත් තමන් රජකරපු රටත් අල්ලපු සුද්දන් සමඟ තිබුණු කෝපයට.“

රජු එහිදී යම් සුවපහසුවකින් ඉඳ තිබෙනවා?

රජු නැවේ යන ගමන් කෝකියකු ලෙස කෑමත් උයලා දුන්නු බවට සටහන් තිබෙනවා. ඔහු සාමාන්‍ය ජීවිතයට පුරුදු වෙලා තිබෙනවා. වෙල්ලෝරයේදී මිය යනතුරුම සුවපහසුව සිටි බවත් කියැවෙනවා. මේ චිත්‍රපටයේ මම කියන්නෙත් සරල මිනිසෙක් රජෙකු විය රජකු වහලෙකු විය වහලා නැවත සරල මිනිසකුම විය කියලා. 1815 පෙබරවාරි 10 නුවරට යන පිරිස දින අටක මෙහෙයුමකින් පස්සේ පෙබරවාරි 18 වැනිදා මැදමහනුවර බොමුරේ උඩුපිටියේ ආරච්චිලගේ වලව්වේදී අල්ලගෙන කෲර ලෙස පහර දෙනවා. අදටත් ස්මාරකයක් තිබෙනවා. එතැන නායකත්වය දුන්නේ එක්නැළිගොඩයි, කිරිපෝරුවේ මොහොට්ටාල කියන ගෝලයයි. ඒ අය බිසවට ගහලා කන් ඉරලා කෲර ලෙස සලකද්දි මෙතැන ඉඳලා තියෙනවා දොන් දියෙස් කියලා පුද්ගලයෙක්. ඔහු ඉන්දියානු බ්‍රිතාන්‍ය හමුදාවේ භාෂා පරිවර් තක. ඔහු තමයි හොරෙන් තුණ්ඩුවක් ඩොයිලිට යවන්නේ රජු රැකදෙන්න කියලා. ඔහුටත් පහර දෙනවා එක්නැළිගොඩලා. මේ දොන් දියෙස් කියන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අපේ හිටපු අගමැතිගේ මුත්තෙක්. පස්සේ ඔවුන් යනවා තෙල්දෙණියට. එතැන වී ගබඩාවක ඩොයිලි රැකවල් ලාගෙන ඉන්නවා. එතැන භාෂා පරිවර්තක දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන කියලා කෙනෙක්. ඒත් ඉන්දියානු පුද්ගලයෙක්. ඔහු ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමන්ගේ මුත්තෙක්. ඒ බව ජයවර්ධන මහත්මයාගේ පොතෙත් සඳහන් කරලා තිබෙනවා. මේ අය තමයි පස්සේ පරම්පරාවලදි ලංකාවට සේන්දු වෙලා නායකත්වය ලබා ගන්නේ. ඉතින් අපේ බල අරගලය කොහෙද තියෙන්නේ කියලා ඔබට හිතාගන්න පුළුවන්නේද...රජු ගෙනගිය වරාය, ජැටිය තවම තිබෙනවා. ඉංග්‍රීසි හමුදාව රජු වෙල්ලෝරයට ගෙන ගොස් තිබෙන්නේ පෙරහරකින් ඇතකු පිටයි. රජුගේ පවුලේ සියලු දෙනා බිරින්දෑවරු හතරදෙනා සමඟයි එහි ගියේ. රජ වෙන්න පෙර සිටම ආදරය කළ වෙන්කට් රංගම්මාගේ සහ රජුගේ ආලේඛ්‍ය චිත්‍රය තමයි අපට දකින්න ලැබෙන්නේ. මානසික පීඩනය වැඩි වෙද්දි එය නිදහස් කර ගැනීමට තමයි තව බිසෝවරු තිදෙනෙක් රජු ගත්තේ.

මම නම් කියන්නේ 1818 කැරැල්ල ගැන මහ ලොකුවට අපේ අය කීවට එය අන්තිම අසාර්ථක කැරැල්ලක්. එය සාර්ථක වුණානම් සුද්දො යන්න ඕනා. අපේ හිටිය වීරයෝය කියන අට දෙනකු විතර හිස ගසාදාලා මැරුවා. සමහරු මුරුසියට යැව්වා. අපි ජාතියක් විදිහට හරියට දිනූ අන්තිම කැරැල්ලට නායත්වය දුන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුයි, ලෙව්කේ දිසාවයි, පලිපාන මොහොට්ටාලයි. 1803 යුද්ධය කෙතරම් දරුණුද කිව්වොත් මාස 6ක් සුද්දට ගහලා හංවැල්ල වෙනකම් ඇවිත් අවිස්සාවේල්ලෙන් බැහැලා තියෙන්නේ. ශ්‍රී වික්‍රම රජුට වැරදුණේ තමන් රජ වෙද්දි අවුරුදු 18 නිසා පිළිමතලාවෙට රජ කරන්න කියලා අවුරුදු පහක් ලබා දීම නිසායි. දේශපාලන මංමුළාවකට යොමු කළ රජකු වීම නිසා සිදු වූ ඇබැද්දිය ලාංකිකයන් විසින්ම කරගන්නා ලද දෙයක්. සාමකාමීව වෙරළ තීරයේ සිටි සුද්දන් කුලප්පු කරලා ආරාධනා කරලා ඔවුන් රවටලා සුද්දන්ට කියලා ගස්සා ගත්තේ අපි. එතෙක් සුද්දන්ට ලන්දේසීන් සමඟ මිස අපිත් එක්ක සටනක් තිබුණේ නැහැ. 1803 පුවක් ගැලේ සටනින් පිළිමතලාවේ උත්සාහ කළේ සුද්දා ශ්‍රී වික්‍රම රජු මරා මට රජකම දුන්නා කියන්නයි.

ඔබ ඉන්දියාවට කැඳවුවේ අර නෑ මුනුපුරන්ද?

ඔවුන්ගේ අනුග්‍රාහකත්වය වගේම ස්තුතියත් මට ලැබුණා රජු පිළිබඳ තිබූ වැරැදි මතය වෙනස් කරන්න සිනමා කෘතියක් නිර් මාණය කිරීම සම්බන්ධව. රජු මිය යන්නේ 1832 ජනවාරි 30 එඩීමා කියන කකුල්වලට වතුර පිරෙන රෝගයකින්. අවුරුදු 52දි. මේ ජනවාරි 30ට රජු මියගොස් අවුරුදු 157ක්. රජ පරපුර කියන ආකාරයට රජු ඉපදී තිබෙන්නේත් 1780 ජනවාරි 30 වැනිදාකමයි. වෙල්ලෝරයේ පලර් කියන ගඟ අසබඩ තිබෙනවා මුතුමණ්ඩපය කියා කුඩා තැනක්. ඒ රජු, බිසව සහ පසු පරපුරුවල අයගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබෙන තැන. පස්සේ කරුණා නිධි එතැන නෙළුම් මලක හැඩයට ස්මාරකයක් තනා තිබෙනවා. එතැන වසරක් පාසා ජනවාරි 30 ගුරුපූජා කියලා, කපුරු පත්තු කරලා, බෙරගහලා රාජ්‍යත්වයෙන් අනුස්මරණ උත්සවයක් පවත්වනවා. ඒකට මාධ්‍ය වගේම ඒ පරපුරට අයත් සියලුම දෙනා එනවා. අදටත් ඔවුන් පෙළපතින් පිට බඳීන්නේ නැහැ. මේ අය නායක්කාර් වංශික, නයිඳු තෙළිඟු. මොවුන්ගේ දෙවැනි බස තමයි දෙමළ. මේ උත්සවයට මමත්, ශ්‍රී වික්‍රම සහ වෙන්කට් රංගම්මා චරිත මවන පුබුදු චතුරංගත්, නිරංජනී ශන්මුගරාජාත්, ගීත රචක අස්මින් උතුමාලෙබ්බේ, ශිරන්ත අමරසිංහ විධායක නිෂ්පාදක සහභාගී වුණා. පළමු වතාවට මහජන ප්‍රදර්ශනයක් ඒ පිරිසට පැවැත්වූවා. ඒ පරපුරට උපහාරයක් පිණිස දෙමළ පූර්ව ප්‍රචාරක පටය අපි නිකුත් කළා. ප්‍රධාන රූපවාහිනී සහ පුවත්පත් එය පිළිබඳ ප්‍රචාරය කළා. අපි යද්දි රජු වෙනුවෙන් කළ උපහාරයක් ලෙස චිත්‍රපටයේ ඵලකයක් තනාගෙන ගියා. එය මින් මතු හැමදාම මුතුමණ්ඩපයේ ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ වගේම චිත්‍රපටයටත් අපටත් උපහාරයක් ලෙස රජ පෙළපතින් පිදෙන විශේෂ කඩුවක් ඔවුන්ගේ නම යොදා අපට ප්‍රදානය කළා. එය සංස්කෘතික හා දේශපාලන වශයෙන් වැදගත් දෙයක් ලෙසයි මාධ්‍ය ප්‍රචාරය කළේ. එතෙක් මෙතෙක් තමිල්නාඩුවේදී අපේ රටේ කිසිදු චිත්‍රපටයක් පිළිබඳ ප්‍රචාරයක් ලබා දී නැහැ. මේ පළමු වතාව.

එයට හේතුව?

එකක් රජු පිළිබඳ යථාර්ථවාදී දෘෂ්ටියකින් චිත්‍රපටය නිපදවීම. මොකද අද අපි දකින දළදා මාළිගය, වලාකුළු බැම්ම, දියරැලි බැම්ම, පත්තිරිප්පුව, වාහල්කඩ ආදී සියල්ල දේවේන්ද්‍ර මූලාචාරීන් කියන ගෘහනිර්මාණ ශිල්පියා නැඟෙනහිර පළාතෙන් ගෙන්වාගෙන කළ දේවල්. විජේසුන්දරාරාමය වැනි පන්සල් ආදිය තැනූ රජුගේ පිළිමයක් අද නුවර නැහැ. කෞතුකාගාරයේ තිබෙන්නේ එක පින්තූරයයි. ඒ වගේම මේ චිත්‍රපටය ලංකාවේ තැනුණු අනෙක් ඉතිහාස කතා වගේ කටකතා මත පදනම් නොවී පැහැදිලි පර්යේෂණයකින් පසු කළ කෘතියක්. මම පොඩි උදාහරණයක් කියන්නම්. ශ්‍රී වික්‍රම රජ වෙන්නේ 18න් අල්ලාගන්නේ 35න්, රට යවන්නේ 36න් මිය යන්නේ 52න්. ඒත් අපේ රටේ ඒ රජුට රඟපාන්න ගන්නේත් අවුරුදු 50 පැනපු නළුවන්. ඊට පස්සේ බොන්න පුරුදු වුණා, ඇහැලේපොළලගේ බිරින්දෑවරු ඇඳට ගත්තා, ඔය කියන පළිගැනීම් ඔක්කොම කළේ මොල්ලිගොඩලගේ පිරිස. එයට පාවිච්චි වුණේ රජු. වරද පර්යේෂණාත්මක නොවීම. මම මේ කෘතිය කරලා කොහොම රට බාර ගනීද කියලා හිතද්දි මහාචාර් ය ගණනාත් ඔබේසේකරයන්ගේ පොත එළි දැක්වෙනවා. එය මගේ කෘතියට වඩා දරුණුයි. අපි ඉන්නේ එදා විවිධ දේශපාලන බලවතුන්ගේ අවශ්‍යතා මත ලියැවුණු ඉතිහාසයක් ඇත්ත කියලා හිතාගෙන. ලංකාවේ සිනමා කෘතියක් තෙළිඟු, මලයාලම්, දෙමළ කියන භාෂා තුනටම පරිවර්තනය කරලා හඬ කවලා අලෙවි කරන්න කටයුතු සූදානම් කර තිබෙන්නේ. අනෙක අපට ඉන්දියාව වගේ සිනමා ලෝකයක තරග කරන්න පුළුවන්ද? ඒත් ඒ අය කියුවේ බාහුබලි, පද්මාවත් වගේ ෆැන්ටසියකට නොගිහින් ගිරිවැසිපුර යථාර්ථවාදීව නිපදවා තිබෙනවා කියලා. රජුයි බිසවයි නටන්නේ සාමාන්‍යයෙන් අපිට ගෙදරදි නටන්න හිතුණොත් බැරි බැරි ගානේ නටන විදිහට මිස නැටුම් ශිල්පීන් වගේ නෙවෙයි. කේබල් ෆයිට්, ඩාන්ස්, ලයිට් දාලා, ග්‍රැෆික් ඉෆෙක්ට් කියලා මුකුත් නැහැ. එදා නුවර මෙහෙම තියෙන්න ඇති කියලා ඇත්තටම හිතෙනවා කියලයි. අපි යන්න හදනවා ඉන්දියාවේ ෆැන්ටසියට. ඉන්දියාවේ මිනිස්සු කියනවා මේ වගේ යථාර්ථවාදී චිත්‍රපට ඉන්දියාවේ හදන්න බැරි ඇයි කියලා. ඉතින් මමත් විදේශීය සම්මාන දෙකක් දිනාගත් කෙනෙක්. ඒත් ලාංකීය සිනමාව විදේශීය ප්‍රේක්ෂකයන් වැලඳ ගත යුත්තේ මේ ආකාරයෙන් කියලයි මම විශ්වාස කරන්නේ. කෘතියක් රටක් විසින් වැලඳගත්තාම එන තෘප්තිය කෙබඳුද කියන දේ අපි අත්වින්දා.

අපේ අය කෙසේ වැලඳගනීද ගිරිවැසිපුර?

ඒක ප්‍රශ්නයක්. ඒ ජනතාව ඇජන්ඩා සහිතව සිංහල, දෙමළ කියලා නෙවෙයිනේ මේක බලන්නේ. අපේ කෙනකුගේ ඉතිහාසය ගෙවුණේ කොහොමද කියලා. ඒත් ලංකාවෙදි බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම්, සංස්කෘතික උරුමය කියල කෑලිවලට කැඩෙනවා. අපේ අය ගොඩාක් ඇජන්ඩා එක්කයි මේ කතාව බලන්නේ. එහෙම නැතුව ලාංකිකයන් ලෙස මේ කෘතිය දෙස බලන්න. ගොඩාක් අය සංහිඳීයාව ගැන කතා කරන්නේ නිර් මාණයේ රූපරාමු තුළ. ඒ මාකටින් විතරයි. ඒත් ආකල්ප ගත්තොත් එහෙම නැහැ. අපේ කෘතිය පිටුපස සංහිඳීයාව තිබෙනවා. මම සිංහල බෞද්ධ අධ්‍යක්ෂවරයෙක්, රඟපානවා සිංහල දෙමළ අය, සංගීතය සපයන්නෙ බිබිලාදෙණියේ මහානාම හිමි, සින්දුව ලියන්නෙ මුස්ලිම් අස්වින්, ගායනා කරන්නේ සිංහල ක්‍රිස්තියානි මීනා ප්‍රසාදිනී, නිෂ්පාදනය කරන්නේ සිංහල බෞද්ධ ආයතනයක් බෙස්ට් ලයිෆ් ඉන්ටනැෂනල් ආයතනයේ දමින්ද උපාලි ප්‍රනාන්දු සභාපති, ශිරන්ත අමරසිංහ විධායක අධ්‍යක්ෂ සමඟ ඔවුන්ගේ ජාලයේ සියලු ජාතීන් ඉන්නවා ඇති, කතාකරන්නේ දෙමළ රජකු ගැන. ඉතින් අපි හැමෝම අපේ කොටස් නිවැරැදිව කරනවා. අපි අපිව රකිනවා. ඒකයි සැබෑ සංහිඳීයාව. අපි කාලයක් එහෙම හිටියා. ඒත් දැන් ඒක ලේබල් ඇතුළේ විතරයි. අපි උත්සාහ කරන්නේ ප්‍රායෝගික සංහිඳීයාවට මිස රූප රාමු තුළ හිරවුණු සංහිඳීයාවකට නෙවෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.