ඉන්දියානු නාට්‍ය අපි විකාශය කරන්නේ නැහැ

වොයිස් ඔෆ් ඒෂියා විධායක අධ්‍යක්ෂ අනුර සිරිවර්ධන
පෙබරවාරි 21, 2019

නාළිකාවක ජනප්‍රියත්වය තීරණය කරන්නේ ප්‍රේක්ෂකයන්
- සියත අධ්‍යක්ෂ වැඩ සටහන් ජය ශ්‍රී විජේරත්න

කටින් කට යන ප්‍රචාරයත් එක්ක සියත නරඹන්නට වැඩි දෙනා කැමැත්තෙන් ඉන්න වගක් පේනවා. අප විකාශ බල ප්‍රදේශය වැඩි කර ගන්නට කටයුතු යොදමින් ඉන්නවා. ඒ වගේම ප්‍රවර්ධනය සඳහාත් දැවැන්ත වැඩ පිළිවෙලක් අප දැනටමත් කරගෙන යනවා.

සියත ගැන ඔබට සතුටුද? පළමුව කියන්න ඒ ගැන?

ඇත්තටම සතුටුයි. අපි මේ වෙලාවේ ඉන්නේ ජය මාවතකට ගමන් කරන අවස්ථාවක. වෙනදාට වඩා ප්‍රේක්ෂකයන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඇතැමුන් ගුණදොස් කියන්න අපටම කතා කරනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනෑ. ලංකාවේ නාළිකා අතර සමබරම ප්‍රවෘත්ති කියන්නේ අපි. ඉතාම වගකීමකින් තමයි මං ඒක කියන්නේ. අපේ ප්‍රවෘත්ති ගැන පාර්ලිමේන්තුවේ පවා කතා වුණා.

අලුත් වැඩ සටහන් කිහිපයක්ම ඔබ නාළිකාවේ විකාශය වෙනවා නේද?

ඔව්. ප්‍රතිපත්තිමය තීරණයක් මත ඩබිං කරපු ඉන්දියානු නාට්‍ය අපි විකාශය කරන්නේ නැහැ. ලංකාවේ නිර්මාණකරුවන්ට පමණයි අපි තැන දෙන්නේ. ටෙලි නාට්‍ය වුණත් අපේ ඒවාම තමයි ටෙලිකාස්ට් කරන්නේ. අපේ මෝර්නිං ෂෝ එකක් පටන් ගත්තා ගුඩ් මෝර්නිං ශ්‍රී ලංකා කියලා. සුන්දර ශනිදා, සුන්දර ඉරිදා නමින් එය සති අන්තයේ විකාශය වෙනවා. සෙවන් නෝට්ස් කියලා චැට් වැඩ සටහනක් යනවා. දිවි සැරිය නමැති කාලීන ප්‍රශ්න ගැන කතා කරන වැඩ සටහනත් හොඳ ජනප්‍රියත්වයක් ලබලා තියෙනවා.

සෙවන් මෝට්ස් වැඩසටහන ගැන මදක් වැඩියෙන් සඳහනක් කළොත්?

ඒක තමයි සියත නාළිකවේ තිබෙන ජනප්‍රියතම වැඩසටහන. ගායන ක්ෂේත්‍රයේ් දෙන්නෙක් රංගන ක්ෂේත්‍රයේ දෙන්නෙක් ව්‍යාපාරික සහ වෛද්‍ය, මාධ්‍ය ක්ෂේත්‍රයේ තිදෙනෙක් මේ සඳහා අප කැඳවනවා. ක්ෂේත්‍ර කිහිපයක් නියෝජනය වන නිසා වඩා වැඩි ප්‍රේක්ෂක කණ්ඩායමක් එය නරඹනවා. සෙවන් නෝට්ස් වැඩ සටහන ලයිව් විකාශය වෙන්නේ. කෝල්ස් එන ප්‍රමාණයත් හිතාගන්න බැහැ. ඉසුරු ලොකුහෙට්ටිආරච්චි වැඩ සටහනේ පූරක වශයෙන් කටයුතු කරනවා. මනෝජ් පීරිස්ගේ සම්බන්ධීකරණය වැඩ සටහනට ශක්තියක්.

ඉකුත් වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යයට හිමි සම්මානයත් ඔබ නාළිකාවේ විකාශය වූ නාට්‍යයකට හිමි වුණා. ඒ සඳහා විවිධ චෝදනා එහෙමත් ආවා?

නාළිකාවක් ජනප්‍රිය ද නැද්ද කියන එක තීරණය කරන්නේ ප්‍රේක්ෂකයා. සමීක්ෂණ වාර්තා ඔස්සේ ඒක ඔප්පු කරන්න පුළුවන්. ඒවා කාටවත් බොරු කරන්න බැහැනෙ. සමීක්ෂණ වාර්තාවලට අනුව අපි අනෙකුත් නාළිකා හා සමානවම ඉන්නවා. සමහර නාළිකා අබිබවා යන්නටත් අපට පුළුවන් වෙලා තියෙනවා. අපේ නාළිකාවේ උදෑසන විකාශය වන ජනප්‍රිය කෙනෙකු ගෙන්වන වැඩසටහනට ප්‍රේක්ෂකයන්ගෙන් එස්. එම්. එස්. කැඳවනවා. පූජා උමා ශංකර් ආව දවසේ එවපු එස්. එම්. එස් සංඛ්‍යාවට මට පුදුමත් හිතුණා. එය දෙවැනි වුණේ එක්තරා රූපවාහිනී රියැලිටි වැඩසටහනකට පමණයි.

සියත නාළිකාව ඇතැම් ප්‍රදේශයන්ට පෙන්නේ නැහැ කියලා ප්‍රේක්ෂකයින් මැසිවිලි නගනවා?

කටින් කට යන ප්‍රචාරයත් එක්ක සියත නරඹන්නට වැඩි දෙනා කැමැත්තෙන් ඉන්න වගක් පේනවා. අප විකාශ බල ප්‍රදේශය වැඩි කර ගන්නට කටයුතු යොදමින් ඉන්නවා. ඒ වගේම ප්‍රවර්ධනය සඳහාත් දැවැන්ත වැඩ පිළිවෙළක් අප දැනටමත් කරගෙන යනවා.

සිනමා වැඩසටහනක් නොමැති වීම සියත නාළිකාවට අඩුවක් නේද?

සිනමා වැඩ සටහනක් නොමැති වුණත් අඩු වැඩි වශයෙන් සිනමාවට වගේම තිරගත වන සිනමාපටවලටත් ප්‍රචාරයක් ලබා දෙනවා. කිසිසේත්ම සිනමාව අමතක කරලා නැහැ.

කොහොමද සියතේ ඉදිරිය?

වොයිස් ඔෆ් ඒෂියා අපේ විධායක අධ්‍යක්ෂ, අනුර සිරිවර්ධන මහත්මයා නිරන්තරයෙන්ම ලබා දෙන අලුත් අදහස් ඔස්සේ අලුත් වෙවී තමයි සියත ඉදිරියට ගමන් කරන්නේ. මෙතෙක් අපට දේශපාලන වැඩ සටහනක් තිබුණේ නැහැ. ඒ වාගේම පාඨශාලා අතර ඉතා ඉහළ මට්ටමේ ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහනක් අප ආරම්භ කරන්නට දැනටමත් සැලසුම් සකස් කරලා තියෙන්නේ. ඒවාහි ආරම්භය ඉක්මනින් සිදුවේවි.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.