අලුත් නළු නිළියන්ට අපිට වගේ කට්ට කන්න ඕනෑ නැහැ

ශ්‍රීනාත් මද්දුමගේ
පෙබරවාරි 21, 2019

තවම මං ගත්තේ සහය නළුවට හිමි සම්මානයක් පමණයි

ශ්‍රීනාත් ඔබේ ප්‍රේක්ෂකයා ඔබ මෙවර ලංකාවට ආව හේතුව මොකක්ද කියලා දැනගන්නට කැමැති වේවි?

උදයකාන්ත වර්ණසූරිය කියන අධ්‍යක්ෂවරයා සිනමාපටයක් කරද්දී මට රංගනයට ආරාධනා කරනවාමයි. මෙවරත් ඒක එහෙම්මම සිද්ධ වුණා. ඔහුගේ ගින්දරී චිත්‍රපටයේ දෙවැනි කොටසෙහි චරිතයක් රංගනය වෙනුවෙනුයි මේ සැරේ ලංකාවට ආවේ.

අවසන් වතාවට ලංකාවට ආවෙත් ඔහුගේ නිර්මාණයක් වෙනුවෙන් නේද?

ඔව්. කොස්තාපල් පුඤ්ඤසෝම සිනමාපටයේ මංගල දර්ශනයට තමයි ගිය සැරේ අවේ.

මෙවර ඔබට උදයකාන්ත බාර දීලා තියෙන්නේ වෙනස්ම චරිතයක්?

දඟලලා, පෙරළිලා, කෑගහලා කරන චරිතනෙ මං කලින් කළේ. එහෙම නෙවෙයි හරිම සීරුවෙන් මට මේකේ රඟපාන්න සිද්ධ වුණා. මගේ චරිතය දෙවියෙක්, උදය මට කොයි වෙලාවකවත් ඕවර් යන්න දුන්නේ නැහැ. වෙනස්ම ස්වරයකිනුයි කතා කරන්නත් වුණේ. උදය මගේ මිත්‍රයා. එහෙම වුණා කියලා ඔහු යාළුකමට චරිත දෙන කෙනකුත් නෙවෙයි. වෙහෙස වෙලා රඟපාන්න ඉතා හොඳ අවස්ථාවක් මට ඔහු නිසා ලැබුණා. මේ වෙලාවේ කිව්වොත් හොඳයි කියලා මට හිතෙනවා ඒ දෙවියො පිටස්තරයෙක්. ඔහු ලංකාවට ගොඩ බැහැලා ඔහුගේ කෝණයෙන් ලංකාවේ අඩුපාඩු හැදිය යුතු තැන් ප්‍රහසනාත්මකව ගෙන එනවා. දෙවියො ලංකාවේ නොවන නිසා නිදහසේ ඩයොලොග් වුණත් පාවිච්චි කරන්න පුළුවන් වුණා.

වසර ගණනාවක් දියුණු විදෙස් රටක ජීවත් වූ අයකු හැටියට ඒ රටේ සහ මේ රට ගැන සංසන්ඳනාත්මකව බැලුවොත් ඔබට මොනවද කියන්න තියෙන්නේ? විශේෂයෙන් කලාව ගැනයි මට දැනගන්නට ඕනෑ?

ඔව්, අපේ විෂයය කලාව. ඒක ගැන මං කියන්නම්. අපේ රටේ නිර්මාණ බංකොළොත්භාවයක නැහැ. හොඳ නිර්මාණ තියෙනවා. වෙලා තියෙන්නේ මෙන්න මේකයි. ඒ රටේ මං කියන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන මිනිස්සුන්ට කන්න බොන්න සහ අනෙකුත් මූලික අවශ්‍යතා සඳහා තමන්ගේ පඩියෙන් ඉතාම සුළු මුදලයි වැය වන්නේ. සැලකිය යුතු ප්‍රමාණයක් අතේ ඉතුරු වෙනවා. ඔවුන් එය වැය කරනවා විනෝදාස්වාදය සඳහා. චිත්‍රපටයක් බලන්න, ප්‍රසංගයක් නරඹන්න, වේදිකා නාට්‍යයක් රස විඳින්න හිතේ හැටියට පුළුවන්. ලංකාවේ වෙලා තියෙන්නේ ඒකේ අනෙක් පැත්ත. කන්න බොන්න අඳින්න පලඳින්න වියදම් කළාට පස්සේ අතේ මුදලක් ඉතිරි වෙනවද, නැහැනෙ. හරි . . . මුදලක් ඉතුරු වුණා කියමුකො. දෙවතාවක් හිතනවා ඒක වියදම් කරනවාද, ඉතුරු කරනවාද කියලා. එහෙමත් කෙනෙක් තමයි ඒ මුදල්වලින් චිත්‍රපටයක් හෝ වේදිකා නාට්‍යයක් හෝ වෙනත් රස වින්දනාත්මක දෙයකට යොමු වන්නේ. කෝ අපට ප්‍රේක්ෂකයෝ. ප්‍රේක්ෂකයෝ නැතුව කොච්චර හොඳ නිර්මාණ කළත් වැඩක් තියෙනවද.

ඔබ විදෙස්ගතව සිටි කාලය ඇතුළත නොසෑහෙන්න තරමට පරපුරක් ක්ෂේත්‍රයට ආවා?

උදාහරණයක් සහිතව මට ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දීම පටන් ගන්න පුළුවන්. අපිට අදටත් මිනිස්සු ආදරෙයි. ගුවන් තොටුපළින් එළියට එද්දීම හරිම ළෙංගතුකමින් මාව පිළිගත්තා. මං එතැන හිටපු සේවකයන් එක්ක කතා කළාම ඔවුන් මොකක්ද දන්නවද කියන්නේ මහත්තයලා වගේ නෙවෙයි අලුත් නළු නිළියෝ, අපි හිනා වුණාමත් හිනා වෙන්නේ නැහැ. ඔන්න ඔහොම කිව්වා. ජැක්සන්, කමල්, මහේන්ද්‍ර, ශ්‍රියන්ත වගේ නම් පිටින්ම කියලා ඒ අය කොච්චර නම් අපිත් එක්ක හිනාවෙලා ආ . . . කොහොමද කියලා අහනවා ද කිව්වා. අලුත් අය ගැන නම් කියලා වැඩක් නැහැ කිව්වා. ඔය පේනවනෙ, බොහෝ දෙනෙක් අලුත් අයනෙ. මං කියන්නේ හැමෝම නෙවෙයි. දෙබස් කියපුවාම නළුවා කියලා තමයි හිතන්නේ. ඩයලොග් ටික පාඩම් කරලා හරි හරි ගමු ගමු කියලා සීන් එකට ගන්න කැමරාව ඉස්සරහට එනවා. අපිට එහෙම බැහැ. ඩයලොග් ටික බලලා චරිතෙට එන්න පොඩි වෙලාවක් යනවා. චරිතයට අවශ්‍ය රංග වස්ත්‍ර රඟපාද්දී භාවිත කරනවා. අපිට වැරදුණාමත් අලුත් අය චක් චුක් ගානවා. අපි එහෙම නෙවෙයි අනෙක් නළුවට කොච්චර වැරැදුණත් ඊළඟ පාර හරියට කරන්න උපරිම සපෝර්ට් එක දෙනවා. රඟපාද්දී අනෙක් පාර්ශ්වයෙන් උදවු අත්‍යවශ්‍යයි. නැතුව බැහැනෙ. ඊයේ පෙරේදා මං ගිය නාට්‍යයක පිරිස කලින් දවසේ පාටියකට ගිහින්. මං ඩයලොග් කියද්දී සමහරු සෙට් එකේ නිදි. මට ඕන තැනකට එජෙස් වෙන්න පුවළුන් හින්දා ගැටලුවක් නැහැ. අපි කොච්චර නම් කට්ටක් කාල ද මෙතැන ඉන්නේ. අලුත් අයට කට්ටක් කන්න ඕන නැහැ. සූට් එක මහලා දුන්නම ඇඳගෙන ඉන්න විතරනෙ තියෙන්නේ කියලා හිතාගෙන ඇඳගෙන ඉන්නවා. මගේ කලා ජීවිතයට වසර තිස් දෙකක් විතර වෙනවානෙ. මං හිතන්නේ මං තවමත් තැනකට ඇවිත් නැහැ කියලයි.

ඇයි එහෙම කියන්නේ?

තවම මං ගත්තේ සහය නළුවට හිමි සම්මානයක් පමණයි. කවද හරි හොඳම නළුවා විදිහට සම්මානයක් ගත්තම අන්න එදාට ටිකක් නළුවා වගේ ඉන්නවා.

බොහෝ දෙනකු තවමත් දන්නේ නැහැ ඔබ විදෙස් ගත වූ බව?

සමහරු හිතාගෙන ඉන්නේ මං ලංකාවේ ඉන්නවා කියලා. මං හිතන්නේ මගේ අර ඇඩ් එක තවමත් යනවනෙ. ඒකයි එහෙම හිතන්නේ. බොහෝ කලාකරුවන් විදෙස් ගත වෙනවා. ඔවුන් ගියා ගියාමයි. ආයේ ලංකාවේ කිසිම නිර්මාණයකට පසුව එකතුවන්න ලැබුණේ නැහැ. වාසනාවකට මට එහෙම වෙන්නේ නැතුව දිගින් දිගටම නිර්මාණ ලැබුණා. වසරකට සැරයක් හරි මාව පේ‍්‍රක්ෂකයන්ට පේනවා. මගේ පැරැණි චිත්‍රපට කොච්චර නම් ටීවී එකේ යනවද. එතකොට මිනිස්සුන්ට හිතෙනවා ඇති මං ලංකාවෙ කියලා.

අද වන විට ඔබ ලංකාව හැර ගිය එක ගැන මොන වගේ මතයකද ඉන්නේ?

අදටත් සතුටුයි. ලංකාවේ මිනිස්සු හොඳයි. ඒත් ඩිසිප්ලින් හරිම අඩුයි. පාරේ වාහනයක් පදවාගෙන ගියාම ඒක හොඳටම පේනවා.

ඒ රටේදිත් ඔබ කලාවේ නියැළුණා නේද?

ඔව්. මං වේදිකා නාට්‍යයක් කළා. මේ බලන්න ෆොටෝස්. (ශ්‍රීනාත් සිය ජංගම දුරකතනයෙන් ඔහුගේ නාට්‍යයෙහි ෆොටෝස් පෙන්වයි. එහි ශ්‍රීනාත් රජ ඇඳුමකින් සැරසී සිටින ආකාරයක ෆොටෝස් කිහිපයකි). ඒකෙ නම 'මේ මොකක්ද මේ'. නාට්‍යයට හොඳ ඉල්ලුමක් එහෙම තියෙනවා. මං එහෙ ගිය ගමන් ආයෙත් වේදිකා ගත කරනවා.

ඔබේ පවුලේ විස්තරත් සඳහන් කරමු?

මගේ බිරිය ශ්‍රියාණි ජයවික්‍රම. දුව විනුරි චමත්කා. දුවට අවුරුදු අටයි.

තිලක් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.