රහසිගත උයනක ඉඳ ළමයින්ට ඇමතුම්

ස්වර්ණ ගුණවර්ධන
පෙබරවාරි 21, 2019

ස්වර්ණ ගුණවර්ධන නම අපට මෙතෙක් හුරුව තිබුණේ නිවුණු, පැහැදිලි හඬකින් අප අමතන නිවේදකයකු ලෙසිනි. එහෙත් අද ඔහු අප හමුවන්නට පැමිණියේ තමන් විසින් පරිවර්තනය කරන ලද පොතක් අතැතිවය. ෆ්‍රාන්සස් හොග්සන් බර්නට් (Frances Hodgson Burnett) නම් 1849 වසරේ එංගලන්තයේ මැන්චෙස්ටර්හි උපත ලද ලේඛිකාවගේ ද සීක්‍රට් ගාර්ඩ්න් (The Secret Garden) නම් වූ, ලොව දෙවතාවක් විශිෂ්ට නව කතාව බවට පත් කෘතිය ඔහු ‘රහසිගත උයනක‘ නමින් පරිවර්තනය කර තිබේ. පොත පිළිබඳවත් ඔහුගේ වත්මන් තොරතුරුත් අපි මෙසේ විමසුවෙමු.

ඔබ මෙවැනි ළමා කෘතියක් පරිවර්තනය කරන්න සිතුවේ ඇයි?

අපි දැන් වැඩිහිටියෝනේ. අපි නිතර කරන චෝදනාවක් තමයි තරුණ පරපුර පොත් කියවන්නේ නෑ කියන එක. අද තිබෙන විවිධ මාධ්‍ය සමඟ ඒ චෝදනාව කිරීම තරමක් අසාධාරණ අතරම, එයට තිබෙන පිළිතුර තමයි ඒ අයට කියවන්න සුදුසු පොතපත බහුල කිරීම. තරුණ පරපුර පොතක් කියෙව්වාම තමන්ගේ ජීවිතේට යමක් එකතු විය යුතුයි. ඒ අදහස අනුව තමයි මේ කෘතිය තෝරා ගත්තේ. අනෙක පරිවර්තනයක් කිරීම, අලුතින් කතාවක් ලියනවාට වඩා එක අතකින් පහසුයි.

මේ කෘතියේ විශේෂත්වය?

මෙහි චරිත ප්‍රධාන වශයෙන් නව යොවුන් වියේ ළමයින්. අපට නම් අවුරුදු 10-12 කියන්නේ තවමත් දරුවන් තමයි. ඔවුන්ට එන විවිධ බාධා හමුවේ කිසිම ආකාරයකින් තමන්ගේ ආත්ම ශක්තිය හීන නොකරගෙන කටයුතු කරන්න, ඒ ඔස්සේ ජයග්‍රහණ අත් කරගන්න ඔවුන්ට හැකි වෙනවා. හොග්සන් කියන ලේඛිකාවගේ නිර්මාණවල දිගින් දිගටම තිබූ තේමාවක් තමයි දරුවන්ගේ චින්තනය හරි ශක්තිමත් ඒ සිතුවිලි සමඟ සෞඛ්‍යය, පරිසරය, මිනිසුන් සමඟ ආශ්‍රය ආදී සෑම දෙයකදීම ධනාත්මකව සිතීමෙන් ඔවුන්ට ජීවිතය ජයගන්න පුළුවන් කියන දේ. එය කොයි දරුවට වුණත් හොඳ දෙයක්. මේ ළමයි හරි ධෛර්යවන්තයි. හොඳයි. ධනය තිබෙන මොහොතේ තමන්ට සියල්ල අන් අය කරලා දුන්නත් ඒ සියල්ල අහිමි වීමත් සමඟ මුල ඉඳන් ජීවිතේ පටන්ගන්න සිද්ද වෙනවා. ඒ සමඟ කොහොමද ඔවුන් අභියෝග ජයගන්නේ කියන එක තමයි පෙන්වා දෙන්නේ. ලෝකෙ කොහේ වුණත් ඉතින් ඒ ඉන්නෙත් අපේම ළමයි තමයි.

මෙය විදේශීය සංස්කෘතියක හැදී වැඩෙන දරුවන් පිළිබඳ ලියැවුණක්. ඒ සංස්කෘතික වෙනස පරිවර්තනයේදී බලපෑවේ කෙසේද?

එතැනදි මම කළේ ඒ සංස්කෘතික පසුබිම තුළම මේ කතාව පිහිටුවීම. යෝක්ෂයරය පිහිටි එංගලන්තයේ පරිසරය, ඔවුන් බහුලව කතා කරන ඉංග්‍රීසියේ ගැමි ඌරුවක් සහිත බස ආදිය යම් ප්‍රමාණයකට අන්තර්ගත කරන්නට උත්සාහ කළා. එතැනදි මට විශාල වශයෙන් වාසි වුණා ගුවන්විදුලිය සමඟ කටයුතු කර තිබීම. ගුවන්විදුලියේ විවිධ නාට්‍ය රචනා කර තිබීම, භාෂා ව්‍යවහාරයන් පිළිබඳ තිබූ අත්දැකීම් ආදියත් එයට උපකාර වුණා.

මෙය දරුවන්ට ලියන්නක් නිසා භාෂා භාවිතය පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුයි?

ඔව්. මෙය කථන භාෂාවට වඩාත් ආසන්නයි. ඒත් එහි වියරණයක් තිබෙනවා. ගුවන්විදුලියේ වුණත් අපි සම්මත උපභාෂාව ලෙස (Standard Dialect) සලකන්නේ. ගුවන්විදුලියෙත් ළමා නාට්‍යවල ළමයින් කතා කරනවානේ. ඒ පිළිබඳ අවබෝධය අපට මෙහි ව්‍යාකරණ භාවිතයට හුඟක් උපකාරී වුණා.

ඔබ මේ කෘතිය කිරීමේදී යම් අධ්‍යයනයක් කියන්න ඇති. අපේ යොවුන් සාහිත්‍යය පිළිබඳ ඔබේ අත්දැකීම කෙබඳුද?

මමත් මේ විෂයයට සම්බන්ධ වූ නිසා විවේචනයක් කිරීම සුදුසු නැහැ. ඒත් මටත් තරුණ වයසේ දරුවෙක් ඉන්න නිසා මේ කටුයුතු කිරීමේදී පරිස්සම් විය යුතුයි කියන වගකීම මට දැනෙනවා. මොකද ළමයින් කියන්නේ මනස කිසිම රාමුවකින් කොටුකරගත් අය නෙවෙයි. ඔවුන් හරි විවෘතයි, නිදහස්. ඒ නිසා ඔවුන් යම් බිඳීමකින් හිත බිඳගත්තොත් පොතපතින් ලබන ආනන්දය පිළිබඳව ආපසු කියවන එකක් නැහැ. අපට ඉන්නේ ඉතාම සුළු පාඨක පිරිසක්. පිටරට එහෙම නෙවෙයි. මේ පොත ගත්තත් මිලියන පහළොවක් ළමා පාඨකයින් මෙය කියවා තිබෙනවා. දෙවරක් සිනමාවට නඟලා තිබෙනවා. ඒත් අපේ හොඳම පොතක් වුණත් මුද්‍රණය කරන්නේ දාහයි. ඒකත් අවුරුදු ගාණක් තිස්සේ විකිනෙන්නේ. අනෙක හොඳ කෘති ඒ රටවල සිනමාවට නැඟෙනවා. මේ පොත වුණත් මෙතුවක් කල් පැවතීමම කොතරම් දෙයක්ද? පහුගිය සියවස අපි කීවේ අකුරු සියවස කියලා. ඒත් අද තිබෙන්නේ සංකේත යුගයක්. එදා කාන්තා සාක්ෂරතාව සියයට 3ක් වුණත් අද විශ්වවිද්‍යාලවල සියයට 90ක් පමණ ගැහැනු ළමයින්.

ඔබේ මාධ්‍ය ජීවිතේ අත්දැකීම් මතක් කරමු?

මම රාජ්‍ය මාධ්‍ය ජීවිතයෙන් සමුගන්නේ සිටි එෆ්එම් අධ්‍යක්ෂවරයා හැටියට. පස්සේ වීඅයිපී ගුවන්විදුලියේ සේවය කළා. අපට ඕනකමක් තිබුණා මිනිසුන්ට හොඳ දෙයක් දීමට. හොඳට කන්න දෙන්න බැරිනම් ඔබ අමුත්තන්ට ගෙදර එන්න කියන්නේ නැහැ. ඒ වගේ තමයි මාධ්‍යයත්. ඔබ හොඳ දේ දෙනවා නම් හැමදාම ක්ෂේත්‍රයේ පවතින්න පුළුවන්.

නිවේදන ක්ෂේත්‍ර යේ ප්‍රවීණයකු ලෙස ඔබ අලුත් පරපුර පිළිබඳ මොකද හිතන්නේ?

ප්‍රේමකීර් ති ද අල්විස් සැරිසර කළේ සතියකට එක වතාවක් විනාඩි විස්සක් පමණයි. අපි අදත් ඒ ගැන කතා කරනවා. ඒ කියන්නේ විවේක බුද්ධිය නිවේදකයකුට තිබිය යුතුමයි. ඒත් අද සතියේ දින හතේම පැය තුන ගානේ කතාකරන්න නිවේදකයකුට කොතරම් දේ තිබිය යුතුද? ඒවා සම්පාදනය වෙන්නේ කොහොමද? ඒ නිසා මේ තරුණ තරුණියන්ට සිදුව තිබෙනවා අධ්‍යයනයක් බරක් නැතිව කියවාගෙන යන්න. ඒ අතර වෙළෙඳ ආයතන පිළිබඳ කියවන්න වනවා. ඒවා කොතරම් ජනතාවට වැදගත්ද යන්න වෙනම ප්‍රශ්න කළ දෙයක්. ඉතින් අපට හිතන්න වෙනවා මෙහෙම දේවල් කරන්න වෙන්නේ ඇයි කියලා. ඒකට හේතුවත් අපට ඉන්නේ කුඩා ශ්‍රාවක පිරිසක්. ආයතන විශාල සංඛ්‍යාවක් තිබෙනවා. මා දන්නා තරමින් රේඩියෝව ලාභදායී ව්‍යාපාරයක් නොවේ ආයතන කීපයක හැරුණාම. ඒ නිසා රේඩියෝ කලාව ඒ ව්‍යාපාරය තුළ ගිලී ගොසින්. ඉතින් එක අතකින් මේ අයත් දක්ෂයි සතියකට මේ තරම් වැඩසටහන් ඉදිරිපත් කිරීමට හැකි වීම නිසා. ඕනෑම කලාවක වෙනස්කම් ඇති වෙනවා. එහි අනිවාර්ය ප්‍රතිඵලයක තමයි අපි ඉන්නේ. හොඳ පුහුණුවකින් තොරව මයික්‍රෆෝනය ඉදිරිපිටට ගියාම කියන්න දෙයක් නැතිව යනවා. භාෂාව පිළිබඳ හොඳ දැනුමක් නැති වුණාම මෙය තවත් උග්‍රයි. මේ සියල්ලට ප්‍රධාන හේතුව අද නිවේදක නිවේදිකාවන් වෘත්තියමය වශයෙන් ආරක්ෂා වී නැති වීම. ඔවුන් නිවේදනයේ යෙදෙන්නේ වෙනත් දෙයක දොරටුවක් ලෙසයි.

ඔබ 2008 දී ‘පෙම්කවක්‘ ගීත රචනා සංග්‍රහය කළා?

අද වන විට ඕනෑම කෙනකු ළඟ හොඳීන් ශබ්ද ඇසෙන උපකරණ තිබෙනවා. ඒ නිසා බොහෝ දෙනා නාද රටාව පිළිබඳ මිස පදරචනය පිළිබඳ සිතනවා අඩුයි. සමහරු තමන්ම ලියාගෙන, සංගීතය යොදාගෙන ගායනා කරනවා. තිදෙනකුගේ එකතුවීමෙන් එන රසය එයින් මතුවන්නේ නැහැ. ගීතයක් ලියැවෙන්නේ බොහෝ අත්දැකීම් කාලයක් හිත තුළ අරගල කරලා මතුවෙන දෙයක් ලෙස. ඒත් අද එහෙම බෑ. ඉතා ඉක්මනින් දේවල් සිදුවිය යුතුයි. අනෙක පහසු මාධ්‍යයක් ලෙස බොහෝ දෙනාට ගීත රචකයන් වීමේ හදිසියක් තිබුණ බව පෙනුණා. ප්‍රධාන හේතුව තනුවට, හැඟීමෙන් ගායනය කරන්න මේ අයට විවේක බුද්ධිය නැති වීමයි.

ඔබේ ඉදිරි ලේඛන කටයුතු?

තවම මේ පොතේ අඩුපාඩු හොයමින් ඉන්නේ. ඒ නිසා තව ටිකක් කල් දෙන්න.

මාලන් කරුණාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
20 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.