සහේළිගේ ඉදිරිය ගැන මම දන්නේ නැහැ

ඉමාෂා සෙනෙවිරත්න
පෙබරවාරි 21, 2019

දෙරණ රූපවාහිනි නාළිකාවෙන් මේ දිනවල සතියේ දින පහේම රාත්‍රී 8.30 ට විකාශනය වන දෙවැනි ඉනිම ටෙලි නාට්‍යය අද වන විට සෑම දෙනකුගේම නෙත් සිත් ඇඳ බැඳ ගත් ටෙලි වෘත්තාන්තයක් බවට පත්ව ඇත. එයට මෑතකදී එක් වූ අලුත්ම චරිතය වන්නේ සහේළිය. එයට ජීවය දෙන ඇය ඉමාෂා සෙනවිරත්නයි.

බදුලු පුරවරයෙන් රංගන කරළියට පිවිසි ඇය පළමුව රංගනයට පිවිසුණේ තම මල්ලීගේ වෙළෙඳ දැන්වීම් නිරූපණය ඔස්සේය.

ඉමාෂා 2018 දෙරණ සූර්ය මංගල්‍යයේ අවුරුදු කුමාරිය ලෙස ද කිරුළ පලඳින ලදී.

ඉමාෂා අධ්‍යාපනය ලැබුවේ?

මම පාසල් තුනකට ගියා. මූලික අධ්‍යාපනය බදුල්ල විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ. අනතුරුව මහනුවර උසස් බාලිකා විද්‍යාලයට, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් අ.පො. ස. උසස් පෙළ ගණිත අංශයෙන් සමත් වෙලා කොළඹ විශ්වවිද්‍යාලයට තේරෙනවා. නමුත් මං කොළඹ විශ්වවිද්‍යාලයට නොගොස් අයර්ලන්තයේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා කළමනාකරණ විශේෂවේදී උපාධියේ ප්‍රථම පෙළ සමාර්ථ්‍යයක් හිමි කර ගන්නවා. එම උපාධිය 2018 අප්‍රේල් මාසයේ 11 වෙනිදා පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී තමා ලබා ගත්තේ.

රංගනයට එක් වන්නේ අධ්‍යාපනයෙන් පසුවද?

අධ්‍යාපනය අතරතුර. නමුත් මම අධ්‍යාපනයෙන් යන්න පුළුවන් දුර ගිහින් තිබෙනවා. දැන් මම එම්. ඒ. උපාධිය කරනවා. මම මේ උපාධිය ගන්නත් විදෙස් ගතවෙන්න හිටියේ. නමුත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයට සම්බන්ධ වීම නිසා මේ රටේදීම ඒ උපාධිය කරන්න මම තීරණය කළා.

කොහොමද දෙවැනි ඉනිමේ රංගනයට සම්බන්ධ වුණේ?

රංගන ශිල්පි ප්‍රභාත් චතුරංග අයියා තමා මට පණිවිඩය ලබා දුන්නේ. පසුව මේ නාට්‍යයේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් මහතා සහ නිෂ්පාදිකා චාමිකා මෙන්ඩිස් මහත්මිය හමු වුණා. ඒ දෙන්නත් ටී. වී. දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතාත් මට මේ අවස්ථාව ලබාදීලා මාව දිරිමත් කළා මේ චරිතය කරන්න. ඒ අනුව 2018 නොවැම්බර් මාසයේ ඉඳලා තමා මීට සම්බන්ධ වෙලා මගේ චරිතයට අදාළ රූපගත කිරීම් ආරම්භ වන්නේ.

දෙවැනි ඉනිමට පෙරත් ඔබට රංනයට ආරාධනා ලැබෙනවා නේද?

ඔව්. සහේළිගේ චරිතයට පෙර චිත්‍රපට කිහිපයකට හා ටෙලි නාට්‍යවලටත් ආරාධනා ලැබෙනවා. නමුත් මම ඒවා භාර ගත්තේ නෑ. දෙවැනි ඉනිම කියන්නේ මම පෞද්ගලිකවම ප්‍රිය කරන ටෙලි නාට්‍යයක්. එහි රඟපාන්න පුළුවන් මට ගැළපෙන චරිතයක් නිසා තමා එය භාර ගත්තේ. මගේ දෙමාපියන් එක්කත් මේ ගැන කතා කළා. සහේළි කියන්නේ වැදගත් ගෑනු ළමයෙකුගේ චරිතයක්. මේ චරිතය තුළ මට කරන්න අසීරු කිසිදු දර්ශනයක් ඇතුළත් වෙලා නෑ. ඒ නිසාම මම මේ චරිතය කරන්න භාර ගත්තා දෙමාපියන්ගේ ආශිර්වාදය මැද.

කොහොමද මේ දිනවල සහේළිට ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම ඉතාම කෙටි කාලයකින් මම හිතපු නැති විදිහේ ජනප්‍රියත්වයක් ලැබුවා. මගේ යාළුවෝ, පවුලේ අයත් මාව අගය කරනවා. සහේළි බව අඳුුරගෙන කතා කරන අය ඉන්නවා. සමහර අය මඟ තොටේදී මාව දැකලා කියනවා අර දෙවැනි ඉනිම නාට්‍යයේ සහේළි වගේමයි කියලා. ඒ අයට හරියටම මාව අඳුරගන්න බැහැ. ඇත්තටම මට ගොඩක් සතුටුයි මේ ලැබෙන ප්‍රතිචාර දිහා බැලුවාම.

මාපියන් ගැනත් ඔබේ පුද්ගලික තොරතුරුත් කිව්වොත්?

මගේ අම්මා රජයේ පාසලක ඉංග්‍රීසි ගුරුවරියක්. තාත්තා සිවිල් ඉංජිනේරුවරයෙක්. දැනට ඌව පළාත් මාර්ග සංවර්ධන අධ්‍යක්ෂවරයා ලෙස තමා රාජකාරි කරන්නේ. මගේ මල්ලි තිළණබෙන්. එයා වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්. මේ හැම දෙනාගෙන්ම මට හොඳ සහයෝගයක් ලැබුණා. මම ඉපදුණෙත්, පදිංචි වෙලා ඉන්නෙත් මගේ ගම බදුල්ලේ. අධ්‍යාපන කලා කටයුතුවලට මම කොළඹ යනවා එනවා.

සහේළි අනාගතයේ අනුහස්ගේ පෙම්වතිය වෙයිද?

ඒක මේ නාට්‍යයේ පිටපත ලියන සමන් එදිරිමුණි හා අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් යන අයගේ අදහස් අනුවයි මේ චරිතයේ සහේළි ගැන තිරණය වෙන්නේ. මට ඒ ගැන මොකුත් කියන්න බෑ. මම ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා දිගටම නාට්‍යය නරඹන්න කියලා.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

හොඳ ගැළපෙන චරිතයක් ලැබුණොත් කරන්න භාර ගන්නවා. හැබැයි රංගනය වෘත්තීය ලෙස කරන්න මගේ බලාපොරොත්තුවක් නෑ. දැනට මගේ උපාධියට අදාළව පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. වෙළෙඳ දැන්වීම් කිහිපයකම රූගත කිරීම් කළා. ඉදිරියේත් දැන්වීම් කටයුතුවලට දායකත්වය දක්වනවා. ඒ වගේම දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ සහේළිගේ චරිතයට උපරිම සාධාරණය ඉටු කරමින් ඉදිරියටත් එහි රංගන කටයුතුවල නිරතවීමට මම බලාපොරොත්තු වෙනවා.

 

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.