ඒ ජීවිත පූජාවට මගේ උපහාරයයි

පෙබරවාරි 28, 2019

ගින්නෙන් උපන් සීතල මේ වසරේ ඔස්කා උලෙළ සේම පසුගියදා තවත් විදෙස් සිනමා උලෙළක් නියෝජනය කළා. ඒ සඳහා ඉන්දියාවට යෑමට මොහොතකට පෙර අප කෘතියේ අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ සමඟ කළ කතාබහක් ඔබට ගෙනෙනවා.

රෝහණ විජේවීර චරිතයම තෝරා ගන්න ඔබට විශේෂ හේතුවක් තිබුණාද?

චරිතයට වඩා අපට වැදගත් වුණේ 80 දශකය. මොකද අපේ ජීවිතවල වුණත් බොහෝ දේ සිදු වුණු, අපට මතක තිබෙන දශකය තමයි ඒ. අපි ගොඩක් දේවලට කැමති වෙන්නෙ, ආදරයට, දේශපාලනයට, ක්‍රීඩාවට පවා ආදරේ කළේ ඒ යුගයේ. 85 ඉඳන් 89 දක්වා සමය රටේ දේශපාලනයේත් ලොකු උණුසුමක් දක්නට ලැබුණා. ධවල පත්‍රිකාවට විරුද්ධව, 87 වසරේ ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව ශිෂ්‍ය ව්‍යාපාරවල උද්ඝෝෂණය කළා, රටේ ස්වාධිපත්‍යය, අනන්‍යතාව නැතිව යනවා ඉන්දියානු ආක්‍රමණයට නතු වෙනවා කියලා. ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය එළියට බැහැලා විරෝධය පෑවා. මේ දේවලට සම්බන්ධ වෙලා අපේ තරුණ කාලය ගොඩාක් ගෙවිලා ගියා. පස්සේ ඉතා තදබල මර්දනයක් හමුවේ 60,000ක් නැති වෙලා ඒ සියල්ල යටගියා. අපේ ප්‍රේමය පවා සිදු වුණේ කැරැල්ල අතරේ. අපේ ජීවිතේ හොඳම කාලයේ සැඟවි ඉන්න සිදු වුණා.

මෙසේ ඍජුවම ව්‍යාපාරයට සම්බන්ධ වූ නිසා සත්‍ය අත්දැකීම් ඇති?

මම ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වශයෙන් සම්බන්ධ වෙලා ඉඳලා, 86-87 අතර අරගලයේ එක් අවස්ථාවකදි ඉන්දියානු බලපෑමට විරුද්ධව සකසා තිබූ පෝස්ටර් ව්‍යාපාරයටත් උදව් කළා. ඒවායේ තිබුණා හොර ගිවිසුම අකුලා ගනිවු!, ඉන්දියානු සාම හමුදාව පන්නමු! වගේ ඒවා. ඒ අතර ජේ. ආර් මරමු! කියන පෝස්ටරය අතේ තිබිලා තමයි මාව අත්අඩංගුවට ගත්තේ. ඇතුළේ ඉද්දියි තේරුණේ රජයක් කොහොමද විප්ලවයක්, කැරැල්ලක් මර්දනය කරන්නේ කියලා. ඒ කාලයේ අපි නම්ගම්වලින් නොදන හිටියත්, මට මුණගැහුණා ව්‍යාපාරයේ ප්‍රධාන චරිත ලෙස කටයුතු කළ අය. ඔවුන්ගේ හැඟීම්, අදහස්, අනම්‍ය ගති, පාවා නොදීමේ ලක්ෂණ ආදි මතකයන් සමඟ කොළඹට සංක්‍රමණය වන මගේ හිතේ අර අළු යට ගිනි පුපුරු වගේ මතකයන් තිබුණා. ඒවා කොහොමද ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකින් එළි දක්වන්නේ කියන කථිකාව වසර 25කින් පමණ පස්සේ, ආවර්ජනයක් ලෙස, ව්‍යාපාරය වෙනුවෙන් තමන්ගේ ජීවිත අවංක චේතනාවෙන් පූජා කළ මිනිසුන් ගැහැනුන් වෙනුවෙන් මගේ දායකත්වය උපහාරය දැක්වීමට ක්‍රියාත්මක වුණු විදිහ තමයි ‘ගින්නෙන් උපන් සීතල‘. මොකද ඒ අතීතය, ඒ පිරිස අපිට කවදාවත් අමතක කරන්නත් බෑ, කළ යුතුත් නැහැ. ඔවුන්ට තිබුණු දැනුම, සංවිධාන ශක්තිය, එඩිතරබව අපට ආයෙ දකින්න ලැබෙන්නේ නෑ. මේ කෘතිය කිරීමට රෝහණ විජේවීර ඒ සඳහා නායකත්වය දීමත් ඔහුගේ ජීවිතයේ සැඟවුණු පැතිකඩ කෙබඳුද කියන කුකුස නිසා කළ සොයා යෑමත් තමයි මෙයට ප්‍රධාන හේතුව වුණේ.

ඒ සොයාගෙන යෑමේදී තවත් දේවල් හමුවන්න ඇති?

සමහර අය කියයි පැය දෙකයි මිනිත්තු විසිපහකට සියල්ල ගොනු කරන්න බෑ නේද කියලා. මෙහි විශාල පරාසයක් තිබෙන නිසා ඉවත් කළ යුතු වගේම ඇතුළත් කළ යුතු කොටස්වල අවසාන තීරකයා වන්නේ අධ්‍යක්ෂ හැටියට මම. ඒ නිසා මම තීරණය කරනවා තිර රචනය පාදක විය යුතු යම් යම් සිදුවීම්. කෘතියේ තිර රචනය කළ ආරියවංශ ධම්මගේ සමඟ මම අවුරුදු දෙකහමාරක පමණ පර්යේෂණයක් කරලා සංවාදයක් මතු කරගෙන එයින් පැනනැඟුණු කරුණුයි තෝරාගත්තේ. ඒ පර්යේෂණය සඳහා අපි බොහෝ තැන්වලට ගියා. අදටත් ජීවතුන් අතර සිටින ඇත්ත භූමිකාවල හිටපු කාන්තාවන්, දරුවන් වගේම පිරිමි අය අපට හමු වුණා. සැබෑ චරිතයක් මුල් කරගෙන චිත්‍රපටයක් කිරීම හරිම අවදානමක්. මොකද ඔවුන්ගේ ජීවිතවලට වගේම පවතින ප්‍රතිරූපවලට හානියක් වන්නත් බෑ. අනෙක් අතට ඔවුන්ගේ සජීවී අත්දැකීම් අප සමඟ බෙදා ගන්නා අතර තමයි පිටපත ලියාගෙන යන්නේ. උදාහරණයක් ලෙස රෝහණ විජේවීර චරිතය මුලින්ම රන්මිහිතැන්නේ රූගත කරද්දි තමයි අපි රැස්වීම් ආදිය සූදානම් කළේ. එයට සම්බන්ධ වුණේ ඔහු සමඟ එකට දේශපාලන පන්තිවල හිටපු, එකටම ව්‍යාපාරයේ වැඩකළ අය. එකට හිරේ ගිහින්, එළියට ඇවිත් කසාදත් බැඳලා ඉන්න අය එකට අත්වැල් අල්ලගෙන රන්මිහිතැන්නේ රූගත කිරීම්වලට සහභාගී වුණා. ඔවුන් බලන්න ආවේ ඔවුන්ගේ මියගිය නායකයාගේ අනුරුව. ඒත් ඒ මොහොතේ කමල් (අද්දරආරච්චි) වෙස් ගන්වා තිබෙනු දැකලා සමහරු ඔහු බදාගෙන අඬන්න ගත්තා. එය අධ්‍යක්ෂවරයෙක් ලෙස මම ජීවිතේ ලැබූ සංවේදීම අත්දැකීමක්.

ලොස් ඇන්ජලිස් නුවර චිත්‍රපටයේ මුල්ම මහජන ප්‍රදර්ශනය බැලූ ප්‍රේක්ෂකාගාරයේ බොහෝ දෙනකු මේ ව්‍යාපාරයේ ඉඳලා රටින් පිටුවහල් වී ඉන්න අය. සිනමා ශාලාවෙන් එළියට ආ විට මට ඇහුණේ ඔවුන්ගේ ඉකි ගසන හඬවල්. මොකද ඔවුන්ට මෙය අපට වඩා සමීපයි. එදත් කමල්ව බදාගෙන පිරිමි අය ඇඬුවා. දොස්තර ජයතිලකගේ නිවෙස රූපගත කරන්න ගිය මොහොතේ එය සැබෑ දර්ශන තලයක්, අපට හමු වුණා දොස්තරගේ බිරිඳ සුසිලා පද්මිණී ජයතිලක මහත්මිය. ඇය කී කතාව මගේ මනසේ නිතර රැව් පිළිරැව් දෙන්න ගත්තා. මම මුළු වෘත්තාන්තයම වගේ ගොතන්නේ ඒ පදනම මත. මගේ හිතට වැදුණු, ජීවිතේ දැනුණු තැන එයයි. විජේවීර කැලෙන් එළියට ඇවිත් හැංගිලා විජේවීර නමත් සඟවාගෙන එලියස් ප්‍රනාන්දු නමින් ඉන්නා තැන ඒ නිවෙස. දිනක් දොස්තර බිරිඳට මොහුගේ කාමරේ ලිපි ගොනුවක රෝහණ විජේවීර කියලා අස්සන් යොදා තිබෙන ලිපියක් අහුවෙනවා. එය සත්‍ය අත්දැකීමක්. සුසිලා මහත්මිය කීවා “මම ඒ ලියුම දැකලා කොයි තරම් ෂොක් වුණාද කීවොත්, මාව පිටිපස්සෙන් පිටිපස්සට ගිහින් පුටුවක ඉන්දුණා, පස්සේ මහත්තයා වැඩ කරන ඉස්පිරිතාලෙට මහපාරෙන් ගියානම් කිලෝමීටර දෙකක් විතර දුර නිසා කඳු මැද්දෙන් දිව්වා“ කියලා. මම රූගත කිරීම්වලට කලින් දිල්හානි (ඒකනායක) මුණ ගැස්සුවා ඒ මිසිස් ජයතිලකට. ඇගේ සැමියා සේවය කළ ඇත්ත ඩන්සිනන් රෝහල, ඒ පඩිපෙළ, ඒ මොහොතේ ඔහු සිටි වාට්ටුව සියල්ල ඇත්ත. දිල්හානී දුවන්නේත් ඒ ඇත්ත කැලේ, රෝහල් පඩිපෙළ දිගේ තමයි. හැබැයි මම චිත්‍රපටයේ ඒ කොටස ඕනෑවට වඩා භාවාතිශය කරන්න ගියේ නෑ.

ලෙව්ලේගොඩ වත්තට හමුදාවෙන් පැන්නට පස්සේ වත්තේ මැනේජර්, නෙවිල් අත්අඩංගුවට අරගෙන එල්ලනවා. ජනතාව හිතුවේ නෙවිල් මිය ගියා කියලා. ඒත් නෙවිල් ජීවතුන් අතර. ඔහු රැගෙනයි අපි දර්ශන තලයට ගියේ අවුරුදු තිහකට පමණ පස්සේ. එය ඉතාම සුන්දර වගේම වේදනාකාරී අත්දැකීමක්. මොකද එදා අවුරුදු 17-18 හිටපු ළමයි අද ලොකු මිනිස්සු වෙලා. ඒ අය කට ඇරගෙන බලාගෙන ඉන්නවා නෙවිල් දිහා. මංජුල මොරගහ තමයි නෙවිල්ගේ චරිතය කළේ. නෙවිල් පෙන්නු එයාව එල්ලපු ඇත්ත බාල්කෙම තමයි මංජුලවත් එල්ලුවේ.

මම ගියා නෙත්තිකුමාරගේ අම්මා හමුවන්න. එයා තමයි අර තමන් සතු එකම චීත්තය විජේවීරට දෙන්නේ. ඒ අම්මා කියනවා, මම තිරිහං වුණේ පුතේ මුන්ට කැලේට බත් ඇදලමයි කියලා. මම ඇයත් සමඟ පින්තූරත් ගත්තා. ළඟදි මට දුරකථනයෙන් කතා කරලා වයසක එක්කෙනෙක් කියනවා මහත්තයෝ මම බෙනට් කියලා. මම ඇහුවා මොන බෙනට්ද කියලා. ඇයි මහත්තයෝ අර විජේවීර කැලේට යද්දි බෙනට් වාහනේ ගන්නවා කියන්නේ. ඒ මට. මගේ වයස දැන් 86ක්. මට චිත්‍රපටය දැකලා ඇඬුණා කියලා. තව කතාකළා බැංකුවක වැඩකළ චිත්‍රාල් චන්ද්‍රසිරි කෙනෙක්. වල්හපුතැන්නේ ගේ ලියා තිබුණේ ඔහුගේ නමට.

ඔහු කීවා මගේ ළඟ විජේවීර ගිය ඔරිජිනල් බයිසිකලය තියෙනවා, තේ වතුවල එහෙම ගිහින් ඒක කැඩුණාම තල්ලුකරන් ආපු වාර අනන්තයි කියලා. ඒ වැනි අය සමඟ ඇසුරු කිරීමට ලැබීම ඇත්තෙන්ම කලාවේ රසාස්වාදය කියන දේ නියම විදිහට විඳීමක්. අනෙක ඒ චරිත මට දැනෙන විදිහට ප්‍රතිනිර්මාණය කිරීමට ලැබීම භාග්‍යයක්.

ඔවුන්ට අනුව ඔබ මේ කතාව ඉතාම නිවැරැදිව කියා තිබෙනවාද?

සමහරු අඩුපාඩු තිබෙන තැන් කීවා. ඒත් ඉතිහාසය ඒ අයුරින්ම ප්‍රතිනිර්මාණය කරන්න බෑ. මෙය සත්‍ය තොරතුරු ඇසුරින් වුණත් කළ ප්‍රබන්ධයක්නේ.

පක්ෂයෙන් ලොකු සහයෝගයක් ලැබුණු බව ආරංචියි?

ඔව්. මම රූපගත කිරීම් කරන කාලේ රැස්වීම්වලට අපට දහස් ගණන් සෙනඟ මුදල් ගෙවා ලබාගන්න බෑනේ. හම්බන්තොට වැනි පළාත්වල පාක්ෂිකයන් නොමිලේ තමයි දර්ශනවලට සහභාගී වුණේ. කොතරම් උනන්දුවකින් කැපවීමකින් කටයුතු කළාද කීවොත් උදේ 6ට ආවාම අපි කන්න දුන්නත් නොදුන්නත්, හවස 6 වෙනකල් පුටුවක්වත් ඉල්ලන්නේ නැතිව හිටගෙන ඉන්නවා. වැස්සද අවුවද නෑ, සමහරු ළමයි කර තියාගෙන, සමහර පොඩි දරුවෝ ගෙවල්වල කියලාවත් කිසිම පැකිළීමක් නෑ. එහෙම තමන්ගේ නායකයාට පක්ෂයට ආදරය කළ මිනිස්සු අද දකින්න ලැබෙනවාද කියලා මට හිතන්න බෑ. සිනමාකරුවකු හැටියට මටත් මෙය අතිශය සංවේදී අත්දැකීමක්.

ඔබත් යම් විදිහකින් මේ ව්‍යාපරයට සම්බන්ධව සිටි නිසා ඔවුන්ගේ මතවාදය පිළිබඳ යම් හැඟිමක් තියෙන්නත් ඇති?

මෙහෙමයි. අපි හැමවිටම විකල්ප ධාරාවට ආදරය කරන මිනිස්සුනේ. අපි ඉස්කෝලෙදි වුණත් ගුටි කාපු කෙනාගේ පැත්තනේ ගත්තේ. ලෝකෙම කලාකරුවන්ගෙන් සියයට 75ට ඔය ප්‍රශ්නය තිබෙනවා. එය මතවාදීමය දෙයක් නෙවේ. නිර්මාණකරුවකුට උපතින් එන දෙයක්. කලාව නිතරම තියෙන්නේ විරුද්ධ පැත්තේ. උදාහරණයකට ගෝර්කි කියන්නේ තමන් නියෝජනය කළ බෝල්ෂෙවික් පක්ෂය වෙනුවෙන් වාර්තාමය ස්වරූපයෙන් තම නිර්මාණ කළ පුද්ගලයෙක්. ඔහු කෙළින්ම යුද්ධය ගැන මිනිසුන්ට වදින්න ලියනවා. ඒත් තෝල්ස්තෝයි එක්වරක් ගෝර්කිට කියනවා, උඹ ලියපන් ඉරු එළිය ගැන. ඒත් ඉරු එළිය කෙළින්ම බිමට වැටෙනවා කියලා නෙවෙයි. බිම තියෙන වීදුරු කට්ටකට හිරු එළිය වැටිලා පරාවර්තනය වන ආලෝකය ගැන ලියපන්. එතැන තමයි කලාව තියෙන්නේ කියලා. ඍජු ප්‍රකාශනයට වඩා වක්‍ර ප්‍රකාශනයේ තමයි කලාව තියෙන්නේ. මතවාදය කියන දෙය පෞද්ගලිකව තරුණයන් සියයට 75ට තිබෙන මානසික මට්ටමක්. එපා කියන දේ කරන එකයි මිහිරත්වය. වාමාංශික පක්ෂ කොහොමත් බලයේ තිබෙන පක්ෂයත් එක්ක විරුද්ධ නිසා අපේ මානසික මට්ටමත් හැදෙන්නේ විරෝධාකල්ප සහිත මතවාද සමඟ යන්න. එහිදී ඒ පක්ෂය හරිද වැරදිද කියන එක වෙනම දෙයක්. ඒත් අපි හුරුවෙන්නේ විකල්ප ධාරාවේ කලාවට. එවිට තමයි අපට නිර්මාණාවේශය එන්නේ. ලෝක ඉතිහාසයේ කලාකරුවන් බොහෝ දෙනෙක් පක්ෂය නියෝජනය කළත් නැතත් සමාජවාදී අදහස් තමයි දරා තිබෙන්නේ. යමකට ආදරය කිරීම සේම විරුද්ධ වීම යන කරුණු දෙක, නැත්නම් යමක් පිළිබඳ ඔබ සහ මම දකින් සත්‍යයන් දෙක නොව ඒ දෙක එකට ගැටීමෙන් ඇතිවන තෙවැනි සත්‍යය තුළ නිර්මාණය තිබෙන බවයි අපට තිර රචනයේදී උගන්වන්නේ.

ඔබට මොහොතකට හෝ රෝහණ විජේවීර සහෝදරයා ඇසුරු කිරීමට ලැබුණාද?

1982 ජනාධිපතිවරණය වෙලාවේ මගේ වයස අවුරුදු 10-11ක් විතර ඇති. මට මතකයි කඩුවෙල පොකට් මිටින් එකක වගේ ඡායාමය මතකයක් ඔහු ඇවිත් කතා කරනවා. ඔහුගේ කතාව මම ඇහුවද නැද්ද කියලා මතක නැහැ ඒත් ජනාකර්ෂණය තිබුණු හැටි, ඒ ආන්දෝලනය මතකයි.

චරිත සඳහා ශිල්පීන් තෝරාගැනීමේදී ඔබ පදනම් වූයේ?

සුලෝචනා නම් කොණ්ඩය එහෙම කැපුවාම චිත්‍රාංගනී විජේවීරගේ ඡායාමාත්‍රයක් වගේ පෙනීම ආසන්න හේතුවක්. අනෙක ඇය නිකම්ම නිළියකට වඩා රූපණවේදය හැදෑරූ රංගන ශිල්පිනියක්. ඇය වේදිකා නිළියක්. මගේ යකඩ පහන්තිර ටෙලි නාට්‍යෙය් රංගනයෙන් ජීවිතේ පළමු වතාවට හොඳම සහාය නිළිය සම්මානය ලැබුවේ. ඒ නිසා මට විශ්වාසයක් තිබුණා. ඒත් කමල් අද්දරආරච්චි කිසිසේත්ම විජේවීරට සමාන නැහැ. ඒත් අපට ඕන වුණා විජේවීර කියන සංකීර්ණ පුද්ගලයා, සමාජයේ විවිධ මත තිබූ ද්‍රෝහියෙක් මෙන්ම වීරයෙක්. ඔහු වෙනුවට යම් ආකාරය ප්‍රතිරූපයක් තිබෙන නළුවෙකු මෙයට අවශ්‍යයයි. කමල් රංගන දිවියේ කළ චරිත පිළිබඳ බැලුවාමත්, ඔහුගේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා චතුරත්වයත් තේරීමට බලපෑවා. මොකද රෝහණ විජේවීර කියන්නේ චතුර ලෙස ඒ භාෂාද්වයම භාවිත කළ හැකි කෙනෙක්. දෙබසක් පුහුණුවෙලා කරනවාට වඩා ඒ හැකියාව සහිත රංගනවේදියකු අපට වටිනවා. කලාන්තරයක් රංගනවේදය හැදරූ කමල්ට චරිතයකට අනුරූප වීම සඳහා තමන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය කුමක්ද කියා අමුතුවෙන් කිව යුතු නෑ. දොස්තරගේ නෝනාගේ චරිතයට දිල්හානි ගත්තේ ඇයත්, මෝස්තර කරන, හරි සැහැල්ලු, වැඩි පණ්ඩිත කතා නැති, හිතට එන දෙයක් එළියට දාන සරල චරිතයක් නිසා. ඒ වගේම විශ්ව සාමාන්‍යයෙන් පෞද්ගලික ජීවිතේ පවා නිහඬ චරිතයක් නිසා දොස්තරට ගැළපුණා. ගමනායක ටිකක් සමානයි ජගත් මනුවර්ණට, සුජීව ප්‍රියාල්ගේ සුදු වර්ණයත් සමඟ පොඩ්ඩක් විතර සෝමවංශට සමානයි. ඒ වගේම බුද්ධික අබේරත්න නන්දන මාරසිංහ වගේ පේනවා. රිචඩ් ඩි සොයිසා වගේම කෙනෙක් හමුවුණා. අර කොටේ උඩ ඉන්න ඇත්ත පිරිසගේ මුහුණුවර සහ මේ චරිත එකට ගත් ඡායාරූපය රූපරාමුවේ පෙන්වද්දි ඔබට දකින්නට පුළුවන් ඔවුන් කොයි තරම් සමානද කියලා.

වේශනිරූපණය මෙහිදී බොහෝ වැදගත් වී තිබෙනවා?

ඇත්තෙන්ම ජනතාව බලාපොරොත්තු වනවා අවසානයේ ඔවුන් දුටු රූප, රූපරාමුවේ මතුවේවි කියා. ඒ නිසා නිකම්ම නිකං මේක්අප් ආටිස්ට් කෙනකුගෙන් වැඩක් නැහැ. නාරදගේ විෂයය දැනුම, අධ්‍යයනය, ඉතිහාසය, සම්මාන ආදිය සමඟ බැරෑරුම් කාර්යයකට සුදුසු බවට නිතරගයෙන්ම තේරුණා. ලංකාවේ ඒ වගේ කටයුතු කළ හැකි දෙතුන්දෙනාගෙන් කෙනෙක් වගේම අපේ පරම්පරාවේ කෙනෙක් නාරද. ඔහු මේ කෘතිය සඳහා බොහෝ හෝම්වර්ක් කළා.

ජනතා ප්‍රතිචාර අනුව ඔබට දැනෙන්නේ?

ෆේස්බුක් එක බැලුවොත් විචාර පහක්වත් එනවා. දැනට පොත් පහක් හයක් ගහන්න තරම් විචාර ලියැවී තිබෙනවා. මෙය සාමාන්‍ය ජනයා දකින්නේ ආදරෙන්, ඒත් දේශපාලනමය මතවාදවල ඉන්න අය මෙහි කතිකාව, දැක්ම මතු නොවූ බව කියනවා. සිනමාකරුවකු ලෙස මට කියන්න තියෙන්නේ අපි කපා ඉවත් කළේ ඒ මතවාද කොටසයි. මොකද එය බලා ඉන්න අපහසු තරම් ගැඹුරුයි. එය සිනමාවෙන් බොහෝ ඈතයි. ජනතාවාදී නිර්මාණයක ඒ තරම් වාද විවාද යොදන්න බෑ.

සමහරු කියනවා මෙය වාර්තාමය ස්වරූපයක් ගන්නවා කියා?

ඒක වෙනවානෙ තිබුණු අවස්ථාව නිරූපණය කරද්දි. සමහරු කියන්නේ වාර්තාමය ගුණය මදි කියලා. මම එක දෙයක් කියන්නම්. ලංකාවේ විචාරකයන්ට ඕන විදිහට නම් චිත්‍රපටයක් කරන්නම බැහැ. කළොත් බලන්නේ 2000යි. ඒ දෙදහට චිත්‍රපට කරන පිරිසකුත් ඉන්නවා. මට එහෙම කරන්න බෑ. මෙය විශාල ආයෝජනයක් කළ චිත්‍රපටයක්. ඒ වගේම මම ඔය දේශපාලනය හදාරපු, විශාල න්‍යායාත්මක දැනුමක් සහිත අය සමඟයි මෙය කළේ. මේ රටේ න්‍යයාත්මක දේවල් බලන ප්‍රේක්ෂකාගාරයක් නැහැ. එහෙම හැදුණු කාලෙක ඒ වගේ එවා කළ හැකියි. අපි කීවෙත් තහනම් විජේවීරගේ ඉරණම් කතාව කියලා. අපි දන්න ඉතිහාසයක් කළ නිසායි ඔහොම කියන්නේ. තව අවුරුදු 100න් විතර කළානම් ඔය කතාව කවුරුත් කියන්නේ නෑ. ඒ වගේම වාර්තා නොවන ආකාරයට මෙය ඉදිරිපත් කරන්නේ කොහොමද කියලත් ඔය කවුරුත් කියන්නේ නෑනෙ.

ඔබත් ආවේ පෝලිමේද?

සිනමා පෝලිම කියන දේ මේ අවුරුදු 70 තුළ නොවිසඳුණු ප්‍රශ්නයක්. පක්ෂ මේ විදිහට නම් පාලනය කරන්නේ රට, ලෝක විනාශය තෙක්ම මේ ප්‍රශ්නත් තිබෙනවා. හේතුව මේ ඉන්න මහ එවුන්ගේ පැටවුන්මනේ ආයෙත් එන්නේ. උන්ට තියෙන්නෙත් ඒ තාත්තලාගේ බාප්පලාගේ මහප්පලාගේ අත්දැකීම්නේ. පාරක්, ඉස්කෝලයක් හදලා කීයක්හරි ගහගන්නවා වගේ තමයි සිනමාව දිහා බලන්නේත්. ඒ නිසා රටට ආදරය කරන තරුණ පිරිසක් මේ රටේ පාලනය බාර අරගෙන, දේශපාලනඥයන් ජනතාවට සර් කියන දවසක් ආවොත් ප්‍රශ්න විසඳෙයි. ඉතින් ජනතාව තේරුම් ගන්න ඕනා තමන්ට තිබෙන බලය. පෞද්ගලික ලාභප්‍රයෝජනවලට දේශපාලනඥයන්ට දෙකට නැවෙන්නේ නැති ජනතාවක් ඉන්නවා නම් ප්‍රශ්න විසඳෙයි. සිනමාකරුවන් සියලුදෙනාම ගත්තත් ඉන්නේ 1000ක් විතර. අපි කොච්චර ගිහින් කීවත් වැඩක් නෑ. දැනෙන්නේ නෑ. ඒත් ප්‍රේක්ෂකාගාරය ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ චිත්‍රපට සංස්ථාව ඉදිරියේ අරගල කරන දවසක මේ ප්‍රශ්නවලින් සියයට 2ක් විසඳෙයි. ඉතිරිය විසඳෙන්නේ කලාරසාඥතාව තිබෙන දේශපාලනඥයන් මේ රටේ බිහිවුණු දවසක. එය සිදුවන්නේ හරියටම තව අවුරුදු 150කින්. ඒ කාලේ තුන්වැනි පරම්පරාව ලෙස අපි ඉපදුණොත් පුළුවන් මෙය හදන්න. එහෙම නැත්නම් ලොකු සුනාමියක් වගේ දෙයක් ඇවිත් මේ දේශපාලන ක්‍රමයම ඉවත්වෙලා අලුතින් ඇති වන්න ඕනා. මෙය සිනමාවේ ප්‍රශ්නයක් නෙවෙයි. 1950 දශකයේ ඉඳන් තාමත් කතා කරන්නේ ඉස්කෝලේ උළු කැටය, වැසිකිළිය, ගුරුවරු නැති එක නම්, ආහාර, ඇඳුම්, සෞඛ්‍යය වගේ මූලික අවශ්‍යතා සියල්ල විසඳුනාට පස්සේ මිනිස්සුන්ගේ රසඥතාව, පරිකල්පනය දියුණු කරගන්න තිබෙන සිනමාව වගේ විෂයයක් එන්නේ ලැයිස්තුවේ අගටනේ. මූලික අවශ්‍යතා සපුරලා නැති රසඥතාවක් නැති මිනිසුන්ට සිනමාවක් ඕන නෑනේ. අපි බලෙන් කරන දෙයක් මිස රජයන්ටත් මේවා ඕනා නෑ. ඇමැති සිනමාවට කැමැති නම් ඕනෑම අමාත්‍යාංශයක් යටතට සිනමාව ගන්නවා. එහෙම මේ වැඩේ කරන්න බෑ. ඉතින් අර තුන්වැනි පරම්පරාව එන කාලෙක වුණත් අපි ඉපදෙනවා නම් ඉපදෙන්න කැමති ප්‍රංශයේ හෝ ස්විට්සර්ලන්තයේ තමයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.