බ්‍රෙෂ්ට් නම් මගෙන් අහන්න

ධම්මජිත් පුනර්ජීව
පෙබරවාරි 28, 2019

ළිහිණි, හිරෝෂිමා, රෝමා, ගාන්ධි වැනි වේදිකා නාට්‍ය මෙන්ම ස්ටැනිස්ලවුස්කි, බ්‍රෙෂ්ට්, ශේක්ස්පියර් වැන්නවුන් පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථත්, රූපණවේදය, නළු කලා ශිල්ප, ප්‍රාග්ධනය, චේතනාව:රඟපෑමේ ශ්‍රමය සහ ඊට හිමි අගය වැනි කෘති ඔස්සේ සහ මායා ශක්ති රංග ශිල්ප ශාලිකාවෙන් 90 දශකයේ මැද භාගයේ සිට ඔබ හමු වූ ධම්මජිත් පුනර්ජීව නම් නාට්‍ය වේදියා සත් වසක් පුරා දැරූ පරිශ්‍රමයක් සහ සිය ශිෂ්‍යාවක වන ප්‍රියංවදා තෙපුළිගේ සහායද සහිතව කළ පරිවර්තනයක ප්‍රතිඵලයක් ලෙස බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ඉඩධපබ ර්‍ණපඨචදභථ නම් ශාස්ත්‍රීය කෘතිය, දෘශ්‍ය කාව්‍යකරණයේ උපාය ශාස්ත්‍ර නමින් අප අතට පත් වී තිබේ. ඒ ග්‍රන්ථය පිළිබඳවත්, රංගනවේදයේ අද දවස පිළිබඳවත් අපි ධම්මජිත් පුනර්ජීවගේ මතය මෙසේ විමසමු.

මෙවැනි පොතක් පරිවර්තනය කරන්න හිතුවේ?

මුනිවර භරතගේ නාට්‍ය ශාස්ත්‍ර, දාර්ශනික ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍ර වැනි කෘති ඓතිහාසික වශයෙන් නාට්‍යකරණයට, කලාවට, සාහිත්‍යයට අත්‍යාවශ්‍ය මූල ග්‍රන්ථ. ඒවා අපේ විද්වතුන් අතින් සිංහලට පරිවර්තනය වුණා. එයින් කලා සාහිත්‍යයට ඉදිරිපත් කළ මූලයන් නොබිඳීය හැකි තරම් ප්‍රබලයි. ඔවුන්ගෙන් පසු බිහිවුණු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් 1888 සිට 1956 දක්වා කාලය තුළ ලොව පිළිගත් ප්‍රබල කවියෙක්, නාට්‍යකරුවෙක්. දෙවැනි ලෝක යුද සමයේ හිට්ලර්ගේ අඥාදායකත්වයට එරෙහිව ඒ රටේ සිටම කවියෙන් සාහිත්‍යයෙන් සටන් කළ කලාකරුවෙක්. ඔහු නාට්‍යකරණයේ නියැලෙන අතර හිතනවා කාව්‍යශාස්ත්‍රය වැනි දේවල මූලයන් අලුත් ලෝකය පෙරළන්න හදන දරුණු හිට්ලර්ලාට මුහුණ දෙන්න මදි බව. ඒ නිසා ඒවා කණපිට හරවන්න බ්‍රෙෂ්ට් විශේෂ මූලයන් බිහි කළා. අපි අපොස සාපෙළට ඉගෙන ගන්න බ්‍රෙෂ්ට්ගේ හුණුවටයේ නාටකය සමඟ ඔහු ගොඩනඟන දුරස්ට්කරණ රීතිය හඳුන්වා දෙනවා. අපි දකින දෙයින් පරාරෝපණය වෙලා කොහොමද පෙන්වන දේ විමර්ශනශීලීව දකින්නේ කියලා ඔහු කියනවා. එය බ්‍රෙෂ්ට්ගේ උපායක්. සිංහල බෞද්ධ අපට අපේ සිත කය වචනය භාවිතයට පෙර හිතා බලන්න කියා තිබෙන පසුබිමක බ්‍රෙෂ්ට් හඳුනා ගැනීම අපහසු නෑ. ඒත් අපි ඒ තුන්දොර භාවිත ඥානයට ගේනවාද කියන ප්‍රශ්නය වගේම තමයි ඔහුගේ ඒලියනේෂන් මෙතඩ් එකත් අපි හරියට හඳුනගෙන නෑ. ඔහු 1947 හිට්ලර්ගෙන් බේරෙන්න ස්විට්සර්ලන්තයේ සිටියදී තමන් කියූ මූලයන් හරියට අර්ථකථනය කරන නිබන්ධයක් සකස් කරනවා ඒ ‘ඉඩධපබ ර්‍ණපඨචදභථ ටධප බඩඥ ඊඩඥචබපඥ’ නමින්. එහි අදහස නාට්‍යකරණය සඳහා කෙටි වගන්ති මාලාවක්. මම කල්පනා කළා, 1938 දී ඊ.එෆ්.සී. ලුඩවොයිට්, 47 හෙන්රි ජයසේන වැනි අය බ්‍රෙෂ්ට් ජීවතුන් අතර සිටිද්දි කළ නාට්‍ය ප්‍රසංගය තුළ ඔහුගේ මේ ඒලියනේෂන් නියමය තිබෙනවාද කියා.

එහෙම වුණානම් අපේ සමාජය මීට වඩා පෙරළිකාර එකක් වන්න තිබුණා. නිදසුනකට, හුණුවටයේ නාටකයේ දරුවා පිළිබඳ ප්‍රශ්නය තමයි ජනප්‍රිය. ඒත් බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයේ ප්‍රධාන කතාව ඉඩම් ප්‍රශ්නයක්. යුද්දෙදි ඉඩම දාලා කට්ටියක් ගියා. තව පිරිසක් එහි රැඳෙමින් වගා කළා. යුද්දෙන් පස්සේ දාලා ගිය අය ඇවිත් ඉඩම ඉල්ලනවා. අනිත් අය වගා කළ නිසා ඉඩම දෙන්න බෑ කියනවා. ඒ විනිශ්චය අතර කොකේසියානු හුණුවටය පෙන්වනවා නාට්‍ය කණ්ඩායමක්. එය තුළ කියැවෙන්නෙත් හිමිකම පිළිබඳ ප්‍රශ්නයක්. එහි කියනවා දෙයක් වේනම් සුදුස්සාටම අයිති විය යුතු කියලා. ඒත් අපි දකින්නේ අවුරුදු 50ක් තිස්සේ දරු ප්‍රශ්නය විතරයි. නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂකාගාරයට අර සමාජ දේශපාලන ප්‍රශ්නය ගෙනාවා නම් අපට පුළුවන් වෙනවා සිංහලයන් හැටියට උතුරේ තිබෙන ප්‍රශ්නය දිහා හරි විදිහට බලන්න. අපි බ්‍රෙෂ්ට් අපේ තරමට ලඝු කරලා මුදල් උපයන්න ගියායින්, අපට ඒලියනේෂන් ගැනත් හරියට තේරුම්ගන්න බැරුව ගිහින්. මම කියන්නේ ජනප්‍රිය මතයක් නොවේ. මොකද ඒවා අද කතා කිරීම පවා තහනම්. බ්‍රෙෂ්ට් පොත ලියා අවුරුදු 70ක් ඒත් කවුරුත් පරිවර්තනය කළේ නෑ. ඒ නිසායි මම දැඩි දුෂ්කර ප්‍රයත්නයකින් හෝ මේ පොත පරිවර්තනය කළේ. එහිදී එන ගැටලුවක් තිබුණොත්, මගෙන් අහන්න. ඕන වෙලාවක මම උදව් කරන්නත් ලෑස්තියි.

ඔබ හිතන්නේ බ්‍රෙෂ්ට්ගේ රංග රීති අදාළ වේදිකාවට පමණයි කියාද?

නෑ. සිනමාවට බ්‍රෙෂ්ට් උපයෝගී කරගත්තා වම් ඉවුරේ කලාත්මක ධාරාවේ පතාක යෝධයකු වන පතිරාජයන්. ඔහුට හසුවෙනවා බ්‍රෙෂ්ට්ගේ ජනප්‍රිය ධාරාවෙන් පිටස්තර පරාරෝපණය නැත්නම් දුරස්තීකරණය හෝ මගේ (ධම්මජිත්ගේ) හඳුනාගැනීමට අනුව අන්ඉමෝෂනල් හෙවත් තිරෝභූතී සංකල්පයට පාත්‍ර වුණු චරිත. එහි ප්‍රබලම අවස්ථාව බඹරු ඇවිත්. එහි හෙලන් තිරෝභූතියට පත් චරිතයක්. වැල්ලට එන බේබි හාමු ශ්‍රමය සූරා කනවාට අමතරව හෙලන්ගේ ලිංගිකත්වය ඩැහැගන්නවා. මේ ධනපති සමාජය විසින් පීඩිත පන්තිය සූරා කන සංකල්පය නළු නිළියන් මඟින් රඟ දක්වා ගැනීමට ඔහු උපායක් යොදනවා. චරිතය රඟපාන කෙනාට පුළුවන් තමුන්ගේ චරිතයෙන් පරාරෝපණය වන්න. ඒ සඳහා ඔහු ජෝ අබේවික්‍රමට කියනවා දන්නවාද ජෝ තරහ ගියාම සමහර මිනිස්සු හිනාවෙනවා, සමහරු අඬනවා. එතකොට ජෝ කියනවා. හරි මට අහුවුණා කියලා. මේක තමයි බ්‍රෙෂ්ට්ගේ ක්‍රමය වටහා ගන්න පතී ජෝට දුන්නු ඉඟිය. හැබැයි එදා සිට අද වනතුරු රටේ නළු නිළියන් මේ දේවල් ගැන හැදෑරීමේ අඩුවක් තිබෙනවා. ඒ අය ලේසියට කියන්නේ අපට රංගන පාසලක් නෑ වගේ දේවල්. එය කොතරම් සාධාරණ පිළිතුරක්ද කියන්න මට බෑ. කොහොම වුණත් පතිරාජ වුණත් සම්පූර්ණ සාර්ථක ප්‍රතිඵල නෙළා ගත්තේ නෑ.

ඔබ යෝජනා කරන්නේ කුමක්ද පිළියමක් ලෙස?

මෙවැනි ශාස්ත්‍ර, මූලයන් ඉගෙන ගන්න අපි ආයතනික පසුබිමක්, වැඩමුළු ආදිය පවත්වා සතතාභ්‍යාසයේ යෙදෙන්න ඕනා. එවිට අපට මීට වඩා හොඳ නිෂ්පාදන ඉදිරිපත් කරන්න පුළුවන්. කලාව කලාවක් මෙන්ම කර්මාන්තයක්. දැවැන්ත මුදලක් යොදන ව්‍යාපාරයක්. එය ආපසු හොයන්න ඕනා. අපේ රටේ වන්නෙ එය යොදන නිෂ්පාදකයා සමතලා කර දැමීමයි.

මෙය කියවීම මෙන්ම පරිවර්තනය අපහසු කෘතියක්?

ඔව්. මම 2011 මෙය පදානුගත පරිවර්තනය කරලා පැත්තක තියනවා. ඉන් අවුරුදු 8ට පසු බලද්දි විෂයානුගත පරිවර්තනය එයට එක් කළ යුතු බව මට දැනෙනවා. ඒ සඳහා ප්‍රියංවදා තෙපුළි එක් කරගන්නවා. සිංහලට හැරෙව්වත් එහි සංකීර්ණතාව පේනවා. හේතුව ශාස්ත්‍රීය හරයක් පහසුවෙන් කියවෙන්නෙත් නෑ, කියන්නත් බෑ. මට හැදුණු පාඨක පිරිසක් ඉන්නවා විශ්වවිද්‍යාලයේ, මීට පෙර මම ලියූ පොත් 15ක පමණ සංඛ්‍යාවත් සමඟ. ඒ ගැන මට සතුටුයි. ඒත් මට කනගාටු අද ජනප්‍රිය ධාරාවේ ඉන්න නළු නිළියන් මේවා කියවයිද කියා හිතනකොටයි. මේ පොත් කියවන්න කීවාම සමහරු හැසිරෙන්නේ බලු වෑන් එක එද්දි පිස්සු බල්ලො හැසිරෙනවා වගේ. මොකද මම දන්න සමහර නිළියන් වැඩිපුර සල්ලි වියදම් කරන්නේ නියපොතු පාට කරන්න. එයට තිබෙන උනන්දුව සහ චිත්තඒකාග්‍රතාව රඟපෑමට නෑ. ඉතින් එහෙම අයට මම අනතුරු අඟවන්නේ ඒ අය ලබන අවුරුද්ද වෙද්දි මේ ක්ෂේත්‍රයේ පවතින්නේ නෑ කියලයි. මොකද තමන්ගේ ළමයි තල්ලු කරගෙන එන අම්මලා ගොඩක් ඉන්නවා. ඒක තමයි අලුත්ම ප්‍රවණතාව.

එයට වගකිව යුතතේ ඔවුන් පමණද?

මේ තත්ත්වයට සම්පූර්ණ වග කියන්න ඕනා ප්‍රවීණයන්. අද ත්‍රිරෝධ රථ සංගමයට තිබෙන සංවිධානාත්මක බවවත් කලාකරුවන්ට නෑ. මේ මොහොත වෙද්දි අපි සතුටු වෙන්න ඕනා පේරාදෙණිය, කැලණිය, සෞන්දර්ය විශ්වවිද්‍යාලය වැනි කීපයක් තේරුම් ගෙන තිබෙනවා සෞන්දර්ය විෂයය සංස්කෘතික මනුෂ්‍යයකු බිහි කිරීමට සහ ශාස්ත්‍රීය කටයුතු කිරීමට කොතරම් වැදගත්ද කියලා. ඒත් මම එහි පවා දකින ප්‍රබලම අඩුව තමයි නළු නිළියන් හදන ක්‍රමයක් නැති වීම. මොකද ඔවුන් තමයි නිෂ්පාදනය ප්‍රේක්ෂකයාට ගෙන යන වාහකයන්. නළු නිළියන්ට රඟපාන්න පුළුවන් වෙන්න ඕනා වගේම අධ්‍යක්ෂට පුළුවන් විය යුතුයි තමන්ට ඕන දේ ශිල්පීන්ගෙන් ගන්න.

අද වේදිකාව ගැන ඔබේ අදහස?

වේදිකාව මම දකින්නේ කලාකරුවන්ගේ තිඹිරි ගෙය ලෙස. මොකද තමන් කැමති වුණත් නැතත් පෙළ හදාරන්නම ඕනා, පුහුණුවට එන්නම ඕනා. එනිසා කිසියම් පරිචයක් ලැබෙනවා හැදෑරීමට යොමු වෙන්න. ඒත් අද වේදිකා නාට්‍යවල ගුණාත්මකබව බැලුවොත් අන්තිම සවුත්තු තැනකට ගිහින්. ඒ බිස්නස් එක කරන්නේ ටෙලිනාට්‍ය සහ සිනමාවට ආ තරුණ පිරිස්.

ටෙලි නාට්‍යත් එසේද?

වෛද්‍යවරයෙක් පුහුණු විය යුතුමයි, ඉංජිනේරුවරු, නීතිඥයන් එහෙමයි. ඒත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු, තිරකතා රචකයන්, නළු නිළියන් ලබන පුහුණුව කුමක්ද? ඔවුන් එන්නේ කොහෙන්ද? නාළිකා ඔවුන්ට උදව් කරන්නේ ඇයි? මම හිතන්නේ අනෙකුත් ක්ෂේත්‍රවලට නැති නිදහසක් එයට ලැබිලා තිබෙනවා. ඒ නිසා ගාල කඩාගෙන ගිහින් එන එන නායකයන්ට උම්බෑ කියනවා. ඒත් කමක් නෑ හොඳ නිෂ්පාදන ප්‍රේක්ෂකයන්ට දෙනවා නම්.

ප්‍රතිකාරය?

පිළියම තියෙන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ. නියාමනයන් සකස් කළ යුත්තේ ප්‍රවීණයන් සහ රාජ්‍යය. එවිට කිසිම කෙනකුට බෑ රස්තියාදුකාරයන් වගේ ඇවිත් බාල පුන්නක්කු දීලා හරක් බිහි කරලා අතහෝදගන්න.

ඔබේ මීළඟ ප්‍රයත්නය?

රටේ දැවැන්ත ප්‍රශ්නයක් වන මත්ද්‍රව්‍ය පිළිබඳ සිනමා කෘතියක් කිරීම. ඒ සඳහා පර්යේෂණ කටයුතු කරනවා. ගෙදර පිරිමි අය මතට ඇබ්බැහි වුණොත් ගෙදර අම්මලා ඉන්නවා කර ගහගෙන යන්න. ඒත් ගෙදර කාන්තාවන් මතට හුරු වුණොත් මොනවා වෙයිද?

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.