මගේ ගුරුතුමාත් පියතුමාත් දෙන්නාම අයියා

වෝල්ටර් ප්‍රනාන්දු
පෙබරවාරි 28, 2019

එක්දහස් නමසිය පනහ දශකයේ එක්තරා කාලයක කොළඹ මල්වත්ත පාරේ විසූ ධනවත් මුදලාලි කෙනෙක් වූ මාටින් මුදලාලිගේ නිවෙසේ උත්සවයක් විය.

ඒ සඳහා එවකට තරමක ජනප්‍රියතාවයක් දිනාගෙන සිටි එම්. එස්. ප්‍රනාන්දු නම් වු ගායකයාටත් ඔහුගේ සංගීත කණ්ඩායමටත් ගීත ගායනා කරන්නට ඇරියුම් කර තිබිණ. එම්. එස්. ගේ කණ්ඩායමේ එකෝඩියන් ශිල්පියා වූයේ ජෝ අබේසිංහය. ක්ලැරිනට් වාදකයා ලාල් හීනටිගලය. කොළඹගේ ගිටාර් වාදකයා විය. බොංගී වාදනය කළේ මිල්ටන් සිල්වාය. උත්සවය ආරම්භ වන්නට කාලය එළඹ තිබියදීත් බොංගෝ වාදකයා පැමිණියේ නැත. මාටින් මුදලාලි එම්. එස්. ළඟට පැමිණියේය.

'එම්. එස්. දැන් පටන් ගමු නේද?' එම්. එස්. වටපිට බැලුවේය. මිල්ටන් සිල්වා පේන තෙක් මානයකවත් නැත.

එම්. එස්.ට මතක් වූයේ උදව්වට කැටිව ආ තම ආදරණීය මල්ලීවය.

'මල්ලි ඔන්න ඔය බොංගෝ එකට ටිකක් තට්ටු කරපන්'

එම්. එස්. මල්ලීට කියා ප්‍රසංගය පටන් ගත්තේය. පළමුව ගායනා කළේ එවකට ජනප්‍රිය හින්දි ගීතයකි. අතරමැද දී එම්. එස්. මල්ලීට ඇඟිල්ල ඔසවා පෙන්වා වැඩේ නියමෙට කරන බව ඇඟ වූයේය. මල්ලී ද තම උපරිම උත්සාහය යොදා බොංගෝව වාදනය කරන්නට විය.

මීළඟ ගීතය ගායනා කරන්නට කාලය එළඹෙත්දී බොංගෝ වාදක මිල්ටන් සිල්වා උත්සවයට පැමිණියේය.

එම්. එස්. මිල්ටන් දෙස බලා

'මිල්ටන් උඹ හිටපං, මල්ලි ගහයි' යැයි පවසා දිගටම ගීත ගායනා කළේය.

මල්ලී වාදන ශිල්පියෙකු ලෙස අයියා විසින් අභිෂේක කරන ලද්දේ එපරිද්දෙනි. අයියා එම්. එස්. බව කවුරුත් දනිති. මල්ලී වෝල්ටර් ප්‍රනාන්දු ලෙස කාටත් හඳුන්වා දීමට ද අවශ්‍ය නොවේ.

වෝල්ටර් ගැන මතකය කොයි තරම් දුර ගියත් අපේ කතානායකයා ඔහු වන්නේ පසුගියදා ඔහු කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලද බැවිණි. සම්මානයේ සතුටත් සමඟ ඔහු දුර අතීතයක සොඳුරු දසුන් අප ඉදිරියේ දිග හැරියේය.

'කලා භූෂණ සම්මානේ ගන්න වේදිකාව උඩට නැග්ගම එකපාරටම මට මතක් වුණේ වෙන කවුරුත් නෙමෙයි මගේ අයියව. මාව වාදකයෙක් කළේ ගායකයෙක් කළේ මගේ අයියා. ඔහු නැත්නම් මම අද මෙතැන නෑ. ඒ අතීත දිවිය මගේ ඇස් ඉදිරිපිට මැවෙන්න ගත්තා.'

වෝල්්ටර් සිය වැඩිමල් සොයුරු එම්. එස්. ගැන ගෞරවාදරයෙන් පැවසුවේය.

'ඇත්තම කිව්වොත් පුංචි කාලේ ඉඳන්ම මට සංගීතය පැත්තට උනන්දුවක් තිබුණේ නෑ. මට ඕන වුණේ ක්‍රීඩා කරන්න. කොහොම හරි අයියගේ උවමනාවට තමයි මම සංගීතය පැත්තට යොමු වුණේ. අපේ පවුලේ වැඩිමලා අයියා. ඊට පස්සේ මට හිටියේ අක්කලා තුන් දෙනෙක්. ගර්ටි අක්කා, ඩල්සි අක්කා, කොන්සි අක්කා කියලා. මම පවුලේ බාලයා. ඒ හින්ද මේ හැම දෙනාගේම ආදරේ මට ලැබුණා. අපේ තාත්තා ඒ කාලේ වෙනකොටත් අපේ පවුලෙන් ඈත්වෙලා හිටපු නිසා හැමදේම බලා කියා ගත්තේ අයියා තමයි. තාත්තා වගේ හිටපු වැඩිහිටියා අයියා නිසා අයියට මම හරි බයයි. අපේ අයියා මට වැඩිය අවුරුදු 15 ක් වැඩිමල්. ඒ නිසා මම පුංචි කාලේම අයියා දැනුම් තේරුම් ඇති කෙනෙක්.'

පිය සෙනෙහසින් දුරස්ව වැඩුණු වෝල්ටර්ට ඒ සියලු ආදරය, රැකවරණය ලැබුණේ අයියා වූ එම්. එස්. ගෙන්ය. මේ යුගය වන විට එම්. එස්. බයිලා ගායකයෙකු වශයෙන් නැඟී ගෙන එන කාලයකි. එවකට වෝල්ටර්ට වයස අවුරුදු 8 ක් පමණ විය. දිනක් උදේ වෝල්ටර් අවදිවත් දී සාලයේ ටීපෝව උඩ කුසලානයක් විය. එවකට කුඩා නිවෙසක ජීවත් වූ ඔවුන් වත් පොහොසත්කම් අතින් ඉතා අඩු මට්ටමක විය. ඉතාම බාල ලීයකින් නිමවා තිබූ මෙම ටීපෝවට අම්මා සුදු රෙද්දක් එලා කුසලානය තබා තිබිණ.

පුංචි වෝල්ටර් නිදි ගැට හරමින් පැමිණ එය අත පත ගෑවේය.

'අම්මේ . . . මේ මොකක්ද . . .?

'ඔය අයියා හුණු දාන්න ද කොහෙද එකක් ගෙනත්'

අම්මා එසේ කිව්වා අදටත් වෝල්ටර්ට මතකය. එහෙත් එදා එම්. එස්. බයිලා ගායන තරගයකට ගොස් දිනූ කුසලානය එසේ නිවෙසේ තැන්පත් කර තිබිණි.

'අයියා බයිලා තරගවලට යනකොටත් රැකියාවක නිරත වෙනවා. එතකොට එයා වැඩ කළේ සවුත් වෙස්ටර්න් කියන බස් කොම්පැණියේ. මම හිතන්නේ මේ 1952 විතර. ඒ කාලේ වෙනකොට වාද බයිලා කියන එක රටේ එක්තරා ජනප්‍රිය අංගයක් වෙලා තිබුණා. අපේ ගෙවල් අහල පහළත් වාද බයිලා කියන අය හිටියා. අපේ මාමා කෙනෙක් හිටියා හොඳට සර්පිනා ගහන්න පුළුවන්. අපේ අම්මගේ අක්කාගේ පුතා ධර්මදාස අයියටත් සර්පිනාව ගහන්න පුළුවන්. අයියා සංගීතය පැත්තට යොමු වෙන්න මේ ආභාසයත් හේතු වෙන්න ඇති. ඒත් එක්කම අයියා කවුඩානේ සිල්වා කියල කෙනෙක්ගෙන් ඉංග්ලිෂ් මැන්ඩලීන් එක ගහන්න ඉගෙන ගත්තා.'

වෝල්ටර් සිහිපත් කරන්නේ අයියාගේ රුව ගුණය. මල්ලී ගැන කියන්නට තවමත් දෙයක් නිර්මාණය වී නොමැත්තේ ඔහු සංගීතයට කැමැත්තක් නොදක්වන අයෙකු නිසාය. ඒ දිනවල කුඩා කොළු ගැටයකු වූ වෝල්ටර් එම්. එස්. ගේ අඩුම කුඩම ගෙනෙන්නට කඩේට යැවූ පුද්ගලයා විය. මුදලාලි බඩු කිරන තුරු වෝල්ටර් කරන්නේ ඉදිරිපස තබා තිබෙන විශාල වීදුරු බෝතල්වල මූඩියට අතින් තට්ටු කර තාල නිපදවීමය. එම්. එස්. සිය මල්ලීව මාටින් මුදලාලිගේ උත්සවයට රැගෙන යන්නේ මේ කාලයේය. උත්සවය නිමා වී වෝල්ටර් ගෙදර එන්නේ වාදකයෙකු ලෙසය.

'ඒ උත්සවයෙන් පස්සේ අයියගේ හැම සිංදුවකටම බොංගෝ ගැහුවේ මම. ඒ වෙනකොට මම ඉස්කෝලෙනුත් අස් වෙලා. ඒ කාලේ සී. ටී. බී. එකේ සභාපති අනිල් මුණසිංහ. ඔහු දවසක් අයියට කතා කරලා කීවා ලංකාවේ ඩිපෝවලට ගිහින් කෑම පැයේදී පොඩි ප්‍රසංගයක් කරන්න කියලා. ඒ ප්‍රසංගයටත් බොංගෝ වාදනය කළේ මම. අපි දවසක් ගියා බණ්ඩාරවෙල ඩිපෝවට. ඒකේ ප්‍රසංගය ඉවර වුණාම දියතලාවේ හමුදා කඳවුරේ ඔෆිසර් කෙනෙක් ඇවිත් අයියට ආරාධනා කළා කඳවුරේ සෙබළුන්ටත් එවැනි ප්‍රසංගයක් කරන්න කියලා. ඒ කාලේ හැටියට සෙබළුන් 100 - 200 ක් හිටියා. අයියා සිංදු කිව්වා. මම බොංගෝ ගැහුවා. අයියා සිංදු 7 - 8 ක් විතර කිව්වා. තනියමනේ අයියට මහන්සිත් ඇති.

'මල්ලි . . . උඹත් සින්දුවක් කියනවද?' කියලා හිටපු ගමන් අයියා මගෙන් ඇහුවා. මමත් ඉතින් 'හා' කිව්වා.

'ආයම්මට අළුත් පැෂන් ඕන වුණාට

ඒව හොයල පුරුදුත් නෑ අප්පු අයියට

හා කිවුවත් බෑ කිවුවත් බෑ බේරෙන්න

හරිම වැඩේ පුදුම ලෙඩේ උනේ මිනිහට . . .'

වෝල්ටර් අයියාගේම සින්දුවක් කියන්නට පටන් ගත්තේය. මල්ලීගේ සින්දුවට අයියා බොංගෝව වයන්නට විය. මල්ලීටත් සින්දු කීමේ හැකියාව ඇති බව එම්. එස්. එදා තේරුම් ගත්තේය. මල්ලී අහම්බයකින් වාදකයෙකු කළා සේම අයියා විසින් මල්ලී ගායකයෙකු කළේ ද එසේය.

'ඔය ෂෝ එකෙන් පස්සේ මට මතකයි අයියා ඛ්ච් තැටියක් කළා. ඒකට ගීත 04 ත් ඇතුළත් කරන්න පුළුවන්. ඒ කාලේ තිබුණ ගෞරී කෝපරේෂන් එකත් එක්ක අයියා ගිවිසුම් අත්සන් කරලා තිබුණා. දවසක් අයියා ගෞරී කෝපරේෂන් එකේ ලොක්කා පැට්‍රික් මහත්තයාගෙන් ඇහුවා මල්ලීටත් සින්දු දෙකක් දෙමුද? කියලා. අද වගේ නොවෙයි ඒකාලේ හරි අමාරුවෙන් තමයි ගායකයෙක් ඉදිරියට ආවේ. හැකියාව තියෙන්නම ඕන. ඉතින් මිස්ට පැට්‍රික් කිව්වා 'එම්. එස්. ඒක කරන්න බෑනේ. ලොකු වියදමක් යනවා, දරන්න බෑ කියලා. අයියා ඒ තැටිය කරලා ඉවර වුණාට පස්සේ තව තැටියකට ගියා. ඒ සැරෙත් අයියා අහල තිබුණා මල්ලිට සින්දුවක් දෙමුද? කියලා. ඒ පාර ඔහු කියලා තිබුණා එකක් දෙන්නම් කියලා.' අයියගේ ගීත 04 න් එකක් අයියා මට දුන්නා.

අයියා කිව්ව ගීත තුන වුණේ රස ආහාර කවලා - රන් කූඩුවෙ දමලා, හලෝ ගර්ල් හලෝ ගර්ල් සහ කීකරු බාරි ඉන්න නිවෙසේ ආලෝකය දී කියන ගීත. ඒ කාලෙම තව අයියගේ ගීතයක් ජනප්‍රිය වෙලා තිබුණා 'ටැක්සිකාරයා' කියලා. ටැක්සි ආවම රික්ෂෝ ඉබේම නැති වෙලා ගියා. ඒ අදහසින් ගීතයක් හදලා අයියා මට දුන්නා කියන්න කියලා.

'රික්ෂෝ කාරයා - මං කොළඹ තමයි ඉන්නේ මාතියා

ටැක්සි කාරයා එයා මගේ තැන නැති කෙරුවා මාතියා'

කියන ගීතය අයියගේ සින්දු තුනත් සමඟ මම තැටියට ගායනා කළා. මේ සින්දු 4 ම ඉතාම ජනප්‍රිය වුණා. ඊට පස්සේ මිස්ට පැට්‍රික් කියලා තිබුණා එම්. එස්. මල්ලිටත් සිංදු 4 ක් දෙමු කියලා.'

වෝල්ටර් ප්‍රනාන්දු ගායකයෙකු ලෙස දොරට වඩින්නේ එළෙසිනි. ගැයූ පළමු ගීයෙන්ම ඔහු මෙරට ගීත ලෝලීන්ගේ සවනට සමීප වන්නේය. ඔහුට ඔහුගේම ගීත 04 ක තැටියකට වරම් ලැබෙන්නේ එලෙසිනි.

'පුල්ලි ගොනා පුරුදු කාරයා

ඒ මම තමයි කරත්ත කාරයා

මේකයි මගෙ බර බාගේ

පැයට සැතපුමයි වේගේ

ඔහෙලා හඳට යන්න හදනවා . . .'

මේ ගීතයත් සමඟ ලස්සන මල් දැක්කම මට හරි ආසයි, ලස්සන නර්ස් නෝනා, ගල්කිස්ස මූදු වෙරළ ලස්සනයි යන ගීත හතර ඔහුගේ නමින් ඛ්ච් තැටියකට නැඟිණ. මේවාගේ සංගීතය හා තනු නිර්මාණය ද එම්. එස්. ගෙන්ම විය. ඉන් පසු 'අලංකාර' නමින් රෙකෝඩ් බාර් එකක් පවත්වාගෙන ගිය දෙමළ ව්‍යාපාරිකයෙක්ගෙන් එම්. එස්. ට ගී තැටියක් කරන්නට කතා කළේය. එහෙත් ඒ වනවිටත් ගෞරි කොම්පැණියත් සමග ගිවිසුම් අත්සන් කරතිබූ එම්. එස්. එම ආරාධනාව ප්‍රතික්ෂේප කර එය මල්ලී වෝල්ටර්ට කතාකර දුන්නේය.

'මේ වෙනකොට මගේ 'පුල්ලි ගොනා' සින්දුව ජනප්‍රිය වෙලා තිබුණේ. ඒ ගීතය මැදදී 'ජහ පුල්ලියා ජහ' කියන වචන ටික කියන්නෙත් අයියා. එයින් පස්සේ අලංකාර මහත්තයා එක්ක මම ගිවිසුමක් ගැහුවා. මාසෙට සින්දු 4 ක් කරන්න ඕන. ඒ හතරට අයියා මට දුන්නේ රු: 400/- යි. ඉතින් අයියා මට කියනවා ඔන්න 16 දා අඥජධපඤඪදඨ කියලා. මම ඉතින් කැමති නෑ. මොන මලකරදරයක්ද මන්දා කිය කිය තමයි මම ගියේ. අද මේ වගේ තත්ත්වෙක ඉන්න මාව එදා ඔහු ඇදගෙන ගියේ එහෙම තමයි.'

වෝල්ටර්ගේ කතාව අහනකොට ලේ බැඳීම කොයිතරම් බලවත්දැයි අපට හැඟේ. තම ආදරණීය සහෝදරයාට යහපත් අනාගතයක් නිර්මාණය කරන්නට එම්. එස්. අයියා කළ කැප කිරීම් බොහෝය. අයියා සකසා දුන් මාර්ගයේ දැන් ඔහු බොහෝ දුර ගොස්ය. මේ වන විට ගීත 200 කටත් අධික සංඛ්‍යාවක් ඔහුටම හිමිය. මුල් කාලයේ වෝල්ටර්ට සෑම ගීතයක්ම සකසා දුන්නේ අයියා විසින්ය. දැන් නම් ඔහු ඔහුටම ගීත නිර්මාණය කර ගන්නේය. මේ දිනවල ඔහුගේ ජනප්‍රියම ගීතය මාතර බත් කඩේය.

'තුන් වේලම කටට රහට ලැබුණා

මුළු කොළඹම රතු හාලට හැරුණා

අක්ක කෙනෙක් වගෙයි අපට පෙනුණා

මාතර බත් කඩේ බේබි නෝනා . . .'

වෝල්ටර් චිත්‍රපට පසුබිම් ගීත ගායකයෙක් ලෙස ද නමක් දිනා ගත්තෙකි. අයියා චිත්‍රපට ගීත ගයනවා වෝල්ටර් ද ආසාවෙන් බලා සිටින්නට ඇත. ඒ අවස්ථාව ඔහුට හිමි වනුයේ මිතුරු වික්ටර් රත්නායක නිසාය.

'මමයි, මිල්ටන් මල්ලවාරච්චියි, වික්ටර් රත්නායකයි හොඳ යාළුවෝ. අපි තුන් දෙනාම ඒ කාලේ එකට හිටියේ. මම වික්ටර්ට දවසක් කිව්වා මට චිත්‍රපටයකට ගීතයක් කියන්න ආසයි කියලා. ඒ කාලේ ඉතින් චිත්‍රපටයකට සින්දුවක් කියනවා කියන්නේ විශාල දෙයක්. ඊට පස්සේ වික්ටර් ගාමිණී ෆොන්සේකා රඟපාන සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ 'රජ ගෙදර පරෙවියෝ' චිත්‍රපටයේ මට මිල්ටන් මල්ලවාරච්චි සමඟ ගීතයක් කියන්න අවස්ථාව සලසලා දෙනවා.

'සමනල තටු යට රිංගලා' කියන ඒ ගීතය හරියට ජනප්‍රිය වෙනවා. එදා ඉඳලා අද වෙනකොට මම චිත්‍රපට 34 ට සින්දු කියලා තියෙනවා. ටෙලි නාට්‍ය 4 - 5 ටත්, වෙළෙඳ දැන්වීම් රාශියකටත් ගීත ගායනා කරලා තියෙනවා. අපි හරි පොඩි දුප්පත් පවුලක්. ඒ කාලේ අපේ අයියා වාද බයිලා කියන්න යනකොට කොණ්ඩේ ඉස්සරහින් 'බම්ප්' එකක් තියනවා. ඒක තියාගන්න කණ්ණාඩියෙන් බලන්න මම තමයි කුප්පි ලාම්පුව අල්ලගෙන ඉන්නේ. ඉතින් එහෙම තැනක හිටිය අපි උගුරට පින් සිද්ධ වෙන්නත්, මගේ අයියා වගේම මගේ ගුරුතුමා වුණු ඔහුට පින් සිද්ධ වෙන්නත් අද හොඳ තැනක ඉන්නවා.

වෝල්ටර්ට අතීතය හොඳට මතකය. එසේම ඒ අතීතයට ඔහු අද ද ගෞරව කරන්නේය. අයියාට පින් දෙන්නේය. අයියාගේ මඟ පෙන්වීමෙන් ඔහු ද බොහෝ දුර ගිය කෙනෙකි. ජීවිතේ බොහෝ දේ ළං කර ගත් කෙනෙකි. ගේ දොර, යාන වාහන සේම හොඳ පවුල් දිවියක් ද හිමි කර ගත්තෙකි. වෝල්ටර්ට අයියා නිතර කියුවේ 'උඹට කියන්න උඹේම ගීත හදා ගනින්' කියලාය. ඒ අනුව ඔහු ගීත ගොන්නක්ම නිර්මාණය කර ගත්තේය. ඉඳහිට සංදර්ශනයකදී රසික ඉල්ලීමට අයියාගේ ගීතයක් ද ගායනා කරන්නේය. එහෙත් අයියාගේ පුතුන් සුසිල් හෝ සරත් හිටියොත් ඔහු ඔවුන්ගෙන් විමසන්නේය. 'බාප්පා කියන්න' යැයි ඔවුහු ද පවසති.

'ඇත්තටම අයියගේ ගීත කියන්න එයාගේ දරුවෝ ඉන්නවානේ. ඔවුන් තමයි ඒවා ඉදිරියට පවත්වා ගෙන යන්නේ. මම ඉඳහිට එකක් කිව්වත් ඔවුන්ගෙන් අහල තමයි කියන්නේ . . .'

වෝල්ටර්ට මෙපමණ දුර ගමනක් යන්න ශක්තියක් වූයේ ඔහුගේ දයාබර බිරියයි. එපමණක් ද නොව ඔහුට ආදරබර දු පුතුන් තිදෙනකු ද ඈ තිළිණ කළාය. පුතාලා දෙදෙනා සහ දියණිය ද විවාහ වී සිටින අතර මේ සියලු දෙනාට ද ගායන හැකියාව උපරිමයෙන් පිහිටා ඇත. මතු යම් දිනක වෝල්ටර්ගේ නාමය රැගෙන යන්නට ඔවුන් ද ඉදිරියට පැමිණෙනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.