ඡායාරූපකරණයෙන් රංගනයට

අනිල් ජයසිංහ
මාර්තු 7, 2019

අනිල් ජයසිංහ යනු චරිතාංග රංගන ශිල්පියෙකි. විටෙක අවිහිංසක ගැමියකු ලෙස ඔබ හමුවට පැමිණෙන්නේය. ඔහුට කපටි නාගරිකයකු වන්නට ආරාධනා ලැබෙන්නේ ඔහු එම චරිතයට ද මනාව ගැළපෙන බැවිනි. නාට්‍ය ගණනාවක් ඔස්සේ සිය රංගන හැකියාව ඉදිරිපත් කරන අනිල් වෘත්තීයෙන් ඡායාරූප ශිල්පියෙකි. එනමුදු අනිල් වර්තමානයේ එම වෘත්තීයට දෙවැනි තැන දී රංගනයට වඩාත් යොමු වී තිබේ.

අනිල් මේ දිනවල කොහොමද ඔබේ වැඩ කටයුතු?

සුපුරුදු ලෙසම ගෙවිලා යනවා. විවිධ වර්ගයේ චරිත තමයි මට ලැබෙන්නේ. ඒකාකාරී බවක් ඒවායේ නැහැ. මිණිගං දෑල නාට්‍යයේ මම පතල් මුදලාලි. හරස් පාර නාට්‍යයෙත් චරිතයක් රඟපැවා අමුතු රසිකයා, සංගීතේ නාට්‍ය වල මේ දිනවල ඉන්නවා. මීට ටික කාලෙකට කලින් මං හොඳ චරිත යුවලක් රඟපෑව නාට්‍ය දෙකක් විකාශය නිම වුණා. සිතින් සියවර සහ උත්තම පුරුෂ තමයි. ඒ ඉඩෝර වැස්ස නාට්‍යයේ මං කමලසිරි.

මේ වන විට ඔබ නාට්‍ය කොපමණ ප්‍රමාණයක රඟපාලා තියෙනවාද?

හැත්තෑ පහකට අධික ප්‍රමාණයක්.

දැන් ඡායාරූපකරණය දෙවැනි තැනට වැටිලා?

එහෙම හෙම වුණේ මට නාට්‍යවලට ලැබුණු ආරාධනා වැඩි හින්දා. රංගන අවස්ථාවක් මඟ හැරුණොත් ආයේ ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. මං නැතුවට වෙනත් නළුවකු ආදේශ කර දර්ශන ටික කරයි. එනිසා ලැබෙන සෑම ආරාධනාවක්ම පාහේ බාර ගන්නවා. වෙඩින්වල ඡායාරූප ගන්නට මට ආරාධනා ලැබෙනවා. ඇතැම් අවස්ථාවලදී ඒවා පවා ප්‍රතික්ෂේප කොට රඟපාන්න යනවා.

ඔබට තවම ප්‍රධාන චරිතයක් රඟපාන්න ලැබිලා නැහැ නේද?

අපි දෙවැනි පෙළ නළුවො. මැරෙනකම්ම එහෙම ඉඳියි. ඒ වුණාට කවදා හරි ප්‍රධාන චරිතයක් රඟපාන්න බලාගෙන ඉන්නවා. දෙවැනි පෙළ චරිත ලැබුණට ඒවා තුළ මට විවිධ පරාස ඔස්සේ රඟපාන්න ලැබෙනවා. ඇතැම් විට ප්‍රධාන නළුවාට වඩා දෙවැනි පෙළ චරිත මිනිස්සු අතරට යන අවස්ථා තියෙනවා.

නළුවකු වීම ගැන සතුටුද?

ඔව්. බොහොම කට්ටක් කාලයි මේ තැන හදා ගත්තේ. ඇති තරම් රස්තියාදු වුණා. ක්ෂේත්‍රය එපා වන තත්ත්වයකටත් පත් නොවුණාම නෙවෙයි. තෘප්තිමත් බව නිසා ක්ෂේත්‍රය අතහැර ගියේ නැහැ.

නාට්‍ය රඟපාන්න ගිහින් හොඳවැයින් කම්මුල් පාරක් ලැබුණු මොහොතක් ඔබ රංගන ජීවිතයේ තිබෙනවා?

ඔය සිදුවීම වුණේ පබසරා නාට්‍ය රූපගත කරද්දී. මං එම කොහු මෝලෙ ලියන මහත්තයාගේ චරිතය කළේ. ශ්‍රියන්ත මෙන්ඩිස් අයියා තමයි මට කම්මුලට ගැසිය යුතුව තිබුණේ. ටේක් එකේදී මට වැදුණා සුපිරි කම්මුල් පාරක්. හක්ක පැනපු නැති ටික විතරයි.

ඉදිරියේදීත් නළුකමේ නියැළෙන්නද කල්පනවා?

අවස්ථාවන් ලැබෙනකම් ක්ෂේත්‍රයේ ඉන්නවා. අප ක්ෂේත්‍රයට බලපෑමක් එල්ල වුණා ඩබිං කරපු ඉන්දීය නාට්‍ය නිසා. ටෙලිවලින් ජීවත්වන පිරිසක් වෙනමම ඉන්නවා. ඔවුන්ට ඒක මරු පහරක් වුණා. නළුවො විදිහට අපටත් ඒක යම්තාක් දුරකට දැනෙනවා. ඒත් මොනවා කරන්නද. අපේම අයනේ ඒවායේ ඩබින් කරන්නේ.

ඔබ ගායකයකු වශයෙන් ද කටයුතු කරනවා නේද?

ප්‍රසංගවලටත් ආරාධනා එමටයි. ඉඩ ඇති පරිදි ඒවාට සහභාගි වෙනවා.

සටහන - ප්‍රසාද්සේ
යාරූ - නිශ්ශංක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.