ආක්ෂා මගේ වස්තුව දැන් එයා ආක්ෂා චමුදි ඇන්ජලිනා

ගී ලොව කිරුළ දැරූ ඇන්ජලින් ගුණතිලක සමඟ දිගු කලකට පසු කතාබහක්
මාර්තු 7, 2019

ආක්ෂා . . . ඔබට මතක ඇති දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාව දෙවනත් වෙන්න ඈ ඇන්ජලින්ගේ ගීතයක් ගායනා කළා. රූපවාහිනී තිරය ඈ දිහා බලන් හිටපු ඇන්ජිගේ හදවතින් ගලා ආපු ආදරය කරුණාව නිසාම ඈ කිහිප දෙනකුටම පවසා තිබුණේ මේ පුංචි ළදැරියව තමාට මුණගස්වන

"රේචල් ඇන්ජලිනා . . .

උපැන්න සහතිකේ ඇගේ නම සඳහන් වෙන්නේ එහෙම. ඒත් අපි ඇයව දන්නේ වෙනත් විදියකට.

ඇන්ජලීන් ගුණතිලක.

නම විතරක් කිව්වම ඇති. තවත් හඳුන්වා දෙන්න අටුවා ටීකා ඕන වෙන්නේ නෑ. මුළු රටක්ම ආදරය කරන නමක්. රටක්ම ආදරය කරන හඬක්. එදා අද විතරක් නොවෙයි, හෙටත් අනාගතයේත් මතු මතුත් ඈ අපට ඉතිරි කරපු නොමියෙන ගී හැදාමත් අපිව නළවාවි.

කලකට පසු අපි හමු වුණා හුඟාක් දේ කතා කරන්න බලාගෙන. දැනට වසර දෙක හමාරකට ආසන්න කාලයක් තිස්සේ ඈ ඉන්නේ නිවෙසේ විවේකීවය. හදිසියේ මතු වූ අසනීප තත්වයකට ප්‍රතිකර කරමින්. ඒත් ඉතින් අදටත් ඈට රසිකයන්ගෙන් නම් ඉස්පාසුවක් නෑ. කොයි මොහොතක දැක්කත් වට කර ගන්නවා. නිවෙසේ දුරකථනයටත් මේ දින වකවානු පුරාම නිදහසක් තිබිලා නැහැ.

ඒ තරම් ආදරයක් රසිකයන්ගෙන් විඳින්න ඈ කොයි තරම් වාසනාවන්ත වෙන්න ඕනද?

ඔව්, මගේ ජීවිතේට ලැබුණු ලොකුම වාසනාව තමයි රසිකයන්ගේ ආදරය. ඒක මට දරාගන්න බැරි තරමට ලැබෙනවා. අසනීප වුණ දා පටන් නිවෙසේ දුරකථනයට ඉස්පාසුවක් නෑ. අන්තිමේ බැරිම තැන දුරකථනයේ රිසීවරය අයින් කරලා තිබ්බා. ඒත් බේරෙන්න බෑ. සමහරු ගේ හොයාගෙන එනවා මාව බලන්න.'

ඈ කියන්නේ හිතේ පිරුණු ආදරයකින්. සුපුරුදු විදියටම ඇගේ සුහද පිළිගැනීම් මැද්දේ අපි ඇගේ නිවෙසේ. පෙරදා වගේම ඇගේ සියලු කාර්යයන් හි පසු ගමන්කරු ආදරණීය සැමියා ඈ අසලින්ම. නිවෙසට ගොඩවන තැනම බිත්තියේ රැඳුණ ජේසුතුමන්ගේ ප්‍රතිරූපය ඉදිරියේ හැමදා දැල්වෙන පහන අදත් දීප්තිමත්ව බැබළෙනවා. ඈ හිමින් හිමින් පැමිණ දෙවියන් වහන්සේට මුහුණ ලා මා ඉදිරියෙන් වාඩි වුණා.

'මේ කටහඬ මට දෙවියන් වහන්සේ දුන් තෑග්ගක්. ඈ හැමදාමත් අපිට කිව්වේ එහෙමයි. ඒ අනගි තෑග්ගෙන් ඈ සුවහසක් රසික ජනතාවක් අමන්දානන්දයට පත් කළා.

ඉතින් තවත් ඈට දිනිය යුතු ලෝකයක් තියේවිද?

'මගේ ආසාව යනතුරු මම සින්දු කියලා තියෙන්නේ. මට ආයෙත් සින්දු කියන්න ආසාවක්, තණ්හාවක් නෑ. ඒ වුණාට මම අසනීප වුණාට පස්සේ මගේ රසිකයෝ අඬනවා. 'අනේ ආයෙත් සින්දු කියන්න එනවා නේද?' කියලා අහනවා.

ඇත්තටම ඔව්. මම සින්දු කියන්න එනවා තමයි. හැබැයි මෙහෙම නොවෙයි. පෙර සිටි පරිදිම මාව සුවපත් වුණාට පස්සේ. දැනට තාමත් මගේ අත ටිකක් හිරයි. අත සැහැල්ලු වෙන්න ඕන මධඪජඥ හරි යන්න ඕනෑ. මට දැනෙනවා තාම සින්දු කියන්න තරම් මගේ ඇඟ රිලැක්ස් නෑ කියලා.'

ඈ කියන්නේ හිතේ දුකකින් එහෙම නොවෙයි. ඒත් ඇගේ දෑසේ තියෙන්නේ ආදරණීය බලාපොරොත්තුවක්. ඒ නිල් පාට දෙනෙත් යොමු වෙලා තියෙන්නේ දෙවියන් වහන්සේ දිහාවට.

'මම දන්නවා දෙවියන් වහන්සේ යුතු වෙලාවට මට හැකියාව දෙයි කියලා ගීත ගයන්න. ඒ හින්ද මම බය නෑ. එතකම් මම මෙහෙම ඉන්නවා. හැමෝම මට කිව්වා සින්දු කියන්න ඊපර කරන්න කියලා. මම කියනවා නෑ . . . මම නිකම්වත් ඊපර කරන්නේ නෑ. මම බය නෑ දෙවියන් වහන්සේ ඉන්නකම්. උන්වහන්සේ මට නියම වෙලාවට මගේ හඬ දේවි. මම අපේ රසික ජනතාව ඉස්සරහට ගියේ ලස්සනට ඇඳලා පිළිවෙලකට. ඉතින් මම කවදාවත් කොර ගහ ගහ විල් චෙයාර් එකකින් හරි මගේ රසිකයන් ළඟට යන්නේ නෑ.'

ඇගේ ප්‍රාර්ථනයට අපිත් ආශිර්වාද එකතු කරනවා. ඉතා ඉක්මනින්ම අපි වේදිකාවේ දැකපු ඇන්ජලින්ගේ ආදරණීය ප්‍රතිරූපය, හඬ අපිට දකින්න, ඇහෙන්න ලැබෙන්න කියලා. ඇත්තටම ඇය පසුගිය අවුරුදු දෙකකට ආසන්න කාලයක් කලාවට හෝ මාධ්‍යයකට පැමිනුණේ නෑ. කොටින් කිවහොත් ඇය සිටියේ නිවෙසටම කොටු වී ප්‍රතිකාර සමඟ ගෙවන දිවියකයි. දැන් ඈට ආපස්සට හිතන්න හුඟාක් වෙලාව තියෙනවා.

"මං අතීතය ගැන මෙනෙහි කරන්නේ නෑ. එහෙම වුණාම දුක හිතෙන අවස්ථා තිබෙනවා. මං දුක් වෙන්න කැමති කෙනක් නොවෙයි. ඒත් වෙලාවකට මට දැනෙනවා කිසිම ගුණයක් නැති පිරිසකුත් අපි අතරේ ඉන්නවා නේද කියලා. මම ගායිකාවක් විදියට මේ රටේ සංගීතයට, චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයට කොයි තරම් සේවයක් කරපු ගැහැනියක්ද? අපේ රටේ රූපවාහිනී නාළිකාම කීයක් තියෙනවද? ඔය නාළිකාවලින් දවසකට මගේ ගීත කීයක් නම් ගායනා වෙනවද? ඉතින් ඒ අය ටිකක් හිතන්න ඕන නේද මේ ගායිකාව දැන් අසනීප තත්ත්වයකින් ඉන්නේ. මුදල් අතිනුත් ටිකක් අමාරු ඇති කියලා ටිකක් බලන්න ඕන කියලා. ඉතින් විවේකිව ඉන්න කොට මට මේව මතක් වෙනවා. ආපස්සට හිතත්දී මිනිසුන්ගේ ගුණේ නැති එක ගැන මතක් වෙන නිසා හිතන්නේ නැතිව ඉන්න උත්සාහ කරනවා. මට දුක දැනෙන කොට මගේ කටහඬ ගොරෝසු වෙනවා.

ජීවිතේ පුරා මෙරට ගීත ක්ෂේත්‍රය වෙනුවෙන් තම කාලය, හැකියාව, දක්ෂතාවය මිඩංගු කරපු ඇය වැන්නියකට හදවතට වේදනාව දැනීම වැළැක්විය නොහැකියි. එහෙත් ඇගේ චිත්ත ධෛර්යය තවමත් පෙර පරිදිම පැවතීම සුතුටුදායකය. ආරම්භයේ සිටම ඈ ගත කළේ ඈටම අනන්‍ය වූ ප්‍රතිපත්ති මාලාවකින් යුත් නීත්‍යනුකූල ජීවිතයක්. විටෙක ඈ ඈටම නීති රීති පනවා ගත්තියක් වුණා. ඇගේ වටිනාකමට ඈ තක්සේරු කරන මුදල නොලැබුණහොත් දෙපාරක් නොසිතාම ඒ සන්දර්ශනය ප්‍රතික්ෂේප කරන්නට ඈ කිසි විටෙකත් පසුබට වුණේ නෑ.

'මම දෙකයි පණහට, තුනයි පණහට සින්දු කිව්ව කෙනෙක් නෙමෙයිනේ. වෘත්තීය ගෞරවය ආරක්ෂා කරගෙන, බොහොම ප්‍රතිපත්ති ගරුකව මගේ තත්ත්වය තියා ගත්ත කෙනෙක්. මගේ මුදල දෙන්න කෙනෙක් කැමති නැත්නම් මම ඒක අත ඇරලා දානවා.

ඇත්තටම කිව්වොත් මම ඒ විදියට යමක් කමක් හම්බ කරලා තිබුණ නිසා තමයි මගේ රෝගී තත්ත්වයට වුණත් මේ විදියට මුහුණ දෙන්න පුළුවන් වුණේ. ප්‍රතිකාර සඳහා අති විශාල මුදලක් වියදම් වුණා.

මුලින් පෞද්ගලික රෝහලක මාසයක්ම නැවතිලා හිටියා. ලක්ෂ 45 ක් විතර ඒකට ගියා. ඊට පස්සේ නවතම ක්‍රම වේදයකට අනුව ශල්‍යකර්මයකට භාජනය වුණා. ඒකට ලක්ෂ 12 ක් විතර ගියා. තව ඉතින් බෙහෙත් හේත් සාත්තු සේවකයින්ටත් වියදම් කරන්න වුණා. දැන් ඉතින් මට ඇවිදින්න පුළුවන් තත්ත්වයට පත්වෙලා ඉන්න නිසා සාත්තු සේවකයෝ අවශ්‍ය නෑ. ලෙස්ලි තමයි මාව බලා ගන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ මම හම්බ කරපු නිසා මට වියදම් කරන්න ලැබුණ. ඉස්සරහට එන ආක්ෂා වගේ දක්ෂයින්ටත් මට කියන්න තියෙන්නේ එච්චරයි.

විවේක සුවයෙන් ඇන්ජි ගෙවන මේ කාල සීමාව තුළ ඇගේ ජීවිතේට ළංවුණ සුර කුමරියක් ඉන්නවා.

'ආක්ෂා . . මගේ වස්තුව . . .

ඇන්ජි හිමින් මුමුණනවා. ඇගේ හිත දිනාගත්ත මේ කුමරිය.

ආක්ෂා . . . ඔබට මතක ඇති දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාව දෙවනත් වෙන්න ඈ ඇන්ජලින්ගේ ගීතයක් ගායනා කළා. රූපවාහිනී තිරය ඈ දිහා බලන් හිටපු ඇන්ජිගේ හදවතින් ගලා ආපු ආදරය කරුණාව නිසාම ඈ කිහිප දෙනකුටම පවසා තිබුණේ මේ පුංචි ළදැරියව තමාට මුණගස්වන ලෙසයි.

ක්ෂාගේ පියාගේ දුරකථනය සොයාදීමේ වගකීම එදා දරා තිබුණේද සරසවිය පුවත්පතයි. ඒ හරහා ආක්ෂාත් ඇන්ජිත් අද ඉතාම ආදරණීය දියණියකුත් මිත්තණියකුත් වෙලා.

'ආක්ෂා මගේ දුවට මම හරිම ආදරෙයි. මම එයාට ආදරේට කියන්නේ මගේ 'වස්තුව' කියලා. වෙලාවකට ආක්ෂා කෙල්ල කියලත් කියනවා. ඒ කාලේ ඩේසි අක්කත් අපට ආදරේට කීවේ කෙල්ල කියලා. ආක්ෂා ඊ. ඍ. එකේ සිංදු කියනවා දැකලා තමයි මට ආස හිතුණේ. මම එයාට අපේ ගෙදර එන්න කියලා ආරාධනා කළා. එදා මගේ උපන් දිනේ දවසේ. එයා ඇවිත් සිංදු කියලා මාව හරියට සතුටු කළා. ආක්ෂාට මම මගේ නම දුන්නා. දැන් එයා

'ආක්ෂා චමුදි ඇන්ජලිනා'

ඒ නම ඇහෙන කොටත් මට සතුටුයි. මගේ උප්පැන්න සහතිකේ තියෙන නම ඇන්ජලිනා. මේ නම මම මගේ පොඩි දූට දුන්නා. ඇන්ජලින් දිල්ශානි කියලා. ඊට පස්සේ මගේ ලොකු දුවගේ දුවට, මගේ මිනිබිරියට දුන්නා. කර්ෂිකා ඇන්ජලිනා කියලා. ඒ මගේ ලේ උරුමයෙන්. දැන් මම මගේ නම ආක්ෂාට දුන්නා බොහොම ආදරෙන්. එයා මගේ නම වගේම මගේ සින්දු ටිකත් ඉස්සරහට පවත්වාගෙන යයි.

ආක්ෂා අර අවුරුදු 5 කෙල්ල මගේ සින්දු කියන අපූරුව දැක්කම මට හිතාගන්නවත් බැරි වුණා. රෑ දවල්, මල් රැඟුම් ගීතය හරිම ලස්සනට කිව්වා. මගේ පිච් එකෙන් මගේ ගීත ගයන්න හැමෝටම බෑ. ඒත් ආක්ෂා ඒක කරනවා. ඔය වෙන අය කිව්වට මම ඒ අය ගණන් ගන්නේ නැහැ. ආක්ෂා වගේ ඒ කාටවත් කියන්න බෑ. ඒ අය කවුරුත් මගේ ගීත කියන්න ඕනත් නෑ. මම ආක්ෂාට බාර දීලා තියෙන්නේ මගේ ගීත.'

තමන් කාලයක් තිස්සේ ආදරෙන් පරිස්සම් කරගෙන ආපු ගීත ටික විතරක් නෙමෙයි තමන්ගේ උප්පැන්න සහතිකේ තිබුණ නම පවා ආක්ෂාට දෙන්නට තරම් ඇය පරිත්‍යාගශීලී වෙලා. ඒ ආදරය, බැඳීම කොයි තරම් බලවත් වෙන්න ඕනද මේ තරම් පරිත්‍යාගශිලී වෙන්න.

ආක්ෂා ගැන ඈට කියන්න තවත් හුඟක් දේ තියෙනවා.

'ඉස්සරහට මේ කෙල්ල හුඟාක් ලොකු තැනකට එයි. දැන් එයා වේදිකාවේ පාවිච්චි කරන්නේ ආක්ෂා චමුදි ඇන්ජලිනා කියලයි.

ඇත්තමයි මේ නම ඇහෙන කොට මට දැනෙන සතුටක්! මම දැන් බය නෑ. මේ කෙල්ල ළමිස්සියක් වෙනකොට මම හොඳටම වයසට ගිහින් තියෙයි. මම ඊර්ෂ්‍යාවක් නැතුව ආදරයෙන් දෙන දේ එයා රැක ගනී. මම මැරුණ දවසටත් මගේ නමයි සිංදු ටිකයි ගෙනියන්න ආක්ෂා ඉන්නවානේ. . .'

ඈ කියන්නේ ලොකු සැහල්ලුවකින්. ජීවිතේ බර අයින් කලා වගේ හැඟීමකින්.

දැන් මම උදේ ඉඳන් නින්දට යනතුරුම ගෙනි යන්නේ දෙවියන් වහන්සේ සමඟ ගෙවන ආධ්‍යාත්මික ජීවිතයක්.

ඒ ආධ්‍යාත්මික සුවය හැමදාමත් ඈ ළඟ රැඳෙත්වා!

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.