පිටරටදී මම තවත් නොම්මරයක් විතරයි

මඩොල්දූවේ උපාලි ගැහැනු ළමයි නිමල් අජිත් ජිනදාස
මාර්තු 7, 2019

අජිත් ජිනදාස යනු සැබවින්ම වාසනාවන්ත නළුවෙකි. වසර විසිි පහකින් මෙහා ඔහු රඟපා නැත. එහෙත් අජිත් කිසිදු දිනෙක මෙරට ප්‍රේක්ෂකයන්ට අමතක වන්නේ ද නැත. එයට හේතුව සදා අමරණීය චරිත යුගලයක් ඔහු නිරූපණය කොට තිබීමයි. ඉන් එක් චරිතයක් ලෙසට මඩොල්දුව සිනමාපටයේ උපාලි ගිනිවැල්ලේ හඳුන්වාදීමට පුළුවන. අනෙක ගැහැනු ළමයි සිනමාපටයේ නිමල් හතුරුසිංහය. පිළිවෙළින් එම සිනමාපටයන් අධ්‍යක්ෂණය කරනු ලැබුවේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ හෙළ සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස්ය. එවන් වූ නිර්මාණකරුවෝ අජිත් තම නිර්මාණ සඳහා පැකිළීමකින් තොරව යොදා ගත්හ. ඉතා දිගු කලක් කැනඩාවේ පදිංචිව සිටින අජිත් වරින්වර ලංකාවට පැමිණෙයි. එසේ ආ අවස්ථාවකදී ඔහු අපි මෙලෙස කතාබහකට එක්කාසු කර ගත්තෙමු.

අජිත් ඔබ මෙවර ලංකාවට ආවේ විශේෂ හේතුවක් මතද? නැත්නම් සුපුරුදු හේතු නිසාද?

ඔය දෙකම නිසා. මගේ අම්මා දැනට අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ඇයව බැලීමේ දැඩි වුවමනාවක් තිබුණා. මේ කාලයේ කොහොමත් මං ලංකාවට එනවනෙ. මගේ අතිශය හිතාදර මිත්‍ර නැසීගිය විජය කුමාරතුංගගේ ගුණ අනුස්මරණය සිදු කෙරෙනවා පෙබරවාරි දහසයේ විතර ඉඳලා. ඒවට මං අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා. මේ ගමනෙදි මගේ මිත්‍ර ජයලත් මමෝරත්නගෙත් සුවදුක් විමසන්නත් පුළුවන් වුණා. මේ සේරම වැඩ නිසයි මෙදා සැරේ ලංකාවට ආවේ.

විජයත් එක්ක සක්‍රීය දේශපාලනයේ නියැළුණු කෙනෙක් ඔබ?

විජය එක්ක ඔය මම ඇතුළු කිහිප දෙනෙක් සීරියස් විදිහට දේශපාලනේ කළා. ඔහුගේ මහජන පක්ෂයේ ප්‍රතිපත්ති සුරකිමින් වැදගත් විදිහටයි ඒක කළේ. අදටත් මං ඒ ප්‍රතිපත්ති සුරකිනවා. ඒකනෙ අපි ෆේස්බුක් එකෙන් දැනටත් බැනුම් අහන්නේ.

ඔබ අවසන් වරට රඟපෑමෙන් දායක වුණේ?

රතු අළුයම චිත්‍රපටයේ. යසපාලිත තමයි ඩිරෙක්ටර්. නිෂ්පාදනය කළෙත් මමයි.

ලංකාවට ආවම නිතැතින්ම වෙනසක් දැනෙනවා ඇති?

අපිට ආලෝකය තියෙන්නේ මෙහෙට ආවාම තමයි. අදටත් කොච්චර නම් පැරැණි බයිස්කෝප් ගැන කිය කිය මිනිස්සු කතා කරනවද, ඒ කියන්නේ අපි තවමත් සුවිශේෂයි කියන එකනෙ. එහෙ ඉද්දි අපි තවත් එක නොම්මරයක් විතරයි. මෙහෙ එහෙම නැහැ.

ඔබට සිනමා නිර්මාණකරුවකු වන්නට තවමත් අදහසක් නැති පාටයි?

සිහින තියෙනවා. නැත්තේ නැහැ. මේ කාලේ චිත්‍රපටයක් හදනවා නම් විදෙස් රටවල පෙන්නන්නත් එක්ක හදන්න ඕනෑ. මං හිතන විදිහට ලංකාවේ පමණක් හදපු චිත්‍රපට පෙන්නලා වැඩක් නැහැ. ලාභයක් ගන්න බැරි වෙනවා. මං මේ කියන්නේ ලොකු රිසර්ච් එහෙම කරලා නෙවෙයි. නමුත් මට දැනෙනවා නිර්මාණකරුවකු වනවාට වඩා මෙහෙම ඉන්න එක හොඳයි කියලා.

සිනමාවේ ස්වර්ණමය යුගය නියෝජනය කළ කෙනෙක් ඔබ?

අපි චිත්‍රපට කරපු කාලේ මිනිස්සුත් සිනමාවට හරි උනන්දුයි. චිත්‍රපටයක් එනවා කියන්නෙ ඒක හරි දැවැන්ත දෙයක් හැටියටයි දැක්කේ. අද තියෙන තත්ත්වෙත් එක්ක කිසිම දෙයක ප්‍රතිපත්තියක් නීතියක් නැති කොට කොහොමද චිත්‍රපට ක්ෂේත්‍රයට සුභදායි දෙයක් වෙන්නේ. මේ ආව සැරේ මං ගියා එක්තරා රූපවාහිනී නාළිකාවකට. කොට කලිසමක් තමයි ඇඳගෙන හිටියේ. මාව ආරක්ෂක අංශයෙන් ඇතුළට ගත්තේ නැහැ ඩ්‍රෙස් කෝඩ් එක නිසා. මං ඇහැව්වා හේතුව මොකක් ද කියලා. හේතුවක් නැහැ. නමුත් නීතියක් තියෙනවා, නීතියකට හේතුවක් තියෙන්න ඕනෑ. අපේ රටේ තියෙන ප්‍රතිපත්ති කොතරම් ප්‍රයෝගික ද නැද්ද කියලා බලන්න ඕනෑ. සිනමාවටත් ඒක පොදුයි.

ටෙලි නාට්‍යයවල රඟපාන්න කතා කළේ නැද්ද?

අවිවේකී බව නිසා මට ඒවට යන්න අමාරුයි. එහෙන් මෙහෙන් මට ටෙලි නාට්‍ය ටිකක් බලන්න ලැබුණා. ඉඳගෙනනෙ ඒවායේ නළු නිළියෝ දෙබස් කියන්නේ. එනවා ඉඳගන්නවා දෙබස් කියනවා යනවා.

කාලයක් විදෙස්ගතව සිටීම පිළිබඳ අද ඔබට කෙහොමද දැනෙන්නේ?

භාගයක් හොඳයි. භාගයක් දුකයි. එක අතකින් යම් යම් අංශවලින් ඒ රට සුරක්ෂිතයි. නමුත් අපට ආලෝකය තියෙන්නේ මෙහෙ. එහෙ ඉන්න කොට දසදහස් වාරයක් හිතෙනවා මම මේ මොනවද වෙන රටකට වෙලා කරන්නේ කියලා. ඉඳහිට හෝ ඇවිත් යාම තුළින් විශාල මානසික සතුටක් ලබනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.