ලංකාවේ ලිංගික දර්ශන කියන්නේ කෘතිය විකිණීමට යොදන ජිමික් එකක්

‘දැකල පුරුදු කෙනෙක්’ අධ්‍යක්ෂ මලිත් හෑගොඩ
මාර්තු 7, 2019

මාර්තු 08 එනම් හෙට සිට මෙරට සිනමා ශාලා 20ට අධික සංඛ්‍යාවක සවස 4.15ට පමණක් අපට ‘දැකල පුරුදු කෙනෙක්‘ දැකිය හැකිය. කාන්තා දිනය නිමිති කර නොගත්තත් ආසියානු සමාජයේ අප දකින බොහෝ කාන්තාවන් අත් විඳීන අත්දැකීමක් ලෙස මෙය පැවසුවද වරදක් නොවේ. එයට හේතුව ඔබ කැමති ආකාරයකින්, ඔබේ අත්දැකීම් හෝ අත්විඳීම්වලට සාපේක්ෂව මෙය අර්ථකථනය කර ගැනීමට කිසිවකුගෙන් බාධාවක් නොවන නිසාය. සරසවිය සම්මාන උලෙළේ 2018 වසරේ මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂවරයාට හිමි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානයෙන් මෙන්ම ලොව පිළිගත් සිනමා සම්මාන උලෙළ කීපයකින්ම පිදුම් ලැබූ දැකල පුරුදු කෙනෙක් සිනමා කෘතිය ඔබ වෙත කැඳවන මලිත් හෑගොඩ සමඟ ඔහුගේ කුලුඳුල් සිනමා කෘතිය පිළිබඳ අප කතා බහක යෙදුණේ ඔහු දැක ඇත්තේද ප්‍රේක්ෂකයන් දකින්නට යන දැකලා පුරුදු කෙනාමද යන්න තහවුරු කරගැනීම සඳහාය

අපට කියන්න මේ දැකල පුරුදු කෙනා කවුද?

ඒකට නම් චිත්‍රපටය බලන්නම වෙනවා. (සිනාසී) මං හිතන්නේ සමාජයේ අපි අඩු වැඩි වශයෙන් අත්විඳලා තිබෙන දැකලා පුරුදු කෙනෙක් ගැන කියැවෙන කතාවක්.

අද අපේ රටේ සිනමාවට නැඟෙන පොදු මාතෘකාවකින් වෙනස් වස්තුබීජයක් මෙය?

ඔව්. මම හිතන විදිහට මෙය වෙනස් මාතෘකාවක් වෙන්නේ ලංකාවේ දැනට තිබෙන ප්‍රවණතා නිසානේ. ඒත් සාමාන්‍යෙයන් අපි ගත්තොත් යුරෝපීය හෝ ලෝකේ අනෙක් රටවල සිනමාවේ සමාජයේ, පවුල් සංස්ථාවල, මිනිසුන්ගේ සම්බන්ධතාවල තිබෙන ගැටලු සිනමාවට නැඟෙනවා. අවුරුදු පහක හයක ඉඳන් ලංකාවට එය නුහුරු වුණාට අන්තර්ජාතික සිනමාව නරඹන අයට එය පුරුදුයි. මම පෞද්ගලිකව චිත්‍රපට මාධ්‍යයක් ලෙස තෝරා ගන්නේ, අපට අප ගැන නොපෙනෙන පැතිකඩක් තේරුම් ගැනීමේ අවස්ථාව සැලසෙන නිසා. මම මගේ සාමාන්‍ය දෛනික ජීවිතේ මට තේරුම්ගන්න බැරි දේවල් අවබෝධ කරගන්න උත්සාහ කරනවා සිනමාව හරහා. ඒ ඔස්සේ තමයි මේ වගේ කතාවක් අපි හදන්නේ. ඒ නිසා රජකතා වගේ ඒවා මට ලොකුවට බලපාන්නේ නෑ. අනූගණන්වලත් ඔය වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට ආවේ. ඒ වගේ ලෝකෙත් ඔය සුපර් හීරෝලා එන්නේ. ඒ වගේ ඒවා එනවා යනවා. ඒක ඒ තරම් ගණන් ගතයුතු දෙයක් නෙවෙයි.

දැකල පුරුදු කෙනෙක් ආවේ නූතන තාක්ෂණයෙන්ද?

එහෙම විශේෂයක් නෑ, මෙය ඩිජිටල් කැමරා තාක්ෂණයෙන් කළේ. එක දෙයක් කියන්න ඕනා. මෙහි කැමරා අධ්‍යක්ෂ එම්.ඩී. මහින්දපාල මහත්මයාගේ පළමු ඩිජිටල් කැමරාකරණය මෙය. මෙතෙක් ඔහු කටයුතු කර තිබුණේ මිලිමීටර 35න්. ඒ නිසා ඔහු බොහෝ අවධානය යොමු කරලා මේ කටයුත්ත කළා. ඒ සඳහා විවිධ පර්යේෂණ කළා. අපේ ශබ්ද තාක්ෂණය සාමාන්‍යයෙන් ඩිජිටල් තාක්ෂණයට භාවිත කරන 5.1 ශබ්ද තාක්ෂණය. ඒ නිසා තාක්ෂණික වශයෙන් මෙය සාමාන්‍ය වුවත් අපි විවිධ පර්යේෂණ මේ ඔස්සේ කළා. එකක් තමයි මෙයට ශබ්ද සංකලන ශිල්පී සසික රුවන් මාරසිංහ සමඟ කතා කර සජීවී ශබ්ද පටිගත කිරීම යොදා ගත්තා. අපි මේ කතා කරන්නේ මීට අවුරුදු පහකට කලින් දෙයක් නිසා එය ඒ කාලේ ලංකාවේ වැඩිය නොයෙදුණු ක්‍රමයක්. ඒ සඳහා අප යොමු කළේ මෙහි සංගීතය කළ රුවන් වල්පොළ. අපට ඒ වෙද්දි තිබුණු අත්දැකීම් අඩුකම නිසා සමහර අපහසුතාවන්ට පත් වුණා. ඒත් ඒවා පසු නිෂ්පාදනයේදී නිවැරැදි කළා. හැබැයි මෙහි තිබුණු හොඳකම තමයි නළු නිළියන්ගේ රංගනයේදී ඒ මොහොතේ තිබෙන හැඟීම්, දෙබස්වල තීව්‍රතාවන් අඩුවැඩිවීම් ඉතා ස්වභාවිකව හසුවුණා. මොකද පසුව අපි එයට හඬ කවනවා නම් තනි තනිව ඇවිත් තමන්ගේ කොටස් කීමනේ කරන්නේ. එය ඉතා දක්ෂ ලෙස අපේ නළු නිළියන් කරනවා තමයි. ඒත් ඒ අවස්ථාවේම දෙබස් කීමේදී එන හැඟීම වඩාත් තාත්විකයි.

මෙය ඔබේ පළමු වෘත්තාන්ත සිනමා කෘතිය?

මම ඇත්තෙන්ම කෙටි චිත්‍රපට දෙකතුනක් කළා. ඒත් ඒවා නිමා කළේ නෑ පැහැදිලිවම. මට මේ මාධ්‍ය සම්බන්ධව ලොකූ ආසාවක් තිබුණා පොඩි කාලේ ඉඳන්ම. මුලින්ම ජුරාසික් පාක් චිත්‍රපටයක් සහ ඊට පස්සේ ඉරානීය අධ්‍යක්ෂවරියක වන සමීරා මකමල්බාෆ්ගේ ඇපල් කියලා චිත්‍රපටයක් නරඹලා ඇති වුණු දෙයක් එය. ඒත් මම කෙටි චිත්‍රපට කරද්දි මටම තේරුණා, මම කරන්නේ මොකක්ද කියලා මටම තේරුමක් නෑ කියලා. ඒ වගේම රූගත කිරීම්වලදී තිබිය යුතු න්‍යායන් පිළිබඳ අවබෝධය සහ ඒවා බිඳීනවා නම් කළ යුත්තේ කෙසේද යන්න මම දන්නේ නැහැ කියලා. ඒ නිසාම කෙටි චිත්‍රපට හැදිල්ල නතර වුණා. හැබැයි මම ස්මයිල් ඔන් අ ෆේස් කියන මගේ කෙටි චිත්‍රපටය නම් අවසන් කළාට කොහේවත් ප්‍රදර්ශනය කළේ නෑ. අනෙක වලාවක් නැති අහසක් කියලා භූපති ලියූ කතාවකින් කෙටි චිත්‍රපටයක් කළා. ඒත් ඒකත් ඉවර කරන්න බැරි තරම් අපිළිවෙළටයි කළේ. ඒ නිසායි නතර වුණේ.

ඉන්පසු ඔබ සිනමාව අධ්‍යයනය කරන්න ඇති එහෙනම්?

අධ්‍යාපනයක් ලබන්න උත්සාහ කළා. ඒත් එය ඉතාම වියදම් අධික නිසා කරගන්න බැරි වුණා. ඇත්තෙන්ම චිත්‍රපට බැලීම සහ යම් යම් දේවල් කියවීම තමයි මෙයට හේතු වුණේ. භූපතියි මමයි බොහෝ චිත්‍රපට උලෙළ බැලුවා. අපි එල්ෆින්ස්ටන් එකේ 6.30 චිත්‍රපටයට සවස 2.00 ඉඳන් පෝලිමේ හිටියා. මොකද ඒ කාලේ එහෙම පෝලිම් තිබුණා චිත්‍රපටවලට. ඊට පස්සේ චිත්‍රපට ගැනම කතා කරලා-කරලා ඒ ඔස්සේම පෝෂණය වුණු දැනුමක් මිස විධිමත් අධ්‍යාපනයක් සහ කෙටි චිත්‍රපට දෙකක අසාර්ථක වීමේ අත්දැකීම තමයි මට මේ පළමුවැනි වෘත්තාන්ත චිත්‍රපටය කරද්දි තිබුණේ.

ඔබ ඔබේ චිත්‍රපටය වර්ගීකරණය කරන්න කැමතිද?

මම හිතන විදිහට චිත්‍රපට වර්ගීකරණය කරන්න බෑ කියලා. ඒත් සාමාන්‍ය විදිහට මෙයට වදින ලේබලය කලාත්මක චිත්‍රපට ගණයට අයත් වෙයි. ඒත් මෙය ඉතාම සම්භාව්‍ය ගණයට අයත් වනවාට වඩා මිනිසුන්ට ලේසියෙන් ප්‍රවේශ වන්න පුළුවන් අවකාශයක් හදන චිත්‍රපටයක් කියලා. ඒ නිසා මට හිතෙන්නේ මෙය අර කාලයක් තිබුණු මැද මාවතේ චිත්‍රපටවලට වැඩි ඥාතීත්වයක් දරනවා කියලයි.

මෙහි චරිත තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත් වූ කරුණු මොනවාද?

ඒ සම්බන්ධව නම් අපි බොහෝ කල්පනා කළා. දවසක් අපි කරන්න ගිය චිත්‍රපටයක් කරගන්න බැරුව කනගාටුවෙන් සිටියත් අවුරුද්ද දවසක් නිසා මහින්දපාල මහත්තෙලෑ ගෙදර භූපති මාවත් පිටිපස්සේ දාගෙන මෝටර් බයිසිකලේ යනවා. පැලවත්ත හන්දියෙදී තමයි මට ඒ කතාවේ ගැහැනු චරිතය, දිනිතිගේ ස්වභාවය විස්තර කළේ. ඒ වෙලාවේ මගේ ඔළුවේ මැවුණේ සමාධි ලක්සිරිගේ රූපස්වභාවය සහ බොඩි ලැංවේජ් එක. ඉතින් මම ඇහුවා සමාධි වගේ නේද කියලා. ඉතින් ඇය තමයි කතාව ලියන්නත් කලින් මේ චිත්‍රපටයට තෝරගත්ත කෙනා. අනෙක් චරිත කොහොම වුණත් අපට අමාරු වුණා දෙන්නෙකුගේ චරිත තෝරාගන්න. එකක් සචිත්‍ර, බිමල් ජයකොඩි රඟපාන චරිතය. එහි ස්වාවයන් ගන්න පුළුවන් බොඩි ලැංවේජ් එක තියෙන කෙනෙක් වෙන්න ඕනා. සමහර වෙලාවට කොච්චර අධ්‍යක්ෂණය කළත් ශිල්පියාගේ නිසඟ අංගචලන ආදියේ දායකත්වය අවශ්‍යයි චරිතය දිගට පවත්වාගෙන යන්න. ඊළඟට අපහසු වුණේ දිනිතිගේ පියාගේ චරිතය තෝරා ගැනීමයි. මොකද තාත්තා කෙනෙක් අසරණ වන අවස්ථාවේ එන ඉරියව් මැනවින් දක්වන ශිල්පියෙකු විය යුතුයි. එය ලක්ෂ්මන් මෙන්ඩිස් සාර්ථකව කළ බව දැනට නැරඹූ පිරිසත් කීවා. ඒ වගේම අනතුර පිළිබඳ කතාවන අවස්ථාවේ ඔවුන් ඒ මොහොතේ කියූ දෙබස්වලින් පවතින හැඟීම වෙනස් වුවත් පසුව මා කල්පනා කළා අපේ ස්වාභාවික ජීවිතේත් එවැනි දේ සිදු වෙනවා නේද කියා. අවසානයේ එය චිත්‍රපටය රසවත් කරන්න හේතු වුණා. කෞශල්‍යා ප්‍රනාන්දු නිතර දකින දුෂ්කර දිවි ගෙවන කාන්තා චරිතවලින් මිදිලා වෙනත්ම සමාජ තලයක් නියෝජනය කරන අවස්ථාවක් මෙය. චමිලා පෙරේරාත් අපි මේකප් ටෙස්ට් එකට පස්සේ අම්මාගේ චරිතයට හොඳ බව තීරණය කළා. නදී කම්මැල්ලවීරත් අපි මෙතෙක් දුටු චරිතවලට වඩා වෙනස් ස්වරූපයකින් මෙහි පෙනී සිටින්නේ. අපි මාස තුනක් විතර පෙර පුහුණුවීම් කළා. මොකද මෙහි චරිත ලියා තිබුණත් රංගන ශිල්පීන් සහ අධ්‍යක්ෂවරයා චරිත අවබෝධ කරගන්නේ කොහොමද? අපේ විවිධ අත්දැකීම් ආදිය සම්බන්ධව අපි කතා බහ කළා. ඒ ඔස්සේ තමයි පිටපතේ තිබෙන දේ රූපරාමුවට ගැනීමේදී ඔවුන්ගේ ඉංගිතයන්, ඉරියව්, හැඟීම් කෙසේ විය යුතුද යන්නට එකඟතාවන් ඇතිකරගත්තේ.

මේ කතාව තරමක් සංකීර්ණයි. කොහොමද භූපති සමඟ තිර රචනා ගනුදෙනුව කළේ?

අපි දෙන්නා අවුරුදු විස්සක විතර ඉඳන් එක ඉස්කෝලේ යාළුවෝ. ඔහු මට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් වුණාට අපි චිත්‍රපට බලන්න ගියා, හැමදාම කතා කළා, අපේ භාෂාව සිනමාව වන තරමටම අපි වෙන දෙයක් කතා නොකරපු තරම් ගතියක් තමයි තියෙන්නේ. අපි දෙන්නගේ සාමාන්‍ය ජීවිතය ගත්තාම අහසට පොළොව වගේ වෙනස් වුණත් අපේ අදහස් සිනමාවෙදි බොහෝ විට එකඟයි. අපේ යාළුවන් අතරේ, සමාජයේ, විවිධ ස්වරූපවලින් මේ කතාව වගේ දේවල් අහලා තිබුණා. ඒත් චිත්‍රපටයක් කරනවාමයි කියලා හිතාගෙන නෙවෙයි ඒත් ලිව්වා. මේ කතාවේ සමහර තැන් තිබෙනවා අපටත් පැහැදිලි කරගන්න බැරි. ඒවා අපි එහෙම්මම තිබ්බේ ජීවිතේ අපට හරියටම අර්ථකථනය කරගන්න බැරි දේවල් තිබෙන නිසා. උදාහරණයකට මම අවිවාහකයි. ඒත් මගේ මානව සම්බන්ධතාවලදී ඇතිවල බැඳීම් සහ දෙදරා යෑම් පිළිගැනීම්, ප්‍රතික්ෂේප කිරීම් වචනයෙන් නොකියා ඉරියව්වලින් කරන ගනුදෙනු නිසා අපට යම් යම් දේ දැනෙනවා. ඒවා මිනිස් ස්වභාවය කියලා සාධාරණීකරණය කර අතහෝදගන්න මම ලෑස්ති නෑ. ඒවා තේරුම් ගෙන අපේ ජීවිත අවබෝධයෙන් ගෙන යන්න පුළුවන් නම් එයයි මනුෂ්‍යයන් හැටියට කළ යුත්තේ.

ඔබ ඉතා කෙටි ලිංගික දර්ශනයක් මෙහි ඇතුළත් කරනවා?

ඔව්. මේ කතාව බලපු අය කියනවා මෙය බොහොම යථාර්ථවාදී කෘතියක් කියලා. පවුල් ජීවිතයක අනෙක් සියලු සිදුවීම් පෙන්වද්දි යථාර්ථවාදී කියනවා නම් ලිංගික දර්ශනයක් එයට ඇතුළත් වීමත් ඒ යථාර්ථවාදයේම කොටසක්. එයින් චිත්‍රපටයට හානියක් වන්නේ නැහැ. කතාවට එය අවශ්‍ය නම් අවශ්‍යයි. ලංකාවේ සමහර විට ලිංගික දර්ශන කියන්නේ කෘතිය විකිණීමට යොදන ජිමික් එකක් හෝ ආභරණයක් කර ගැනීම නිසයි සමහරු මේ ගැන වඩාත් සැලකිලිමත් වන්නේ. ඒත් මේ කතාවේ ස්වරූපය අනුව ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයේ ස්වරූපය වගේම මනුෂ්‍යයන්ගේ ස්වරූපය තේරුම් ගැනීමට ඔවුන්ගේ ඒ හැසිරීමත් අවශ්‍යයි. සමහරු ඒ කොටස විතරක් කලාත්මක විය යුතුයි කියා හිතනවා. ඒත් කෘතිය යථාර්ථවාදී නම් මේ කොටස විතරක් අමුතුවෙන් කලාත්මක කරන්න අවශ්‍ය නෑ. මම හිතන විදිහට පිටරට චිත්‍රපට සමඟ සැසඳුවොත් මේ කොටස බොහොම අමුයි තමයි. හැබැයි පිටරටවලදි පවා ප්‍රේක්ෂකයන් මේ චිත්‍රපටයට ඇතුළු වන්නේ තම තමන්ගේ අත්දැකීම් සහ අත්විඳීම් සමඟ කියන දේ අප සමඟ කතා කරද්දි අපට හොඳටම දැනුණා. ඒ අනුව මේ චිත්‍රපටය යම් අවකාශයක් ලබා දෙනවා තම තමන් ගැන පරාවර්තිත ස්වරූපයකින් නරඹන්න කියන ඉඟිය අපට ලැබුණා.

අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනය කළ තරුණ සිනමාකරුවන්ගේ කෘතිවලට වඩා මෙය වෙනස්?

ඔව්. අපට අන්තර්ජාතික සිනමා උලෙළ එතරම් නියෝජනය කරන්න නොලැබුණු හේතුවත් එයයි. මොකද ඔවුන් ඔවුන්ගේ රටවලින් මෙවැනි තේමා බලාපොරොත්තු වුවත් අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් බලාපොරොත්තු වන්නේ යුද්ධය වැනි තේමාවලින් යුතු චිත්‍රපට ගෙන තමන්ගේ උලෙළ සරසන්නයි. එක අතකට යම් වට්ටෝරුවක් තිබෙනවාද කියලත් හිතෙනවා. මොකද ඔවුන් හොඳ චිත්‍රපටවලට වඩා ඔවුන්ගේ දේශපාලනික අරමුණු වෙත යන බව පේනවා. එය බොහෝ විට උලෙළේ නිර්මාණ අධ්‍යක්ෂවරයාගේ චින්තනය අනුව වෙනස්වන දෙයක්.

මෙය තිරගත වන්නේ දින කීපයකට පමණයි?

ඒක මේ කර්මාන්තයේ ස්වභාවය. මම 2013 මෙය නිම කළේ. ඉන්පසු ලෝක මංගල දැක්ම සඳහා කැනඩාවේ මොන්ට්‍රියෙල් ලෝක සිනමා උලෙළ 2014 යනවා. එහිදී රන්මුදුන සම්මානය නිර්දේශ වුණා. ඒවගේම යුරෝපියානු මංගල දැක්ම 2014 ලන්ඩන් සිනමා උලෙළ එංගලන්තය, රන් හනුමා සම්මානය නිර්දේශිත ජෝග්ජා නෙට්පැක් ආසියානු සිනමා උලෙළ ඉන්දුනීසියාව 2015, හොඳම ප්‍රථම චිත්‍රපටය සඳහා ජූරියේ සම්මානය යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ 2016, දෙරණ සිනමා සම්මාන උලෙළේ මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂ සඳහා ජූරියේ සම්මානය 2016, සරසවිය සම්මාන උලෙළේ 2018 වසරේ මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂවරයාට හිමි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය පිරිනැමුණා. ඉතින් 2014 සිට මම උත්සාහ කළා මෙයට ප්‍රධාන මුදාහැරීමක් ලබා ගන්න. ඒත් අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා තවත් පරණ නොවී මේ අවස්ථාව ගන්න මම තීරණය කළා. මොකද බොහෝ දෙනකුගේ විශාල ශ්‍රමයක් මේ පිටුපස තිබෙනවා. එය අයාලේ යන්න දෙන්න බෑ. මොකද මෙය විශාල පිරිවැයක් දැරිය යුතු කෘතියක් සහෝදරත්වය මත ඉතා අඩු පිරිවැයකට කරගන්න හැකි වුණ නිසා. ඉතින් රීගල්, ලිඩෝ ඇතුළු සීඊඑල් සිනමා ශාලා, ඇමටි ලයිට්, මැක්සලයිට්, නිව් ඉම්පීරියල් කුරුණෑගල ආදී රිද්ම මණ්ඩලයේ සිනමා ශාලාවල 4.15ට පමණක් ප්‍රදර්ශනය කෙරෙනවා. සමහර චිත්‍රපට මේ ආකාරයෙන් මුදා හැරියත් ජනතා ආකර්ෂණය මත වැඩි කාලයක් ප්‍රදර්ශනය කරන්න ශාලා හිමියන් තීරණය කළ නිසා ඒ අවස්ථාව ලබා ගන්න එකඟතාව තිබෙනවා. එය ඉතින් ප්‍රේක්ෂකයා වගේම චිත්‍රපටය මත තීරණය වන්නක්.

මොනවද ඔබේ මතු බලාපොරොත්තු?

තවම ලොකු සැලසුමක් නෑ. ඒත් මමයි භූපතියි කරගෙන ආ වාර්තා චිත්‍රපටයක් තිබෙනවා ලංකාවේ දෙමළ සිනමාවේ කඩාවැටීමට පසුබිම් වූ කරුණු පිළිබඳ. එයට ආසන්නම නිමිත්ත ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ආකාස කුසුම් චිත්‍රපටය අවුරුදු විසිගාණකට පසු දෙමළින් හඬකවා යාපනයේ පෙන්වීම. මෙය තරමක පර්යේෂණාත්මක කටයුත්තක්.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.