ගුවන්විදුලි සම්මානයට හිමිකම් කී ඔවුන්

මාර්තු 7, 2019

අපේ උනන්දුවෙන් දැනුම උපයාගත යුතුයි
- විහඟ විදානපතිරණ

මෙවර ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළේදී ප්‍රශස්ත නාට්‍ය ශිල්පියාට හිමි ජූරියේ විශේෂ සම්මානය පිරිනැමුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ විහඟ විදානපතිරණ වෙතටයි. කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය එක්ව ගෙන ආ සරසවි රඟමඬල වැඩසටහන යටතේ කරත්තය ගුවන්විදුලි නාට්‍ය වෙනුවෙන් කළ හඬ දායකත්වය උදෙසා ඔහුට එම සම්මානය හිමි විය. සරසවි රඟමඬල වැඩසටහන වෙනුවෙන් කරත්තය ගුවන්විදුලි නාට්‍ය රචනා කළ ශ්‍රීපාලි මණ්ඩපයේ ශ්‍යාමලී රුබසිංහ කුසලතා සහතිකයකින් පිදුම් ලැබුවාය. ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළකදී විශ්වවිද්‍යාල සිසුන් සම්මානයට පාත්‍ර වූ පළමු අවස්ථාව මෙය වන අතර විහඟ සහ ශ්‍යාමලී තමන් ලද ජයග්‍රහණයේ සතුට පිළිබඳ සරසවිය සමඟින් බෙදා ගත්තේ මෙලෙසින්.

සරසවි රඟමඬලේ ආරම්භය සිදු වූ අයුරු මුලින්ම දැන ගන්න කැමැතියි?

රූපවාහිනි, ගුවන්විදුලි, පුවත්පත්, මාධ්‍ය අධ්‍යයනය යන අංශ හතරේම එකතුවෙන් අපි මාධ්‍ය කවයක් නිර්මාණය කළා. සරසවි රඟමඬල ආරම්භ වුණේ මෙම මාධ්‍ය කවයේ මූලික වැඩසටහනක් විදියටයි. අපි මෙය ක්‍රියාවට නැංවූයේ කථිකාචාර්ය ඩිලාන් දර්ශන මහතාගේ අදහසකට අනුවයි. ජනක මහබෙල්ලන, ප්‍රදීප් ජයරත්න කථිකාචාර්යවරුන් ද විශාල සහයෝගයක් දුන්නා. ඩිලාන් සර් න්‍යායික අංශයෙන් අපට ලොකු සහයෝගයක් උපදේශකත්වයක් ලබා දුන්නා. ක්ෂේත්‍රයේ ලද අත්දැකීම් සමඟින් ජනක මහබෙල්ලන සර් ගුවන්විදුලි නාට්‍යකරණය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා දුන්නා. ප්‍රදීප් ජයරත්න සර් එකල ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ එවකට සභාපති වූ සුදර්ශන ගුණවර්ධන මහතාට ෆේස්බුක් හරහා යැවූ පණිවුඩයකින් තමයි අපට මේ වෙනුවෙන් පළමු කැඳවීම ලැබු‍ණේ. සෑම බදාදා දිනකම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ රාත්‍රි 8.00 සිට 9.00 දක්වා ‍ගුවන් කාලය අපට ලැබුණා. අපේ ගමන ඇරඹුණේ එතැනින්. මෙතෙක් කල් ලංකාවේ කෙටිකතාවලින්වැඩිම ගුවන්විදුලි නාට්‍ය ප්‍රමාණයක් නිර්මාණය කළ ජාතික තලයට ගිය ප්‍රධානම වැඩසටහන ලෙසත් මෙය විශේෂ වෙනවා.

ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක් තිරයේ දකින නළුවන්ට වඩා වෙනස්. ඔබ ඒ වෙනස අත්විඳ ගත්තේ කොහොමද?

පාසල් කාලයේ පටන්ම නාට්‍ය අංශයට මගේ පොඩි කැමැත්තක් තිබුණා. උසස් පෙළට නාට්‍ය හා රංග කලාව මම තෝරා ගත්තා. ඒ කාලයේදීත් මම නාට්‍යවලට දායක වුණා. විශ්වවිද්‍යාලයේදීත් මට කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මම තෝරා ගත්තේ රූපවාහිනි අංශය යි. මේ වන විට මම මියුසික් වීඩියෝ දෙකක් නිකුත් කරලා තියෙනවා. වාර්තා වැඩසටහන්වලට සහය අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙනවා. ඒ සියල්ලටම වඩා ගුවන්විදුලි ක්ෂේත්‍රය වෙනස්. එහිදී ප්‍රබල වන්නේ හඬයි. මගේ හැකියාව වගේම ඒ වෙනුවෙන් හොඳ පුහුණුවක් ලබන්නත් මට අවස්ථාව ලැබුණා.

මෙය විශ්වවිද්‍යාලයෙන් බාහිර වැඩක්. එය ඔබේ ජීවිතයට බලපෑ අයුරු පැහැදිලි කළොත්?

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අපේ බොහොමයක් සහෝදර විද්‍යාර්ථින් කටයුතු කරන්නේ පාසල් මානසිකත්වයෙන්. විෂය කටයුතුවලින් පරිබාහිර කිසිදු වැඩකට බොහෝ දෙනෙක් සහභාගි වන්නේ නැහැ. විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිටම අපිට වුවමනා වුණේ ක්ෂේත්‍රයට ආදාළ යමක් කරන්නයි. පොත පතේ දැනුමට අමතරව අපේ උනන්දුවෙන් තවත් දැනුම උපයාගත යුතු බව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ එළියට ගියාම තමයි. ඒ නිසා විශ්වවිද්‍යාල තුළ විෂය බාහිර වැඩ අනිවාර්ය කළ යුතු බව මගේ අදහසයි. ඒ වගේම ජනමාධ්‍ය වගේ විෂයකදි එය විශේෂ විය යුතුයි. මම රූපවාහිනිය පිළිබඳ ඉනෙ ගත්තා කියලා රූපවාහිනියෙම විතරක් ඉන්න මට ඕනි වුණේ නැහැ. මගේ නමට එළියේ මිලක් හදා ගන්න මට වුවමනා වුණා. මනුෂ්‍යයෙන් වුණාම ඉල්ලුමක් තියෙන්න ඕනි. එහෙම නැතුව විශ්වවිද්‍යාලයෙන් එළියට ආපු පළියට ඒ සහතිකයට රැකියා දෙන්න කවුරුත් බැඳීලා නැහැ.

විශ්වවිද්‍යාල විද්‍යාර්ථියකු ලෙසින් මෙවැනි සම්මාන උලෙළක සම්මානනීය වීම දැනෙන්නේ කොහොමද?

සම්මානයේ තියෙන වටිනාකම අපි ආධුනික වීමයි. සම්මාන උලෙළේ සිටි සියල්ලන්ම ජ්‍යෙෂ්ඨයන්. සරසවි රඟමඬල ගුවන්විදුලි වැඩසටහන සමඟින් මට ප්‍රශස්තම ගුවන්විදුලි හඬ නළුවාට හිමි ජූරියේ විශේෂ සම්මානය හිමි වුණා. ප්‍රශස්තම ගුවන්විදුලි හඬ නළුවා වුණේ විජේරත්න වරකාගොඩ මහතා.

එතුමන් සමඟින් එකම වේදිකාවක සම්මානනීය වීමට ලැබීම ලොකු සතුටක්.

පළමු ගුවන්විදුලි නාට්‍යය රචනා කළේ අට වසරේදී
- ශ්‍යාමලී රූබසිංහ

ශ්‍යාමලීට මේ අවස්ථාව ලැබුණේ කොහොමද?

මාධ්‍ය කවය ගැන මට මුලින්ම ආරංචි වුණේ අහම්බයකින්. එතැනදී ගුවන්විදුලි නාට්‍ය පිළිබඳ කතාබහේදී ගුවන්විදුලි නාට්‍යවලට තිබුණු ආසාවට මම ඒ වෙනුවෙන් ටිකක් උනන්දු වුණා. ගුවන්විදුලි සංස්ථාවේ ගුවන් කාලය ලැබුණු පුවත මා ලද සතුටුදායකම පුවත වුණා. ගුවන්විදුලි සංස්ථාව අපි ගැන විශ්වාසය තියලා මේ වගේ අවස්ථාවක් ලබාදීම ගැනත් ස්තූතිවන්ත වෙනවා. මේ අවස්ථාව ලැබීම සමඟින් හිතට ලොකු උද්යෝගයක් ආවා. මුල්ම නාට්‍ය රචනා කළේ අපි හය දෙනෙක් එකතු වෙලා. ගුවන්විදුලි සංස්ථාවට ගිය පළමු දවසේ මේ කටයුත්ත වෙනුවෙන් ඇති වූ ආසාව දහස් ගුණයකින් වැඩි වුණා.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා‍ව සමඟින් කටයුතු කිරීමේදි ලද අත්දැකීම්?

අපේ නිෂ්පාදිකාව වුණේ නිශාන්ති කාරියප්පෙරුම මහත්මිය. සභාපතිතුමා, නාළිකා ප්‍රධානියාගේ පටන් අපට ලොකු සහයෝගයක් ලැබුණා. නිශාන්ති කාරියප්පෙරුම මහත්මිය අපට මවක් වගේ හරිම ආදරයෙන් බොහෝ දේ කියාදුන්නා. එතැනදී අපට අපේ අඩුපාඩු බොහොමයක් හදා ගන්නා අවස්ථාව ලැබුණා.

මාධ්‍ය කවයට සම්බන්ධ වුණාම විශ්වවිද්‍යාල දේශන එහෙමත් මග ඇරෙන්න ඇති?

අපි ගොඩක් වෙලාවට මේ වෙනුවෙන් කාලය හොයා ගත්තේ දේශනවලින් අනතුරුව සවස් වරුවයි. ගොඩක් අයට ගැටලුවක් වුණේ පාඩම් කටයුතු සමඟින් පිටපත් රචනයට කාලය සොයා ගැනීමයි. බොහෝ දෙනෙකුට ලියන්නේ මොකක්ද කියලාත් නිවැරදි අදහසක් නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරනවා කියලා න්‍යායික දැනුම විතරක් අරගෙන එළියට ගිහින් වැඩක් නැහැ. විශේෂයෙන් අපි මාධ්‍ය හදාරණ අය විදියට ප්‍රායෝගිකවත් අදාළ විෂය හැදෑරිම ඉතාම වැදගත්. පිටපත් රචනයට මම විශේෂ කැමැත්තක් දක්වනවා. ඒවගේම අපේ ගෙදර රූපවාහිනියට වඩා ප්‍රමුඛත්වය දෙන්නේ ගුවන්විදුලියටයි. පොත් කියවීමට වූ ළැදියාවත් කුඩා වියේ පටන් නාට්‍ය කලාවට තිබෙන ආසාවත් මේ කටයුත්ත වෙනුවෙන් මගේ උනන්දුව වැඩි කළා. අනිත් කාරණය නම් මම මුලින්ම ගුවන්විදුලි නාට්‍යයක් රචනා කළේ අට වසරේදීයි. ගුවන්විදුලියට ඉදිරිපත් කරන්න කියලා සර් කෙනෙක් ඒ නාට්‍ය ඉල්ලා ගත්තා. හැබැයි ඒ නාට්‍යයට මොකක් වුණාද කියලා අදටත් මම දන්නේ නැහැ.

සරසවි රඟමඬලට මෙරට අනෙකුත් විශ්වවිද්‍යාලවල සහෝදර විද්‍යාර්ථින්ගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක් ද?

කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශය ප්‍රමුඛව සරසවි රඟමඬල ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයකටම විවෘතයි. අපි සබරගමුව විශ්වවිද්‍යාලයට ගිහින් පුහුණු වැඩමුළු කළා. මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය, කලමනාකරණ පීඨය, කලා පීඨයේ සිසු සිසුවියන් සරසවි රඟමඬල සමඟින් සම්බන්ධ වෙලා කටයුතු කරනවා.

සරසවි රඟමඬලේ ඉදිරි ගමන ගැනත් කියමු?

දැන් අපි විශ්වවිද්‍යාලයෙන් ඉවත් වී යන කාලය එළඹිලා. අපෙන් පසුව සරසවි රඟ මඬලට අලුත් පිරිසක් සම්බන්ධ විය යුතුයි. මෙතැනි එහාට මේ වැඩසටහන පවත්වාගෙන යා යුතුද යන්න තීරණයත් විශ්වවිද්‍යාලය සතුයි. ඒ නිසා මෙහි වටිනාකම තේරුම් ගෙන ආදාල සියලුම පාර්ශවයන් සාර්ථක ඉදිරි පියවරක් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.