ඒ මම නෙවෙයි කරුණාකර වරද්ද ගන්න එපා

කොකේන් පටලැවිල්ල ගැන හිමායා බණ්ඩාර කියන කතාව
මාර්තු 7, 2019

දෙවැනි ඉනිම ටෙලි සිතුවමේ සොනාලි ටීචර් ලෙසට ඉමහත් ජනාදරයට පත් වු හිමායා බණ්ඩාර ඉකුත් සඳුදා මහත් වූ අපහසුතාවයකට පත් වුණා. ඒ ගැන අපි ඇයගෙන්ම අසමු.

මොකක්ද හිමායා වුණේ?

ගිය සඳුදා හවස මට රූපවාහිනි නාළිකා දෙකකින් කතා කළා. ඔවුන් කිව්වේ අර මත්ද්‍රව්‍ය සිද්ධියට අත්අඩංගුවට ගත් නිළියක් යැයි පවසන කෙනාගේ නම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරපුවාම එන්නේ මගේ පින්තූර කියලා. හරියට හර්ට් වෙලා ඒ අයට. ඒත් එක්කම මට කෝල් එකක් ආවා.

කාගෙන්ද කෝල් එක?

මගේ සහෝදර ඡායාරූප ශිල්පියකුගෙන්. ඔහු මාත් එක්ක සමීපව කටයුතු කරලා තියෙනවා වෘත්තීය මට්ටමේ වැඩවලදී. ඔහුට රිපෝටර් කෙනෙක් කතා කරලා කිව්වාලු අර සිද්ධියට අහුවෙලා තියෙන්නේ උඹලගේ හිමායා නේද කියලා.

ඔබ මොනවගේ ප්‍රතිචාරයක් ද දැක්වූයේ?

මට ගොඩක් කේන්ති ගියා. කම්පනයටත් පත් වුණා. කේන්ති ගියේ වෙන එකක් හින්දා නෙවෙයි. මම නිළියක් නිසා රූපයෙන් දන්නවා වුණාට සමහරු මගේ නම හරියට දන්නේ නැතුව ඇති. ඒ වුණාට දෙයක් කියද්දි හොයලා බලලා නේද කියන්න ඕනි. හිමායා බණ්ඩාර නමින් සර්ච් කළාම ඕනි තරම් මගේ පින්තූර එනවා.

අත්අඩංගුවට පත් වූ තැනැත්තියගෙ නමින් තියෙන ෆේස්බුක් ගිණුමේ තියෙන්නේ ඔබේ ඡායාරූප. ඒ නම සර්ච් කළාමත් ඔබේ පින්තූර එනවා?

මම දන්නේ නැහැ ඔය කියන නම තියෙන නිළියක් ඉන්නවාද කියලා. මේ සිද්ධිය නිසානේ ඇයගේ නම පවා දැනගත්තේ. ඇතැම්විට මගේ පින්තූර තියෙන ගිණුම අහිංසක කෙනෙක් පවත්වා ගෙන යනවා ඇති. අපිට හරියටම කියන්න බැහැනෙ. මගේ නමින් ෆේස්බුක් ගිණුම්වලින් මටම රික්වෙස්ට් පවා එනවා. ඒ කියන්නේ මගේ නමින් එකවුන්ට් මේන්ටේන් කරන අය ඉන්නවනේ.

ඔබ මේ ආරංචිය දැනගත්තු වෙලාවේම පොදුවේ මාධ්‍යවේදීන්ට බැනලා තිබුණා?

මම හැමෝටම නෙවෙයි බැන්නේ. වගකීමෙන් වැඩ කරන අය කොච්චර නම් ඉන්නවාද? එහෙම නෙවෙයි. මෙහෙම හොයලා බලන්නේ නැතුව නිවුස් මවන අයට මාධ්‍යවේදීන් කියන්න බැහැ. තමන්ගේ ගොසිප් සයිට් එක ප්‍රමෝට් කරගන්න ඕනිම ජරා වැඩක් කරනවා. එහෙම නෙවෙයි මෙච්චර වගකීමෙන් වැඩකරන මං ගැන අර විදියට කියන්න ඕනි නැහැනෙ.

නිළියක් අත්අඩංගුවට ගත්ත පුවත දැන් රටපුරාම පැතිරිලා?

මේ නිසා කලා ක්ෂේත්‍රයේ ඉන්න අපි ගැනත් වැරදියට බලනවා. ඒකනේ දැන් වුණේ. මගේ ජීවිතයට ඇල්කොහොල් භාවිත කරපු කෙනෙක් නෙවෙයි. ඒවා තියෙන තැනකවත් ඉන්න මං ආස නැහැ. බොහෝ අවස්ථාවලදී මං ඇල්කොහොල්වලට විරුද්ධව කතා කරලා තියෙනවා. එහෙව් මටනේ මෙහෙම වුණේ.

මෙතනදී තව ගැටලුවක් තියෙනවා. අර විදියට අහු වුණේ නිළියක්මද කියන එක. ක්‍රවුඩ් සීන්වල ඉන්න අය කොහොමද නිළියො වෙන්නෙ. මෙච්චර කල් ක්ෂේත්‍රයේ හිටිය අපිවත් එහෙම නිළියක් ගැන දන්නේ නැහැ. මෙතැනදි වෙන්න ඕනි මේකයි. ඔය නිළියක් කියන කෙනාගේ පින්තූරයකුත් එක්ක සවිස්තරාත්මකව ප්‍රවෘත්තියක් දාන්න ඕනි. එහෙම නිළියක් ඉන්නවා ද, ඉන්නවා නම් මොනවාවලද රඟපාලා තියෙන්නේ, ඒවත් ඔක්කොම පළ කරන්න ඕනි. අපි කොතරම් කට්ටක් කාලා ද මේ ක්ෂේත්‍රයේ ගමනක් ඇවිත් තියෙන්නේ. නළුවො නිළියො වෙන්න එක රැයකින් බැහැ. කැමරාවක් ඉදිරියේ සිටිය පමණකින් නිළියක් වෙන්නෙත් නැහැනෙ.

ඔබගෙ රුව සහ නම පටලවා ගත්ත අයට මොනවද කියන්න තියෙන්නේ?

මම හිමායා බණ්ඩාර. එච්චරමයි කියන්න තියෙන්නේ.

Add new comment