සරසවිය වේදිකාවේ ගී ගැයූ හැටි තාම මතකයි

දෙරණ සිහින තරුව අතීතයේ දවසක් ගැන හෙළි කරයි
Thanura Madugeeth
මාර්තු 14, 2019

මල්ලි ලිට්ල් ස්ටාර් අයියා ඩ්‍රීම්ස්ටාර්

අටවැනි ඩ්‍රීම්ස්ටාර් තරගාවලියේ කිරුළ පැලැඳූ ඔහු තනුර මධුගීත් දිසානායක. තනුරගේ නිවෙසට මීට ප්‍රථම තවත් කිරුළක් ගෙන ආවා. ඒ ඔහුගේ මලණුවන් වන හිමාෂ මනුප්‍රියයි. හිමාෂ ලිට්ල්ස්ටාර් ලෙස අභිෂේක ලැබුවා කියා ඔබට මතකයේ ඇති. දැන් අයියා මලෝ දෙන්නම ස්ටාර්ලා. ඔවුනගේ පියා කොහොමත් ස්ටාර් කෙනෙක්. ඔහු ජයන්ත දිසානායක. ගායනයෙන් මෙන්ම සැක්සෆෝන් වාදනයෙන් නමක් දිනූ ඔහු කලක් අප කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රය නියෝජනය කළා. මේ නිසා තනුරගේ වගේම හිමාෂගේ ජානවල නිතැතින්ම සංගීතය නැමති විෂයය තිබෙනු නොඅනුමානයි. ඩ්‍රීම් ස්ටාර් කිරුළ දිනූ උණුහුම වියැකී යන්නත් මත්තෙන් තනුරව අප මෙලෙස කතාබහකට එක්කාසු කොට ගත්තා.

තනුරගේ වයස කියමු බලන්න?

අවුරුදු දහ නවයයි තවම.

ඉගෙන ගත්තු පාසල?

මං ඉස්කෝල දෙකකට ගියා. පළමු ඉස්කෝලෙ කෑගලු විදුහල. හය වසරෙ ඉඳලා කොළඹ නාලන්දෙට ගියේ.

තනුර මීට ප්‍රථම දෙරණ රියැලිටි වැඩ සටහනකට එකතු වුණා?

ඔව්, දෙදහස් නවය අවුරුද්දේ ලිට්ල් ස්ටාර්වලට සහභාගි වුණා. ඒකේ අන්තිම පස්වෙනියා දක්වා ආවා.

ඉන් පසුව ඔබ ආයෙත් රියැලිටි වැඩ සටහනකට සහභාගි වන්නේ වසර ගණනාවකට පසුව?

මෙවර ඩ්‍රීම්ස්ටාර් එකට ඇප්ලයි කරනකම් මං කිසිම දෙයකට ගියේ නැහැ. මියුසික් එක්කම ඉඳලා ඒ විෂයය විශාරද දක්වා හැදෑරුවා.

මුල් කාලේ සරසවිය වේදිකාවේ භක්ති ගීත කියන්න ආවා ඔබට මතකද?

ඔව් මතකයි.ඒ දවස්වල වසර කිහිපයකම භක්ති ගීත ගයන්න මං ආවා.ඒ මතකය අමතක වෙන්නේ නෑ

කවුද ඔබව ඩ්‍රීම්ස්ටාර් සඳහා යොමු කළේ?

සංගීතයත් එක්ක ජීවත් වු නිසා ඒ අංශයෙන්ම දෙයක් කරන්න හිතුවා. ගෙදරිනුත් කිව්වා තරගාවලියට ඇප්ලයි කරන්න කියලා. ඔහොම තමා මං මේකට එකතු වුණේ.

ඔබ කාගෙ කවුද කියලා මුල ඉඳලම සඟවන්න උත්සාහ කළා?

එහෙම කළේ හිතාමතාමයි. තාත්තගේ නමින් බැබළෙන්න මං අකැමැති වුණා. කාටවත් මං කාගෙ කවුද කියන එක දැනගන්නට සැලැස්වුවේ නැහැ. නමුත් අවසාන දහ දෙනාට තේරුණාට පස්සේ තරග කරුවන්ගේ නිවෙසට ගිහින් පවුලේ සාමාජිකයන් පෙනී සිටින වීඩියෝ ක්ලිප් එකක් කරනවා. එය විකාශය වුණායින් පසුවයි බොහෝ දෙනෙක් මගේ පවුල් පසුබිම දැනගත්තේ.

එතැන් පටන් ඔබට බැනුම් අහන්නත් වුණාලු?

ඉතාම සීමිත පිරිසක් මට දැඩි ලෙස දෝෂාරෝපණය කළා. ඔවුන් කිව්වේ මං වගේ සංගීතමය පවුල් පසුබිමක් තියෙන අය මොකටද මේ වගේ තරගවලට එන්නේ කියලා. අනිත් අයට වඩා මට අවස්ථාවන් තියෙනවා නේද කියලත් කිව්වා.

තරගාවලිය තුළදී කිසිම තැනක ඔබ තාත්තගේ ගීත ගැයුවේ නැහැ නේද?

මං එහෙම හිතාගෙනමයි තරගාවලියට ගියේ. ඒ ප්‍රතිපත්තිය එලෙසම තියා ගත්තා.

ඉදිරියේදී මොන වගේ ගීත ද ගයන්න හිතාගෙන ඉන්නේ?

ශාස්ත්‍රීය සංගීතයම විතරක් කරන්නේ නැහැ. ඒකෙන් ගොඩ ඒමක් නැහැ කියලා මට හිතෙන්නේ. අද යොවුන් පරපුර ඉන්නේ වෙනම තැනක. ඔවුනට අවශ්‍ය විදිහට ගීත ඉදිරියේදී ගයන්න බලාපොරොත්තු වෙනවා.

එතකොට ඔබෙන් ශාස්ත්‍රීය ගීත බලාපොරොත්තු වුණ අයට?

එයාලට අසාධාරණයක් කරන්නේ නැහැ. මං කිව්වේ ශාස්ත්‍රීය සංගීතය අතහරිනවා කියලා නෙවෙයි. හැම පැත්තම බැලන්ස් කරගෙන හොඳ ගීත නිර්මාණය කරනවා.

තාත්තාගේ ගී අතරින් ඔබ වඩාත්ම කැමැති?

සුදු රෝසයි මුහුණ පුරා ගීතයට මං ගොඩක් ප්‍රිය කරනවා.

ඔබ පියාගේ ගීත ගයන්නේ නැද්ද?

සුදු රෝසයි ගීතය මං මගේ හඬින් ළඟදීම ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා.

ලැබුණු තෑගිවලට මොකද කරන්නේ?

හම්බවුණු නිවෙසට පදිංචියට යන්න වෙනවානෙ. ලැබිච්ච මුදල්වලින් වාහනයක් ගන්න තමයි හිතාගෙන ඉන්නේ.

කෙටි කලකින් ලැබූ නොසිතූ විරූ ජනප්‍රියත්වය ගැන මොනවද කියන්න තියෙන්නේ?

කෙටියෙන්ම කිව්වොත් ජනප්‍රියත්වය මාරයි.

ඒ ගැන සතුටුවෙන්න පුළුවන්ද?

ඔව්. මට ක්ෂේත්‍රයේ ගොඩක් ප්‍රවීණ අය කතා කරලා සුබ පැතුවා. ඒක මට ලොකු ආඩම්බරයක්. ජනප්‍රියත්වය ගෞරවනීයව පාවිච්චි කරනවා හැර වෙනිත් ප්‍රයෝජන ගන්නේ නැහැ.

තාත්තා නිසා ඔබ දිනුවා කියලා කිසියම් වූ කෙනෙක් චෝදනා කළොත්?

චෝදනා ආවා නැත්තේ නැහැ. ඒ වෙලාවෙ මට හිතුණේ ගරු විනිශ්චය මණ්ඩලය කියපු දේ. ඔවුන් මට නිතරම කිව්වේ ඔබේ ටැලන්ට් එකට පමණයි අප විනිශ්චයන් දෙන්නේ කියලා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.