සුනාමියට අමෙරිකාවෙන් ඇවිත්

අති දැවැන්ත සිනමා නිර්මාණය ගැන ආචාර්ය සෝමරත්න දිසානායකගේ අනාවරණය
මාර්තු 14, 2019

ආචාර්ය සෝමරත්න දිසානායක නාමය සිංහල සිනමා වංශ කතාවේ කිසිදු දිනෙක නොමැකෙන නාමයක් බවට අද වන විට පත් වී අවසන්. ජනතාවගේ හදවතට දැනෙන බුද්ධියට යමක් එකතු කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ සෝමරත්නයන් අතින් නිර්මිත සරෝජා, සූරිය අරණ, පුංචි සුරංගනාවි, සිරි රජ සිරි, සිරි පැරකුම්, සරිගම, සමනල තටු ආදී චිත්‍රපට සියල්ලම පාහේ රටේ පීඩිත දුක් විඳින මිනිසුන්ගේ ජීවන යථාර්ථය ගැඹුරින් හෙළි කිරීමට බොහෝ සේ මහෝපකාරී විය. ජනප්‍රිය තලයේ ළමා චිත්‍රපට වෙනුවට දරුවන් අත්දකින, විඳින ඔවුනගේ සැබෑ ජීවන තතු රටට ලොවට දෘශ්‍යමාන කිරීමට සෝමරත්නයන් දැක් වූ අපමණ කුසලතාවය ඔහුගේ නිර්මාණයන් දෙස බැලීමේදී සක්සුදක් සේ පැහැදිලිය. කවදත් උසස් රස වින්දනයක් ජන මනසට තිළිණ කළ සෝමරත්න දිසානායක මේ වන විට තවත් දැවැන්ත සිනමා නිර්මාණයක් ඔස්සේ ජනමනසට ආමන්ත්‍රණය කිිරීමට මේ දිනවල ලහි ලහියේ සූදානම් වන බවක් දැනගන්නට ලැබුණ නිසාවෙන් අප ඔහු සොයා ගියෙමු. මේ දැවැන්ත නිර්මාණයේ අලුත් තොරතුරු කොහොමද කියලා දැනගැනීමටය. කවදත් අපට ළෙන්ගතු අපි ආදරයට කියන ‘සෝමේ අයියා’ සොයාගෙනය.

ඉතිං සෝමේ අයියේ අලුත්ම චිත්‍රපටයේ වැඩ කටයුතු එහෙම දැන් කොහොමද?

මේ දවස්වල මගේ සුනාමි චිත්‍රපටයේ ප්‍රධාන කාර්යන් සියල්ලම නිමා කරලයි තියෙන්නේ. මූලික සංස්කරණ කටයුතු සියල්ලත් අවසන් කරලයි තියෙන්නේ. චිත්‍රපටය සඳහා හඬ කැවීම, දෙබස් කැවීම අවසන් කරලා.

මගේ මේ සුනාමි චිත්‍රපටය සඳහා විශාල මූල්‍යමය ආයෝජනයක් සිද්ධ කළා. කොටින්ම කිව්වොත් දැවැන්ත චිත්‍රපටයක් කියා මම කියන්නේ නෑ. මුදල් යහමින් වියදම් කළ පමණින් ඒ නිර්මාණය දැවැන්තයි කියන එකට මම එකඟ නැහැ. නමුත් මේ නිර්මාණයේ අපි පරිගණක දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන් විශාල කැප කිරීමක් මූල්‍ය ධනයක් යොදවනවා සුනාමි ව්‍යසනය අපේ මනසට සජීවී බවකින් රැගෙන එන්න.

නිර්මාණයේ තව බොහෝ දෑ මේ නිර්මාණය වෙනුවෙන් එක් කරන්න තව කාලයක් ගත වෙයිද?

රෝහණ වීරසිංහයන් තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ. සංගීත පටිගත කිරීම තව කරන්න තියෙනවා. මම මේ චිත්‍රපටය වෙනුවෙන් ගීත දෙකක් යොදාගෙන තියෙනවා. එක් ගීතයක් විශාරද හර්ෂණ දිසානායක ඇතුළු පිරිසක් ගායනා කරන අතරේ අනෙක් ගීතය ගායනය සඳහා මම සොයාගෙන ඉන්නේ ළමා සුපර් ස්ටාර් තරගයෙන් ජයග්‍රහණය කළ හිරුණි නිමේෂිකාව. මම තමයි ඇයව මේ චිත්‍රපටය හරහා චිත්‍රපට පසුබිම් ගායිකාවක් ලෙසින් මුල් වරට හඳුන්වලා දෙන්නේ.

මේ දවස්වල ටී වී ටී ආයතනයේ අජිත් රාමනායක අතින් සුනාමි චිත්‍රපටය සංස්කරණය වෙමින් පවතිනවා. මේ චිත්‍රපටයේ පරිගණක දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන්ම මම අමෙරිකාවේ ඒ පිළිබඳ විශේෂඥ ඉංජිනේරුවරයකු මේ රටට ගෙනත් අපේ පරිගණක දෘශ්‍ය ප්‍රයෝග ශිල්පීන් සමඟ මේ දැවැන්ත නිර්මාණයේ කටයුතුවලට සම්බන්ධ කරලා තියෙනවා. මේ වන විට සුනාමි රැල්ලේ විනාශය අපි භාගයක් දුරට ඉවර කරලයි තියෙන්නේ. මම හිතනවා අපේ මේ චිත්‍රපටයේ සියලු වැඩ කටයුතු අප්‍රේල් වෙනකොට සම්පූර්ණයෙන්ම අවසන් වෙයි කියලා.

අපේ පේ‍්‍රක්ෂකයෝ සුනාමි අත්දකීම සජීවීව අත්දැකපු පිරිසක්. මෙවන් වාතාවරණයක් තුළ ඒ අත්දැකීම තිරයේ මවන්න ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

මුළු චිත්‍රපටයම අභියෝගයක්. මේ චිත්‍රපටය වෙනුවෙන් අපි සුළුපටු කැප කිරීමක් නොවෙයි කළේ. චිත්‍රපටයේ රූප රාමු එකිනෙක දිග හැරෙන කොට මේ චිත්‍රපටය කරපු අධ්‍යක්ෂවරයා ලෙස මට මම ගැන පුදුමත් හිතෙනවා මේ දේ කළේ අපි ද කියලා. හදපු මට එහෙම හිතෙනවා නම් අනිත් අයට කවර කතාද?

චිත්‍රපටය වෙනුවෙන් අපි අත්වින්ද සුනාමි ව්‍යසනයේ රූප රාමු ඔබ මේ චිත්‍රපටය වෙනුවෙන් යොදා ගන්නවාද?

නෑ. අපි සුනාමියක් කෘත්‍රිමව නිර්මාණය කළා. යම් යම් රූප දර්ශන තිබුණා. නමුත් ඒවා චිත්‍රපටය වෙනුවෙන් ගුණාත්මකභාවයක් නෑ. ඒ දර්ශන චිත්‍රපටයක් වෙනුවෙන් යොදා ගන්න කොහෙත්ම ප්‍රමාණවත් නෑ පින්තූරවල තියෙන කැපෑසිටි එක මත. මේ නිසාම අපි කෘත්‍රිමව ජාඇල පමුණුව ප්‍රදේශයේ විශාල ටැංකියක් ඉදි කරලා නාවික හමුදාවේ සහයෝගය ලබාගෙන විශාල ටෙ‍්‍රීලර් යාත්‍රා ඇන්ජින් හතරක් යොදාගෙන කෘත්‍රිමව සුනාමි රැල්ල නිර්මාණය කළා. ප්‍රධාන සුනාමි රැල්ල ගැනීම තමයි අපිට අභියෝගයක් වුණේ. මගේ නිර්මාණ කාර්ය මණ්ඩලය එකා වගේ මේ අභියෝගය ජය ගත්තා. මුලින් අපි මේ සුනාමි ජල ටැංකිය ඉදි කරන්න යොදාගෙන හිටියේ කල්පිටිය ප්‍රදේශයේ. හදිසියේ ඒ තීරණය වෙනස් වුණා. අපිට තිබුණ අභියෝගය තමයි විවිධ ස්ථානවල තිබුණ දර්ශන තල. රන්මිහිතැන්න, කොළඹ, ත්‍රිකුණාමලය, මහනුවර මේ වගේ ප්‍රදේශ ගණනක රූගත කිරීම් කරන්න වුණා. තවත් පැත්තකින් මට අභියෝගයක් වුණේ වයස අවුරුදු 2 1/2 ක පුංචි දරුවෙක් මේ චිත්‍රපටයේ රඟපෑවා. නොතේරෙන දරුවෙක් එක්ක වැඩ කරනවා කියන එක සුළුපටු නෑ. කොහොම හරි මේ අභියෝගාත්මක රූප රචනය අපට නිමා කර ගන්න ලැබුණා මාස 2 1/2 ක් වගේ කාලයක් ඒ වෙනුවෙන් කැප කරලා.

චිත්‍රපටයේ රූපරාමුවල ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් ඔබ ලෝකයේ මේ වන විට භාවිත කෙරෙන ඉහළම ගණයේ කැමරා භාවිතයට ගැනුණා නේද?

චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සිදු වුණේ විශ්ව බාලසූරිය අතින්. පසුගිය අවුරුද්දේ හොඳම කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් සරසවිය සම්මානය දිනා ගත් ඔහුගේ කැමරාකරණය වෙනුවෙන් මට චිත්‍රපටය සඳහා ලෝකයේ අද භාවිත වන අති නවීන කැමරා දෙකක් මේ සඳහා භාවිත කරන්න සිදු වුණා. 8ම් කැමරා දෙකක් මම සුනාමි චිත්‍රපටය රූපගත කරන්න යොදා ගත්තා. මම හිතන්නේ ලංකාවේ මුල්වරට වෙන්න ඕනෑ මේ වගේ 8ම් කැමරාවකින් චිත්‍රපටයක් රූපගත කළ අවස්ථාව. ඒ තරම් නවීන තාක්ෂණික මෙවලම් මම භාවිතයට ගත්තේ අපේ ප්‍රේක්ෂකයාට මේ අත්විඳි ස්වභාවික ව්‍යසනයේ සජීවි බව සැබෑ ලෙසින් සිනමාරූපීව අත් විඳවන්න. සුනාමි ව්‍යසනය ප්‍රතිනිර්මාණය කරන්න මං ගොඩනැගිලි ඉදි කළා. ඒවා මහ ජල පහරට විනාශ වෙලා යන්න කඩල බිඳල දැම්මා.

සුළු පටු දෙයක් නොවෙයි නිර්මාණය වෙනුවෙන් කරලා තියෙන්නේ?

අලුත්කඩේ උසාවි සංකීර්ණයේ අපි රූපගත කිරීමක් සිද්ධ කළා නිසි අවසරය ලබාගෙන. සැබෑ උසාවියක අධිකරණ සංකීර්ණයක් තුළම මේ චිත්‍රපටය වෙනුවෙන් අපි රූපගත කිරීම් සිද්ධ කළා.

නළු නිළියන්ගේ පැත්තෙන් ඔබ අධ්‍යක්ෂවරයා ලෙසින් බලාපොරොත්තු වූ ආකාරයේම රංගනයක් ලැබුණාද?

කවදාවත් නළුවෙක් හෝ නිළියක්ගෙන් සියයට සීයක් අපි අපේක්ෂා කරන රංගනය ලැබෙන්නේ නැහැ. ඒත් මට මෙතනදි කියන්න ඕනෑ මගේ මේ චිත්‍රපටයේ රඟපෑ සියලු ප්‍රධාන උප ප්‍රධාන සෙසු නළු නිළියන් මට චරිතයට ඕනෑ ආකාරයෙන් 90% ක රංගනයක් මට නිර්මාණය වෙනුවෙන් ලබා දුන්නා කියන එක. ඒ සඳහා ඔවුන් ලොකු කැප කිිරීමක් කළා දුෂ්කරතා රැසක් විඳිමින්. මම ඒ ගැන ඔවුන්ට හදපිරි ප්‍රණාමය පුද කරනවා. සිය දෙනෙකුගෙන් පමණ සමන්විත විශාල නිෂ්පාදන කණ්ඩායමක් සමඟ වැඩ කිරීමත් සුළුපටු කාර්යයක් නොවෙයි. මේ වෙනුවෙන් චිත්‍රපටයේ නිෂ්පාදිකාව වූ රේණුකා බාලසූරිය ඒ කළමනාකරණ කටයුතු නිසි ලෙස ඉටු කරමින් මට නොමඳ සහයක් ලබා දුන්නා.

සෝමේ අයියා මේ චිත්‍රපටය කරන්න හදන කොට ලොකු චෝදනාවක් එල්ල කරමින් එක් පුද්ගලයෙක් මේ ගැන විරෝධය ප්‍රකාශ කළා?

ඔව්, මම එයාගේ පිටපත හොරකම් කරලා චිත්‍රපටයක් කරනවා කියලා මට ප්‍රසිද්ධියේ චෝදනා කළා. මම ඒ චෝදනාව වෙනුවෙන් එයාට උත්තර දෙන්න විවෘතව ආරාධනා කළා මාධ්‍ය සාකච්ඡාවක් පවා පවත්වමින්. ඒත් ඒ පුද්ගලයා ඒ සඳහා සහභාගි වුණෙත් නැහැ. මට කළ ඒ අභූත චෝදනාව ඉවත් කර ගත්තෙත් නැහැ. මම විවෘතව ඔහුට කිව්වා මාධ්‍ය ඉස්සරහට ඇවිත් එයාගේ පිටපතත් මගේ පිටපතත් අරන් සංසන්දනය කරලා මම එහෙම දෙයක් කරලා නම් මාධ්‍ය හරහා රටට කියන්න කියලා. ඒත් මගේ අභියෝගය භාරගන්න තරම් ඔහු එඩිතර වුණේ නැහැ. අදටත් ඔහු නිශ්ශබ්දයි. මට කළ අවමානයට මම ඔහුට විරුද්ධව දැනටමත් නඩුවක් ගොනු කරලයි තියෙන්නේ උසාවියේ මට කළ අපහාසයට. සුනාමිය කියන දේ පාදක කරගෙන ඕනම කෙනෙකුට රූප රචනයක් කරන්න පුළුවන්.

මොකද ඒක පොදු සිද්ධියක්. මම සුනාමිය නිසා අපේ රටේ එවක සිදු වුණු සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තමයි මේ චිත්‍රපටයේ පිටපත රචනා කළේ. එහෙම නැතිව කාගෙවත් පිටපතක් හොරකම් කරගෙන චිත්‍රපටයක් කිරීමේ පහත් තත්ත්වයට මම වැටිල නෑ. මට එහෙම කරන්න ඕනෙත් නෑ. අපේ සිනමාවට මම කරපු නිර්මාණ දිහා බලපුවාම කාටත් තේරෙනවා මම හරිද ඔහු හරිද කියලා. මේ වගේ අඳ බාලයෝ ඔය වගේ පුහු කතා කියලා අපේ ප්‍රතිරූපය විනාශ කරන්න හදනව නම් ඒක මහ විහිළුවක්. මම මෙතෙක් කරපු හැම චිත්‍රපට නිර්මාණයක්ම ප්‍රේක්ෂකයාට අලුත් අත්දැකීමක් එක් කළා. සිනමා කර්මාන්තයේ ලොකු පිබිදීමක් ඇති කළා. ආදායම් අතින් අති සාර්ථක වුණා. ඒ හැම දේකින්ම මම වෙනස්ම ආකාරයේ රසඥතාවයක් ප්‍රේක්ෂකයාට ලබා දුන්නා. ඒ විශ්වාසය අඛණ්ඩව මගේ මේ සුනාමි චිත්‍රපටයෙනුත් මම ප්‍රේක්ෂකයාට ලබා දෙන්න තමයි මේ වගේ කාලයක්, වියදමක් දරන්නේ. කාලය ඉහළ ගිය පමණින් චිත්‍රපටය දැවැන්ත වෙන්නේ නැහැ කියන තැන මම ඉන්නවා. නිර්මාණකරුවා විදියට මම දැවැන්ත චිත්‍රපටයක් කියන දේ කියන එක වඩා උචිත නොවන බවයි මගේ හැඟීම. ඒ දැවැන්තකම තීරණය කළ යුත්තේ මගේ චිත්‍රපටය බලන පේ‍්‍රක්ෂකයෝ. ඔවුන් චිත්‍රපටය බලලා තීරණය කරයි සුනාමි චිත්‍රපටය ඇත්තටම දැවැන්ත චිත්‍රපටයක් ද කියලා. මම හිතනවා නිර්මාණකරුවා විධියට මම අපේ සිංහල සිනමාවේ දැවැන්ත වැඩක් කළා කියලා.

ඔබේ ජංගි හොරා චිත්‍රපටය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තවමත් තිරගත කළේ නෑ?

තවම මගේ නිර්මාණයක් විදියට ප්‍රේ්ක්ෂකයන්ට දෙන්න තියෙන්නේ ජංගි හොරා චිත්‍රපටය. මේ දවස්වල මගේ එකම අරමුණ වෙලා තියෙන්නේ සුනාමි චිත්‍රපටයේ වැඩ කටයුතු වෙනුවෙන් කැපවෙන එක. ඒ කැපවීමෙන් නිදහස් වෙලා තමයි මේ චිත්‍රපටය තිරගත කිරීම ගැන අවධානයක් යොමු කරන්නේ. සමහර විට සුනාමි චිත්‍රපටය ජංගි හොරාට කලින් තිරගත වෙයි.

විශාල පිරිවැයක් තුළ දැඩි කැප කිරීමක් කර නිර්මාණය කරන සුනාමි සිනමා කෘතිය හරහා ඔබ සමාජගත කරන්න උත්සාහ කරන පණිවිඩයක් පවා ඇති?

මගේ හැම සිනමා කෘතියක් හරහා සමාජයට යම් පණිවිඩයක් තිළිණ කළා. ඒ දේම මේ සිනමා කෘතිය හරහාත් මම සිද්ධ කරනවා. ජාතිවාදය හෙළා දකින ආගම් වාදය හෙළා දකින මට අපි ජාතීන් අතරින් දෙකොටසක් වුණත් අපි සියලු දෙනාම එකයි කියන දේ මම මේ නිර්මාණය අවසානයේ ජනමනසට ඒත්තු ගන්වනවා. කෙතරම් ඇණ කොටා ගත්තත් මරා ගත්තත් අපේ ඇඟේ තියෙන්නේ එකම ලේ කියන දේ ජන විඥානයට අවබෝධ වෙනවා නම් ඇත්තෙන්ම අපි අතර ගැටුම් නෑ. ප්‍රශ්න නෑ. සහෝදරත්වයේ බැඳීම සදාකල් තියේවි. ඒක නේද අපිට ඕනේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.