මං රේස් දුවන නළුවකු නොවේ

පූජිත ද මැල්
මාර්තු 14, 2019

ඔහු නිතර දක්නට ලැබෙන නළුවෙක් නොවේ. එහෙත් ඉඳහිට රඟපාන චරිතය හෝ දෙක සදාකාලිකව මතකයේ පවතින්නට ඔහු රංගනයේ යෙදෙයි. නමින් පූජිත ද මැල් වන මේ තරුණ රංගන ශිල්පියාව මෑතකාලීනව අපට හමු වුණේ සුනෙත් මාලිංග ලොකුහේවගේ නිදහසේ පියා ඩී. එස්. සිනමාපටයේ හෙන්රි පේද්‍රිස් ලෙසිනි. එම චිත්‍රපටය නැරැඹීමෙන් අනතුරුව මතක හිටින චරිත ගොන්නේ පූජිත සිටියේය. ඒ ඔහු පෙනෙන්නට සිටි දර්ශන ප්‍රමාණය සිමාසහිත වුව ද තම උපරිමයෙන් එයට සාධාරණයක් ඉටු කළ නිසාය. නිතර දකින නළුවන් ගැන නිරන්තරයෙන් මාධ්‍ය ඔස්සේ කතාබහ වුව ද පූජිත වැන්නන්වුන් පිළිබඳ පුවත්පත් ලිපියක් පළ වෙන්නේ ද කලාතුරකිනි. රංගන කලාව භාවිත කරමින් යමක් කරන්න උත්සාහ කරන පූජිත ගැන ඔබ මීට ප්‍රථම නොදත් කරුණු බොහොමයක් මෙතැන් පටන් දැනගනු ඇත.

පූජිත ඔබට කොහොමද හෙන්රි පේද්‍රිස්ගේ චරිතය ලැබෙන්නේ?

මට කලින් ඔය චරිතය ඔය විදිහට නිරූපණය කරන්න ලැබුණේ දමින්ද මඩවලගේ නිර්මාණයකදී. නමුත් ඒකයි මේකයි සම්බන්ධයක් නැහැ. දැනගැනීම පිණිසයි ඒක කිව්වෙ. සහාය අධ්‍යක්ෂවරයකු වගේම ක්ෂේත්‍රයේ විවිධ ඉසව් නියෝජනය කරන රන්ජන් ප්‍රසන්න හරහා තමයි සුනෙත්ගේ නිර්මාණයට මට අවස්ථාව ලැබෙන්නේ. හෙන්රි පේද්‍රිස් ගැන මං යම් අධ්‍යයනයක් කරලා තිබුණා. ඔහුට අකාලයේ මියයන්න සිද්ධ වෙන්නේ අවුරුදු විසි හතේදි. ඒකත් අත්වැරදීමකින් සිදුවෙච්ච දෙයක්. හෙන්රිව නිදහස් කරන්න කියලයි එංගලන්තයෙන් ලියුම ලැබෙන්නේ. ඔහු කාටවත් සෙකන්ඩ් වුණ චරිතයක් නෙවෙයි. සුද්දට වුණත් ඔහු හිස නමන්නේ නැහැ. සල්ලි බලයකුත් තිබුණා. මේ නිසා හෙන්රිව ඇතැම් අය කරදරයක් විදිහටයි සැලකුවේ. වෙඩි තියපු හෙන්රි පේද්‍රිරිස්ගේ මෘත ශරීරයවත් හමු වන්නේ නැහැ. ඔහු ඛේදාන්ත වීරයා හැටියටයි සිනමාපටයේ විද්‍යාමාන වන්නේ.

සිනමාපටයෙහි මතක හිටින චරිත ගොන්නේ ඔබ පෙරමුණේ ඉන්නවා?

එහෙමද?, මං රඟපාන්නේ යම් අධ්‍යයනයකින් යුතුවයි. සාමාන්‍යයෙන් චරිතයකට මා කතා කරද්දී කාරණා දෙකක් පිළිබඳ සැලකිලිමත් වෙනවා. මේ චරිතය නිරූපණය තුළින් මට යමක් ඉගෙන ගන්න පුළුවන් ද කියන කරුණ අංක එක. දෙක මගේ දායකත්වය ප්‍රේක්ෂකයාගේ හිතේ සනිටුහන් කරන්න පුළුවන් ද කියන එක. ඒකට යම් විවේකයකුත් අවශ්‍ය කරනවා. මේ කරුණු ද්විත්වයට මගේ හිත එකඟ නම් මං එම චරිතය බාර ගන්නවා.

නිදහසේ පියා චිත්‍රපටයෙන් අනතුරුව ඔබට යම් නිර්මාණයක් සඳහා කතා කළාද?

තවම නැහැ.

ඔබ නිතර නොදකින නළුවකු වුණේ ඇයි?

චරිතයකට ආරාධනාවක් කළොත් පමණයි මං රඟපාන්න යන්නේ. හොයාගෙන ගිහින් රඟපෑමේ අවස්ථාවන් ඉල්ලා ගැනීමේ පුරුද්්දක් මට නැහැ. ආරාධනා කළොත් රඟපානවා. නැත්නම් මගේ වැඩක් බලාගෙන ගෙදර ඉන්නවා.

 

මගේ වැඩක් කියලා කිව්වේ?

හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ආධුනික කථිකාචාර්යවරයකු ලෙසට මං වැඩ කරනවා. නාට්‍ය වැඩමුළු කරනවා. විසිටිං ලෙක්චරර් කෙනෙක් විදිහට ලෙක්චස්වලට සහභාගි වෙනවා. වෙළෙඳ දැන්විම්කරණයේ නියැලෙනවා. ඕවා තමයි මගේ අනිකුත් රාජකාරි.

ඒවා පසෙකින් තියෙද්දි ඔබට වෘත්තීය නළුවකු වන්න බැරිකමක් නැහැනෙ?

වෘත්තීය නළුවො අඩුයිනෙ ලංකාවේ. වෘත්තීමය නළුවකු වුණාම විවේකය ටිකක් අඩු වෙනවා. ඒක මට අමාරු තත්ත්වයක්.

ඔබේ සමකාලීනයෝ ඔබට වඩා ජනප්‍රිය වෙලා. නිර්මාණවලත් ඔවුන් නිතර දක්නට ලැබෙනවා?

මගේ සමකාලීනයෝ රේස් එකකට වැටිලා කියලයි මට හිතෙන්නේ. මං ඒකෙ වරදක් දකින්නේ නැහැ. දැන් තියෙන සිස්ටම් එකනෙ ඔය.

හොඳ අධ්‍යක්ෂවරු පිරිසක් එක්ක ඔබට රඟපාන්න ලැබුණා?

ඔවුන් අධ්‍යක්ෂවරු හැටියට වඩා මං දකින්නේ ඔවුන් මගේ ගුරුවරු හැටියට. මට ඔවුන් නිතරම ගුරුහරුකම් ලබා දුන්නා. අපි අදටත් ශික්ෂණයකින් වැඩ කරන්නේ ඒකයි. නමුත් ඒ ශික්ෂණය අද කාලෙට වලංගු ද කියලා මං දන්නේ නැහැ.

ඔබ රඟපෑ නිර්මාණ පෙළ මතක කළොත්?

වේදිකා නාට්‍ය ලිස්ට් එක කිව්වොත් අංක එකේ තියෙන්නේ පියවර නාට්‍යයි. ඒක 94 වේදිකා ගත වුණේ. මගේ පළමු නාට්‍යය. පසුව අසෙනිමාලි, සොක්‍රටීස්, බක් මහ අකුණ, රත්න වල්ලි වගේ නාට්‍යවල රඟපෑවා. දූ දරුවෝ, විලම්භිත, වනසරණ, පිටගම්කරයෝ ආදී නාට්‍යවලත් හිටියා. විලම්භීත එකේ මං කරපු චරිතයට සුමති, ඕසීඅයිසී සම්මානත් ලැබුණා.

ඔබේ පවුලේ විස්තර?

මං විවාහකයි. බිරිය අයේෂා. මට දරුවෝ දෙන්නෙත් ඉන්නවා.

මොනවද ඉදිරි රංගන කටයුතු?

කුඩ හොරා කියලා වේදිකා නාට්‍යයක් අපි කළින් කළා. ඒක යළිත් වේදිකා ගත කරන්න හිතාගෙනෙ ඉන්නවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.