මම හරිම වගකීමෙන් වැඩ කරන කෙනෙක්

රාවණා ජානි - Thãrya Kennedy
මාර්තු 14, 2019

අපේ කලා ක්ෂේත්‍රයේ කෙනඩි කෙනෙක් ඉන්න බව ඔබ අහලා තිබෙනවාද?ඒ තමයි තාර්යා කෙනඩි. ඇගේ වාසගම නෙත ගැටුණ සැනින් ඔබට මතක් වනු ඇත්තේ ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි. එහෙත් ඇය ඒ පවුලට අයිති බවක් නම් අපට කීවේ නෑ. තාර්යාට ඒ නම ලැබුණේ ඇගේ ස්කොට්ලන්ත ජාතික පියාගෙන්. ඇය මේ දිනවල හුඟක් ජනප්‍රියයි. ඒ රාවණා නාට්‍යයයේ ජානි හැටියට. ජානි ගැන කියන්නත් එක්ක තාර්යා මෙහෙම සරසවියට ගොඩ වැදුණා.

තාර්යා ඔබට මතකද ඔබේ මුල්ම ලිපිය පළවුණේ සරසවියේ කියලා?

ඔව්. හොඳට මතකයි. දමයන්ති ෆොන්සේකා මහත්මියගේ නාට්‍ය වැඩමුළුවලට සහභාගි වෙලා ඇයගේ නිර්මාණවලට එකතු වුණ කාලෙ තමයි අයියා ඔය කියන ආර්ටිකල් එක ගියේ.

පසුව කාලයක් ඔබ ක්ෂේත්‍රයෙන් බැහැරව හිටියා නේද?

අයින් වුණා නෙවෙයි මං ෆුල්ටයිම් රඟපෑවෙ නැහැ. ජොබ් එකකුත් කළානෙ. කාලයක් ගත වෙද්දි මගේ රංගන වැඩවලට නිදහස ලබා ගන්නත් එක්ක වෙනත් රැකියාවකට මාරු වුණා. දැන් නම් ෆුල්ටයිම් රඟපානවා.

 

ජානිගේ චරිතය කොහොමද ඔබට ලැබුණේ?

රාවණා අධ්‍යක්ෂ තුෂාර තෙන්නකෝන් දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ සහ චරිත් කොතලාවල යන තුන්දෙනාගේ නම් මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ. ඔවුන්ගේ අනුදැනුම මත මට මේ චරිතය ලැබුණේ.

 

ජානි කියන්නේ එක්තරා අයුරකින් දුෂ්ට චරිතයක්?

රාවණා රජතුමාගේ මාමගේ බිරිය තමයි ජානි. ජානි නිකම්ම නිකම් දුෂ්ට චරිතයක් නෙවෙයි. ඇය ඒ තත්ත්වයට පත්වීමට හේතුවක් තිබෙනවා. නමුත් පිටස්තර සමාජයට හරි හොඳ කාන්තාවක් කියලා පෙන්වන්නේ. මං ආසයි ඒ ගති සොභාවයට. වෙනස්කම් තියෙන චරිතයකට පණ පොවන්න ලැබුණම මටත් තෘප්තියක්.

 

චරිතයක් බාර ගන්නට ප්‍රථම දෙපාරක් තුන් පාරක් හිතනවා වගේ?

ඒක විය යුත්තක්. මගේ පෙනුම බටහිරට නැඹුරුයි. තාත්තා ස්කොට්ලන්ත ජාතිකයෙක්නෙ. ඒ නිසා මට දිගින් දිගටම කතා කරන්නේ බටහිර පන්නයේ චරිතවලට. මට ඒවායේ දෙයක් කරන්නත් නැතිකරම්. මං ආස චරිතාංග නිළියක් වෙන්න. එකින් එක වෙනස් චරිතවලින් ප්‍රේක්ෂකයා හමුවට එන එක තමයි වැදගත්.

 

මෙගා ටෙලි රංගනය තුළින් ඔවැනි වෙනස්කම් කරමින් චරිත තෝරා බේරාගෙන රඟපාන්න පුළුවන්ද?

මෙගා වුණත් නොවුණත් මට ඒක අදාළ නැහැ. ලැබෙන චරිතය හොඳ නම් මං එයට අනුගත වෙනවා. මෙගා කරද්දී කාලය නැහැ කියලා කියන්න බැහැ චරිතයකට අනුගත වෙන්න. කොහොම හරි වෙලාව සකසා ගත යුතුයි. මොන නිර්මාණයක වුණත් මං මුලින්ම පිටපත ඉල්ල ගන්නවා. මේතාක් කල් මට එහෙම ඉල්ලපුවාම පිටපත ලැබිලා තියෙනවා. පිටපත කියවලා චරිතයට අනුගත වෙලයි මං රඟපාන්නේ.

 

නිරුවත් හෝ අඩ නිරුවත් චරිතයකට ඔබට කතා කළොත්?

රංගනයේදී මගේ ප්‍රතිපත්ති දෙකක් තියෙනවා. නිරුවත විකුණන්නේ නැහැ. ඒක එක. අනික තමයි මං මගේ දක්ෂතාවය නොවිකිණීම. එහෙම ප්‍රතිපත්ති තියාගෙන ඉන්න කෙනෙක් හැටියට නිරුවත් හෝ අඩ නිරුවත් ද දර්ශන සහිත චරිතයක් ලැබුණොත් ඒක ප්‍රතික්ෂේප කරනවා.

 

තාර්යා මේ වන විට ප්‍රේමවන්තියක්ද?

නැහැ. මේ වන විට ප්‍රේමවන්තියක් නෙවෙයි. ඉදිරියේදී කොහොම වේවිද දන්නේ නැහැ.

 

ඔබ ඉගෙන ගත් පාසල?

මොරටුව ජයලත් අප ස්වාමිදුව (OLV)විදුහලෙන් සහ රොස්මිඩ් කාන්තා විදුහලෙන් මං අධ්‍යාපනය හැදෑරුවා.

 

තාර්යාගේ ගම?

මං මොරටුවේ.

ඔබ ගැන කෙටියෙන් හැඳින්නුවොත්?

හරිම වගකීමකින් වැඩ කරන කෙනෙක්.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.