ඒ කාලෙ මට වැඩියෙන්ම රඟපාන්න ලැබුණේ බැණුම් අහන චරිත

ප්‍රෙමිලා කුරුප්පු
මාර්තු 21, 2019

මට ඉහින් බහින ලෙඩක් තිබුණේ නැහැ මල්ලි. මේ ගෙදර මං තනියම ජීවත් වුණේ. දැන් මං එක්තැන් වෙලා ඔහේ ඉන්නවා. මෙහෙම හිටියා කියලා පොඩි දුකක්වත් හිතේ නැහැ. මේ ගෙවෙන්නේ ජීවිතේ අන්තිම කාලෙනෙ. පුළුවන් කාලෙ කරපු දේවල් ගැන හිතලා සතුටින් ඉන්නවා.

ඇගේ උවනේ මඳ සිනහවකි.

ඇතැම් කලාකරුවනට මෙන් ජීවිතේ සැඳෑ සමයේදී මතුවන ආර්ථික ප්‍රශ්න ඇයට නැත. හැකි කාලයේ හම්බකොට අනාගතය ද සැලසුම් කළ ඇගේ පුතණුවන් දෙදෙනා ද විදෙස්ගතව යහපත් පවුල් ජීවිත ගත කරති.

මවිසින් ඇයව හඳුන්වා දීම මදක් පමා කළේ හිතාමතාමය. ඔබට පුළුවන් ද බලන්න ඇයව හඳුනාගන්න. සිනමාවට පෙම් බැඳි අප හැමෝම ප්‍රෙමිලා කුරුප්පු නමැති ඇයව නොහඳුනනවා නම් පුදුමයකි. කලක් ඇය අප සිනමාවේ ගිණිසිළුවක් බඳුය. ප්‍රෙමිලා නම් නැටුම්ය. නැටුම් නම් ප්‍රෙමිලාය. අතීත සිනමාලෝලීන් ඇයව හඳුන් වන්නේ එලෙසින්ය. සුරතලී සිනමාපටයෙන් සිනමා චාරිකාව ඇරැඹි ප්‍රෙමිලා දෙයියන්ගෙ රටේ, සුහද දිවි පිදුම, මංගලිකා, සුලලිත සෝබනී, ආදර රත්නේ ආදී චිත්‍රපටයන්හි විවිධ චරිත මැවුවාය. ඇයට වැඩිපුරම තිරයේ රඟන්නට සිදු වුණේ දඟකාර මෙන්ම තරමක් සැරපරුෂ චරිතය. විවාහයෙන් පසුව මඳක් කලාවෙන් ඈත්ව සිටි ප්‍රෙමිලා ආදර රත්නේ සිනමාපටයෙන් සිය දෙවැනි රංගන ගමන ඇරැඹුවාය. අද වන විට ඇය මහරගම පිළියන්දල පාරේ මංගල මාවතේ පිහිටි නිවසක හුදකලාව කල් ගෙවනු ලබයි.

මගේ පුතා වැඩට කෙනෙක් දීලා තියෙනවා. මාව බලාගන්නේ එයා. අසනීප වුණායින් පසුව තමයි එහෙම කෙනෙකු හරි වුවමනා කළේ. නැත්නම් මං මේ සේරම කර ගත්තේ තනියම.

ප්‍රෙමිලාට වෙච්ච දේ මට අසන්නට සිතිණි. එහෙත් ඊට ප්‍රථම ඇගෙන් ඊට පිළිතුරු ලැබිණ.

හැමදාම උදේ මං ජීසස්ට පහන තියනවා. පහන පත්තු කරලා දොර ගාවට ගිහින් දොර අරිනවා. එහෙම කළාම දෙවියො අපේ ගෙදරට වඩිනවා කියලා විශ්වාසයක් තියෙනවානෙ. එදත් ඔය ටිකම කළා. කරලා අනෙක් පැත්තට හැරුණා විතරයි . . . මටත් හිතාගන්න බැහැ මොකද වුණේ කියලා. අහල පහල අය . . . මේ ඉන්නෙ ඔය ළඟට වෙලා (ප්‍රමිලා සිය හිත මිතුරියක් වන පද්මිණීව පෙන්වයි) එයාලා තමයි හොස්පිට්ල් ගෙනහිල්ලා තියෙන්නේ.

ඩොක්ටර්ස්ලා මොකද කියන්නේ?

බෙහෙත් නැහැ මල්ලි. වයස වැඩියිනෙ. පේන් කිලර්ස් විතරයි පාවිච්චි කරන්නේ. පුළුවන් තරම් රෙස්ට් එකේ ඉන්න කිව්වා. ඔයාලා වගේ කවුරු හරි ආවාම මේ පද්මිණී එනවා මාව එළියට ගන්න. දැනුත් මාව උස්සලා සැටියෙන් තිබ්බේ එයාලනෙ.

යාළුවො, මිත්‍රයො දන්නෙ නැහැ ඔබ අසනීපයි කියලා?

නැහැනෙ, ලියෝනි කොතලාවල කතා කළා. ගීතත් (ගිතා කුමාරසිංහ) ඩෙෆනිට්ලි කෝල් කරනවා. වෙන කවුරුවත් දන්නෙ නැහැ. ආසයි කට්ටිය එනවා නම්. නෑදෑයන්ට වඩා යාළුවො ගෙදර එනවා නම් තමයි ආස.

මෙහෙම තනියම ගෙදරට වෙලා ඉන්න කොට අතීතය එහෙමත් මතක් වෙනවා ඇති?

කොච්චර ලස්සනද මල්ලි ඒ කාලේ. මගේ අම්මත් නැටුම් ශිල්පිණියක්නෙ.

මොකක්ද අම්මගෙ නම?

නෙරංජලා දේවි. අම්මා මාවත් ඉන්දියාවට යැව්වා ඩාන්සිං ඉගෙන ගන්න. මිස්ටර් ඉලංගරත්න තමයි මාව දැකලා අවස්ථාවන් හොයලා දුන්නේ. එදා ඉඳලම ආසයි චිත්‍රපටවලට. නිළියක වෙන්න ඒ දවස්වල හරිම අමාරුයිනෙ. අද කාලෙ වගේ ලෙහෙසි නැහැ.

වැඩිපුරම කළේ බැනුම් අහන චරිත?

ක්ලබ්වල බීලා ඩාන්ස් කරන චරිත කළා. මේ ඊයේ පෙරේදා දවසක යූ ටියුබ් ද මොකක්ද කියන එකෙන් මං බීලා නටපු සිංදුවක් සම්පූර්ණයෙන්ම තිබුණා. දුෂ්ට චරිත කරපු නිසා කොච්චර නම් බැනුම් ඇහැව්වද. ඒ වුණාට මාව ඇත්තටම දැකපුවාම ෆෑන්ස්ලා අනේ මේ ඔයාමද කියලා අහනවා. මං ඉන්න විදිහට හිතන්න බැහැලු නපුරු චරිත කරන නිළියක කියලා.

මොකක්ද ආසම කළ චරිතය? එකක් කියලා කියන්න බැරිද?

පුළුවන්. ආදර රත්නෙ චිත්‍රපටයට මං ගොඩක් ආසයි. ඒකේ රඟපෑවේ කාත් එක්කද . . . මතකත් නැහැ. ආ . . . ජෝ අබේවික්‍රම එක්ක. මගේ විදිහෙම චරිතයක්නෙ. ඒ නිසා අදටත් මට මතක් කර කර සතුටු වෙන්න පුළුවන්.

සහයෝගයෙන් රඟපාපු නළු නිළියෝ?

ඔක්කොම වගේ සහයෝගයෙන් තමයි වැඩ කළේ. එක් කෙනෙක් කියලා මතක් කළොත් ඩොමීව තමයි කියන්න තියෙන්නේ. හොඳ පෞරුෂයක් සහ ගරුත්වයක් තිබුණු කෙනෙක්. හිතපු නැති වෙලාවක නැති වුණානෙ.

කාට හරි කතා කරන්න ඕන නම්?

0779155002 අංකයට කතා කරන්න. ආසයි පරණ යාළුවොත් එක්ක මොනවා හරි කියව කියව ඉන්න.

ප්‍රමිලා සමඟ කතාබහ නිමා කරන විට ඇයගේ පැරැණි සේයාරූ කිහිපයක් නිශ්ශංක සිය තෙවැනි ඇසෙහි සටහන් කරගනු පෙණින.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.