රාත්තල් තුන්සියයක ආදරයට ලොවක් දිනූ සම්මානයක්

නිල්මිණි සිගේරා අසන්ධිමිත්තා සමඟ
මාර්තු 21, 2019

මට අසන්ධිමිත්තාව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය විය. එහෙත් ඇගේ දුරකතනය ක්‍රියා විරහිත කොට ඇත. එහෙයින් මා අසන්ධිමිත්තා අධ්‍යක්ෂණය කළ සම්මානනීය සිනමාකරු අශෝක හඳගම ඇමතීමි.

එයා ජපන් ගිහින්. එහෙ ඔසාකා ෆිල්ම් ෆෙස්ටිවල් එකට අසන්ධිමිත්තා දැම්මනෙ. ඒක ඉවර වුණාම තමයි එයා ලංකාවට එන්නේ.

හඳගම කීවේය.

එහෙනම් සම්මානයක් අරගෙනම අසන්ධිමිත්තා ලංකාවට එයි.

මට සිතිණ. එම සිතුවිල්ල නිවැරැදිය. ඉකුත් ඉරිදා ඇය එම උලෙළේ විශිෂ්ටතම නිළිය හැටියට සම්මාන දිනා ගත්තීය. එය නම් කොට තිබුණේ යකුෂි මුතු සම්මානය යනුවෙනි. අසන්ධිමිත්තා කියා මම ද ඇය ඇමතුවෙමි. මේ දිනවල බොහෝ දෙනෙකු ඇයට අමතන්නේ ද එනමින් බව මම දනිමි. යකුෂි මුතු සම්මානය දෝතට ගෙන සඳුදා මධ්‍යම රාත්‍රියේ අසන්ධිමිත්තා හෙවත් නිල්මිණි සිගේරා මව්බිමට ගොඩ බැස්සාය. එහිදී ඇය ඉතා ඉහළ අන්දමින් පිළිගනු ලැබිණි. නිල්මිණි හිමිකම් කියූ මෙම ජාත්‍යන්තර සම්මානයත් සමඟ මෙරට සිනමා ඉතිහාසයේ ජාත්‍යන්තර සම්මාන දිනාගත් දහතුන් වැනි රංගන ශිල්පිණිය ලෙසට ඇය ඉතිහාසයට එක් විය. සඳුදා මව්බිමට ආ නිල්මිණි අඟහරුවාදා දින බොහොමත්ම කාර්යබහුල වන වග මම දනිමි. එහෙත් වගතුග කතාබහ කිරීමට අත්‍යවශ්‍යය. නිල්මිණි ගැන අලුත්ම තොරතුරු දැන ගැනීමට ඔබ ද උනන්දු වන බව නොඅනුමානය. එහෙයින් ඇයට ඇමතිය යුතුමය.

මං අද ඉස්කොලෙට ආවා. දැන් එහෙ ඉන්නෙ. ගෙදර එන කොට පාන්දර වුණා. ඒත් මගේ වෘත්තියට ගරු කරන්න ඕනනෙ.

නිල්මිණි තමන් උගන්වන සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට ඇවිත්ය .

කමක් නැද්ද කතා කළාට . . .?

කමක් නැහැ. දැන් පොඩ්ඩක් ෆ්‍රී.

කියන්න එහෙනම් අසන්ධිමිත්තා ගැන?

මේක මගේ පළමුවැනි චිත්‍රපටය. සමහර විට අන්තිම එකත් මේකම වේවි. විකෘති විතරයි නාට්‍යවලින් රඟපෑවේ.

හඳගම වෙන්න ඇති ඔබට මේ චරිතයට කතා කළේ?

ඔව්. මං චිත්‍රපට පිස්සියක්. හැම චිත්‍රපට උලෙළකටම යනවා. ඔය අතරේ ඒ වාගේ තැනකදි හඳයව මට හමු වෙලා රඟපාමුද කියලා ඇහැව්වා. ගල් පර්වතයකට ද මාව ගන්න හදන්නේ කියලා මං ඔහුගෙන් පෙරළා ඇහැව්වා. විහිළුවට වගේ එහෙම මං කිව්වත් හඳයා අහලා තියෙන්නේ ඇත්තටමයි. පසුව අසන්ධිමිත්තා පොත මට ගෙනත් දුන්නා. තිර රචනයත් ලැබෙන්න සැලැස්සුවා. මේ ආරංචිය දැනගත්තම සමහරු කිව්වා හඳයා කරන්නේ ආන්දෝලනාත්මක චිත්‍රපට කියලා. නමුත් මේකෙ කතාව ගැන මං දැනුම්වත් වුණාට පස්සේ රඟපාන්න කැමැති වුණා. රූපගත කිරීම්වලට සහභාගි වන අතරතුරදී මට දැනුණේ චිත්‍රපට හතරක මං වැඩ කළා වගේ. ඒතරම්ම දේවල් මගේ ජීවිතයට ලැබුණා.

වෙන නිළියෝ කෙට්ටු වෙන්න බලද්දී ඔබ මහත් වුණා. ඒ මහත තමයි ඔබට වාසනාව ගෙනාවේ?

මං චොකලට් පෙරේතියක්. චොක්ලට් කේක් කන්නත් ආසයි. ඒවා කනඑක නවත්වන්න බැහැනෙ. අනික මං රඟපාන්න හිතාගෙන හිටියෙත් නැහැ. හඳයා මට හමුවන වාරයක් පාසා කිව්වේ කෙට්ටු වෙන්නෙ එහෙම නැහැ කියලා. හරියට තර්ජනයක් වගේ. මං කෑම ටිකක් වැඩි කරලා තව රාත්තල් දහයක් බර වැඩි කර ගත්තා.

රාත්තල් තුන්සීයක ආදරයක් වෙනුවෙන්?

(නිල්මිණි මහ හඬින් සිනාසෙයි) මං එච්චර බර නැහැ. රාත්තල් දහයකින් වැඩි වුණත් චිත්‍රපටයෙන් පසුව ඒ රාත්තල් දහය මං අඩු කර ගත්තා.

චිත්‍රපටයේ ඇතැම් දර්ශන සහ දෙබස්වලට ඔබගේ වාරණයක් තිබුණේ නැද්ද?

වාරණයක් තිබුණේ නැහැ. හඳයව මං කොහොමත් දැනුම්වත් කර කර හිටියේ මං ගුරුවරියක් කියන කාරණය. ඔහු කිව්වා එහෙම අවුලක් වෙන එකක් නැහැ කියලා. දර්ශන සහ දෙබස්්වලට වැඩිය මට අවශ්‍ය වුණේ එම දර්ශන කෙරෙන්නේ කොයි අන්දමින්ද කියන කාරණය. ඒක සැක හැර දැනගත්තා.

පළමු වතාවට රිදී තිරයෙන් දුුටුවම සතුටු හිතෙන්න ඇති?

මට කියැවුණා අයියෝ සංසාරේ කියලා. එච්චරටම මං මහතයි. චිත්‍රපට තිරයේ මං ඉන්න එක රූප රාමුවකදී තිරයේ දෙපැත්තෙන් අඩි භාගයක ඉඩක් තමයි තිබුණේ. මමමද මේ කියලා හිතුණා. මහත වැඩිකමට ලැජ්ජාවකුත් ආවා.

ඔබේ සමකාලීන නිළියන් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණා. චාන්දනී, කෞශල්‍යා වගේ අය. ඔබ තමයි පමා වුණේ?

දිගටම රඟපාන්න හිතාගෙන හිටියේ නැහැනෙ. ලෙස්ටර් මහත්තයා අවරගිර චිත්‍රපටයටත් කතා කළා. යන්න බැරි වුණා. තවත් චිත්‍රපට රැසකට කතා කෙරුවනෙ. නිවේදනය පැත්තට තමයි යොමු වුණේ.

දැන් ඒකත් කරන්නෙ නැහැ?

ඔව්. නිවේදන කටයුතුවලින් අයින් වෙලා දැන් අවුරුදු පහළොවකටත් වැඩියි. ඉස්කෝලෙට වෙලා උගන්වන කටයුතුමයි කළේ. අනේ මේ වෙලාවේ මගේ ඉස්කෝලේ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ සියලු දෙනාවම මතක් කරන්න ඕන. එයාලා මට උපරිම සහාය ලබා දෙනවා.

ඔසාකා උලෙළේ විශිෂ්ටතම නිළිය ලෙසට ඔබේ නම කියද්දී . . . මොකද හිතුණේ?

ඇත්තටම ලොකු සතුටක් දැනුණා. පළමු චිත්‍රපටයෙන්ම හොඳම නිළියක් ලෙසට සම්මාන ගන්නවා කියන්නෙ . . . ඒක හරිම විරල අවස්ථාවක්. වෙලාවකට පුදුමයි. රටවල් දොළහක චිත්‍රපට අවසන් වටයට ආවා. ඒවා අතරින් මට ඉහළම තැන හිමි වුණා. මේ උලෙළ නියෝජනය කරන්න ලැබීමත් සතුටක්. ආයේ මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැනෙ. මං වගේ චිත්‍රපට පිස්සියකට මෙහෙම උලෙළකට යන්න ලැබීමත් වාසනාවක්.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.