අඩ සිය වසරක් කට හඬින් කළ වික්‍රමයට සම්මාන

මාර්තු 21, 2019

ඇගේ හඬ අතිශයින් ජනප්‍රියය. යමකු ඒ කටහඬ නොහඳුනන්නේ නම් පුදුුමයකි. එය සිදු වූයේ කාලයකට ඉහතදී ජාතික නාළිකාවේ විකාශය වු රොබින්සන් අන්දරයේ මව එළිසබෙත්ට ඇය හඬ කැවීමත් සමඟිනි. එම මාලා නාටකය සේම ඇගේ හඬ ද ඉතාම ජනප්‍රිය විය. මෙලනි අශෝකා නමැති ඇය මේ වන විට රංගන ශිල්පිනියක ද ලෙසින් කටයුතු කරයි. ඇගේ කලා දිවිය වසර පනහකට ආසන්නය. එදා මෙන්ම අදත් මෙලනිගේ රූසපුව මෙන්ම කටහඬ ද කිසිදු වෙනසක් නැත.

මෙලනි, ඔබට ගෞරව නාමයක් දෙකක් ලැබුණා කියලා ආරංචියි?

ඔව්. ගොඩක් සතුටුයි එහෙම අපව අගයන එක. දේශ ගෞරව කීර්ති සම්මානය සහ රංගන කලා විභූෂණ දේශමාන්‍ය වීර මාතා කියන නාමයන් තමයි මට ලැබුණේ. අඩ සියවසකට ආසන්න කාලයක් කලාවේ නියැලුණාටයි ඒවා මට හිමි වුණේ.

කලා ලොවේ අඩ සියවස සපිරෙන්නේ කවදාටද?

ලබන අවුරුද්දට තමයි අවුරුදු පනහ.

මොනවද ඒ වෙනුවෙන් කරන්න හිතාගෙන ඉන්නේ?

විශේෂ මුකුත් දැනට ප්ලෑන් කරලා නැහැ. ග්‍රන්ථයක් එළි දක්වන්නයි හිතාගෙන ඉන්නේ.

මේ දිනවල ඔබේ කලා කටයුතු සිදු කරන අන්දම ගැන සඳහනක් කළොත්?

ඉත්තෝ නාට්‍යයේ රඟපෑවා. ශ්‍රී සිද්ධා චිත්‍රපටයෙත් චරිතයක් කළා. සූරයන්ගෙත් සූරයා මාලා නාටකයේ දේවඟනකට හඬ කවනවා. උපුල් ගුණවර්ධන නාට්‍යයක් කරනවා ප්‍රේම කොකා කියලා. එකෙත් මේ දිනවල රිහසල්.

හඬ කවපු පළමු නිර්මාණය මතකද?

මල්ගුඩි දවස.

 ඉන්පසු දිගින් දිගටම ඔබට හඬ කැවීමට අවස්ථාව උදා වුණා?

ඒක හරිම වාසනාවක්. ජාතික නාළිකාවෙන් කළ ඉතා උසස් නිර්මාණ බොහොමයකට මට හඬ කවන්න ලැබුණා.

රොබින්සන් අන්දරය ඒවා අතරින් විශේෂයි?

ඒ ඒකේ තිබුණු සුන්දරත්වය නිසා වෙන්න ඇති අදටත් ටෙලිකාස්ට් වුණොත් මිනිස්සු රොබින්සන් අන්දරය බලාවි. ඒකේ අම්මනෙ මං. මගේ කටහඬ හරියට ජනප්‍රිය වුණා. එක දිගට අවුරුදු විසි පහක් හඬ කවපු අයට විශේෂ සම්මානයක් ජාතික නාළිකාවෙන් ලබා දුන්නා. මටත් ඒක හිමි වුණා.

ඔබේ කටහඬ ගැන මොන වාගේ ආකල්පයකින්ද ඉන්නේ?

මං හරිම වාසනාවන්තයි. මොකද දන්නවද එහෙම කියන්නේ. කට හඬකින් ජනතාව පිනවන්නට ලැබීම හැමෝටම කරන්න බැරි වැඩක්. විශාකා සිරිවර්ධනට එහෙම මං කෝල් කරන කොට ගත්ත ගමන් කියන්නේ 'මේ අපේ කෙවිලියනෙ කතා කරන්නෙ' කියලා. ඔවුන් ඒතරම්ම මගේ හඬට ආසයි. මේ ළඟදී දවසක අම්මෙකුයි දුවෙකුයි මාව කටහඬින් අඳුන ගත්තා. ජනතාව අතරේ මං ඉන්නවා කියලා මට දැනෙනවා.

කටහඬ ගැන බියට පත් වූ අවස්ථාවක් නැතිද?

තියෙනවා. එක්තරා අවස්ථාවකදී සෙම හැදිලා මගේ කටහඬ නැති වුණා. නොසෑහෙන්න පොල් පුච්චගෙන කෑවා. ඒත් හරි ගියේ නැහැ. මං එදා නම් හුඟක් බය වුණා. ඩොක්ටර් කෙනෙක් ළඟට ගියාම කිව්වා සෙම කෙසේ වෙතත් පොල් පුච්චගෙන කෑව එකත් අහිතකර වෙලා කියලා. මට ඒ කිට්ටු දවසක හඬ කැවීමකුත් තිබුණා. ඒකත් බොහොම අමාරුවෙන් කළා. අතුල රන්සිරිලාල්ගෙන් බැනුම් අහන්නත් වුණා. පස්සේ කාලයත් එක්ක කටහඬේ දෝසය නැති වුණා.

හඬ කවන නාට්‍ය ඕනෑවට වැඩියි කියලා බහුතරයක් කියනවා?

අපි කාටවත් බැන බැන ඉඳලා වැඩක් නැහැ. ප්‍රේක්ෂකයන්ට වැලඳ ගන්න දෙයක් කරන්න ඕනෑ. චැනල්වලිනුත් ඒවාට හොඳ මිලක් ගෙවිය යුතුයි. එතකොට ගොඩක් ගැටලු විසඳේවි.

නව පරපුරේ කලාකරුවන්ට දෙන්න තියෙන පණිවුඩයක් එහෙම තියෙනවාද?

අනිවාර්යයෙන්ම. මට ඔවුන්ට කියන්න තියෙන්නේ ඕනෑවට වඩා නව තාක්ෂණයට ඇබ්බැහි වෙන්න එපා කියන එක. පැරැණි කලාකරුවන්, පැරැණි කලා නිර්මාණ ගැන ඇහැ ඇරලා බලන්න. පවුල් සංස්ථාවත් ආරක්ෂා කරගෙන රටට ආදරය කරන කලාකරුවෙන් වෙන්න. එතකොට රටම ආදරය කරාවි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.