අහන් ඉන්න අහගෙන ඉන්නමේ තමයි කතා කරන හීන

සෝමලතා හේරත් මැණිකේ
මාර්තු 21, 2019

සිනමා අධ්‍යක්ෂවරුන් බොහෝය. එහෙත් අධ්‍යක්ෂවරියන් අල්පය. ෆ්ලොරිඩා ජයලත් ස්විප් ටිකට් සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් මෙරට ප්‍රථම සිනමා අධ්‍යක්ෂවරිය බවට පත් වූවාය.

 

අනතුරුව රූබි ද මෙල්, රෝහිණී ජයකොඩි, හෙළ සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස්, නිළි රැජන මාලිනී ෆොන්සේකා, ඉනෝකා සත්‍යංගනී, මොරින් චාරුණි වැනි අධ්‍යක්ෂවරියෝ ද සිනමා නිර්මාණ බිහි කරමින් අප සිනමාව පෝෂණය කළෝය. ඉකුත් සිකුරාදාවේ සිට තවත් සිනමා අධ්‍යක්ෂවරියක් එකී ලැයිස්තුවට එකතු විය. ඇය නමින් සෝමලතා හේරත් මැණිකේය. සෝමලතා වඩාත් ප්‍රකට චරිතයක් වූයේ ගීත රචනයෙනි. මේකලා ගමගේ ගයන අහන් ඉන්න අහගෙන ඉන්න සෝමලතා විසින් රචිත ජනප්‍රියම ගීත ගොන්නේ පළමුතැන ඇත්තේය. දිගු කලක් තිස්සේ ඇය සිනමා අධ්‍යක්ෂවරියක වීමේ පිපාසාවෙන් සිටියාය. ඒ පිළිබඳ ස්වයං අධ්‍යයනයක ද යෙදුණාය. තමා විසින්ම තිර රචනය සකස් කරමින් කතා කරන හීන ලෙසට නම තබා සෝමලතා සිනමාපටයක් අධ්‍යක්ෂණය කළේ දහසකුත් එකක් බාධක හමුවේය. අද වන විට ඇය සිනමාපටය ප්‍රදර්ශනය සමඟින් කාර්ය බහුලව සිටින්නේය.

සෝමලතා ඔබට සිනමාපටයක් නිර්මාණය කරන්න හිතුණේ ඇයි?

මං චිත්‍රපට රසිකාවියක්. තිරයට එන හුඟක් චිත්‍රපට මම නරඹනවා. මං හිතපු අන්දමේ චිත්‍රපට මේවා අතර තියෙනවද . . . මට ලොකු ප්‍රශ්නයක් ඉතුරු වුණා. කාලයක් මං පත්තරවලටත් ලිව්වා. අවුරුදු තුන හමාරක් විවිධ කටයුතු හේතුවෙන් ළමයින් එක්ක කාලය ගත කරන්න සිදු වුණා. මේ මේ හේතු කාරණා නිසා මගේ මනසෙහි යම් කතාවක් ගොඩනැගිලයි තිබුණේ. ඒ කතාව පත්තරයකට ලියලා ප්‍රමාණවත් මදි කියලා මට හිතුණා. සිනමාපටයක් ඔස්සේ මං කියන්න උත්සාහ කරන දේ ගෙන ආවොත් මං සාර්ථකයි. ගොඩක් ළමා චිත්‍රපටවල ළමයින්ට ආස දේවල් තියෙනවා. නමුත් ළමා මනස විග්‍රහ කරලා නැහැ. එසේ කරමින් මං ගොඩනැඟුව කතාව චිත්‍රපටයක් ලෙසින් ගෙන ආවා.

 

මෙහි නිෂ්පාදකවරියත් ඔබමයි?

මගේ ළඟට ගීයක් රචනා කරගන්න කෙනෙක් ආවා. ඔහු තමයි පළමුව මෙයට මුදල් යෙදෙව්වේ. එහෙම වැඩේ පටන් ගත්තා. පසුව මං ණයක් විදිහට මුදලක් ගෙන මෙහි ඉතිරි වැඩ සියල්ල නිම කළා.

 

අද වන විට නිර්මාණකාරිණියක් විදිහට මොන වගේ ස්ථාවරයක ද ඉන්නේ?

කිසිදු දුකක් නැහැ. නමුත් කිවයුතු දේවල් කිහිපයක් තියෙනවා. මේ ලෝකයේ බොහෝ විප්ලවයන්ට මුල් වුණේ නිර්මාණකරුවන්. ඔවුනට ඒ ඒ රටවලින් යම් යම් ඇගැයීම් ලැබුණා. මූල්‍යමය වශයෙන් නෙවෙයි මං කියන්නේ. සමාජය තුළින් ඒ ගෞරවය හිමි වුණා. පිරමීඩයක් ලෙසට ගත්තොත් ඔවුන් තමයි එහි ඉහළම ස්ථරයේ ඉන්නේ. ලංකාවේ එහෙම නෙවෙයි පහළම ස්ථරයෙහි නිර්මාණකරුවන්ව තියලා තියෙන්නේ. කනගාටුයි නේද තියෙන තත්ත්වය.

 

චිත්‍රපට ප්‍රදර්ශනයේ ඇති කටුකත්වය ගැන ඔබ දැනගෙන හිටියද?

කොහෙත්ම නැහැ. හැම දෙයක්ම ලෙහෙසියෙන් ලැබෙන්නේ නැහැ කියලා මා දන්නවා. අන්තර් කාල වකවානුවකයි චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹුවේ. මේ කියන වාතාවරණයට රජයට දොස් කියලා වැඩක් නැහැ. අප අතෙහි වැරැද්ද තියෙන්නේ. අපි හැමෝම නිර්මාණවේදීන් වශයෙන් එකමුතු විය යුතුයි. එහෙම එකතු වෙලා යම් යම් දේවල් ක්‍රියාත්මක කළොත් ගැටලු රැසක් විසඳා ගන්න පුළුවන්.

 

චිත්‍රපටයේ නළු නිළියන් තේරීම සිදු කළේ කොහොමද?

ළමා නළුවෙක්ව හොයා ගන්න බොහෝ වෙහෙසුණා. ඔඩිෂන් පවා තිබ්බා. ඒ ඒකකින්වත් හොයා ගන්න බැරි වුණා. අහම්බෙන් මගේ ඇස ගැටිලා තමයි දැන් රඟපාන පිරිමි ළමයව ගත්තේ. වැඩිහිටි නළු නිළියන් ගත්තොත් බිංදුහේවා මහත්මයා කොහොමත් ඒ චරිතය වෙනුවෙන් මගේ සිතේ ඇඳිලා තිබුණා. සේමිණිත් එහෙමයි. බුද්ධික ජයරත්න කරන පියාගේ චරිතයට මං ඔහු සහ බිමල්ව හිතාගෙන හිටියා. වෙන ඔප්ෂන් තිබුණේ නැහැ. බිමල්ට දින ප්‍රශ්නයක් තිබුණා. ඔහු බොහොමත්ම උත්සාහ කළා චිත්‍රපටයට එකතු වන්න. බැරිවුණ තැන බුද්ධිකට කතා කළාම මගේ වෙලාවට දවස් ටික ඕකේ.

 

කාන්තාවක් වීම මොන වගේ අභියෝගයක් ද වුණේ චිත්‍රපට නිර්මාණකරණයේදී?

මට තිබුණු ප්‍රධානම අභියෝගය වුණේ මගේ ගැහැනුකම. ගැහැනු පිරිමි කියන්නේ ලිංගිකව අප විසින් බෙදා ගත්ත කාරණයක්. හරියට පක්ෂවලට බෙදිලා ඉන්නවා වගේ. එය නිකම්ම නිකම් බෙදීමක් පමණයි. මං කාන්තාවක වගේම චිත්‍රපට ක්ෂේත්‍රයටත් අලුත් නිසා මං කියපු ඇතැම් දේවල් සමහරු පිළිගන්නට මැළි වුණා. කමක් නැහැ. මං ඒවා ගැන හිත හිතා දුක් වුණෙත් නැහැ. මං කොයි තැනකවත් පරාජය වුණේ නැහැ කියලා විශ්වාසයි. මං සාර්ථකයි කියලා දැනෙනවා.

 

චිත්‍රපටය නිසා ඔබ ණයගැත්තියක වුණා?

ඔව්. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. චිත්‍රපටයට ණය දුන් තැනැත්තා මේ නිර්මාණය දිහා බලලා සතුටුවෙන කෙනෙක්. නැතුව මං තමයි මේකට සල්ලි දුන්නේ කියලා කියව කියව යන කෙනෙක් නෙවෙයි. එසේ වීම මට සතුටුදායකයි.

 

මේ දිනවල ඔබේ ලේඛන කටයුතු කොහොමද සිද්ධ වන්නේ?

විශේෂයක් නැහැ. ගීත එහෙම ලියනවා. වෙන විශේෂ දෙයක් නැහැ.

 

ඔබගේ චිත්‍රපට ගමනේ මීළඟ පියවර?

තාත්තා තේමාව කර ගනිමින් චිත්‍රපටයක් හදනවා. බොහොම ඉක්මනින් එහි වැඩ පටන් ගන්නවා. චිත්‍රපට නිර්මාණය මට දැනෙන්නේ රහක් තියෙන විෂයක් හැටියටයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.