වැව් බැඳි රාජ්‍යයේ විල් බැඳි දනව්වේ සෞම්‍යවන්තයා

ජානක වික්‍රමසිංහ 31දා B. M. I. C. H එයි
මාර්තු 28, 2019

දුම්රිය ගැස්සෙන පැද්දෙන තාලෙට ඔහුත් එහෙට මෙහෙට පැද්දෙනවා. නින්දත් නොනින්දත් අතර ගෙවෙන පැය ගණනාවක් මේ දුම්රිය පෙට්ටියේ ගෙවන්න ඕන. වැව් බැඳි රාජ්ජෙට ඝන අන්ධකාරය මුසු කරන යාමේ කෝච්චියට නැඟුණු ඔහු පහුවදාට එළිවෙන්න කොළඹ එන්න පිටත් වුණා. දශක කීපයකට එහායින් දිවෙන මතකයක් වුණත් අදත් ආදරෙන් සමරන්න තරම් සොඳුරු බවක් ඒ හැම මතකයකම ඉතිරි වෙලා තියෙන එක ගැන ඔහු සතුටු වුණා.

පාන්දර 5 කණිසමට කුකුළත් අතින් අරගෙන ඔහු කොටුව දුම්රියපළෙන් එළියට එනකොට මේ ගෙන්දගම් පොළවට උදා හිරු එන්නත් හිතල නෑ. වටින් ගොඩින් එළිය වැටෙන ළා අඳුරෙම බෑග් මල්ලත් අතින් අරගෙන ඔහු වට පිට බැලුවේ මූණ ටිකක්වත් හෝදගන්න තැනක් තියේවිද කියලයි. පෙරදා රැයේ දුම්රියට නැඟි ඔහුට පසුවදා යාමට ඇති වැදගත් ගමන පිරිසුදුවට, පිළිවෙලට යා යුතුය. ඔහු පිටකොටුවේ වෙළෙදාම් කරන වෙළෙන්දෙකු ළඟට කිට්ටු වුණා..

දුම්රිය ගැස්සෙන පැද්දෙන තාලෙට ඔහුත් එහෙට මෙහෙට පැද්දෙනවා. නින්දත් නොනින්දත් අතර ගෙවෙන පැය ගණනාවක් මේ දුම්රිය පෙට්ටියේ ගෙවන්න ඕන. වැව් බැඳි රාජ්ජෙට ඝන අන්ධකාරය මුසු කරන යාමේ කෝච්චියට නැඟුණු ඔහු පහුවදාට එළිවෙන්න කොළඹ එන්න පිටත් වුණා. දශක කීපයකට එහායින් දිවෙන මතකයක් වුණත් අදත් ආදරෙන් සමරන්න තරම් සොඳුරු බවක් ඒ හැම මතකයකම ඉතිරි වෙලා තියෙන එක ගැන ඔහු සතුටු වුණා.

පාන්දර 5 කණිසමට කුකුළත් අතින් අරගෙන ඔහු කොටුව දුම්රියපළෙන් එළියට එනකොට මේ ගෙන්දගම් පොළවට උදා හිරු එන්නත් හිතල නෑ. වටින් ගොඩින් එළිය වැටෙන ළා අඳුරෙම බෑග් මල්ලත් අතින් අරගෙන ඔහු වට පිට බැලුවේ මූණ ටිකක්වත් හෝදගන්න තැනක් තියේවිද කියලයි. පෙරදා රැයේ දුම්රියට නැඟි ඔහුට පසුවදා යාමට ඇති වැදගත් ගමන පිරිසුදුවට, පිළිවෙලට යා යුතුය. ඔහු පිටකොටුවේ වෙළෙදාම් කරන වෙළෙන්දෙකු ළඟට කිට්ටු වුණා.

 'මුහුණ ටිකක් හෝදගන්න තැනක් තියෙනවද?'

'මේ පැත්තේ නෑ . . . අර පැත්තට යන්න . . .' ඔහු කෙසෙල්වත්ත පැත්තට අත දිගු කළා.

බෑගය ද ඔසවාගෙන ඔහු වෙළෙන්දා කිවූ දිශාවට පිය නැඟුවාය. මුහුණ සෝදා ගැනීමට පමණක් නොව ඇඟපත සෝදා ගැනීමට ද හැකි ළිං කිහිපයක්ම ඒ ප්‍රදේ්ශයේ තිබුණා. සුළු මුදලක් ගෙවා එම ළිඳකින් හොඳින් නා ගත් ඔහු ගෙදරින් එන විට රැගෙන ආ මැදපු කලිසමෙන් සහ කමිසයෙන් සැරසී ගුවන් විදුලි සංස්ථාව සොයා යන්නට කෙසෙල්වත්තේ සිට සූදානම් වුණා. එදා තම පළමු සරල ගී පරීක්ෂණයට ඉදිරිපත් වීමට යාමට සූදානම් වූ ඔහු වත්මනෙහි ලාංකේය ගී කෙත සුපෝෂිත කරන්නට යහපත් නිර්මාණ රැසක් තිළිණ කළ ගායන ශිල්පී ජානක වික්‍රමසිංහය.

සිය ගායන දිවියේ විසිපස් වසක් සමරමින් එදා මෙදාතුර ගී මං සලකුණු සමරනු වස් එළඹෙන 31 වැනිදා සවස 6.30 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දිගහැරෙන 'සෞම්‍යවන්තියේ' ගී ප්‍රසංගයට ඔහු මේ මොහොත වන විට සූදානමින් සිටිනවා. එදා සරල ගී පරීක්ෂණයට ඉදිරිපත් වන්නට ඉස් ඉස්සරලාම කොළඹට එන විට ගුවන් විදුලි සංස්ථාව තිබෙන්නේ කොයිබදැයිවත් නොදන්නා කොළඹට ආගන්තුකයෙක් වූ ඔහු වත්මනෙහි සිය සංගීත දිවියේ උඩුගං බලා පිහිනූ නිර්මාණකරුවෙක්. ඒ වෙනුවෙන් ගෙවූ අති දුෂ්කර, අති සුන්දර අත්දැකීම් සපිරි අතීතයක හිමිකරුවෙකි.

අතීත මතකයන් මත වර්තමානයත්, අනාගතයත් ගොඩ නඟන ඔහුට අදත් අතීතය ගීතයක් තරම්ම සොඳුරු විය හැකියි.

'පොළොන්නරුවේ ඉඳන් කොළඹට එන්න පැය පහක් විතර ගත වෙනවා. මගේ මුල්ම සරල ගී පරීක්ෂණයට මම කොළඹ ආවේ 1990 දී විතර. මම පොළොන්නරුවෙන් රාත්‍රී 9.30 ට පිටත්වන කෝච්චියෙන් කොළඹ ආවා. උදේ 5.30 විතර වෙනකොට කොළඹට ආවා.

කෝච්චියෙන් බහින කොට මගේ මුළු ඇඟම ඩීසල් ගඳයි. ඇඳුම්වල කළු පාට පැල්ලම්. කොළඹට ඇවිත් මූණ හෝදාගන්න තැනක්වත් මම දැනගෙන හිටියේ නැහැ. පිටකොටුවේ වෙළෙන්දෙක්ගෙන් අහගෙන කෙසෙල්වත්තේ තිබුණ ළිඳකට ගිහින් සුළු මුදලක් ගෙවලා නා ගත්තා. ඊට පස්සේ ගෙදරින් අරගෙන ආව ඇඳුම් ඇඳගෙන තමයි ගුවන් විදුලි සංස්ථාව හොයා ගෙන ගියේ. ඇත්තටම ඒ අතීතේ මතක් වෙනකොට අදටත් මට ඇහැට කඳුළු එනවා.'

ජානක සරල ගී පරීක්ෂණයට ගායනා කරන්නේ 'මට ආසිරි පතන්නෝ' නම් නවතම ගීයකි. එම ගීය පියදාස මල්ලවාරච්චි මාස්ටර් ගායනා කළ ගීතයක්. සරල ගී වැඩ සටහන සඳහා එම ගීතය ඔහු ජානකට ලබා දෙන්නේය. නිමල් ගුණසේකර සහ ගාමිණී ගුණසේකර යන සංගීතඥයන් විසින් එම ගීතයේ අඩු ලුහුඬුකම් සකසා දුන්නේය. තිරයකින් වැසුණු විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ එදා ජානක මේ ගීතය ගායනා කළේය. ගායනයෙන් පසු තිරය අතරින් දුටු මුහුණක් ජානක හඳුනා ගත්තේය. ඒ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරිය. ජානක සරල ගී ගායකයෙකු ලෙස ගුවන් විදුලියේ ශ්‍රේණිගත වුයේ එදාය.

කොළඹට පැමිණ ජාතික තලයේ ගායකයෙකු වන්නට ප්‍රථම පොළොන්නරුව ප්‍රදේශයේ ජානක නමක් දිනූ ගායකයෙකු වූයේය.

'මගේ කලා ජීවිතේ සමාරම්භය සනිටුහන් වෙන්නේ පොළොන්නරුව ප්‍රදේශයෙන්. නව ගොවි ජනපද ව්‍යාපාරයත් එක්ක මගේ අම්මයි තාත්තයි දෙන්නා පොළොන්නරුවට සංක්‍රමණය වුණු දෙන්නෙක්. ඔවුන් දුක් මහන්සියෙන් ගෙවල් දොරවල් හදාගෙන කුඹුරු වතු පිටි වවාගෙන පොළොන්නරුවේ ජීවත් වුණේ. අපේ පවුලේ සහෝදර සහෝදරියන් නව දෙනෙක්. මම පවුලේ හයවැනියා. පොළොන්නරුවේ ඉපදීමම මම සලකන්නේ මහත් ගෞරවයක් විදියට. කුඩා කාලයේ ඉඳන්ම මගේ ගම ප්‍රෞඪ ඉතිහාසයකට නෑකම් කියනවා කියන අභිමානය අපට දැනුණා. එය හැඳින් වූයේ වැව් බැඳි රාජ්‍යයේ විල් බැඳි දනව්ව ලෙසට. රජ දරුවන් ඉපදී මිය ගිය ඓතිහාසික ප්‍රදේශයක්. පුණ්‍ය භූමියක්. මහා වැව්, ගංගා, ඇළ දොළ පිරුණු රමණීය පුරවරයක්. මේ පරිසරයේ අපි හැදී වැඩෙන්නේ. පොළොන්නරුව තෝපා වැව මහා විද්‍යාලයෙනුත්, රාජකීය විද්‍යාලයෙනුත් මම අධ්‍යාපනය ලබනවා. පුංචි කාලේ ඉඳන්ම මගේ වැඩි කැමැත්තක් ගායනයට තිබුණා. මුල් කාලයේ සුමනදාස ගුරු පියාණන්ගෙනුත්, ඉන්ද්‍රාණි විජයලතා ගුරු මාතාවගෙනුත් මම සංගීතය පිළිබඳ මූලික දැනුම ලබා ගත්තා. මේ නිසා පාසල් වියේ සිටම මම ගීත ගායනය නිසා ජනප්‍රිය වෙලා හිටියා. ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ මම රැකියාවන් කිහිපයකටම යොමු වුණා. පළමුවෙන් මහවැලි අමාත්‍යාංශයේ සුළු කොන්ත්‍රාත්කරුවෙකු ලෙස ලියාපදිංචි වුණා. ඒකට මට මගේ ලොකු අක්කා රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබා දුන්නා. ඒකෙන් මම මගේම කියලා කොන්ත්‍රාත් ආයතනයක් පටන් ගත්තා. ඒ කාලේ ඩඩ්ලි සිරිසේන හා බණ්ඩාර ඒකනායක එක්ක මහවැලියේ එකට කොන්ත්‍රාත් කළා. අපි එකම වාඩියක හිටපු හැටි මට අදටත් මතක් වෙනවා.'

ජානක සිය ජීවන වෘත්තීය ලෙස ව්‍යාපාර පැත්තට යොමු වුව ද ගීත ගායනා කිරීමට කිසිසේත් අමතක කළේ නැත. වරක් ඔහු ගායනා තරගයකින් උතුරු මැද පළාතේ හොඳම ගායකයා වශයෙන් ද සම්මානයට පාත්‍ර විය. පසුව 'සුපර් ෆ්‍රෙන්ඩ්ස්' නැමැති සංගීත කණ්ඩායමට සම්බන්ධ වූ ඔහු නිතර ප්‍රසංග සඳහා ද සහභාගි වුණා.

'මගේ ගායන ජීවිතේ ආරම්භ කළේ මේ සංගීත කණ්ඩායමේ ගීත ගායනා කිරීමෙන්. ඒ සඳහා මට අවස්ථාව ලබා දුන්නේ සුපර් ෆ්‍රෙන්ඩ්ස් වාදක කණ්ඩායමේ නිර්මාතෘ සිසිල් හා ඔහුගේ සහෝදරයා වූ සිරිල් විජේසිංහ. ඒ කාලේ අපේ සංගීත කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයන් පිරිසක් හිටියා. එයින් එක් කෙනෙක් තමයි පසු කලෙක 'සිතින් පතා ඉන්නම්' ගීතයෙන් අතිශයින් ජනප්‍රිය වූ කුමාරසිරි පතිරණ. අපව මුලින්ම ප්‍රසංග වේදිකාවට හඳුන්වා දුන්නේ සොලමන් ඩී. කාරියවසම් සහෘදයායි.

ජානක වික්‍රමසිංහ ජාතික තලයේ ගායකයකු ලෙස කරළියට පැමිණෙන්නට ප්‍රථම ප්‍රාදේශීය ගායකයෙකු ලෙස මෙකල අතිශයින් ජනප්‍රිය වුණා. පොළොන්නරුව හා ඒ ආශ්‍රිත නගරවල සංගීත ප්‍රසංග සඳහා එවකට ඔහුට දිගින් දිගටම ඇරියුම් ලැබුණා. 'සියැක්' සංගීත කණ්ඩායම පොළොන්නරුවට පැමිණෙන්නේ මෙවන් යුගයකදීය. පසුව ජානකට පොළොන්නරුව අවට ප්‍රසංග සඳහා සියැක් කණ්ඩායමෙන් ඇරියුම් ලැබුණා. මේ අතරම යුද හමුදා නිලධාරියෙකු වන්නට ආසාවකින් පසු වූ ජානකට ඒ සඳහා අවස්ථාවක් නොලැබුණ ද, රණවිරුවන් වෙනුවෙන් ගී ගැයීමට ලැබීම ගෞරවයක් ලෙස සැලකුවා. ඒ නිසාම යුද්ධය පැවතුණු කාල සීමාවේ එම ප්‍රදේශවල රණවිරුවන් වෙනුවෙන් පැවැත් වූ හැම සංගීත ප්‍රසංගයකම ඔහු ගී ගැයුවේ නොමිලයේයි. එකල පොළොන්නරුව අවට ගම්මාන සැලකුණේ මායිම් ගම්මාන ලෙසටයි. එසේම නොයෙක් වර එම ගම්මාන ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ද ලක් වූණා. මේ නිසා ප්‍රසංග වේදිකාවේදී බොහෝ දෙනෙක් ජානකව හඳුන් වන්නට පුරුදු වුයේ 'මායිම් ගම්මාන ගායකයා' ලෙසටයි.

ජානකගේ මෙකී ජීවන ගමන් මඟ තුළ තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් වනුයේ විශාරද ගුණදාස කපුගේ ගේ හමුවීමයි.

'විශාරද ගුණදාස කපුගේ ගේ බිරිඳ ප්‍රේමා අක්කා පොළොන්නරුවේම කෙනෙක්. ඒ වගේම එයා අපේ අක්කගේ මිතුරියක්. ඒ දෙන්නත් මමත් ඉගෙන ගත්තේ පොළොන්නරුවේ තෝපා වැව මහා විද්‍යාලයේ. මේ සම්බන්ධතාවය නිසා විශාරද ගුණදාස කපුගේ නිතරම පොළොන්නරුවට එනවා. ඒත් ලොකු ආශ්‍රයක් අපි අතරේ ඇති වුණේ නෑ. මේ අතර පොළොන්නරුවේ 'කම්පන' ප්‍රසංගයක් පැවතුණා. ප්‍රසංගයෙන් පසු රාත්‍රියේ මට ඉතාම සමීපව එතුමාත් එක්ක කතාබහ කරන්න අවස්ථාව ලැබුණා. එතුමා ඉදිරිපිට මට එදා ගීතයක් දෙකක් ගායනා කරන්නත් ඉඩ ලැබුණා. ඒ ගීත අසා සිටි කපුගේ මහතා ඉතාම කාරුණිකව ඒවා අගය කළා. ඒ අවස්්ථාවේ තමයි මගේම ගීත කිහිපයක් කළ යුතුයි කියන අදහස මගේ මිත්‍ර ගාමිණී ගුණසේකර ඉදිරිපත් කළේ. කපුගේ මහතාත් එය අනුමත කළා. මගේම ගී ගයන්න ඕන කියන සිහිනය මට ඇති වුණේ එතනදීයි.'

තමාගේම නිර්මාණ ඉදිරිපත් කරමින් ගායකයෙකු වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා ආර්ථික වශයෙන් හයියක් ද අවැසි වීම අනිවාර්ය විය. මේ වන විට ජානක සරල ගී පරීක්ෂණයෙන් සමත් වී සිටිය ද සරල ගීයක් ගායනා කිරීමේ අවස්ථාව ද ලැබී තිබුණේ නැත. ඔහුගේම වියදමින් ගීතයක් පටිගත කිරීමට තරම් වත්කමක් ද එකල ඔහුට තිබුණේ නෑ.

'ඇත්තටම මම සරල ගී පරීක්ෂණයට එන කොටත් කොළඹ ගැනවත්, ක්ෂේත්‍රයේ අය ගැනවත් දැනගෙන හිටියේ නෑ. මට මතකයි මුල්ම සරල ගී පරීක්ෂණය ඉවර වෙනකොට හොඳටම රෑ වුණා. එතකොට ගෙදර යන්න බස් තිබුණේ නෑ. කලක් පොළොන්නරුවේ සේවය කළ හිතවතෙක් කොළඹ ඉන්න බව මට මතක් වුණා. ඔහු තමයි අමරසේන වඩුගේ. ඔහුට දුරකථන ඇමතුමක් දීලා එදා ඔහුගේ ගෙදර ගියා. ඔහු බොහොම ආදරයෙන් මාව පිළිඅරන් ඔහුගේ නිවෙසේ නතර වී මගේ සංගීත දිවියේ ඉදිරි ගමන පිළිබඳ ඔහු සමඟ සාකච්ඡා කළා.

මගේම ගීතයක් පටිගත කරගන්න තිබුණු ආසාවට මම පොළොන්නරුවේ මහජන බැංකුවෙන් රු: 75000/- ක ණය මුදලක් ලබාගත්තා. ඒ අනුව තමයි 1992 දී මගේ මුල්ම ගීත 4 පටිගත කළේ. අජන්තා රණසිංහ, සුනිල් ආර්. ගමගේ, කුලරත්න ආරියවංශ, සුනිල්චන්ද්‍ර වික්‍රමසිංහ ඒ ගීත රචනා කළා. විශාරද

 ගුණදාස කපුගේ, නිමල් ගුණසේකර, රෝහණ වීරසිංහ හා එච්. එම්. ජයවර්ධන ඒ ගිීත සංගීතවත් කළා. 'තව දිනක් ගෙවුණා, අපි කතා නොකර ඉමු, මා අවදි නොකළ මැන, පිනිමුතු සිහිලැල් යාමේ' ඒ ගීත හතරයි.

අපි කතා නොකර ඉමු සහ පිනිමුතු සිහිලැල් යාමේ ගීත දෙක ඒ අතරින් බොහෝ ශ්‍රාවක ප්‍රතිචාර දිනා ගත්තේය. පොළොන්නරුවෙන් පැමිණි නවක ගායකයා ජාතික තලයේ ගායකයෙකු බවට පත්වීමේ මුල් අදියර මෙතැන් පටන් ආරම්භ වුණා. ඉන්පසු ජානක 1993 දී ඔහුගේ ප්‍රථම කැසට්පටය එළි දැක්වූයේය. 'සසල මානවිකාවී' නම් වූ එහි ප්‍රථම මිල දී ගැනීම සිදු කළේ එවකට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටි එකම විපක්ෂ මන්ත්‍රීවරයා වූ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමායි. ඉන් පසු ප්‍රසංග වේදිකාවට ඇරියුම් ලද ජානකට ඒ තුළ ද ඉල්ලුමක් නිර්මාණය වන්නට වුණා. පසුව ජානකගේ පළමු කැසට්පටය ජිප්සීස් ආයතනය හරහා නව මුහුණුවරකින් ඉදිරිපත් කළා. එවර එම කැසට්පටය ආදායම් වාර්තා තබමින් අළෙවි වන්නට වුණා.

'මේ කාලේ ජිප්සීස් ආයතනයේ ලාල් පෙරේරා මහතා මට දවසක් කතා කළා. ඔහු මට අපූරු යෝජනාවක් ගෙනාවා. ඔහු කිව්වා 'ජානක ඔයාට උරුම තැන මෙතන නොවෙයි. ඔයාගේ කටහඬ ගැළපෙන්නේ සින්ග් ලංකා ආයතනයට. ඔයා ගිහින් කුලරත්න ආරියවංශවයි, රෝහණ වීරසිංහවයි හමුවෙන්න කියලා. ඇත්තටම මට පුදුම හිතුණා ඒක කිව්වම. ඔවුන්ට හොඳටම පුළුවන්කම තිබුණා මගේ කටහඬ විකුණලා මුදල් හම්බ කරන්න. නමුත් ඔවුන් ඒ ගැන නොසිතා ඉතාම ත්‍යාගවන්තව මට ගැළපෙන තැන පෙන්නුවා. ඒ අනුව මම සින්ග්ලංකා ආයතනයට ඇවිත් කුලරත්න ආරියවංශ හා රෝහණ වීරසිංහයන් හමු වුණා. ඊට පස්සේ තමයි 1998 දී 'ගම්මානේ සුවඳ' එළි දැක්වෙන්නේ. ඊට පස්සේ 2002 දී 'ආදරයෙන් බලන්න' කළා. 2008 දී 'ලස්සන ඇස්' නමින් නිල්වලා ආයතනයෙන් සි. ඩි. එකක් කළා.

සංගීත දිවියේ 'ගීතය' ජානකගේ දිවිය හැඩ කළා සේම පෞද්ගලික දිවියේ 'ප්‍රේමය' ජානකගේ දිවිය හැඩ කළා. පාසල් වියේදී බැඳි ප්‍රථම ප්‍රේමය දහසකුත් බාධක මැදින් මල් ඵල ගන්වා ගැනීමට ඔහුට හැකි වුණා. ඇය දුලානිය. වැව් බැඳි රාජ්‍යයේ වැව් පිරෙනා සේම දුලානිගේ ආදරයෙන් සෙනෙහසින් ජානකගේ සිත පිරුණා. ප්‍රථම ප්‍රේමය සදා ආදර සිහිවටනයක් කොට ජීවන ගමනේ හැමදා ළඟින් තියා ගන්නට ඔහු වාසනාවන්ත වූයේය. එතැන් පටන් ජානකගේ ව්‍යාපාරික දිවියේත්, සංගීත දිවියේත් ආදරණීය සහකාරිය දුලානිම වුණා. ඇය ඔහුට ආදරණීය දියණියකුත්, පුතණුවෙකුත් තිළිණ කරමින් ජානක ආදරණීය පියකු බවට පත් කළා. වත්මනේ පුතු දුලංජන මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. දියණිය අයෝධ්‍යා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුවියක්.

'සංගිත ක්ෂේත්‍රයේ කාර්යබහුලවීමත් සමඟ මට පොළොන්නරුවෙන් කොළඹට එන්න වුණා. එවකට සංස්කෘතික අමාත්‍ය මොන්ටි ගොපල්ලව මැතිතුමාගේ මැදිහත්වීමෙන් මට ගල්කිස්ස කලා පුරයෙන් ඉඩමක් ලැබුණා. අද මම නිවසක් ඉදි කරගෙන පදිංචි වෙලා ඉන්නේ එතැන. මේ වෙනකොට ශ්‍රි ලාංකේය ගායක ගායිකා සංගමයේ ප්‍රධාන ලේ්කම් හැටියට කටයුතු කරනවා. ඒත් එක්කම මගේ මේ ප්‍රසංගයේදී සුවිශේෂ කාරණා කිහිපයක් ඉටු වෙනවා. එකක් තමයි 'ගී ලොව සෞම්‍යවන්තයා' නමින් සමුද්‍ර වෙත්තසිංහ සංස්කරණය කරන මා පිළිබඳ විවිධ විද්වතුන් ලිපි සපයපු ග්‍රන්ථයේ එළිදැකීම. අනෙක් කරුණ 'සෞම්‍යවන්ත ගී' නමින් ගී 16 ක් ඇතුළත් සංයුක්ත තැටියක් නිකුත් වීම. ඒ සමඟම මම ගායනා කළ විවිධ ගී 16 ක තැටියක් හා මගේ ජනප්‍රියතම ගීත ඇතුළත් තැටියක් ඕඥඵබ ධට බ්චදචඬච නමින් මෙදින එළි දැක් වෙනවා. මේ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහභාගි වෙනවා. මේ ප්‍රසංගය එක දවසකින් කරලා ඉවර කරන්න බලාපොරොත්තු වන එකක් නොවේ. සුභාවිත ගීතය වෙනුවෙන් පෙනී සිටිමින් අපේ සංගීත ශිල්පීන්ට අනාගතයේ යම් මෙහෙවරක් කිරීමේ බලාපොරොත්තුවෙන් සහනදායී මිලකට ඉදිරියේදී දිගටම පවත්වාගෙන යාමේ බලාපොරොත්තුවෙන් තමයි මේක කරන්නේ.'

25 වසරක් ගී ගයමින් සුභාවිත ගීතය වෙනුවෙන් පමණක් නොව සංගීත ක්ෂේත්‍රයේම යහපත පිණිස කැපවෙමින් සහ ඉදිරියටත් තම මෙහෙවර ඉටු කරන්නට පෙරුම් පුරන ගී ලොව සෞම්‍යවන්තයාට අපේ සුබපැතුම් මේ සමඟ!

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.