දැකලා පුරුදු කෙනෙක් සමඟ නුපුරුදු කෙනෙක් තිරයට

සමාධි ලක්සිරි
මාර්තු 28, 2019

දැකලා පුරුදු කෙනෙක් සිනමාපටයේ ප්‍රධාන නිළිය සමාධි ලක්සිරිය. ඇය එහි දිනිති නම් වූ චරිතයක් නිරූපණය කරයි. එම සිනමාපටයේ බහුතරයක් නළු නිළියන් නිතර දකින අයවලුන්ය. එහෙත් සමාධි එලෙස නැත. ඇගේ රුව නෙත ගැටුණ සැණින් ඇය දැකලා පුරුදු නිළියක් නොවන වග ඔබට පසක් වනු ඇත. ක්ෂණිකව සමාධි ගැන මතකයක් අවදි නොවන්නේ ඇය නිතර දකින වර්ගයේ නිළියක නොවන නිසාය. කඩදොර, අප්පච්චි, තාත්තෙ අපි ආවා ටෙලි සිතුවම් මෙන්ම ජනේලයෙන් පනින්නද, හිතලා ගත්තු තීරණයක් වැනි වේදිකා නාට්‍යයන් හි සමාධි තම රංගන හැකියාව මොනවට පැහැදිලි කරන්නීය.

 

සමාධිට දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයට ආරාධනා ලැබෙනුයේ එහි අධ්‍යක්ෂ මලිත් හෑගොඩ ගෙනි. සමාධි එය සිදු වූ ආකාරය පැවසුවේ මේ අයුරිනි.

මලිතුයි භූපතියි චිත්‍රපටයක් කරනවා කියන අදහසින් හිටියා. භූපති චිත්‍රපටයේ කතාව මේ මේ විදිහයි කියලා කියද්දි දිනිතිගේ චරිතයට මාවමයි ඔළුවට ඇවිත් තියෙන්නේ. රූපගත කිරීම් කරද්දිවත් මං දැනගෙන හිටියේ නැහැ මේක මං වෙනුවෙන්ම ලියූ කතාවක් කියලා. පසුවයි එය දැන ගත්තේ. ජනේලයෙන් පනින්නද, බර්නාඩාගේ සිපිරි ගෙය වැනි වේදිකා නාට්‍ය කරද්දි මලිත් ඇවිත් බලාගෙන ඉඳලා තියෙනවා. වේදිකාවේ වැඩිපුර හිටිය මගේ දක්ෂතා සිනමාවට ගන්න පුළුවන් කියලා ඔහුට හිතෙන්නට ඇති. ඒක මලිත්ගේ දක්ෂතාවයනෙ. මීට කලින් මං චිත්‍රපටවල රඟපාලත් නැහැ. දකලා පුරුදු කෙනෙක් තමයි මගේ පළමුවැනි චිත්‍රපටය. චිත්‍රපටය ගෝල්වලට ආවට පස්සේ එකම එක සැරයක් යාළුවෙක් එක්ක ගිහින් මං බැලුවා. මංගල දර්ශනයේදියි මාධ්‍ය දර්ශනයේදියි මට ෆිල්ම් එක බලන්න බැරි වුණා මගේ වේදිකා නාට්‍යවල දර්ශන තිබුණ නිසා. චිත්‍රපටය මං නැරැඹුවේ සමාධි ලක්සිරි කියන මාව අමතක කරලා. පැය දෙකකට වැඩිය චිත්‍රපටයේ ඩියුරේෂන් එක තියෙනවා. ඒ කාලය ගෙවුණේ කොහොමද කියලා හිතාගන්න බැහැ. අපි කරපු ඇතැම් දර්ශන ඇත්තටම කළා වගේ තියෙනවා. විශේෂයෙන්ම රණ්ඩු වෙන තැන්වලදි වගේ.

චිත්‍රපටය රූප ගත කළේ 2013. එය තිරගත වුණේ 2019. ඒ පමාව ඔබට දැනුණේ කොහොමද?

චිත්‍රපටය 2015 දීත් ආවා නම් මං මීට වඩා සිනමාවේ ඉඩක් වෙන් කරගෙන ඉන්න තිබුණා. මටත් වඩා පාඩුව චිත්‍රපට තියාගෙන ඉන්න නිර්මාණකරුවන්ට වෙනවා. අර බොරදිය පොකුණ චිත්‍රපටය ෂූට් කරලා කොච්චර කාලෙකට පස්සෙ ද ප්‍රදර්ශනය වුණේ. ඒ ගෙවුන කාලය කොච්චර පාඩුවක් ද ඒ වගේ නිර්මාණකරුවන්ට වෙන්නේ.

සමාධි කියන්නේ දිනිති නෙවෙයි කියලා විශ්වාසයි. නමුත් දෙදෙනාගේ සමානකම් තිබෙන්න පුළුවන්. එහෙම නේද?

දිනිතිගේ එකම එක ගති ගුණයක් විතරයි මට තියෙන්නේ. මමත් දිනිති වගේම හැමෝම එක්කම හිනා වෙලා කතාබහ කරනවා. අනෙක් හැම අතින්ම මං ඇයට වඩා වෙනස්. මං දිනිති නම් කරන්නේ තිබෙන අඩුපාඩු අවම කරගන්න එක. මගේ පවුල තුළ මට උපරිමයෙන්ම නිදහස ලැබිලා තියෙනවා. විශ්වාසය තමයි අංක එක. මම සහ මගේ සැමියා අතර තිබෙන බැඳීම දිනිතියි සචිත්‍රයි අතර නැහැ.

සමාධි මේ වන විට අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනියක් ලෙසට සේවය කරනවා. වෘත්තීය රංගන වේදිනියක් නොවන නිසා ඇය ලැබෙන සෑම චරිතයක්ම බාර ගන්නේ නැහැ.

වෘත්තීය රංගන ශිල්පිණියක් වුණා නම් මට කතා කරන සෑම නිර්මාණයකටම යන්න වේවි. එහෙම ගිහින් ගිහින් නන්නත්තාර වෙන්නයි වෙන්නේ. මගේ රාජකාරි කටයුතු හරියට කරන ගමන් රංගනයේ නියැලෙනවා. මට කරන්න පුළුවන් සීමාවට විතරයි මං නිර්මාණ බාර ගන්නේ. මට පුතෙකුත් ඉන්නවා. එයාට තවම අවුරුදු හතරයි. මේ වැඩ අස්සේ මං ජිම් එකකට පවා යනවා. ජොබ් එකේ වැඩ ඉවර වෙලා හවස් වරුවේ තමයි නාට්‍යවල රිහසල් යන්නේ. හිතලා ගත්තු තීරණයක් නාට්‍යයේ රිහසල් දින පණස් ගණනක් තිබුණා. ඒ හැම එකකටම මං ගියා. නිළියකට පෙනුමවත් ඇගේ සොභාවවත් නෙවෙයි වැදගත්. මානසික නිදහසයි ඕන. මට ඒක උපරිමයෙන් තියෙනවා.

චිත්‍රපටය තිරගත වීම තුළින් ලැබූ ජනප්‍රියත්වය ගැන මොනවද කියන්න තියෙන්නේ?

එහෙම ජනප්‍රියත්වයක් මට ලැබුණා කියලා කියන්න අමාරුයි. ක්ෂේත්‍රයේ අය තමයි මාව දන්නේ. අපි ඉතින් ඉන්නේ අප්ඩේට් වන සමාජයකත් නෙවෙයිනෙ.

ඔබේ සැමියා ඉන්නේ විදෙස් ගත වෙලා. ඔබත් කලක් විදෙස් ගතවෙලා හිටියා?

චිත්‍රපටය කරලා තමයි රට ගියේ. අවුරුදු තුන හමාරක් විතර එහෙ හිටියා. එහිදී රඟපෑවේ නැති වුණත් නාට්‍ය බැලුවා. ලංකාවට ඇවිත් අවුරුදු දෙකක් විතර ඇති. ජොබ් එකක් කරන්න පටන් ගත්තේ ඊට පස්සේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.