රයිගම් සම්මාන දිනූ රඟපාන්න කම්මැළි නිළිය

තෙරුණි අශංසා
අප්‍රේල් 4, 2019

අයියෙ මගේ නම කොහොමද ඔයාලා පත්තරේ දාන්නෙ?

ඇය මගෙන් විමසන්නීය.

කොහොමද පළ කරන්න ඕන?

තෙරුණි පීරිස් කියලා.

තව නමක් තියෙනවා නේද?

අශංසා කියලා කෑල්ලක් තියෙනවා. ඒක ගොඩාක් දෙනෙක් වරද්දනවා අනේ. අශිංසා කියනවා. අශංසි කියනවා. හරි නම වැඩිය සඳහන් වෙන්නේ නැහැනෙ.

මේකෙ හරි නම දාමු?

එහෙනම් තෙරුණි අශංසා කියලා ලියන්නකො.

තෙරුණි මේ දවස්වල බොහොම සන්තෝසෙන් ඉන්නේ?

සතුටු නැද්ද අයියෙ. ෆස්ට් ටෙලි නාට්‍යයටම සම්මානයක් ලැබුණනෙ. ඒ ලැබුණෙත් හොඳම සහාය නිළිය විදිහට. මේ වෙලාවේ මං මතක් කරනවා රයිගම් ආයතනය. එයාලා මේ වගේ උලෙළක් තියන නිසානේ අපි වගේ කලාකරුවෝ දිරිමත් වෙන්නේ. ඒවගේම මට සම්මානනීය වන්නට චරිතයක් දුන් බැද්දට සඳ නාට්‍යයේ අධ්‍යක්ෂ ප්‍රේමකුමාර ජයවර්ධන මහතා ඇතුළු නාට්‍ය කණ්ඩායමට තුති පුදනවා.

 

ඔබ පළමු වතාවට නේද පුංචි තිරය වෙනුවෙන් සම්මානනීය වන්නේ?

ඔව්. පළමු ටෙලි නාට්‍යය පළමුව ඉදිරිපත් කළේ මේ උලෙළට. ඉදිරි උලෙළවලදී මොනවා වේවිද දන්නේ නැහැ.

 

තෙරුණි වැඩිපුරම රැඳී සිටියේ වේදිකාවේ?

හැදෑරීමත් එක්ක ගමනක් යන්න පුළුවන් වීම නිසයි මං වඩාත් වේදිකාවට යොමු වුණේ. පෞද්ගලිකව කැමැත්තකුත් තියෙනවා. මං සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ හැදෑරීම්වල නියැලෙද්දී මගේ එක් විෂයක් වුණේ රංගනය. එය වඩාත් හඳුනා ගැනීමට පුළුවන් වුණා වේදිකා නිර්මාණවලට දායක වීම තුළින්.

ඔබ රඟපෑ වේදිකා නාට්‍ය ගොන්නෙන් ටිකක් මතක් කළොත්?

මගේ පළමුවැනි වේදිකා නාට්‍යය වෙලාව කීයද. ඒක කළේ සහන් රන්වල. දෙදහස් අටේ විතර එහි රඟපෑවේ. ඊට පස්සේ සිංදු කිරිල්ලි, අංගාරා ගඟ ගලා බසී, මෙත්තාරා, මායා දේවි, හිතලා ගත්තු තීරණයක්, පෙම් යුවළක් ඕනෑ කර තිබේ, මකරට, රජා මං වහලා වගේ නාට්‍යයවලට දායක වුණා.

පුංචි තිරයට හෝ සිනමාවට එන්න පමා වුණේ?

මගේ අධ්‍යාපන කටයුතු නිසා.

නමුත් ඔබ බැද්දට සඳ නාට්‍යයට හා කියනවා?

නාට්‍ය අධ්‍යක්ෂ ප්‍රේමකුමාර ජයවර්ධන සර් මං ගැන ලොකු විශ්වාසයකින් ඉඳලා තියෙනවා. මං එතකොටත් වේදිකා නාට්‍ය පමණයිනෙ කරලා තිබුණේ. නාට්‍යයේ පිටපත කලින් ලැබුණා. ඒකේ මට වෙන් කරලා තිබුණු චරිතය ඒ කියන්නේ සරෝ අම්මා මට ඇත්තටම අභියෝගයක්. ඒ චැලේන්ජ් එක නිසාම නාට්‍යයට යන්නට හිත කිව්වා. ඒත් මං හරිම කම්මැලියි, මගේ වටේ හිටපු මල් අක්කලා (මල්කාන්ති ජයසිංහ) වගේ අය මට පළයං පළයං කියලා මේකට එලෙව්වා.

රඟපාද්දී හිතුණද කවදා හරි සම්මානයක් ලැබේවි කියලා?

තුන් හිතකවත් තිබුණේ නැහැ අයියේ. සරෝ අම්මා කියන්නේ අවුරුදු දහසයේ ඉඳලා හතළිහ දක්වා දිවෙන චරිතයක්. ප්‍රේම් සර් මට එය නිරූපණය කරන්න මාර නිදහසක් දුන්නා. සම්මාන උලෙළ දවසෙත් මට ෂෝ එකක් තිබුණා. ඒක ඉවර වෙලා නෙළුම් පොකුණට ආවා. හිතපු නැති විදිහට මගේ නම කියැවුණා.

ඔබ වැඩිපුර මාධ්‍යයන් ඔස්සේ දුටුව නිළියක් නෙවෙයි. ඔබගේ සමකාලීන නිළියෝ ඔබට වඩා ජනප්‍රිය තලයට ඇවිත් තිබෙනවා?

අනිත් අය ජනප්‍රිය වුණ එකට මට හරිම සතුටුයි. මට අවශ්‍ය ජනප්‍රියකම නෙවෙයි. ඉගෙන ගෙන ගමනක් යන්නයි මට කවදත් ඕන කළේ. ලංකාව ඇතුළේ වෘත්තීය නිළියක් වෙන්නත් මට අවශ්‍ය නැහැ. එහෙම වුණා නම් සල්ලිවලටම රඟපාන්න යන්න වෙනවා. වෙනත් වෘත්තීයක් කරන ගමන් රඟපානවා. ඒකයි ඔය මාව වැඩිපුර දකින්න නැත්තේ.

සිනමාවට සම්බන්ධ වුණේ නැහැ?

කතා කළා. මොනවා හරි හේතු නිසා යන්න බැරි වුණා. තවම පොඩි කාලයයිනෙ රඟපාන්න ඇවිල්ලා. ඉදිරියේදී බලමු.

තෙරුණි ඉගෙන ගත් පාසල?

කෝට්ටේ ආනන්ද බාලිකාවේ.

විවාහකද?

නැහැ.

ඒත් පෙම්වතියක්?

ඔව්. කැම්පස් එකේ මගේ බැචෙක් එයා.

ඔබේ පදිංචිය?

දෙහිවල.

පවුලේ විස්තර?

අම්මයි, තාත්තයි, මල්ලියි. එයාලා ලොකු සපෝර්ට් එකක් දෙනවා මේ කම්මැලි නිළියගේ වැඩවලට.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.