තාත්තයි අම්මයි - පුතයි එකම වේදිකාවක

නෙතු දැහැන්
අප්‍රේල් 4, 2019

ප්‍රේමය මනරම්ය. එකී මනරම් ප්‍රේමයක අරුමය කවුරු කවදා කෙසේ ගැයුව ද, ලියූව ද එහි අවසානයක් නම් දැකිය නොහැකිය. දිනෙන් දින වැඩෙන අරුමැසි ප්‍රේමයක ආදරණීය බව සප්ත ස්වර ඇසුරේ ඔහුගේ හඬින් ගැයෙද්දී දැහැන් ගත සිතක ආදර හැඟුම් යළි යළිත් විකසිත වන්නේය. එදා මෙදාතුර ඒ හඬේ ආදරණීය හිමිකරුවා අදත්, හෙටත් යළි යළිත් අපට ගයන්නේය. එළඹෙන 6 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහල පුණ නින්නාද දෙන්නේ පුරා දශක ගණනාවක් ඔහු හඬින් වශිකෘත කළ ආදරණීයම ආදර ගීතාවලියකිනි. ආදරේ රැගෙන වඩින ඔහු විශාරද එඩ්වඩ් ජයකොඩිය. සිය ජීවිතයේ තවත් එක් සැතපුම් කණුවක් පසු කරමින් එළඹෙන සුබම සුබ උපන් දිනයක් වෙනුවෙන් මේතාක් පැමිණි ගමන් මඟ තුළ සදා ආදරයෙන් තමන් ඔසවා තැබූ සුවහසක් ශ්‍රාවක සහෘදයන් වෙත ඔහු "නෙතු දැහැන්" ත්‍රි පුද්ගල ප්‍රසංගය ගෙන එන්නේය. සුවහසක් ශ්‍රාවක සහෘද ප්‍රතිචාර මධ්‍යයේ එඩ්වඩ් ගේ 'මාරම්බරී' ප්‍රසංගය ප්‍රසංග වාර 100 ඉක්මවමින් මේ වන විටත් මෙරට නොයෙක් ගම් දනව් කරාත්, විදේශ රාජ්‍යයන් කරාත් ව්‍යාප්තව තිබියදීම ඔහු අලුත්ම අලුත් ප්‍රසංගයක් සමඟ නැවත ඔබ හමුවට පැමිණෙන්නේය.

"නෙතු දැහැන් - Songs from the heart ආදර ගී ප්‍රසංගය ආරම්භ වෙන්නේ ත්‍රි පුද්ගල ප්‍රසංගයක් විදියට. මමත් චරිතාත් අපේ පුතු චන්දීපත් තමයි මේ ප්‍රසංගයේ ගීත ගායනා කරන්නේ. ඇත්තටම මෙවැනි ප්‍රසංගයක නිමිත්ත වුණේ එකක් මගේ උපන් දිනය යෙදී තිබීමත් අනිත් පැත්තෙන් අපේ උත්සාහය වුණේ 'මාරම්බරී' 125 වැනි ප්‍රසංගය සැමරීමයි. මේ ගැන සාකච්ඡාවෙත්දි බොහෝ දෙනා අතරින් විවිධ අදහස් හා යෝජනා මතු වෙන්න පටන් ගත්තා. පසුගිය කාලය වනවිට අපේ පුතාත් සංගීත ක්ෂේත්‍රයට පැමිණ සිටින නිසා මාරම්බරී 125 සැමරීමට වඩා වෙනස් ආකාරයේ දෙයක් කරමුයි කියන යෝජනා ඉදිරිපත් වුණා.

එඩ්වඩ් - චරිතා පුත් චන්දීප ජයකොඩි දැන් නව යොවුන් තරුණයෙකි. මවුපිය ආදරය, සෙනෙහස නොඅඩුව ලබමින් පසුගිය කාල වකවානුව පුරා ඔහු සිය අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් පූර්ණකාලීනව කැප වී සිටියේය. දැන් ඔහු ඕස්ට්‍රේලියාවේ ජී. කින්ග් විශ්ව විද්‍යාලයෙන් මුල්‍ය කළමනාකරණය පිළිබඳ උපාධියක් දිනා ගත්තෙකි. මවු පිය පරපුරේ උරුමය සියතට ගනිමින් වර්තමානය වන විට ඔහු මෙරට සංගීත ක්ෂේත්‍රයේ නව ඉසව් සොයා යන්නට මඟට බැස හමාරය. එපමණක් ද නොව නළුවෙකු වශයෙන් ද ඔහු මේ වන විට සිය හැකියාවන්, දක්ෂතාවයන් ප්‍රකට කර හමාරය. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන 'නිරාශා' ටෙලි නාට්‍යය නරඹනවා නම් චන්දීපගේ අපූරු රංගන හැකියාවේ අරුමය පිළිබඳ යළිත් පැවසිය යුතු නොවේ. ආදරණීය හැඟුම් පිරි චන්දීපගේ තරුණ රූපකාය දකින විට අතීත සිතුවම් අතරින් මැවී පෙනෙනුයේ එඩ්වඩ්ගේ තාරුණ්‍යයය. කලකට ඉහත ඔහු වේදිකාවේ නළුවෙකු වශයෙන් ක්‍රියාශීලී වූ අයුරුය.

'පුතා දැන් පූර්ණකාලීනව මෙරට සංගීත ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව හැසිරෙන්න හිතලා තියෙනවා. ජාතික රූපවාහිනියේ විකාශය වන 'Tone Poem' වැඩ සටහනේ එක් සංගීත අධ්‍යක්ෂවරයෙක් විදියටත් එයා කටයුතු කරනවා. ඔහු පාසල් අධ්‍යාපනය ලබන අවදියේ ලයිසියම් ජාත්‍යන්තර පාසලේදී හර්ෂ මාකලන්ද සහ ඇන්ටනට් ද සිල්වා මහත්මිය යටතේ බටහිර සංගීතය හා ගායනය හැදෑරුවා.

අනිත් පැත්තෙන් අපේ ගෙදරදී එයාට ඇහෙන්නේ වෙනස් දේවල් ටිකක්. උත්තර භාරතීය රාගධාරී සංගීතය වගේම අපේ දේශීය සංගීතය එයාට ඇහෙනවා. කලාකරුවෝ නිතර එනවා යනවා. ඉතින් මේ ඇසුරත් එක්ක අපි හිතුවා පුතාවත් යොදා ගෙන 'මාරම්බරී' ප්‍රසංගයෙන් බැහැර වූ වෙනත් ආරක ප්‍රසංගයක් කරන්න. මම 1970 දශකයේ ඉඳන් ආදර ගීත රාශියක් ගායනා කරලා තියෙනවා.

චරිතා 1980 දශකයේ ඉඳන් ආදර ගීත රැසක් ගායනා කරලා තිබෙනවා. දැන් අද අපට ඇහෙන ආදර ගීතවලයි, අපි ගයපු ආදර ගීතවලයි වෙනසක් තියෙනවද? එතකොට අපේ ආදර ගීත රසවිඳින තරුණ පරපුරක් දැන් ඉන්නවද? එහෙම නැති නම් අපේ මේ සාහිත්‍ය ගුණාංගවලින් පිරි ආදර ගීත කොහොමද වර්තමාන තරුණ පරපුර වෙතට ගෙනි යන්නේ කියන කාරණය මත තමයි මෙවන් ප්‍රසංගයක් සංවිධානය වෙන්නේ.'

'මාරම්බරී' ප්‍රසංගය 2010 ආරම්හවත්දී එය මේ තරම් දිගු ගමනක නියැලේවි කියා එදා එඩ්වඩ්වත් නොසිතුවා විය හැකියි. එහෙත් එය අද ලංකාව පුරා විවිධ නගරවල මෙන්ම විදේශ රටවල් ගණනාවකදීම ජන ප්‍රසාදය දිනා ගත්තක් විය. මාරම්බරීට අනන්‍ය වූ නියමිත හැඩයක් නොවීය. එඩ්වඩ්ගේ සංගීත චාරිකාවේ විවිධාකාර නිර්මාණ අලංකාරයන් මාරම්බරී වේදිකාවේ පිපී දසත සුවඳ විහිදෙව්වේය.

ඒ සඳහා නියමිත වූ හෝ ඉලක්ක ගත ප්‍රේක්ෂක පිරිසක් නොවීය. කුඩා දරුවන්ගේ ප්‍රසාදය වරෙක ඔහු දිනා ගත්තේය. තරුණ පරපුරේ ආකර්ෂණය වරෙක දිනා ගත්තේය. සුභාවිත ගීතයට ප්‍රේම කරන තරුණ මහලු වැඩිහිටි සැම දෙනගේ ප්‍රසාදය ඔහු වරෙක දිනා ගත්තේය. එය ජාති, ආගම්, කුල භේදයක් නොමැතිව සප්ත ස්වරයේ මිහිරියාව දසත පැතිරෙව්වක්ම විය. එහෙත් 'නෙතු දැහැන්' ප්‍රසංගයට වෙනම හැඩයක් ඇත්තේය. ඉන් වහනය වනුයේ ආදර ගීතාවලියක ඉමිහිරි සුවඳමය. එදා මෙදාතුර එඩ්වඩ්ගේ හඬින් ගැයූ ආදර ගීතත් චරිතාගේ හඬින් ගැයූ ආදර ගීතත් සමඟ චන්දීපගේ අලුත් අදහස් හෙට දින 'නෙතු දැහැන්' ඔස්සේ නෙළුම් පොකුණේ දිග හැරෙන්නේය.

'මාරම්බරී' සංගීත ප්‍රසංගයට වැඩියෙන්ම වෙහෙසෙ වන්නේ චරිතාය. ඒ වෙනුවෙන් මාස ගණනාවක් තිස්සේ එයා සංවිධාන කටයුතුවල යෙදෙනවා. නමුත් චරිතා 'මාරම්බරී' ප්‍රසංගයේ ඉන්නේ විනාඩි 1 1/2 ක් හෝ විනාඩි 03 ක් විතරයි. යුග ගීත 1 ක් ගැයුවොත් විනාඩි 1 1/2 යි. දෙකක් ගැයුවොත් විනාඩි තුනයි. ඒ නිසා චරිතාටත් අවස්ථාවක් ඕන එයාගේ ගීත ගයන්න. ඒ නිසයි මේ ප්‍රසංගය ත්‍රි පුද්ගල ප්‍රසංගයක් විදියට ඉදිරිපත් කරන්න හිතුවේ. මම එදා ගයපු ජනප්‍රිය ආදර ගීතත්, වත්මනෙහි ගැයූ ආදර ගීතත්, චරිතා එදා ගයපු ආදර ගීතත්, වර්තමානයේ ගැයූ ගීතත් සමඟ පුතාගේ නිර්මාණාත්මක බවිනුත් මේ ප්‍රසංගය හැඩ වෙනවා. ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරන්නේ සුරේෂ් මාලියද්ද සමඟ චන්දීප ජයකොඩියි.

දවසින් දවස පැයෙන් පැය ගෙවිලා යනුයේ ජීවිතයෙනි. මේ ගෙවන මොහොතත් අතීතයට එකතු කරමින් අපි කාටත් හොරා නොදැනීම අප වියපත් වන්නේය. එඩ්වඩ් ජයකොඩිට ද මේ දහම පොදු වන්නේය. එහෙත් මේ රූප කාය හෝ හඬ තවමත් ඒ වියපත් බව ශ්‍රාවක මනසට දැනවීමට නොහැකි වීම වාසනාවකි. එදා නව යෞවනයකුව ප්‍රේමය ආදරය විඳිමින් එඩ්වඩ් ප්‍රේම ගීත ගැයුවේය. මේ රටේ සුවහසක් ගීත ශ්‍රාවකයෝ ඔහුගේ හඬට සේම රූපයට ද පෙම් කළෝය. අද මේ භාවයන් එඩ්වඩ්ගේ පුතු චන්දීප විඳින්නේය. මේ කාලය මැවූ වෙනසක මහිමයද?

'මට මහළු වයසේ - බැරිය වෙන ගායනා පෙර සේ' කියලා මට දැනෙනවා. තරුණ පුතෙක් දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් විදියට මම වයසට ගිහින් කියලා මට දැනෙනවා. ඒ වුණාට මේ නහින දෙහින කාලේ තව පොඩ්ඩක් නිර්මාණකරණයේ යෙදුණොත් හොඳයි කියලා හිතෙනවා.

මගේ තරුණ පුතාව දකිද්දී ගෙදර සාලයේ එල්ලලා තියෙන අපේ මංගල ඡායාරූපය දකිද්දී අපි හොඳ හරිය පසු කරලා කියලා දැනෙනවා. නමුත් නිර්මාණකරුවෙක් විදියට නිර්මාණ උල්පත තවම සිඳලා නෑ කියලා දැනෙනවා. ඒක දාල යන්න බැරිකමක්වත්, බදා ගැනීමක්වත්, තණ්හාවක්වත් නොවෙයි. තාම නිර්මාණ ඉපදෙනවා. උල්පත සිඳිලා නැති නිසා 'ගඟ තාම තරුණයි' කියලා හිතෙනවා.

එඩ්වඩ්ගේ කලා ජීවිතයේ මුල් භාගය පිළිබද විමසන්නෙකුට ඔහු හොඳ රංගන ශිල්පියෙකු ලෙසින් හඳුනා ගත හැකිය. එවකට ඔහු වේදිකා නාට්‍ය ගණනාවකට රංගනයෙන් එක් වූයේය. ඔහු සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සමයේදීම ලයනල් වෙන්ට් හි පැවති රංග ශිල්ප ශාලිකාවේ ධම්ම ජාගොඩයන්ගෙන් නාට්‍ය කලාව හැදෑරුවේය. ඒ සඳහා ඔහු උනන්දු කර ඇත්තේ ඔහුගේ පාසල් මිතුරු ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නයන් විසිනි.

'ඒ කාලේ කෑගල්ලේ මගේ පංතියේ මිතුරා සුනිල් ජයන්ත නවරත්න මාව රංග ශිල්ප ශාලිකාවට යොමු කළා වගේම නාට්‍යයකටත් යොමු කළා. ඒක සුනන්ද පුෂ්පකුමාරගේ නාට්‍යයක්. ඒකේ මම චරිත කීපයක්ම රඟපෑවා. ඒවා ඉතින් පොඩි පොඩි චරිත. ඒක 1975 නාට්‍ය උත්සවයේ අවසාන මහා තරගයටත් තේරුණා. ඒක තමයි මගේ පළවැනි නාට්‍යය.

ඊට පස්සේ නරිබෑණා, ගජමන් පුවත, සෙක්කුව, මාවතේ අපි, අංගාරා ගඟ ගලා බසී වැනි නාට්‍ය රැසක රඟපෑවා. මුල් කාලේ හෙක්ටර් කුමාරසිරි, කාලිංග ඔබේවංශ, ජයතිස්ස අලහකෝන් වැන්නන්ගේ නාට්‍යවලට සම්බන්ධ වෙන්න මට අවස්ථා ලැබෙනවා. ඒවා ඉතින් ඉතාම සුළු චරිත. අපි වේදිකාවට ඇවිත් යනවා. සමහර වෙලාවට ප්‍රේක්ෂකයන් දන්නෙත් නෑ. නමුත් ඒ කාලේ අපි චරිතය ලොකු ද පොඩි ද කියලා බැලුවේ නෑ. තත්පර දෙකේ පෙනී හිටීමටත් එකතු වුණා. ඒ වගේම ඒකෙන් අපි හොඳ තෘප්තියකුත් ලැබුවා.'

රංගන ජීවිතයේ අතීත දිවිය ස්මරණය කරන්නට එඩ්වඩ්ට සුවිශේෂ හේතුවක් වන්නේය. එය ඔහුට මෙන්ම සිනමා ලෝලීන්ට ද සුවිශේෂ ආරංචියක් වන්නේය. ඒ එඩ්වඩ් චිත්‍රපටයක ප්‍රධාන චරිතයකින් යළි රංගනයට එක්වන්නට සූදානම් වන බැවිණි. චිත්‍රපටය වන්නේ පසුගිය දිනක ආරම්භ වූ 'ගුත්තිල'ය. අධ්‍යක්ෂවරයා සනත් අබේසේකරය. එඩ්වඩ් එහි ගුත්තිල පඬිතුමාය.

'දැනට මාස ගණනාවකට කලින් දවසක් තිස්ස නාගොඩවිතාන මහතා මුණගැසුණ මොහොතක කිව්වා ගුත්තිල කාව්‍ය ඇසුරින් චිත්‍රපටයක් කරනවා. ගුත්තිල පඬිතුමාගේ චරිතයට අපේ ඔළුවේ තියෙන්නේ නම් ඔයාව තමයි කියලා. මම එතකොට එතුමාට කිව්වා 'අනේ විහිළු කරන්න නම් එපා' කියලා. ඉතින් ඔහොම මාස ගණනක් ගියා.

හමුවෙන හැම විටෙකම කියනවා අපි එනවා කතා කර ගන්න කියලා. කොහොම වුණත් යෝජනාව ආවම අසීරු තත්ත්වයකට පත් වුණා. ඔවුන් මට පහදලා දුන්නා මේක බෝසත් චරිතයක්. සංයමයෙන් කරන්න ඕන. ඒ වගේම සංගීත දැනුම තියෙන කෙනෙක්වම ගන්නත් ඕන කියලා. ඉතින් පසුව මම චරිතත් එක්කත් කතා කරලා කැමැත්ත දුන්නා.

මම demand කළා නෙවෙයි. චිත්‍රපට රංගනයට මම ආධුනිකයෙක් නිසා ඒක මට නුහුරුයි. මාත් එක්ක චිත්‍රපටයේ රඟපාන්න ඉන්නේ රංගනයෙන් අත්දැකීම් බහුල යශෝධා විමලධර්ම, වීණා ජයකොඩි, අඛිල ධනුද්ධර වැන්නෝ. අකිල තමයි මූසිලගේ චරිතය පණ පොවන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සනත් අබේසේකර සමඟ හරේන් නාගොඩවිතානත්, දිලිනි නාගොඩවිතානත්.

මේ තරුණ යුවළට චිත්‍රපටයකට ආයෝජන කරන මුදල යොදවලා අද කාලේ වෙනත් ව්‍යාපාරයක් හොඳින් කරන්න තිබුණනේ. නමුත් ඔවුන් කලාව වෙනුවෙන් ලොකු කැප කිරිමක් කරනවා. ඉතින් මට හිතුණා අපිත් ඒ වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරලා මේ දෙන්නට චිත්‍රපට කර්මාන්තය එපා නොවන විදියට නිර්මාණය ඉවර කරන එක අපේ වගකීමක් කියලා. ඔවුන් දෙදෙනාට මගේ සුබපැතුම් පිරිනමන්නත් කැමැතියි.

ගුත්තිල ඇදුරු සඳ වී එඩ්වඩ් මතු දිනෙක අප සිනමා තිරය තුළ ද පිනවාවි. වියපත් නොවූ තරුණ ගී හඬින් තවත් චිරාත් කාලයක් මේ රටේ රසික සිත් අමන්දානන්දයට පත් කරලීමේ ශක්තිය, ධෛර්ය ඔබට නිරතුරුවම ලැබේවි.

සුඛී දීඝායුකෝ භව!

 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.