මහේෂ්ගේ චරිතයෙන් තමයි වඩාත් ජනප්‍රිය වුණේ

අංජන ප්‍රේමරත්න
අප්‍රේල් 11, 2019

ඔහු විවිධාකාරයේ චරිත රංගනයට ලොබ බඳියි. එහෙයින් අපට ඔහුව නිතර හමුවන්නේ එකිනෙකට වෙනස් වූ ස්වරූපයෙනි. විටෙක හේ කොණ්ඩය වවා ගනියි. තවත් මොහොතකදී උඩු රැවුල පමණක් ඉතිරි කොට අමු ගැමියකුගේ සිරි ගනියි. අදහස් හුවමාරු කරගන්නේ ද චරිතයට ගැළපෙන අයුරිනි. අද ඔහු නළුවකු හැටියට ස්ථාවර තැනක හුන්නද ක්ෂේත්‍රයට ආ මුල් යුගයේදී අප්‍රමාණව ඔහු දුක් විඳීය. ඉතා සුළු චරිත පවා නිරූපණය කළේය. මුල හොඳ නම් ගමන ස්ථාවරයි යන කතාව නිවැරිදියි යන්නට ඔහු තවත් එක් උදාහරණයක් වන්නේය. මෙතෙක් මා ඔබට හඳුන්වා දුන්නේ අංජන ප්‍රේමරත්න ගැනය. අංජන වැඩි කලබලයක් නැති චරිතයක් බව දන්නෝ දනිති.

අංජන, පළමුවම විමසන්නේ ඔබේ කලා කටයුතු ගැන?

සඳ හැංගිලා නාට්‍යයේ රූපගත කිරීම් නිමා කළා. මේ දවස්වල මා කියලා නාට්‍යයක රඟපානවා. ඔව්වා තමයි.

අංජන නළුවකු වුණේ කොයි කාලේ විතරද?

අනූ නවයේ දෙදහෙදි විතර. රඟපාන්න කලින් ක්ෂේත්‍රයේම පොඩි පොඩි දේවල් එහෙමත් කළා.

පොඩි පොඩි දේවල් කිව්වේ?

නාට්‍යවල පෝස්ටර් ගහන වැඩ. ස්ටේජ් මැනේජ්මන්ට් වගේ දේවල්.

පෝස්ටර් ගහන්න ගිහින් අකරතැබ්බවලට මුහුණපාලා නැතිද?

ලොකු අකරතැබ්බ නම් වෙලා නැහැ. අනුන්ගේ පෝස්ටර් වහන්න ගිහින් දෝෂාරෝපණ එහෙම එල්ල වෙනවා. ඒක ඉතින් අපේ එවුන්ගෙන්ම තමයි.

අංජනගේ පළමු වේදිකා නාට්‍ය?

පැළලි ගෙදර සහ දුරාණය කියලා නාට්‍ය දෙකක් එකවර වේදිකා ගත වුණා. ටෙලි නාට්‍යයක් විදිහට කළේ සුසිල් ගුණරත්නගේ නාට්‍යයක්.

ඔබ අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

ඉතාමත් සතුටුයි. ඉකුත් රයිගම් සම්මාන උලෙළේ කුසලතා සම්මානයකුත් ලැබුණා. වෘත්තීය නළුවකු විදිහට ඒවා ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්.

ඔය විදිහට ජීවත් වෙන්න තමයි අමාරු?

වෘත්තීය නළුකම පොඩ්ඩක් අමාරුයි. එහෙම වුණාම ලැබෙන ඕනෑම ජරාවක රඟපාන්න වෙනවනෙ. දැන් හිතලා තියෙන්නේ ක්ෂේත්‍රයේම වෙනත් වැඩවල නියැළෙන්න.

නිර්මාණකරණයට ඔබට පිවිසෙන්න පුළුවන්?

නිර්මාණකරුවකු වෙන්න හිතේ පොඩි දෙගිඩියාවක් තියෙනවා. ඉදිරියේදී මොනවා වේවිද දන්නේ නැහැ. නමුත් අද හෙටම නිර්මාණයක් කරන්නෙ නැති වේවි.

අංජන තවම තනිකඩයි?

පෙම්වතෙක් වෙලා හිටියා. දැන් නම් ඔබ කිව්වා වගේ තනිකඩයි. කෂේත්‍රයේ සමහර ගැහැනු ළමයි බොහොම ළඟින් ආශ්‍රය කරනවා. කතාබහ කරනවා. හැබැයි තවම ජීවිතයට කෙනෙක් ළං කර ගත්තේ නැහැ.

වෘත්තීය නළුකමද ඔබේ විවාහය පමා කරවන්නේ?

ඇතැම් විට එහෙම වෙන්න පුළුවන්. මේ ලැබෙන මුදලින් අපිටවත් ජීවත් වෙන්න බැරිකොට මං කොහොමද තවත් කෙනකු ජීවත් කරවන්නේ.

අංජන ටිකක් කම්මැළි නළුවකු කියලා කිව්වොත්? ඔබ මාධ්‍ය ඉදිරියට එන්නත් ටිකක් අදිමදි කරනවා?

එහෙම එකක් නැහැ. බාහිරින් සමහර විට එහෙම පේනවා ඇති. අවශ්‍ය දේකට මං යනවා. නොයා ඉන්නේ නැහැ.

රියැලිටි තරගවලට ඔබට කතා කරලා නැතිද?

තියෙනවා. මගේ පෞද්ගලික හේතු මත මට සහභාගීවන්න බැරි වුණා.

අංජන මෙතක් කල් කරපු චරිත අතරින් වඩාත් දැනුණු චරිතය?

කළු අරලිය නාට්‍යයේ මහේෂ්ගේ චරිතය මට වඩාත් දැනුණා. ඒකෙන් තමයි මං ටිකක් ජනප්‍රිය වුණේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.