ඇගේ පේ‍්‍රම කතාව බොහෝ ශෝචනීයයි

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු
අප්‍රේල් 11, 2019

සිංහල රාජවංශයේ තුන්වරක් රාජාභිෂේකය ලැබූ රැජනක් වේ නම් ඒ ලීලාවතී බිසවය. පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ අගමෙහෙසිය වූ ඇය කවියට මෙන්ම සමස්ත කලාව නඟා සිටුවීමට කැප වූ අතර රාජ්‍ය පාලනයටද සමත් වූවාය. පොළොන්නරු යුගයේ ප්‍රසිද්ධ චරිතයක් වූ ලීලාවතිය අරමුණු කරගත් නවකතාවක් රචනා කිරීමට පදනම් වූ ඓතිහාසික මෙන්ම පරිකල්පනීය තොරතුරු පිළිබඳ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු වියතානන්ගෙන් අපි මෙසේ විමසුවෙමු.

මහබිසෝ ලීලාවතී වැනි කෘතියක් කිරීමට ඔබ සිතුවේ ඇයි?

ඉතිහාසය පදනම් කරගෙන කතා ලිවීම මගේ ආශාවක්. මම දැනට ඓතිහාසික නවකතා හතක් පමණ ලියා තිබෙනවා. ඉන් එකකට මෙයත් අයිතියි. අනෙක අපි ලංකා ඉතිහාසයේ වැඩිපුර කතා කරන්නේ රජවරු පිළිබඳව. බිසෝවරු ගැන කතා කළත් ඒ අගුණ හෝ ඉතා සුළුවෙන් තමයි. ඒ අතරින් හොඳක් ගැන කතාවන කෙනකු තමයි මහබිසෝ ලීලාවතී. මොකද ඓතිහාසික වංශ කතාවල සඳහන් ආකාරයට ඇය ඒ යුගයේ සාහිත්‍ය පෝෂණයට කළ සේවය නිසාත් පොළොන්නරු යුගයේ ඉස්මතුව පෙනෙන පරාක්‍රමබාහු රජුගේ බිසව ලෙස වගේම නිශ්ශංකමල්ල වැනි නායකයින් සියලු දෙනාම පාහේ දැනසිටි චරිතයක් නිසාත් වැදගත්. ඒ නිසා අනෙක් කාන්තා චරිතවලට වඩා සුවිශේෂී චරිතයක්. බුද්ධිමත්, කලාකාමී, ජනතාව නඟා සිටුවිය යුතුයි කියා සිතූ ගැහැනියක්. අනෙක ඇයට දරුවන් සිටියේ නැහැ. ඇගේ ප්‍රේමකතාව බොහොම ශෝචනීයයි. පරාක්‍රමබාහු රජුගෙන් ඇය දරුවන් ලැබුවෙත් නෑ. ඇගේ පෙම්වතා ලෙස සිටි කිත්ති සෙනවියා සමඟ කායික ඇසුරක් පැවැත්වූයෙත් නෑ. හිතින් පෙම්කළ හුදෙකලා වූ අසරණ වූ නායිකාවක් ලෙසයි මම ඇය දකින්නේ.

රජවරුන්ට අන්ත:පුරයක් තියා ගැනීමට හැකිවද්දී, ලීලාවතිය මෙසේ පතිවත රකින්නේ ආසියානු කාන්තාව නියෝජනය කරමින්ද?

මෙහෙමයි, අනුලා බිසව වැනි කාන්තාවක් පුරුෂයන් තිස්දෙනකු සමඟ සිටිබව ඓතිහාසික තොරතුරුවල සඳහන් වනවා. ඒත් ඔබ අසන ආකාරයටම ආසියාතික ගැහැනුන්ගේ එක ගුණයක් තමයි ස්වාමියා මියගිය පසුව වෙනත් විවාහයකට නොගොස් දරුවන් සිටීනම් ඔවුන් රැකබලාගෙන එක්තරා විදිහක දැහැමි ජීවිතයක් ගතකිරීම. එයින් කියැවෙන්නේ නෑ ගැහැනියකට නැවත විවාහ විය නොහැකියි කියා. ඒත් ලීලාවතී බිසවගේ තත්ත්වය ඊට වඩා බොහෝ වෙනස්. මිනිසුන් රජකම දුන්නේ ලීලාවතී බිසවට මිස කිත්ති සෙනෙවියාට නෙවෙයිනේ. කෙනකු රැජනක විවාහ කරගත්තොත් ඒ රැජනගේ බොහෝ බලතල ස්වාමියා ගන්න ඉඩතිබෙනවා. එය මිනිසුන්ගේ අපේක්ෂාව නොවන්න පුළුවන්. ඒ වගේම එවැනි සම්බන්ධයක් ඇති වීම තමන්ගේ චරිතයට වගේම වංශයට කැලලක් ඇති වේය කියා ඇය සිතූ නිසා වෙන්න ඇති ඇයගේ ප්‍රේමය අප්‍රකාශිතව තිබුණේ.

තරුණ ස්ත්‍රියක ලෙස ලීලාවතිය කළේ කැපකිරීමක්ද?

ඔව්. ඇය වරෙක කියනවා මමත් ගැහැනියක් හැබැයි මට තිබෙන තහංචි වැඩියි, සමහර දේවල් රකින්න ඕනා කියලා. ඒ වගේම ඇය පතිනියක් ලෙස ස්වාමියාගෙන් ලැබිය යුතු ඇසුර හා ආදරය ඇයට ලැබුණේ නෑ. පරාක්‍රමබාහු රජු වුණත් ඇය ඇසුරු කළේ අමුතුම විදිහට. ඔහුගේ දූ කුමරියත් ඒ වයසේ තරුණියක්. ඒ නිසා එක් අතකින් වැඩිහිටියකු දරුවකු දෙස බලන ආකාරයකුත් තිබුණා. ඒ වගේම ඈත ඉඳන් ඇගේ රුව රසවිඳීනවා හැර ළං නොවන ගතියකුත් තිබුණා. මංගල රැය පිළිබඳ මා කළ විස්තරයේත් ඒ පිළිබඳ සඳහන් වෙනවා.

එවැනි අවස්ථාවල ඔබ බොහෝ සංයමයෙන් ලේඛනය හසුරුවන්නට උත්සාහ කළේ?

ඇත්තටම ඒ චරිත නිරූපණය කළේ ඉතිහාසය සමඟ අපට සෙල්ලම් කිරීමට බැරි නිසා වගේම මෙහි මගේ පරිකල්පනයට අයාලේ යන්න නොදිය යුතු නිසා. මම මෙහිදී අකුරටම ඒ සම්ප්‍රදාය රැක්කා කියා සිතනවා.

පොතක අලෙවිය සඳහා එවැනි කරුණු සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම නුසුදුසුයි කියාද ඔබ සිතන්නේ?

එය තීරණය කරන්නේ තෝරා ගන්නා තේමාවයි. තේමාව සහ තෝරාගත් චරිත විසින් ඉල්ලා සිටිනවා නම් ඒ කරුණු වැඩියෙන් විස්තර කළ යුතුයි කියා රචකයාට එය කරන්න සිදු වෙනවා. මගේ පළමුවැනි ඓතිහාසික නවකතාව එක්ව රැජයූ ඇයට පාදක වුණු අනුලා බිසව වගේ චරිතයේදී එවැනි විස්තර රහිතව නවකතාව ලියන්න බෑ. එය මීට වඩි බොහෝ වෙනස්. මොකද අනුලා බිසව ගැන ලියන්න බෑ ඇගේ රාගික, කාමුක ගතිලක්ෂණ ගැන කතා නොකර. එහදීත් මම අනවශ්‍ය ලෙස ඒවා උළුප්පන්න වෑයම් කළේ නෑ. මට ඕනෑ කළේ මිනිසුන් විසින් නොසලකා හරින ලද ගැහැනියක් වූ ඇයට එසේ වූ හේතුව කුමක්ද කියා කියන්නයි. චෝරනාග අනුලාව බිසව ලෙස තියාගත්තට මොකද ඔහු විකෘති කාමාශා ඇත්තෙක් ඒ නිර්මාණයේ හැටියට. ඒ නිසා අනුලාව ස්වාමියාගෙන් ලැබිය යුතු තෘප්තිය සොයා ගියා. එය අනුලාවගේ වරදක් නොවේ. එයට ඇය පෙළඹුවේ පිරිමි පක්ෂයම තමයි. ඒත් ලීලාවතී බිසව දක්ෂ, බුද්ධිමත්, ලෝකය ගැන හැඟීමක් ඇති, දැමුණු චරිතයක්. මොකද අම්මා නැතිව තාත්තා විසින් හදාවඩාගත් නිසා දැඩි පාලනයකින් යුතුව ඇති දැඩි වූ චරිතයක්. මම හිතන හැටියට ගැහැනු ළමයකුට හොඳම යාළුවා අම්මා. එහෙත් ලීලාවතියට එහෙම අවස්ථාවක් ලැබුණේ නෑ. ජීවිත කාලයේම ඇයගේ සිතුම් පැතුම් කියන්න හිටියේ සුමනා නම් දාසිය පමණයි.

මෙසේ කියද්දි යමෙකු ඔබ ස්ත්‍රීවාදී යැයි සිතන්න පුළුවන්?

අනේ නෑ. මෙහෙමයි. ගැහැනියට නියම තැන දිය යුතුය යන ස්ථාවරයේ මම ඉන්නවා.

පොළොන්නරු යුගයේ පසුබිම පාඨකයාට ලබා දෙන්න කළ ආකෘතිකමය උපක්‍රම මොනවාද?

මහ බිසව සුමනා දාසිය සමඟ කරන කතා බහ ඇසුරින් නැත්නම් ඒ දෙබස් තමයි අනවශ්‍ය විස්තරවලින් තොරව කතාවේ පසුබිම සකසන්නේ. එය මම හිතාමතා කළ දෙයක්. ඒ විතරක් නොවේ කිත්ති සෙනෙවියා, කල්‍යාණවතී බිසව සහ ඇගේ මිතුරු ආයස්මන්ත සෙනෙවියා මේ ආකෘතිය වඩා පෝෂණය කළා. කල්‍යාණවතියට අවශ්‍ය ලීලාවතිය පාගා දමලා කොහොම හරි රජකම ලබාගන්න. එතනදි ආයස්මන්ත සෙනෙවියාගේ සහාය කල්‍යාණවතියට ලැබෙනවා. ඒ දෙදෙනා ලීලාවතී කිත්ති දෙදෙනාට වඩා කිට්ටුවන්තව ඇසුරු කරනවා වගේම ආයස්මන්තට ඕනෑ කල්‍යාණවතී හරහා සිහසුනට එන්න. හැබැයි කිත්ති මුළු හිතින්ම ලීලාවතියට ආදරේ කළත් ඔහු දන්නවා යථාර්ථයක් කරගත නොහැකි ආදරයක් බව එය. ඒ නිසා ඔහු එය විඳ දරා ගන්නවා. ඔහු ආපසු එයි කියා හිතන ලීලාවතියගේ ජීවත්වීමේ අරමුණ සහ පිය විප්පයෝග දුක තමයි මගේ අරමුණ වන්නේ.

ඔබ මෙයින් කියන්න උත්සාහ කළේ ඉතිහාසයේ හෝ වර්තමානයේ මනුෂ්‍ය ස්වභාවයන් නොවෙනස් බවද?

මේ එක චරිතයක්වත් අවිශ්වසනීය චරිත නොවෙයි. ඒ හැම චරිතයක්ම හිතන පතන ආකාර, උදාහරණයක් ලෙස කිත්ති සහ මහබිසව මාලිගයේ භෝජනාගාරයේදී කතා බහ කරන ආකාරය සහ ඔවුන් දෙදෙනාගේ සිතිවිලි බොහෝ විට වර්තමාන පෙම්වතුන්ට සමානයි ඒත් දෙන්නා දුරස්ථයි. ඒත් කල්‍යාණවතී සහ ආයස්මන්ත ඊට හාත්පසින් වෙනස්. මේ චරිත ගත්තත් ඒවාට සුවිශේෂ වූ ස්වභාවයන් අදත් මිනිසුන් අතර තිබෙනවා. ඒ දේශපාලනික කටයුතු අදත් දකින්න ලැබෙනවා. ඇත්තටම මට ඕන කළෙත් එදා වගේම අද මනුෂ්‍ය ස්වභාවයේ වැඩි වෙනසක් සිදු වී නැති බව කියන්න තමයි. නවකතාකරුවකුගේ අරමුණ වන්නෙම මනුෂ්‍ය ස්වභාවය කිසියම් ගැඹුරකින් විග්‍රහ කිරීමනේ. එනිසා මේ චරිත වගේම සෙසු චරිතත් නිශ්ශංක මල්ල වැනි රාජකීයයනුත් එකතු කරගෙන පොළොන්නරු යුගය පිළිබඳ සමස්ත විග්‍රහයක් කිරීමටයි මම උත්සාහ කළේ.

මෙහි භාෂා භාවිතයේදී ඔබ ඒ යුගයේ ඇතැම් යෙදුම් යොදා ගන්නවා?

චිත්‍රපටයක නම් පසුබිම සකස් කරන්න පසුතල ආදිය සම්පාදනයෙන් පුළුවන්. ඒත් නවකතාවකදී පසුතලය නිර්මාණය කරගත යුත්තේත් භාෂාව මඟින්මයි. පාඨකයාට දැනෙන්න බෑ මෙය වර්තමාන කතාවක් කියලා. ඒ නිසා හැකිතාක් දුරට වර්තමාන සිංහලය භාවිත කරන අතරම අතීතයේ තිබුණු වාක්‍ය, දෙබස්, වාක්‍ය ඛණ්ඩ ආදිය යොදා ගනිමින් යුගය ස්ථාපිත කර විශ්වසනීයබව තහවුරු කරන්න උත්සාහ ගත්තා. ඇත්තටම පොළොන්නරු යුගයේ බස ගැන සෑහෙන අවබෝධයකින් තමයි මම මෙය ලියන්න පටන් ගත්තේ. හැබැයි පොළොන්නරු යුගයේ කියා බුත්සරණ හෝ අමාවතුර භාෂාව මෙයට යොදන්න බැහැ. ඒ යුගයේ සාමාන්‍ය මිනිසුන් භාවිත කළ සමහර වාග් ව්‍යවහාර මඟින් මට ඒ පසුබිම ගොඩනඟන්නට හැකි වෙයි කියා මට හිතුණා.

මෙරට සාහිත්‍යයේ හා කලාවේ ඉතිහාස කතා රැල්ලක් දිගටම ආවා?

ඉතිහාසය දැනගන්න පාඨකයන් බොහොම කැමතියිනේ. ඒ වගේම ලේඛකයකුට ඉතිහාස කතා ලියද්දී වැඩි නිදහසක් ලැබෙනවා තමන්ගේ පරිකල්පනය ලස්සනට මෙහෙයවා ගන්න. එහිදී සත්‍යය විකෘති කිරීමෙන් තොරව සත්‍යය සමඟ මුසු කරමින් ගමන් කරන්න වර්තමාන සමාජය ගැන ලියනවාට වඩා. ඒ වගේම වර්තමානයේ කියන්න බැරි දේ, ඇතැම් විට රාගය, කාමය වගේ දේවල් වගේම දේශපාලනය කතාකරන්න ඓතිහාසික කතා යොදාගන්න පුළුවන්. මැති ඇමතිවරුන්ගේ දූෂණ, පරම්පරා අතර ආරවුල් වැනි පසුබිමක තමයි ලීලාවතියත් මතුව එන්නේ. එක අතකට හරි හපන් ලේඛකයකු කළ යුත්තේ අතීතය මඟින් වර්තමානය පිළිබඳ කතා කරමින් අනාගතයට පුරෝකථනයක් කිරීමයි.

මේ වනවිට ඔබ අලුත් කටයුත්තකටත් අතගසා ඇති?

ටිකක් අමුතු ජාතියේ නවකතාවක් ලියන්න පටන් අරන් තියෙන්නේ. එහෙම කියන්නේ මම ඉගෙන ගන්න කාලේ මරදානෙනේ හිටියේ. මරදාන කියන්නේ ලංකාවේ ඉතා සුවිශේෂ වූ ගම්පළාතක්. ඒ වගේම විවිධ මිනිස්සු, භාෂා විවිධත්වය, විශේෂයෙන් ලංකාවේ අපි භාවිත කරන අපභාෂාවලට මූලික වන්නෙත් මරදාන, මේ වගේ පසුබිමක ගෙවල් පේළියක ජීවත්වන තරුණයකුගේ අමුතු විදිහේ ප්‍රේම කතාවක්. ඒ අමුතු පෙම්වතා මේ අවුරුද්දේම පාඨකයන්ට හඳුන්වා දෙනවා. ඒ වගේම තවත් පොත් දෙකක් අප්‍රේල් මැයි වෙද්දි එනවා. එකක් ලංකාවේ වත් පිළිවෙත් සහ උත්සව පිළිබඳ ඉංග්‍රීසියෙන් ලියැවුණු පොඩි පොතක්. අනෙක ලංකාවේ නාට්‍ය හා චිත්‍රපට ලිපි එකතුවක්.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.