අපි හිනාවෙන්නේ සමාජයකට අසන්ධිමිත්තා ගැන

අශෝක හඳගම කතාබහක්...
අප්‍රේල් 11, 2019

අසන්ධිමිත්තා කතාව තෝරාගන්න හිතුවේ ඇයි?

හේතු කීපයක් නිසා. එකක් අපට අද මේ සමාජය හඳුනා ගන්න ඒ තේමාවේ තිබෙන අපූර්වත්වය. අනෙක නවකතාවක් විදිහට එහි තිබෙන ආකෘතිය. මුල සිට අගට ගලාගෙන යන සාමාන්‍ය නවකතාවකට වඩා එහා ගිය වියුක්තකමක් තිබෙන, ලංකාවේ නව කතා සාහිත්‍යයේ කිසියම් වෙනසක් ඇති ආකෘතියක් නිසා එය සිනමා කෘතියක් කිරීමේදී අධ්‍යක්ෂවරයාට ලොකු නිදහසක් ලබා දෙයි කියලා කතාව කියවන පළමුවෙනි වතාවෙම හිතුණා.

 

ඔබ එහි දුටු වෙනස කුමක්ද?

නවකතාවට අනුව අසන්ධිමිත්තා කියන ගැහැනිය තමන්ගේ ජීවිත කතාව කියා කතාවක් කියනවා නවකතාකරුවකුට. නවකතාකරු විසින් ලියන කතාවකින් ඒ විස්තරය අපට කියනවා. මම හිතුවේ ඒ ගැහැනිය මට ඒ කතාව කීවා නම්, මම සිනමාකරුවකු හැටියට කොහොමද එය නැවත කියන්නේ කියන අභ්‍යාසය සිනමාව තුළ කළ හැකියි නේද කියලා. ඒ නිසා තමයි මම ඒ කතාව තෝරාගත්තේ. නව කතාවේ කියන දේම තමයි මමත් කියන්නේ හැබැයි මගේ වර්ෂන් එක. ඒක හරියට සිරිපාදේ යනවනේ පාරවල් දෙකකින්. ඒ ගමන් දෙකේ අත්දැකීම් දෙකක්. හැබැයි මොනපාරෙන් ගියත් යන්නේ සිරීපාදෙනෙ. ඒකයි මේ කෘතියේ තියෙන වෙනස. නවකතාව සාහිත්‍යමය අත්දැකීමක්. මෙය සිනමා අත්දැකීමක්. එය මට පෞද්ගලිකව හොඳ අභ්‍යාසයක්. අනෙක් අතට සිනමාව තුළ ලොකු දෙයක් කළ හැකියි කියලා හිතුණා. ඒක තමයි මෙහි නිමිත්ත.

 

අසන්ධිමිත්තා නවකතාව බොහොම සංකීර්ණයි. එය තිරයට ගැනීමේදී ඔබටත් අභියෝගයකට මුහුණ දෙන්න සිදුවන්න ඇති?

ඔව්. උදාහරණයක් විදිහට මෙහි එන විකී කියන චරිතය නව කතාව තුළ එක එක විදිහට වෙස් මාරු කරගන්නවා. විග් එකක් දාලා දත් සෙට් එකක් දාලා තරුණ වෙලා ඉන්නවා නව කතාවේ නම්. එයාගේ ඇත්ත ස්වරූපය සමහර තැන්වලදි එළියට එනවා. මම ඒක සිනමා තිරය ඇතුළෙ කරන්න ගියොත් එහෙම කතාවේ විශ්වසනීයත්වය කැඩෙනවා. නවකතාවක එය අපි විශ්වාස කරයි මොකද අපි එය විශ්වාස කරන්න කැමැත්තෙන්නේ කියවන්නෙ. ඒත් සිනමාවක රූපය දකිද්දි අපට එය විශ්වාස කරන්න බැරුව යනවා. මට හිතෙන්නෙ ඒ කතාවේ කියන්නේ පෞරුෂයන් දෙක ගැනනේ. අසන්ධිමිත්තාගේම ඔළුවේ ඉන්න පුරුෂ පෞරුෂයන් දෙකක්. ඒ වෙනුවෙන් මම දෙන්නෙක් යොදා ගත්තා. එතකොට මට ඒ චරිත දෙක තාත්විකත්වයෙන් ගලවලා ෆැන්ටසියක් විදිහටම ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසාම බලන අය එක එක විදිහට මෙය කියවා ගන්නවා. එක් විචාරකයෙකු කියා තිබුණේ මේ තිබෙන්නේ අස්ධිමිත්තාගෙම මානසිකත්වයන් දෙකක් කියලා. අසන්ධිට ආදරය කරන්න හිතුණාම එක පෞරුෂයකුත් වෛර කරන්න හිතුණාම තව පෞරුෂයකුත් දකිනවා කියලා. එයින් තමන්ගේම තිබෙන කෘරත්වය සහ යහපත් ගතිය කියවෙනවා කියලා. එය මේ කතාව ගැන වෙනමම කියවීමක්.

 

මෙහි නළුවරණයේදී ඔබ එකිනෙකාට වෙනස් නළුවන් දෙදෙනකු ඒ චරිතයේ අවස්ථා සඳහා යොදා ගත්තේ ඒ නිසාද?

එහෙම නොවුණා නම් ප්‍රේක්ෂකයා එය තාත්විකව බාරගන්න හදනවා. එතකොට තමයි අර මම කියූ විශ්වාසය කැඩෙන්න පුළුවන් වන්නේ. මට ඇත්තටම මෙය තාත්වික වන්න ඕන වුණේ නැහැ. එහෙම වුණොත් ඇත්තම චරිතයක අවස්ථා දෙකක් කියලා හිතා ගන්න හදනවා. ඒ නිසා වෙනස්ම රූප දෙකක් තෝරාගත්තාම වෙනමම කතාවක් හැදෙනවා. ඒකට මේ නවකතාකරු සමන් වික්‍රමආරච්චිත් කැමතියි මට හිතෙන්නේ.

 

නවකතාව තිර රචනයට නැඟුවේ?

මම. නවකතා පොත කියන එක මට අත්දැකීමක් තමයි දුන්නේ. සිනමාකරුවකු හැටියට තිර රචනය මට ඕන විදිහට ලියා ගත්තා. සමහර කෑලි එහෙම පිටින්ම ඉවත් කළා. සමහර ඒවා ඇතුළත් කළා හානියක් නොවන විදිහට. මොකද සාහිත්‍යයේ වචන ලෙස එන භාෂාව සිනමා රූප කියන වෙනම භාෂාවකින් කියද්දි දෙකක්නේ. එයට ගැළපෙන සිදුවීම් ටික විතරයි තෝරාගත යුත්තේ.

 

එයට පොතේ කතුවරයාගේ අවසරය තිබුණාද?

ඒකට ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. මොකද සමන් වික්‍රමාරච්චි කියන්නෙ සිනමාව සහ සාහිත්‍යය කියන භාෂා දෙකම ගැන අවබෝධයක් තිබෙන කෙනෙක්. ඔහු සිනමා විචාරකයෙක්. සිනමාව ගැන උගන්වන කෙනෙක්. එතකොට එයා දන්නවා එහි වෙනස.

 

තමන්ගේ චිත්‍රපටයේ තිරපිටපත තමන්ම ලියා ගැනීමේදී වාසියක් තිබෙනවාද?

හොලිවුඩ්වල වගේ නම්, ස්ටීවන් ස්පීල්බර්ග් වගේ කෙනකු ගත්තාම ස්ක්‍රිප්ට් එක වෙන කෙනකුගේ. එතකොට අධ්‍යක්ෂණය කියන්නේ ශිල්පයක්. අධ්‍යක්ෂවරයා තිරපිටපතින් චිත්‍රපටයක් හදනවා. ඒක හරියට ගෘහනිර්මාණශිල්පියකු ඇඳපු ගෙයක් බාසුන්නැහේ කෙනෙක් හදනවා වගේ. ඒත් තිරරචනාව තමන්ම කරගන්නවා කියන්නෙ එක්තරා විදිහක ආත්ම ප්‍රකාශනයක්. මම අයිතිවෙන්නේ අන්න ඒ ආත්ම ප්‍රකාශක සිනමාකරුවන්ගේ ගොඩට. තමන්ම ගෙයි ප්ලෑන ඇඳගෙන තමන්ම හැදුවාම ඒක තමන්ගේ නිර්මාණයක් වෙනවානේ. අන්න ඒ වගේ.

 

මේ පොත පාඨකයාගෙන් පාඨකයාට තම තමන්ගේ අත්දැකීම් අනුව කැමති කැමති විදිහට තේරුම්ගත හැකි එකක්? ඒ වෙනස්කම් සිනමාරූපී වෙනස්කම්ද?

මේ කතාවේ තියෙන්නේ කෙනෙක් කියපු කතාවක් තවකෙනෙක් විසින් තවත් කෙනකුට කියන විදිහනේ. එතකොට මුලදිම ඇත්ත ජීවිත කතාව කියලා කියන එකේම ප්‍රබන්ධයක් තියෙනවා. මොකද අපි අපේ ජීවිත කතාව ලිව්වොත් අපට ඕන දේවල් ටික විතරනේ ලියන්නේ. එතකොටම එය ප්‍රබන්ධයක් වෙනවා. දෙවැනි අවස්ථාවේ එයාගේ කතාව අහගෙන ඉඳලා තව කෙනකුට කියන කෙනා තමන්ට ඕන විදිහට අතිශයෝක්තියෙන් කියනවා, අතින් කෑලි දානවා, අමතක වෙනවා, එහෙම එක තැනකින් තව තැනකට කතාවක් සම්ප්‍රේෂණය වෙනකොට ඒ කතාව සත්‍යයෙන් බොහෝ ඈත් වෙනවා. ඇත්තටම යම් සිදුවීමක් වුණාට පස්සේ ඉතුරු වෙන්නේ කතන්දර ගොඩක් විතරයි. සත්‍යයම නෙවෙයි. ඒ පිළිබඳ ප්‍රබන්ධ රැසක් විතරයි. ඒ නිසා එක එක පුද්ගලයා තුළ මේ කතාවත් වෙනස් වෙන්න පුළුවන්.

 

ප්‍රේක්ෂකයන් මේ බව තේරුම් ගෙන තිබෙනවාද?

අර මුලින් කියූ විචාරය වගේම තවත් විචාරකයකු මෙයට කියා තිබුණේ අසන්ධිමිත්තා නමින් තිබෙන කතාවම ඒ කතාව කියන චිත්‍රපටකරුගේ නිවෙසේ තිබෙන ඒකාකාරී බවින් මිදෙන්න ඔහු විසින් තනාගත් ප්‍රබන්ධයක් කියායි. මුහුණු පොතේ එක් එක් අය එක එක දේවල් ලියා තිබෙනවා. මේ කතාවේ විවෘතභාවය නිසා ඒ අභ්‍යාසයේ යෙදිය හැකියි.

 

මෙය හඳගම ක්‍රමයට වඩා වෙනස් චිත්‍රපටයක්?

හඳගම ක්‍රමය කියන දේ ආ යුත්තේ සිනමාව හසුරුවන ක්‍රමයේ නොවෙයි. අපි මොකක්ද සිනමාව හරහා කියන්නේ යන දේ තුළයි. මම සිනමාවේ අන්තර්ගතය තුළ යම් දේශපාලනයක් කරනවානේ. එයින් ගැළවී නැහැ. ඒත් කියන විදිහ වෙනස් වී තිබෙනවා තේමාවට අනුකූල ආකෘතිය අනුව.

 

මේ කතා තේමාවේ ලිංගිකත්වය බොහෝ සෙයින් කතා වෙනවා. ඒත් ඔබ නිර්මාණයේදී එයින් බැහැර වෙනවා?

මම මේ චිත්‍රපටයෙදි එහෙම නොකර ඉන්න පරෙස්සම් වුණා. එකක් මෙහි තියෙන්නේ තමන්ගේ ශරීරයේ මහත සමාජයට ප්‍රශ්නයක් වෙලා එයට උසුළු විසුළු එල්ල වෙද්දි ඒකට ඇතිවන කෝපය පිට කරන්න සමාජය විහිළුවට ලක්කරමින් දක්වන ප්‍රතිචාරයක් හැටියට තමයි මේ කාන්තාව මේ අයුරින් කටයුතු කරන්නේ. එනිසා එයට ලිංගිකත්වය එක්කරමින් සමාජයට අශ්ලීල විනෝදයක් දෙන්න මට ඕන වුණේ නෑ. ඒ නිසා ප්‍රේකෂකයාගේ එවැනි බලාපොරොත්තුවක් තිබුණා වුණත් එවැන්නක් නරඹන්න, මම එය අතහැරියා.

 

එයට නළු නිළියන්ගේ යම් බලපෑමක් තිබුණාද? විශේෂයෙන් ගුරුවරියක් ලෙස නිල්මිණි සිගේරාගෙන් වගේ?

නෑ. මම පිටපත ලියලා ඉවරවෙලානේ නිල්මිණිව තෝරා ගන්නේ. එතකොට පිටපතේ එහෙම දෙයක් තිබ්බානම් කවුරුන් හෝ ඒ දේ කරන කෙනාවයි තෝරා ගන්නේ. මේ පිටපතේදි මට ඒ අවශ්‍යතාව ආවේ නෑ. මම නිල්මිණිට කීවා නවකතාව කියවන්න කියලා පිටපතට කලින්. එයා නවකතාව කියවලා මගෙන් ඇහුවා ගුරුවරියක් නිසා මේ වගේ දේවල් පිළිබඳ තිබෙන සැලකිල්ල මොකක්ද කියලා. එතකොටත් මම කීවා එහෙම දේවල් පිටපතේ නෑ කියලා.

 

කෙනකුට මෙය හාස්‍යජනක කෘතියක් ලෙස දැනෙන්න පුළුවන්?

ඔව්. මේ කතාවේ බ්ලැක් හ්‍යුමර් එකක් තිබෙනවා. ඒ අඳුරු හාස්‍යය සිනමාව තුළ මතු කළා. එය මතුකිරීම අත්‍යාවශ්‍යයි ඒ චිත්‍රපටයට. කෘතියේ සිනාව විදිහට මතුවන්නේත් ඒ සීරියස්කමම තමයි. මොකද අපි හිනාවෙන්නේ සමාජයකට, සමාජ ක්‍රමයකට. මිනිස්සු සමාජ කාරණාවලට සංවේදී නෑ. තමන් ලොකු ක්‍රමවේදයක ගොදුරක් වෙලා කියලාවත් තේරුමක් නෑ. ඒ ගොදුරු තත්ත්වය තුළම ජීවත් වෙනවා. එය ඉතින් අවාසනාවන්ත තත්ත්වයක්. එයින් ගැලවෙන එක දේශපාලනික වැඩක්. ඒත් ඒ දේශපාලනික විඥානය ලබා ගන්න නම් සාහිත්‍යය, කලාව, සිනමාව, නාට්‍ය වැනි දේවල් ඇසුරු කළ යුතුයි. ඒත් එය පස්සට දානවා, මඟහරිනවා. එහෙම ඇසුරක් ඇති නොවෙද්දි ඒ පිළිබඳ සවිඥානක වන්නේ නෑනේ. එතකොට අපි එන්න එන්න අවුලෙන් අවුලට යනවා. අපිත් ඉතින් නැවත නැවත මතක් කරමින් තිබෙන්නේ එහි වැදගත්කම. ඒත් අවාසනාවකට මේ පිළිබඳ තිබෙන අවධානය අඩුයි. ඒත් ඉතින් අපි කරන වැඩේ කරන්න එපැයි.

 

කලාත්මක ගණයට අයිති චිත්‍රපට හතරක් මේ වෙද්දි ශාලාවල තිරගත වනවා?

(සිනාසී) ප්‍රේක්ෂකයන්ට කියමු චිත්‍රපට හතරම බලන්න කියලා. මොකද මේක කසායක් බොනවා වගේ එකක් බීවා දැන් ඇති කියන්න බෑනේ. චිත්‍රපට කර්මාන්තය පවතින්න නම් ප්‍රේක්ෂකයන් චිත්‍රපට නැරඹිය යුතුයි.

 

මා කියන්නේ අසන්ධිමිත්තා ඇතුළු ගැප් ෆිලිං නැත්නම්, අන්තර්වාර චිත්‍රපට මුදා හැරීමේ ක්‍රමය පිළිබඳ?

මෙහෙමයි, මගේ නම් අදහස චිත්‍රපට එකක් පිටුපස එකක් ආවේ ඉස්සර. දැන් චිත්‍රපට වැඩි සංඛ්‍යාවක් එළියට එනවා. ප්‍රංශය වගේ රටක නම් චිත්‍රපට 25ක් පමණ සතියකට මුදා හරිනවා. ඒ තමයි හැටි. ප්‍රේක්ෂකයන් ඉතින් තමන්ට කැමති පරිදි තෝරාගෙන පුළුවන් තරම් සංඛ්‍යාවක් නරඹනවා. අපේ රටේ රීගල් එකේ චිත්‍රපටය තිබෙනවා කීවොත් ප්‍රේක්ෂකයන් සිතන්නේ දර්ශන වාර සියල්ලේම එකම චිත්‍රපටය පැවතිය යුතුයි කියලා. සමහර විට තමන්ගේ කාලය කැමති චිත්‍රපටය දැක්වෙන වේලාවට අනුව කළමනාකරණය නොවීම නිසා මඟහැරෙන්න පුළුවන්. එයට තියෙන හොඳම විසඳුම එක් ශාලා සංකීර්ණයක ශාලා හතරක් පමණ තිබීම. එතකොට දර්ශන වාර බෙදිලා තමන් කැමති එක කැමති වෙලාවේ බලන්න පුළුවන්. ඉදිරියට ශාලා එන්නෙත් එහෙම. එතකොට ප්‍රේක්ෂකයන්ට චිත්‍රපට මඟ හැරෙන්නේ නෑ.

 

නිල්මිණි සිගේරා ආපු ගමන් සම්මානයක් ගත්තා?

මෙය චරිතයක් වටා ගෙතුණු කතාවක්. ඒ මත මුළු චිත්‍රපටයම රැඳීලා තියෙන්නේ. ඒ රංගනය දුර්වල වුණා නම් කතාවම කඩා වැටෙනවා. නිල්මිණි මේ රංගනය කරලා සංස්කරණය වෙලා ඉවර වෙද්දිම මට දැනුණු දේ තමයි ඒ වැඩේ එයා හරියටම කරලා තිබෙන බව. ඒ නිසාම එයා කැපී පෙනෙනවා. එකක් ඒ චරිතයේ ස්වභාවය සහ ඒ ශරීරයේ හැඩය. ප්‍රධානම දේ තමයි නිල්මිණි කියන්නේ කට ඇරපු ගමන් හිනාවෙන කෙනෙක්. ඒත් චිත්‍රපටයෙදි ඒ ගති ලක්ෂණය මරාගෙන වෙනත් ක්‍රමයකට යා යුතුව තිබුණා. මං හිතනවා ඒ දේ හරියට සිදු වුණා කියලා. මොකද සම්මානය හම්බුණෙත් හොඳම නිළිය කියලා නෙවෙයි විශිෂ්ටතම රංගනය කියලානේ.

 

අනෙක් නළු නිළියන්?

මේ කතාවට සහභාගී වූ පොඩි ළමයින් දෙන්නාගේ ඉඳන්ම කතාව තෙරුම් අරගෙන තිබුණා. එනිසා තමන්ගේ වගකීම් හරියටම ඉෂ්ට කළා කියලයි මට හිතෙන්නේ.

 

ඔබ චිත්‍රපටයකට පෙර පුහුණුවීම් කරනවාද?

එහෙම කරපුවාත් තිබෙනවා. සඳ දඩයම වගේ. ඒ ඇරෙන්න මම චිත්‍රපටයක අවස්ථාව හදන්නේ ඒ දර්ශන තලයේ ඒ පසුබිමේදි දර්ශනයෙන් දර්ශනයට තමයි. සඳ දඩයම මම හඳුන්වන්නේ සිනමා නාටකය කියලානේ. ඒ ඇරෙන්න මම ස්වාභාවික ස්වරූපය කියන දේ රැකගන්න බලනවා. ඒ නිසාම ෂොට් එකෙන් දෙකෙන් මම ඒ කොටස අරන් ඉවර කරන්න බලනවා. මොකද ටේක් හතරකට පහකට ගියාමත් රංගනය නොදැනුවත්වම සැලසුම් වෙනවා. ඒ නිසා තාක්ෂණික වශයෙන් පළමුවෙනි ටේක් එක හරිනම් මම ඒකට කැමතියි. වැඩිපුර පුහුණුවීම් කළාම පොඩි කෘත්‍රිම ගතියක් තිබෙනවා වගේ. මොකද දර්ශනතලයට ගිහින් ඉද්දි දැනෙන දේවල් ටිකක් තියෙනවානේ. ඒත් ළඟදි විනාඩි නවයක පමණ එක දිගට යන දර්ශනයක් නම් පුහුණුවීම් කළා. ඇත්තෙන්ම ඒ දිගු කාලයක් රූපගත කිරීමට කැමරාව සඳහා පුහුණුවක් අවශ්‍ය නිසා.

 

අද ලංකාවේ වේගයෙන් චිත්‍රපට සැදෙන ප්‍රවණතාවක් පහළ වෙලා තිබෙනවා?

මම නම් කියන්නේ හොඳ චිත්‍රපට හැදීමට ඇති නැඹුරුව හොඳ තත්ත්වයක්. ඒත් ඒවාට ඉඩ හසර ලැබෙන විදිහට කර්මාන්තයත් සැකසෙන්න ඕනා. එය තමයි අවදානම. උදාහරණයක් ලෙස අසන්ධිමිත්තා සල්ලි බලාගෙන කළ ආයෝජනයක් නෙවෙයි. එච්. ඩී. ප්‍රේමසිරි මහතා ගත්තේ විශාල අවදානමක්. ඉතින් අපේ යුතුකම කලාව පිළිබඳ යම් සංවේදීතාවක් තිබෙන නිසා ඉදිරිපත් වන එවැනි නිෂ්පාදකයන් ආර්ථික වශයෙන් රැකගැනීම. මේ චිත්‍රපටය එකවරක් දුටුවොත් බැලූ කෙනා කැමති වෙනවා. ඒත් මුලින්ම බලන්න ගන්න තීරණයට බලපාන සාධක ගොඩක් තිබෙනවා. මේ දවස්වල ඉස්කොල විභාග, ළමයින් කොහෙද නවත්වලා එන්නේ, රෑට ප්‍රවාහන පහසුකම් තිබෙනවාද, පඩි කවද්ද, අවුරුදු අතළඟ මේ දේවල් නිසා කලාත්මක දෙයක්, චිත්‍රපටයක් විඳීනවා කියන එකට තියෙන්නේ වියදම් ලැයිස්තුවේ අගහරිය. එය හරි දෙයක් නෙවෙයි. අපි සංස්කෘතික මිනිසුන් වන්නේ කලාව නිසානේ.

 

මෙහි තාක්ෂණය ගැන ටිකක් කීවොත්?

සියයට සියයක් ශ්‍රී ලාංකිකයි. රූගත කිරීම් සහ පසු නිෂ්පාදන කටයුතු, ශබ්ද ආදී සියල්ල ලංකාව තුළම කළේ. අපි දර්ශන තලය තුළදීම ඩිරෙක්ට් සවුන්ඩ් නැත්නම් සමකාලික ශබ්ද, වර්ණ සංයෝජනය ආදී සියල්ලම කළේ ලංකාවේ. 7.1 ශබ්ද තාක්ෂණය පවා මෙහෙදි යෙදුණේ.

 

මෙය ලෝක සිනමා උලෙළ නියොජනය කළා?

ආසියාවේ තිබෙන ලොකුම අන්තර්ජාතික සිනමා උලෙළ භූෂාන් උලෙළේ තමයි ලෝක මංගල දැක්ම තිබ්බේ. එයින් සම්මානෙකට නිර්දේශ වුණා. බ්ලැක් නයිට් තරගය, බැංගලෝර්, ඔසාකා වගේ උලෙළ සහ තරගවලට ඉදිරිපත් වුණා. තව ඉදිරියටත් කීපයක් තිබෙනවා.

 

සිනමා රසිකයන් වෙනුවෙන් ඔබේ පණිවිඩය?

මේ චිත්‍රපටය තිබෙන්නේ ටික දවසයි. පස්සේ බලන්න හිටියොත් මඟ හැරෙන්න පුළුවන්. ඒ නිසා අවුරුද්දට කලින් බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

 

තවත් නිර්මාණයකට අතගහලාද මේ වෙද්දි?

අසන්ධිමිත්තා ඔළුවේ තිබෙන නිසා එය ඉවර වෙනකල් ඉන්නේ. මගේ ස්වභාවයත් එකක් ඉවර වුණාම තවත් එකක් කිරීමනේ. ඒත් වස්තුබීජයක් ඔළුවේ තියෙනවා. ඉතිහාස කතාවක් කිරීමේ ආසාවක් තිබෙනවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.