සයිමන්ට වඩා සුද්දන් හොඳ වුණේ කොහොමද?

ජගත් ජේ. එදිරිසිංහ
අප්‍රේල් 25, 2019

තමා ජීවත් වන සමාජය පිළිබඳ නිරන්තර සංවේදී වන නිර්මාණකරුවකුට ඒ සමාජයේ පවතින උස්මිටි තැන් පිළිබඳ මෙන්ම නිද්‍රාශීලි බව හෝ අවදිවත්බව පිළිබඳ නිරන්තර කම්පනයක් ඇතිවන බව නොරහසකි. එහෙත් තමන් උපන් බිමෙන් සැතපුම් දහස් ගණනක් දුර සිටියදී පවා මව්බිමේ සිදුවීම් කෙරෙහි කම්පනය වන සංවේදීතාවක් හිමි වන්නේ අතළොස්සකටය. කාලාග්නි එක හුස්මට කියවාගෙන යන මට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ජගත් ජේ. එදිරිසිංහ කොතරම් සංවේදනයකින් ශ්‍රී ලංකාව දෙස බලන්නේදැයි මොනවට පැහැදිලි විය. මේ සාකච්ඡාව ඒ වෙනුවෙනි.

ඔබ කාලාග්නි වැනි නිර්මාණයකට පෙළඹුණේ?

ඕනැම ලේඛකයකු යම් නිර්මානයක් කරන්නේ ඒ ඒ අයට යම් සිදුවීමකින් දැනෙන කම්පනය නිසා කියලයි මම හිතන්නේ. කාලාග්නි කියන්නේ එක්තරා යුගයක මම විඳපු කම්පනයක් කීවොත් හරි. මම විදේශ රටක ඉඳලා පුවත්පත් කලාවේ නියැලුණත් එක් යුගයකදී අපට මේ රටෙන් ඒ රටට ආ තර්ජන තිබුණා. ඉතින් අපට හිතාගන්න පුළුවන් වුණා මේ රට තුළ නිර්මාණකරුවන් කොතරම් තර්ජනවලට මුහුණ දෙන්න ඇතිද කියා. එය හරිම වේදනාත්මක දෙයක්. ඒ එක්කම මගේ සොහොයුරිය මඟින් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදු වූ ඇතැම් සිදුවීම් පිළිබඳ මට අත්දැකීම් කීපයක් ලැබුණා. මම කියන්නේ නැ සියලු විශ්වවිද්‍යාලවල මේ ආකාරයෙන්ම දේවල් සිද්ධ වෙනවා කියලා. ඒත් ඒ සිදුවීම් සහ වෙනත් අත්දැකීම් කීපයක් එකට ගෙන තමයි කාලාග්නි පොත ලියැවුණේ.

මීට පෙර ලියූ පොත්වල මෙන්ම මෙහිත් දේශපාලනයක් තිබෙනවා?

ඇත්තටම මම ලියූ හැම පොතකටම වගේ තේමාවක් තිබුණා. ඒ හැම අවස්ථාවකම තිබුණේ යම් යම් කාලවකවානුවල මුහුණ දෙන්න වූ සිදුවීම්. ඒවා හදවතට හොඳීන්ම දැනෙන නිසා තමයි, පොත් බවට පෙරළුණේ. මම හැමවිටම උත්සාහ කළේ ආදර කතාවක් වුණත් වෙනත් පසුබිමක පිහිටුවා ලියන්නටයි. උදාහරණයක් ලෙස අසුර අඩවිය කියන මගේ පළමු කතාව තේමා වුණේ මේ බිමේ කලබලකාරී පරිසරය තුළ තමන්ට සමාජයට මුහුණ දෙන්න බැරි ප්‍රශ්නය නිසා කුමක් හෝ හේතුවක් පෙන්වා ඕස්ට්‍රේලියාවට පැනගන්න උත්සාහ කරන තරුණයන්ගේ කතාව. එහි හාස්‍යජනක පැත්ත තමයි රජයට බියෙන් පැන යන අය වගේම තරුණ ව්‍යාපාරයට බියෙන් පැන යන තරුණයන්ද එකට එකතු වීම. ගිම්හාන සුළඟ නවකතාව තේමා වුණේ උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන තරුණ තරුණියන් අතර ඇතිවන ප්‍රශ්න, මත්ද්‍රව්‍ය උවදුර වැනි දේ. මගේ අදිසි කතාව ලීවෙත් භීෂණ කාලය පදනම් කරගෙනයි. දේශපාලකයන් කොහොමද තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටු කරගැනීමට විවිධ ක්‍රියාමාර්ගවලට යොමුවන්නේ සමහර විට ඔවුන්ම ඒවාට ගොදුරු වන්න පුළුවන්.

ඔබ නවකතා කලාවට ප්‍රවේශ වන්නෙ?

ඒක දිග කතාවක්. මට මතක් කළ හැකි පුංචි කාලේ ඉඳන් කැමැත්තෙන් කළේ ලියන එකයි කියවන එකයි. මගේ පුරුද්දක් තිබුණා කියවන පොත් ලියාගන්න එක. ඉතින් මම හයේ පන්තියට එද්දි පොත් හයසිය ගාණක් කියවලා තිබුණා. හතේ පන්තියේදී ඒ වගේ දෙගුණයක්. මම නවකතාවක් ඉස්ඉස්සෙල්ලාම ලියන්නෙත් හයේ පන්තියේදියි. ඒ කාලේ අපි ආසයි ගුවන්විදුලියෙන් මුවන්පැළැස්ස අහන්න. ඉතින් ඒ වගේ ගමක් හිතෙන් මවාගෙන තමයි මගේ මුල් කතාව ලීවේ. දහයේ පන්තියට එද්දි නවකතා හතරක් ලියලා තිබුණා. කලින් එකක්වත් මුද්‍රණය නොකළත් දහයේ පන්තියේදි ලියපු එක් කතාවක් මුද්‍රණය කරන්න ඕනා කියලා මට හිතුණා. ඒ කාලේ ජයකොඩි සෙනෙවිරත්න මහතා ලීවා නවකතාවක් මල්මැණිකේ කියලා. එහි පසුවදනේ ඔහු ලීවා කොහොමද ආධුනික ලේඛකලේඛිකාවන්ට ඔහු උදව් කළේ කියලා. මට හිතුණා ඔහු මට උදව් කරයි කියලා. ඔහුට මම පොත යැව්වා. මම හිටියේ නුගේගොඩ, ඔහු පානදුරේ. ඔහු ලියුමක් එව්වා ඇවිත් හමුවන්න කියලා. මම ගියා. ඔහු මට උපදෙස් දුන්නා තවම ඔයා පොඩි ළමයෙක් නිසා තව තව කියවලා ලියන්න. පොත් අච්චුගහන්න හදිසි වෙන්න එපා කියලා. ඒ කීවා වගේම මගේ පළමුවැනි පොත අච්චුගහන්නේ ඊට අවුරුදු 15ට විතර පස්සේ. ඒ අතර මම මිහිර පත්තරේට ලීවා. කාටූන ඇන්දා. නොකරපු දෙයක් නැ.

ඔබ පිටරටකදි පුවත්පතක් කරන්න හිතුවේ?

මම අවුරුදු 21ට කලින් ඕස්ට්‍රේලියාවේ යද්දි කිසිම සිංහල පුවත්පතක් තිබුණේ නැහැ. ඉංග්‍රීසි පුවත්පතේ සිංහල පිටුවක් තිබුණත් එහි බොහෝ වැරැදි තිබුණා. එයට මම හරියට ලැජ්ජා වුණා. ඉතින් මම ඒ සියලු වැරැදි සටහන් කරලා ආපසු දුන්නා තමන්ගේ මව්බසින් කරන දෙය මීට වඩා සැලකිල්ලෙන් කරන්න කියලා. මට ඒ සංස්කාරකවරයා එක්තරා ගුවන්විදුලි සේවයකදි හමුවෙලා මටම ඒ පුවත්පතේ සිංහල කොටස කරන්න කීකවා. එක පිටුවකින් පටන් ගන්නා මම එය පිටු හයක් දක්වා වර්ධනය කළා. ඒත් එක් මොහොතක මට දැනෙනවා ඔවුන්ගේ මතවාද සමඟ එතනින් එහාට මට යන්න බැ කියලා. ඉතින් මම ඉන් ඉවත් වෙලා හිතමිතුරන් කීපදෙනකු සමඟ පටන් ගන්නවා 'පහන' කියලා පුවත්පතක්. එය අතිශය ජනප්‍රිය වෙනවා. වසරකදි මට එයින් ඉවත්වන්න සිදු වනවා. පසුව 'සන්නස' පුවත්පත ආරම්භ කරලා වසර දහතුනක් සංස්කාරක ලෙසත් පසුව උපදේශක ලෙසත් කටයුතු කරලා මේ වසර මුලදි පුවත්පත් දිවියට සමු දුන්නා.

ඔබේ වෘත්තිය?

මම යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක්. ලංකාවේ මාර්ග සංවර්ධන අධිකාරියේ වසර කීපයක් කටයුතු කරලයි ඕස්ට්‍රේලියාවට ගියේ. රැකියාව කරන අතරතුරයි පුවත්පතේ ලිපි ලියමින්, පිටු සකසමින්, බෙදාහරිමින් ඒ සියල්ල කළේ. එය හරිම වෙහෙසකරයි. එය මුදල් ඉපයීමට නොවේ කළේ. එය ලොකු බැඳීමක් වගේම වගකීමක්. ඉතින් එයින් ඉවත්වීම මට බොහෝ නිදහස්. මගේ කටයුතු කරගන්න වෙලාව තිබෙනවා.

ඔබ මෙරට පොතපත ගැන උනන්දුද?

අනිවාර්යයෙන්ම. මම විදෙස් පොත් වගේම ලංකාවේ පොත් ගැන උනන්දුයි. සමහර විට මට හිතෙනවා ලංකාවේ බිහිවන බොහෝ හොඳ පොත්වල තිබෙන දේ උකහා ගන්න අපේ අය උනන්දු වන්නේ නැහැ කියා. උදාහරණයක් හැටියට සයිමන් නවගත්තේගම වැනි ලේඛකයකුගේ පොත් අන්තර්ජාතික තලයේ තිබ්බා නම් කෙතරම් අගය කරයිද? ඒත් අදටත් මේ රටේ ඔහු ගැන කතාවන්නේ අඩුවෙන්. අපේ තරුණ පරපුර වුණත් විදේශීය ලේඛකයන් කීපදෙනකු අල්ලාගෙන ඒ අය ගැන මහා ලොකුවට කතාකරනවා. ඒ පොත්වලින් උදෘත පාඨ ගෙන මුහුණු පොතේ පෝස්ට් දානවා. ඒත් අපේ දක්ෂ ලේඛකයන් ගැන කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ. එය සමහරවිට අපේ දේ පහළට දමා සිතන්නට පුරුදුව සිටින මානසික තත්ත්වයක් නිසා වන්නත් පුළුවන්. අපට හොඳ සාහිත්‍ය යුග තිබෙනවා. ඒවා පිළිබඳ වගක්වත් නැහැ. මම එක උදාහරණයක් කියන්නම්. පසුගිය කාලයේ මුහුණු පොතේ තිබුණා ඔබට දැනුණු චිත්‍රපට දහයක පින්තූර දාන්න කියලා. ලංකාවෙන් දාපු හැමෝම දැම්මේ විදේශීය චිත්‍රපට. ඇයි දෙවියනේ අපේ රටේ කොයි තරම් හොඳ චිත්‍රපට තිබෙනවාද? නිධානය, ගම්පෙරළිය, බඹරු ඇවිත්, පාර දිගේ, අහස්ගව්ව, රන්සළු හොඳ නැද්ද? ඒවා අපට දැනෙන්නේ නැද්ද? ඒවා අගය කරන්න තරම් අපේ හිත නැමෙන්නේ නැද්ද? මම ඒකට දැම්මේ සිංහල චිත්‍රපට දහයක්. එහි තේරුම මට ඉංග්‍රීසි චිත්‍රපට නොදැනෙනවා නෙවෙයි. ඒත් ඇයි අපි අපේ දේ මේ තරම්ම අවතක්සේරු කරන්නේ.

අද ලෝක සාහිත්‍යය සහ ලංකාවේ නිර්මාණ සසඳද්දි දැනෙන්නේ කොහොමද?

මම කියන්නේ නැහැ ශ්‍රී ලංකාවේ බිහිවන සියලුම කෘති විශිෂ්ට මට්ටමේ ඒවා කියලා. ඒත් අපේ කෘතිවලින් විශාල සංඛ්‍යාවක් ලෝක මට්ටමේ තැබිය හැකි ඒවා. වෙලා තියෙන්නේ අපි සිංහලෙන් ඒවා කියවන නිසා අපට දැනෙන්නේ නැති එක. යම් හෙයකින් මේ පොතක් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා බැලුවොත් තේරෙයි දෙවියනේ මේ පොතත් ලෝක මට්ටමට තැබිය හැකියි නේද කියලා. අද කතාබහට ලක්වන ලෝක සාහිත්‍යයේ සියලුම නිර්මාණ ගත්තාම ඊටවඩා විශිෂ්ට වූ නිර්මාණාත්මක ශක්තියෙන් යුතුව ලියැවුණු ඒවා අපට තිබෙනවා. ඒත් සාකච්ඡාවට බඳුන් වන්නේ නැහැ. අනෙක අවාසනාවන්ත ලෙස මේවා ඉංග්‍රීසියට පරිවර්තනය වන්නේ නැ. ඒ නිසා යම් කිසි විධිමත් වැඩපිළිවෙළක් තිබිය යුතුයි මේවා විශ්ව සාහිත්‍යයට ගෙන යැම සඳහා.

ඒ වැඩපිළිවෙළට නොයන්නේ භාෂා දැනුමේ ඌනතාව නිසාද? නැත්නම් උවමනාවක් නැතිකම නිසාද?

මට හිතෙන්නේ උවමනාවක් සහ ක්‍රමවේදයක් නැති කම. සම්මාන කියන්නේ හොඳ නිර්ණායකයක් නොවුණත් අඩුම ගාණේ සම්මාන ලබන පොත්වත් පරිවර්තනය කරනවා නම් හොඳයි.

ඔබේ පොත් ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබෙනවාද?

මම ලීවා ඉස්කෝලේ කාලේ කියලා යොවුන් නවකතාවක්. නැසී ගිය ඩී. බී. කුරුප්පු මහත්මයා එය ඉංග්‍රීසියට පරිවර්තනය කළා. අවාසනාවකට මට එය මුද්‍රණය කරගන්න බැරුව ගියා. ඉදිරි වසර තුළ මම එය මුද්‍රණය කරනවා.

කාලාග්නියට පසු ඔබේ සිත කම්පනය කළ තේමාවක් තිබෙනවාද?

ඉස්කෝලේ කාලේ කියන නව කතාවේම දෙවැනි කොටස නොවුණත් ඒ හා බැඳුණු එයට සමාන්තරව යන කතාවක් ලියමින් ඉන්නවා. ඒ වගේම තවත් නව කතා දෙකකට මුල පුරා තිබෙනවා. බොහෝ වැඩකටයුතු නිසා තරමක් ප්‍රමාද වී තිබෙන්නේ. අනෙක මම ලියන්න හරි කම්මැලි නිසා හෙමින් ලියන්නේ. ඉස්සර නම් මම හැම වසරකටම පොතක් ලියනවා කියලා හිතුවා. ඒත් එය කරන්න බැරුව ගියා.

ඔබ සම්මානවලට යොමු වුණාද?

සම්මාන පිළිබඳ මට තිබෙන්නේ අප්‍රසන්න අත්දැකීමක්. මම උලෙළවලට පොත් ඉදිරිපත් කරන්නේ නැ. මගේ රාජාලි පියාපත කියන කාව්‍ය සංග්‍රහය ගොඩගේ සම්මාන උලෙළේ අවසන් වටයට නිර්දේශ වෙනවා. මගේ පොතත් සමඟ පොත් හතරක් නිර්දේශ වුණා. ඒත් උලෙළේදී ප්‍රකාශ කරනවා ඒ එකක්වත් සම්මානයට සුදුසු නැහැ කියලා. මට කිසිම අදහසක් නැ මගේ පොතට සම්මාන දිය යුතුයි කියලා. ඒත් අවසන් වටයට නිර්දේශ කරනවා නම් ඒ කුමක් හෝ කෘතියකට සම්මානයක් දිය යුතුයි. නැත්නම් නිර්දේශ නොකළ යුතුයි. ඒ නිසා මම සම්මාන බලාගෙන ලියන්නේ නැ. දුන්නොත් බෝනස් එකක් කියලා බාරගන්නවා මිස. මිණි ගං දැල ටෙලි නාට්‍යයේ තේමා ගීතය ලීවෙත් මම. එහි ගායනයට සම්මානයක් ලැබුණා. ඒත් රචනය ගැන උනන්දු වුණේ නැ. මම පිටරටක ඉන්න හින්දද මම දන්නේ නැහැ.

ඔබ ලංකාවට ආවේ?

ඩී. බී. කුරුප්පු මහත්මයා අභාවප්‍රාප්ත වෙලා වසර දෙකක් පිරීම නිමිත්තෙන් අපි කෙටි කතා තරගයක් පැවැත්වූවා. එයට කෙටි කතා විශාල සංඛ්‍යාවක් ලොව පුරා විසිරී සිටින ලේඛක ලේඛිකාවන්ගෙන් අපට ලැබුණා. ඉතින් බොහොම අපහසුවෙන් තෝරාගත් එහි ජයග්‍රාහකයන්ගේ නිර්මාණ එකතු කර කෙටි කතා 17 සංග්‍රහයක් පත්වීම හා වෙනත් කතා නමින් නිකුත් කළා. ජයග්‍රාහකයන්ට තැගි බෙදා දුන්නා. එය සාර්ථකව නිම කරගන්න ලැබීම සතුටක්.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.