මම හරියට වතුර වගේ

අප්‍රේල් 25, 2019

රයිගම් සම්මානනීය සම්ප්‍රවේශක දැන් සිනමාවටත් ඇවිත්

ඇය කථනයට දක්ෂය. රූ සපුවෙන් ද පරිපූර්ණය. එකී ගති ලක්ෂණ ඇයට පුංචි තිරයේ දොරගුලු විවරකොට දුන්නාය. නිවේදිකාවක ලෙසින් වැඩ සටහන් ගණනාවකින්ම ඇය අප හමුවට ආවාය. මේ වන විට රංගනයට ද ඇය වරම් ලැබ ඇත්තේය. එපමණක් ද නොව කෙටි කලක් තුළ දී හොඳම පිරිස සිටින ලැයිස්තුවට ද ඇගේ නම ඇතුළත් වූවාය. ඒ ඉකුත් රයිගම් සම්මාන උලෙළේදී හොඳම සම්ප්‍රවේෂක ලෙස ඇය සම්මානයට පාත්‍ර වෙමිනි. මෙසේ වර්ණනා කරනු ලැබූ තැනැත්තියගේ නම චානු දිසානායකය. ඇගේ රුවෙහි මෙන්ම හඬෙහි අයිතිය ඇත්තේ සිරස නාළිකාවටය. චානු රංගනයට පිවිසුණු සිනමා නිර්මාණය නිෂ්පානය කරනු ලැබුවේ ද මහරාජා ආයතනය මඟිනි.

චානු මොනවද අප පළමුව කතා කරන්නේ?

මං හිතනවා මගේ රංගනය ගැන කතා කළොත් හොඳ වේවි කියලා. වෙනස්ම අත්දැකීමක්නෙ.

ඔබ රංගනයට පිවිසි සිනමාපටයේ නම?

යූටර්න්.

මා දන්නා පරිදි එම සිනමාපටය භාෂා කිහිපයකින් නිපදවුණා. ලංකාවේ වඩාත් ජනප්‍රිය වුණේ දමිළ නිළි සමන්තා රඟපෑව සිනමාපටය?

ඔව්, ධර්ම යුද්ධය කළා වගේ සීමාසහිත මහරාජා ආයතනය මේකෙත් අයිතිය ගෙන තිබෙනවා. චිත්‍රපටයේ මං රඟපාන්නේ සමන්තා රඟපාපු චරිතය. ඉන්දියාවේ සිනමාපටයක වුණත් ඒක එහෙම්මම ලංකාවට අරගෙන නැහැ. මෙහෙට ගැළපෙන පරිදි යම් යම් තැන්වල වෙනස් කිරීම් කළා.

කොහොමද මෙහි රඟපාන්න අවස්ථාව උදා වුණේ?

සීමාසහිත මහරාජා ආයතනය දක්ෂයින්ට කොහොමත් තැන දෙනවා. ඒක කියන්නම ඕනෑ. අපේ සභාපතිතුමා සහ නාළිකා ප්‍රධානි සුසාර දිනාල් යන මහත්වරුන් තමයි මට මේ චරිතය සඳහා ඇරැයුම් කළේ.

මීට ප්‍රථම ඔබ රඟපාලා නැහැ?

වේදිකා නිර්මාණවලට එකතු වෙලා හිටියා ඉස්කෝලේ කාලෙ ඉඳලා. මේ වගේ නිර්මාණයකට නම් පළමු වතාවට එකතු වුණේ?

නිවේදන වෘත්තීයට දැන් තිත තබලද?

කොහෙත්ම නැහැ. මගේ ක්ෂේත්‍රය තමයි නිවේදනය. ප්‍රවෘත්ති නිවේදිකාවක වගේම තවත් වැඩසටහන් මං ඉදිරිපත් කරනවා.

ඔබේ පළමු රූපවාහිනී වැඩ සටහන?

සිරස පෙන්ටලන්. පසුව මායිම, ගම්මැද්ද, ජීවිත, යුත් ෆස්ට් වගේ වැඩසටහන් කළා.

සමහර ප්‍රවෘත්ති නිවේදිකාවෝ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමම පමණයි කරන්නේ. වෙනත් වැඩසටහන් කරන්නේ නැහැ?

මම හරියට වතුර වගේ. ඕනෑම බෝතලයක හැඩයකට මට එන්න පුළුවන්. දක්ෂතාවය තියෙද්දි ඒවායින් ප්‍රයෝජන ගන්න ඕනෑ. ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමම නෙවෙයි මට අනෙකුත් අංශයන්වල වැඩ සටහන් කරන්න පුළුවනි. එකම දෙයකට කොටු වෙලා ඉන්න ආස නැහැ.

ගත්ත සම්මානය ගැන මොකද කියන්න තියෙන්නේ?

හිතට ලොකු ආඩම්බරයක් දැනෙනවා. ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු තුනහමාරක් වගේ කෙටි කලක් ඇතුළත මට සම්මානනීය වන්නට ලැබුණා. ඇත්තටම ඒක බර සම්මානයක්.

නිවේදන කටයුතුවලට සහභාගි වෙද්දී අනන්තවත් අමතක නොවන සිදුවීම්වලට මුහුණ දෙන්න වෙනවා?

මගේ ජීවිතේ අමතකම නොවන සිදුවීම වුණේ උද්ඝෝෂණයක් අතරතුරදී පොලීසියෙන් එල්ල කරපු කඳුළු ගෑස් ප්‍රහාරයකට මාව මැදි වුණා. කලන්තෙ දාලා මාව වැටිලා තියෙනවා. සහෝදර මාධ්‍යවේදියකු තමයි මාව ප්‍රතිකාර සඳහා යොමු කරලා තියෙන්නේ. තව දවසක මං ගංවතුර ගලපු ප්‍රදේශයක නිවේදන කටයුතු කළා. එවලේම අම්මා මට කෝල් කළා. මං මෙහෙ ගංවතුරේ වැඩසටහන කරද්දී අපේ ගෙදරටත් ගංවතුර ඇවිල්ලා. ඒක කියන්නයි අම්මා කතා කරලා තියෙන්නේ.

චානු ඉගෙන ගත් පාසල?

මාතර සුජාතා බාලිකාව.

ගම මාතරද?

ඔව්.

උපන් දිනය ?

අනූ එකේ දෙසැම්බර් විසි දෙක.

චානු විවාහකද නැත්නම් පෙම්වතියක්ද?

ඔය දෙකම නෙවෙයි. ගෙදරින් නම් ප්‍රපෝසල් හොයනවලු.

ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දුන්නොත්?

ඉක්මනින් තරහා යන එහෙත් විනෝදකාමී කෙනෙක්.

Add new comment