ඇත්ත කියන්න මං බය නෑ

තිත්ත ඇත්ත ගෙනෙන ප්‍රීතිරාජ් වීරරත්න
අප්‍රේල් 25, 2019

නොම්මර 17 චිත්‍රපටය නිපදවා වාර්තාවක් තැබූ ප්‍රීතිරාජ් වීරරත්න ඒ සඳහා ජනප්‍රියම චිත්‍රපටයට හිමි සරසවිය සම්මානය දිනාගත්තේය. පුදුමයි ඒත් ඇත්තයි, සූරවීර චන්ඩියෝ ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් ආදී චිත්‍රපට නිපදවූ ප්‍රීතිරාජ්ගේ මුල්ම වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය තිත්ත ඇත්තයි. ඇත්ත තිත්තය. බොරුව පැණි රසය. පැරැණියන් කිව්වේ එහෙමය. තිත්ත බැවින් ඇත්තට බොහෝ දෙනා අකැමැතිය. බොරුව රජ කරන්නේ එහෙයින්ය. එවන් වූ සමාජයක ඇත්ත කතා කරන්නන්ට ඉඩක් නැති තරම්ය. එය එසේ වුව ද ඇත්ත කතා කරන්නට තිත්ත ඇත්ත හරහා ප්‍රීතිරාජ් උත්සහ කොට තිබේ. එය මේ දිනවලදී ප්‍රදර්ශනය වනුයේ එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලාවන්හිදීය. යම් යම් තැන්වලදී එය වාරණයට ලක්වේවි යැයි ප්‍රීතිරාජ් බලාපොරොත්තු වුව ද එසේ වූයේ ද නැත. සිනමාකරුවකු හැටියට නමක් දිනුව ද තනි වාක්‍යයකින් ප්‍රීතිරාජ් හඳුන්වා දිය හැකිය. ඒ ඉරාජ්ගේ පියාණන් හැටියටය. මේ කතාබහේදී ඇතැම් තැන්වලදී ඉරාජ්ව ද ඔබට හමුවනු ඇත. වැඩි ඉඩ ප්‍රීතිරාජ්ගේ තිත්ත ඇත්ත සිනමාපටය වෙනුවෙනි.

තිත්ත ඇත්ත ඔබේ පළමු සිනමා අධ්‍යක්ෂණය. ඒ වගේම සුපුරුදු පරිදි නිෂ්පාදන කටයුතු ද ඔබේ?

අධ්‍යක්ෂණය කියන්නේ එක අතකින් මට නුපුරුදු කටයුත්තක් නෙවෙයි. ලන්ඩන්වල ඉගෙන ගන්න කාලේ මං පොඩි චිත්‍රපටයක් කළා. ඒකේ නම ඈත එපිට. මැණික් කුරුකුලසූරිය තමයි ප්‍රධාන චරිතය රඟපෑවේ. මැණික් මගේ යාළුවෙක්. ඔය චිත්‍රපටයේ අධ්‍යක්ෂත් මම. නිෂ්පාදකත් මම. කැමරා කළේ එඩිට් කළේ ඔක්කොම මම. ඒකෙන් මං චිත්‍රපට ගැන අත්දැකීම් ලැබුවා. තිරගත කරගන්නට බැරි වුණේ ඒක කමර්ෂල් පැත්ත වැඩියි. ෆයිට් වැඩියි . නැටුම් වැඩියි. එහෙම වුණාට ප්‍රශ්නයක් නැහැ සිනමාව ගැන අත්දැකීම් ලැබුණ නිසා. හැත්තෑ හත අවුරුද්දේ විතර වගේ තමයි මට මතක හැටියට ඈත එපිට චිත්‍රපටය කළේ. නොම්මර 17 කරලා ඔයාලගේ සරසවිය සම්මානත් ගත්තනෙ. පුදුමයි ඒත් ඇත්තයි, සූරවීර චණ්ඩියෝ, ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් වගේ චිත්‍රපට නිෂ්පාදනය කළා. කාලයක් නිහඬව හිටියා. දැන් තමයි වැඩ පටන් ගත්තේ.

තිත්ත ඇත්ත දේශපාලන ප්‍රහසනයක්. සමහර තැන්වලදී කවුරුවත් කතා නොකරන මාතෘකා භාවිත කරමින් ඔබ ලාංකේය දේශපාලනය දැඩි ලෙස විවේචනය කරනවා?

ඇත්ත කියන්න මං බය නැහැ. හිරේ යන්න වුණත් ලැහැස්තියි. මේක ඇක්ෂන් කමඩි ගණයට වැටෙන චිත්‍රපටයක්. කමඩි ගොඩක් තියෙනවා. හොඳට හිනා වෙලා චිත්‍රපටය නරඹන්න පුළුවන්. පිටපතත් මමනෙ ලිව්වේ. මේකෙ ප්‍රධාන චරිතය වලිසිංහ ඇමැති. ඔහුට ඉන්නවා ගෝලයෙක්. ඌ අට පාස් නැති කෙනෙක්. මේ වගේ සැබෑ චරිත මං දැකලා තියෙනවා. කෝටි ගණන් බදු ගහමින් පොඩි මිනිහාව සූරාගෙන කන අන්දම මේකෙ මං පෙන්නලා තියෙනවා. ඕලෙවල්වත් පාස්වෙලා නැති අය දේශපාලනයට ඇවිදින් කෝටි ගණන් හම්බ කරලා ගෙදර යනවා මං දැකලා තියෙනවා. මේවා ඇත්ත. ඒ අතරෙ ඉතා හොඳ, ජනතාවට සේවය කරන ඇමතිලා, මන්ත්‍රීලත් ඉන්නවා. මං නැහැ කියන්නේ නැහැ. නමුත් බහුතරයක් දේශපාලනයට එන්නේ කුට්ටි පිටින් පගා ගහන්න. දැන් බලන්න පගා ගැහීම උපරිමයි. පොලිස් නිලධාරියෙක් සල්ලි ගත්තොත් ඒක පගාව. රාජ්‍ය සේවකයෙක් ගත්තෝ ඒක ජරාව. නමුත් දේශපාලඥයකුට කුට්ටියක් ලැබුණොත් ඒක ඩොනේෂන් එකක්. මං ඔය දෙබස එහෙම්මම තිත්ත ඇත්ත එකට දම්මා.

සිනමාපටයේ තිබෙන ඔවැනි දෙබස් නිසා චිත්‍රපටය වාරණයකට ලක්වේවි කියලා හිතුණේ නැතිද?

හිතුණා. මේ වෙලාවේ මං හිස නමා ආචාර කරනවා තිත්ත ඇත්ත සඳහා ප්‍රදර්ශන අනුමැතිය ලබා දුන් රැඟුම් පාලක මණ්ඩලයට. ඔවුන් කිසිදු වාරණයකින් තොරව මෙය ප්‍රදර්ශනයට අවසරය ලබා දුන්නා. එක ඩයලොග් එකක්වත් කැපුවේ නැහැ. එඩිට් කරපු ප්‍රවීණ් ජයරත්නලා නම් යම් යම් ඩයලොග් වගයක් කැපුවා. මං කිව්වා ඒවත් තියන්න කියලා. ඒවා තිබුණොත් අංකල් හිරේ යයි කියලා ප්‍රවීණ්ලා කිව්වා. මම නම් බය වුණේ නැහැ. ඔවුන්ගේ බලවත් ඉල්ලීමට ඩයලොග් ටික අයින් කළා.

ප්‍රහසනාත්මක සිනමාපටයක් වුණත් තිත්ත ඇත්ත සමඟින් ඔබ පණිවුඩයක් සමාජගත කරන්නට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබෙනවා?

මං සිංගප්පූරුවේ ටැක්ස් පේයර් කෙනෙක්. එංගලන්තයේ ටැක්ස් පේයර් කෙනෙක්. ඒ රටවල ටැක්ස් ගෙවන්නාට පහසුකම් දෙනවා. අපිත් බොහොම කැමැත්තෙන් සිංගප්පූරුවේ, එංගලන්තයේ ටැක්ස් ගෙවන්නේ. ලංකාවේ එහෙමද, ඉහටත් උඩින් ගෙවන බදුවලට මොනවද ලැබෙන පහසුකම්. මෙච්චර කල් කරලා තියෙන්නේ පොඩි මිනිහව සූරාගෙන කාපු එක. දැන්වත් ඡන්දදායකයින් මොළය පාවිච්චි කරන්න ඕනෑ. සිමෙන්ති කොට්ටෙට, රුපියල් දාහට ඡන්දෙ පාවා දෙන්න එපා. ඒවා සේරම දෙනව නම් ගන්න.

තිත්ත ඇත්ත සඳහා ඔබ හිටපු අමාත්‍ය මර්වින් සිල්වාවත් නළුවකු හැටියට යොදාගෙන තියෙනවා. ඇයි එහෙම කළේ?

මර්වින් අයියා අපේ පවුලේ හිතවතා. මං ඔහු කරන හැම දෙයක්ම අනුමත කරන්නේ නැහැ. මොනවා වුණත් හරිම රසකාමී පුද්ගලයෙක්. ඔහු ජනතාව අතරේ හරිම ජනප්‍රියයි. කෝට්ටේ ප්‍රදේශයේ තැනක තමයි මර්වින් අයියා හිටපු දර්ශන රූපගත කළේ. මට මතකයි එදා ආව සෙනඟ. ජනප්‍රිය නළුවො බලන්න නෙවෙයි මර්වින් අයියව බලන්නයි ජනතාව රැස් වුණේ. ඒකෙන් පේනවනේ මිනිහා ජනප්‍රියයි කියලා. ඔහුගෙන් චිත්‍රපටයට යම් ආලෝකයක් ලැබේවි කියන විශ්වාසය මට තිබුණා. ඔහුව නළුවකු හැටියට යොදා ගත්තේ ඒකයි.

 අප චිත්‍රපට ක්ෂේත්‍රයේ අර්බුදකාරී තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. ඔබ ඊට දක්වන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද?

බලන්න මිනිස්සුන්ට හරියට ෂෝ ටයිම් එකක් දෙනවද කියලා. එක එක චිත්‍රපටවලට එක එක ෂෝ ටයිම් මේ එකම හෝල් එකේ. මගේ චිත්‍රපටය පෙන්වන ෂෝ ටයිම් මටම පැටලිලා. සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද. මෙන්න මේ වගේ තැන් හැදෙන්න ඕනෑ. අපේ සිනමාව වැටිලා නෙවෙයි. වට්ටගෙන තිබෙන්නේ. බලන්න බැරි ෆිල්ම් කොච්චර නම් පසුගිය කාලයේ හැදුණද. එහෙම නෙවෙයි ආකර්ෂණයක් තිබෙන චිත්‍රපටයි ඕනෑ. තිත්ත ඇත්ත චිත්‍රපටයෙන් පසුව සමහර හෝල් වහලා ගොඩනැගිල්ල බදු දෙනවා කියලා 

ඇතැම් ශාලා හිමියන් කියනවා. අනූ එක අවුරුද්දේ මගේ ලෙක්චර් නවත්වලා ඒවාට යොදාගත් ශාලාවක දේශීය නිෂ්පාදක බල මණ්ඩලය කියලා එකක් අපි පිහිටවූවා. යසපාලිත නානායක්කාර තමයි සභාපති. ප්‍රදර්ශකයෝ මේසෙ එක පැත්තක. පාලිත අයියලයි මමයි තව පැත්තක. පාලිත අයියා කිව්වොත් කිව්වාම තමයි. හිතුවක්කාරයා. ඒ වුණත් එදා අපි ප්‍රදර්ශකයන්ගේ සහ නිර්මාණකරුවන් අතර තිබෙන ගැටලු විසඳුවා. පසුව පාලිත අයියලා වගේ පිරිස නැති වුණා. සිනමාව වැටිල වැටිලා ගියා.

ඔබ ප්‍රකට ව්‍යාපාරිකයෙක්. හැබැයි වර්තමානය වන විට සිනමාකරුවකු ලෙස ගමනක යෙදෙන බවක් පෙනෙන්නට තියෙනවා. තිත්ත ඇත්තවලින් පසුව ඔබ නිර්මාණය කළ තවත් චිත්‍රපට කිහිපයක්ම එන්න තිබෙනවා නේද?

ඔව්. ඉදිරියේදී ඒවා ගැන විස්තර දැනගන්නට පුළුවන් වේවි. වෘත්තියෙන් මම කළමනාකාරිත්ව මූල්‍ය පරිපාලන උපදේශකවරයෙක්. පශ්චාත් උපාධියත් මූල්‍ය කළමනාකරණයටයි මට තියෙන්නේ. ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රමය හඳුන්වා දුන්නෙත් මං. මං ඔය කිව්ව සියල්ලන්ගෙන්ම ඉවත් වුණා ගිය අවුරුද්දේ ජනවාරි පළමුවැනිදා ඉඳලා. දැන් පූර්ණකාලීනව සිනමාකරුවකු හැටියට ක්‍රියා කරනවා. මමම පිටපත් ලියනවා. තිත්ත ඇත්තත් මගේනෙ. .

ඔබේ පුතණුවන් ඉරාජ් හැදූ ජනප්‍රිය සින්දු තුනක් තිත්ත ඇත්ත සඳහා යොදා ගත්තේ ඇයි?

ඉරාජ්ගෙන් මං ගත්තු හිතුවක්කාරී, කාඩ රජා, විසේ කුරුට්ටා සිංදු මිලියන ගණන් ප්‍රේක්ෂකයන් නරඹපු ඒවා. ඉරාජ් ලවා සින්දුවක් හදාගන්න හරි අමාරුයි. මගේ අල්ලපු කාමරේ තමයි ඔහු ඉන්නේ. එයා හරිම බිසී. මටවත් සින්දුවක් හදාගන්න බැහැ. ඊට වඩා ලෙහෙසි වුණා ඔහු කරපු ජනප්‍රිය සින්දු චිත්‍රපටයට ගන්න එක.

ඉරාජ් ගැන මේ වෙලාවේ යමක් කතා කළොත් . . . ඔහුගේ පියාණන් හැටියට ඉරාජ් කරන දේවල්, ඉදිරිපත් කරන නිර්මාණ ඔබ අනුමත කරනවාද?

ඉරාජ් කරන දේවල්වල දෙපැත්තක් තියෙනවා. ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය කියන්නේ දෙකක්. මං ඒ ගැන ඔහුට කියලා දීලා තියෙනවා. ඉරාජ් සමාජයේ ඇති අඩු ලුහුඬුකම්වලට පහර දෙනවා. ඒක එයාගේ අයිතියනේ. හැබැයි සමහර තැන්වලදී ඉරාජ් මීට වඩා සංවර විය යුතුයි කියලා මට හිතෙන්නේ. අලුත් වීඩියෝ එකෙත් ඒ වගේ තැන් තියෙනවා. ඉරාජ් බය නැති කෙනෙක්. මං එයාට සමහර දේවල් පහදලා දෙනවා. ඉරාජ් යම් යම් දේවල් මගෙනුත් පෙරළා ප්‍රශ්න කරනවා. නිරුවත් දර්ශන කලාත්මක ඒවායේ දැම්මොත් ඒක කලාත්මක නිර්මාණයක්. වාණිජ දෙයකට යොදා ගත්තොත් ඒක කුණුහරුපයක්. කොහොමද එහෙම වෙන්නේ. මටත් ප්‍රශ්නයක්.

 

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.