අගයක් ඇතිව රඟපාන්නයි මට ඕනෑ

‘ඉස්කොලෙට මං ආවා’ සූකිරි විරාජ් මධුෂාන් කුමාර
අප්‍රේල් 25, 2019

සඳුන් දොලමුල්ල නිෂ්පාදනය කළ ප්‍රසාද් සමරතුංග අධ්‍යක්ෂණය කළ ඉස්කෝලෙට මං ආවා සිනමා සිත්තමේ ප්‍රධාන භූමිකාව නිරූපණය කරන සූකිරි කවුද කියා චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනෙක් මේ වන විටත් හඳුනනවාට කිසිම සැකයක් නෑ. රුපවාහිනී වෙළෙඳ දැන්වීම් හා ටෙලිනාට්‍ය කිහිපයක් ඔස්සේම ප්‍රේක්ෂකයන් අතරට මීට පෙර පැමිණි මේ ළමා නළුවා ආර්. ඩී. විරාජ් මධුෂාන් කුමාරය.

විරාජ් මේ දවස්වල කොහොමද සූකිරිට ලැබුණ ප්‍රතිචාර?

කියන්න සතුටුයි හොඳ ප්‍රතිචාරයක් තියනවා. ඔයාගේ අලුත් චිත්‍රපටයක් ආවා නේද කියල සමහරු අහනවා. පාරේ මඟ තොටේදි මේ සූකිරි නේද කියල සමහරු මගෙන් අහනවා. සමහරු නම් කියනවා පුතා සූකිරිට හොඳට රඟපෑවා කියලත් වැඩියෙන්ම යාළුවන්ගෙන් තමයි ප්‍රතිචාර දැනට ලැබෙන්නේ.

කොහොමද ඔබට මේ චිත්‍රපටය සඳහා දායකවෙන්න අවස්ථාව උදාවෙන්නේ?

මේ චිත්‍රපටයේ නිෂ්පාදක සඳුන් දොලමුල්ල මහත්තයා මම හොඳින් දන්නා හඳුනන කෙනෙක්. මගේ රඟපෑම් ගැනත් ඔහු පෞද්ගලිකවත් හොඳින් දන්න කෙනෙක්. එතුමා තමයි මට ආරාධනා කලේ චිත්‍රපටයක් කරන්න යනවා එහි පිටපතේ තියන මේ සූකිරි කියන ළමයාගේ චරිතය කරන්න එන්න කියලා.

ඔබ ඇත්තටම සූකිරිට රංගනයෙන් සාධාරණයක් කළා කියල හිතනවද?

ඔව්. මට කළ හැකි උපරිමයෙන් මම රංගනයෙන් සූකිරිට සාධාරණයක් කළා කියලා හිතනවා. චිත්‍රපටය නරඹනකොට මට තවත් මේ චරිතය මීට වඩා හොඳින් කරන්න තිබුණානේ කියල පසුතැවීමක් දැනුණේම නෑ.

ඉදිරියේදීත් ඔබ සිනමා නිර්මාණ වෙනුවෙන් දායක වෙන්න අදහසක් තියනවාද?

හම්බවුණොත් කරනවා. පිටපත හොඳනම් ලැබෙන චරිතය තුළ යමක් කරන්න පුළුවන්නම් එවැන්නකට දායක වෙන්න දෙවරක් හිතන් නෑ.

ඉස්කෝලෙට මං ආවා ඔබගේ පළමු සිනමා අත්දැකීම?

නෑ. මේ මගේ දෙවන චිත්‍රපටය. මම මුලින්ම රඟපෑවේ සුනෙත් මාලිංගගේ තුන්වරක් තුන චිත්‍රපටයේ. මට මතක හැටියට ඒ 2015 වසරේ. ඒත් ඒ චිත්‍රපටය තාම තිරගත වුණේ නෑ. ඉස්කෝලෙට මං ආවා මගේ දෙවන චිත්‍රපටය. ඒ චිත්‍රපටය තමයි මුල්වරට මගේ චිත්‍රපට රංගනයේ මුලින්ම තිරගතවූ චිත්‍රපටය වන්නේ. ‘රශ්’ කියලා මම රඟපාපු චිත්‍රපටයකුත් තිරගත වෙන්න තියනවා.

විරාජ් අද වෙන කොට පාසල් අධ්‍යාපනයට සමුදීලද?

දැන් මට අවුරුදු 19 ක්. කොට්ටාව ආනන්ද විද්‍යාලය, කොට්ටාව විද්‍යාදාන මහා විද්‍යාලය තුළින් මම අධ්‍යාපනය ලැබුවා. අපොස සාපෙළ දක්වා ඉගෙන ගත්තා. මට හිතුණා පාසල් අධ්‍යාපනයට සමුදෙන්න. උසස් පෙළ කරන්න ගිහින් මම අතරමග නතරවී පාසල් අධ්‍යාපනයට සමුදුන්නා. මට සාමාන්‍ය පෙළ අධ්‍යාපනය ප්‍රමාණවත් කියල හැගුණ නිසාවෙන්.

උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියල කියමනක් තියනවා. අද ඔබට උසස් අධ්‍යාපනය සඳහා යොමුනොවීම ගැන පසුතැවීමක් නැද්ද?

නැහැ මම හොටෙල් ක්ෂේත්‍රයේ පාඨමාලාවක් හදාරා ඒ ක්ෂේත්‍රයේ ඉදිරි සැලසුමක් සකස්කරගෙන ඉන්නවා. ඊට අමතරව වීඩියෝ එඩිටින් පැත්තෙන් මම හැදෑරීමක් සිදුකරල අදටත් ඒ ගැන අධ්‍යයනය කරමින් දැනුම සොයා යනවා.

ඉදිරියේදී ඔබ වෘත්තියෙන් රංගනයේ නියැළෙන්නද අපේක්ෂාව?

ඒක මගේ ප්‍රධාන වෘත්තිය කරගන්න කැමැති නෑ. ලැබෙන හැටියට පුළුවන් විධියට එවැනි නිර්මාණ සඳහා දායකවෙනවා. වීඩියෝ එඩිටින් පැත්තෙන් ඉදිරිය වෘත්තියක් හැටියට කරන්න තමයි මගේ ටාගට් එක.

මුලින්ම ටෙලි නාට්‍යයක් රඟපෑවේ ඉස්කෝලේ හතරවන ශ්‍රේණියේ ඉගෙන ගන්නකොට. ඒ මුතු පිහාටු ටෙලි නාටයයේ. ඊට පස්සේ අංගනා, ස්නේහා, සුජාතා ආදි ටෙලි නාට්‍ය දහයක් විතර මම මේ වන විට රඟපලා තියෙනවා.

 

ඔබ මේ වන විට ටෙලිනාට්‍ය හා වෙළෙඳ දැන්වීම්වල රංගනයෙන් බොහෝ ඉදිරියට ගිහින්.

මට හුඟක් ටෙලි නිර්මාණ වගේම ටී. වී. කොමර්ෂල් පවා ලැබුණේ මගේ රංගන නිර්මාණ දැකල. මුලින්ම මම ෆන්ඩේ මූවි දැන්වීමක පෙනී හිටියා. ඊට පස්සේ බිස්කට් දැන්වීමක් වූ රියල් ඩබල් දැන්වීම හරහා කවුරුත් මාව හඳුනාගත්තා. ඒ හඳුනාගැනීම හරහා තමයි මම තුන්වරක් තුන චිත්‍රපටයේ රොහාන් ගේ චරිතය ලැබුණේ. හුඟක් මාව වෙළෙඳ දැන්වීම්වලින් ජනප්‍රිය වුණේ පයිප්ප ඇඩ් එකක හෙට්ටිගේ චරිතය තුළින්. මේ වන කොට මම ටී. වී. ඇඩ් විස්සක විතර රඟපාල තියෙනවා.

විරාජ් මධුෂාන් ඔබට මේ රංගන කෙතේ අස්වැන්න වපුරාලන්නට මාර්ගය විවර වෙන්නේ කොහොමද?

මගේ අම්මා පුෂ්පානි රත්නායක තමයි මේ ගමනේ අත්වැලේ මුල් පුරුක. අම්මා මාව යොමුකළා වසන්ත ඥාණප්‍රිය ගුරුතුමන් ළඟට. මේ සර්ගේ ක්ලාස් එකට මාව ඇතුල් කළාට පස්සේ තමයි මට මේ හැකියාවන් එළිදක්වන්න ලැබුණේ. හඬ හැසිරවීම, රංගනය, වීඩියෝ කරණය, මාධ්‍ය භාවිතය, කැමරාවක් ඉදිරියේ රංගනයේ නියැළෙන හැටි ආදි නොයෙක් පැති ඔසසේ මට ගුරුහරුකම් ලැබුණේ වසන්ත සර් නිසා. අදටත් මම මේ සර්ගේ පන්තිවලට සහභාගිවෙනවා. මම අද කලා ක්ෂේත්‍රය තුළ යම් තැනක ඉන්නව නම් ඒ තැනට මාව ඔසවල තැබුවේ මගේ වසන්ත ඥානප්‍රිය සර්. එතුමන්ටත් මගේ අම්මාටත් එහි ගෞරවය හිමිවිය යුතුයි.

‘ඉස්කෝලෙට මං ආවා’ චිත්‍රපටයේ සූකිරි චරිතය ඔබට සුවිශේෂි වුණාද?

ඔය චරිතය මම රඟපානකොට මම වයස අවුරුදු 16 විතර ඇති. ඒ වෙනකොට මම කැමරාවක් ඉදිරියේ රඟපාල අත්දැකීමක් ලබල හිටිය කෙනෙක් මට කැමරාව හුරුපුරදු දෙයක්. ඒ වෙනකොට මම රඟපාල තිබුණේ විහිළු චරිත. මේ චිත්‍රපටයේ මට රඟපාන්න ලැබුණේ අහිංසක චරිතයක්. සාමාන්‍යයෙන් මම අහිංසක චරිතයක් නෙමෙයි. සාමාන්‍ය ජීවිතයේත් ඒත් මට අහිංසක චරිතයක් කරන්න ලැබුණා. එය තරමක් මට නුහුරු අත්දැකීමක් වුණ රංගනයේදී.

‘වේදිකාව‘ ඔබ තෝරාගන්නේ නැද්ද?

මම පාසලේ නවවන ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලයේ ‘සඳයි මගෙ අම්මා’ නාට්‍යයේ රඟපෑවා. ඒත් වේදිකාව තුළ රැඳී සිටීමේ ආශාවක් මට නෑ.

රංගන මාධ්‍ය තුළ ඔබ තෝරා බේරා ගැනීමක් සිද්ධ කරනවාද?

ඒ සඳහා මම වාරණයක් යොදාගෙන ඉන්නවා. වැඩිපුර දකිනවට වඩා ඉඳල හිටල දකින්න තමයි මම කැමැති. ඒ නිසා ටෙලිනාට්‍යවල මම වැඩිපුර රඟපාන්නේ නෑ. නිතර නිතර දකින කුකුලගෙ කරමල සුදුයි කියනව වගේ මමත් නිතර නිතර දකින්න ගියොත් මම හිතනවා ඒක මට අවාසියක් කියලා. මම වැඩිපුර කැමැත්තක් දක්වන්නේ කොමර්ෂල් පැත්තට.

ඔබේ අද විශේෂ කැමැත්ත මොනවගේ දේටද?

යාළුවොත් සමඟ ට්‍රැවල් කරන්න, ෆොටෝ වීඩියෝ කරන්න විශේෂ උනන්දුවක් මට තියනවා.

විරාජ්ගේ පවුලේ තොරතුරු කොහොමද?

මගේ අම්මා පුෂ්පානි රත්නායක, තාත්තා ලලිත් ලීලාරත්න, මම පවුලේ වැඩිමලා. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. අංජන හා පසන් කියලා. අංජන මල්ලි මහරගම ජනාධිපති විද්‍යාලයේ ඉගෙන ගන්නවා. මේ මල්ලි හීන හොයන සමනල්ලු චිත්‍රපටයේත් රඟපෑවා. පසන් මල්ලි නම් හොටෙල් පාඨමාලාවක් කරනවා.

රංගනයට වඩා අනාගතයේ ප්‍රමුඛත්වය දෙන්න අදහස් කරන්නේ?

වීඩියෝ එඩිට කෙනෙක් වෙන්න.

මේ දවස්වල සූකිරි ගැන ප්‍රේක්ෂකයන්ට කතාකරන්න ලිපියක් ලියන්න ඔබේ ලිපිනය වගේම දුරකථන අංකය ගැනත් පවසා සිටියොත්?

9/5, හොරහේන පාර නැගෙනහිර, හෝකන්දර.

0765445122

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.