මං එයාට වඩා ටිකක් සැරයි

තිත්ත ඇත්ත වලිසිංහ දොන් ගයි
මැයි 2, 2019

කලබලකාරී වාතාවරණය මැද දොන් ගයි ලේක්හවුසියට ඇවිත්ය. සරසවිය හින්දමයි මේ ආවේ. ගෙදරින් කිව්වා යන්නම එපා කියලා.පිළිගැනීමේ කවුන්ටරය ළඟදී ගයිව හමු වූ ගමන් කීවේය. ඔහු සරසවියට බෙහෙවින් ළෙංගතුය. ලිපියක් පළ කර ගන්නවාට වඩා එහා ගිය බැඳීමක් සරසවිය හා තිබේ.  ඒ පිළිබඳ පළමුව අපි ගයිට තුති පුදමු.

මොකද අයියෙ මේ වෙන්නේ? කලාවටත් රටේ තත්ත්වය කෙළින්ම බලපාලා නේද තියෙන්නේ?

ඔව්නෙ මල්ලි. හැම දෙයක්ම බ්‍රේක් වෙලා. එදිනෙදා මුදල් හම්බ කරන අපි වගේ අයට විශාල වශයෙන් පාඩුයි. නාට්‍ය නවත්තලා, ෂෝස් ඔක්කොම කැන්සල්.

ඔය අතරේ ඔබේ චිත්‍රපටය තිත්ත ඇත්ත තිරගත වෙනවා?

ඒකේ නිෂ්පාදක වගේම අධ්‍යක්ෂ ප්‍රීතිරාජ් මහත්මයා තමයි ඔය චරිතයට කතා කළේ. දුෂ්ට ඒ වගේම කපටි ඇමැති චරිතයක්. මට හොඳට නිරූපණය කරන්න පුළුවන් වුණා.

ඔබ දිගින් දිගටම ඇමැති චරිත කළා. මේකෙත් . . .?

මේක වෙනම ඇමැති චරිතයක්. ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දක්වන කතාවක් තමයි මේකේ තියෙන්නේ. මර්වින් ඇමැතිතුමාත් මේකේ රඟපානවනෙ. ප්‍රීතිරාජ් වීරරත්න මහත්මයා අපේ රටේ ඇතැම් ඇමැතිවරුන්ගේ ජීවිතය මෙමඟින් හුවා දක්වලා තියෙනවා. මේ මේ කියලා කෙළින් නොකීවත් ඇත්ත තමයි ඔය පෙන්වලා තියෙන්නේ.

මර්වින් සිල්වා මහත්මයාවත් කියලා නැතිද ඔබට ඇමැති චරිතය කළා ඇති කියලා?

කවදාවත් නැහැ. එතුමා ආසයි මං එහෙම රඟපානවට. මං එහෙ ගියාම කන්න බොන්න දීලා තමයි එවන්නේ. ගෙදර ගිය මුල් යුගයේ දවසක එතුමා මට ඔහුගේ වටිනා කමිසයක් පවා තෑග්ගක් විදිහට දුන්නා. ඇමැතිතුමා දිහා ටිකක් බලාගෙන හිටියම අහනවා ‘උඹ මගෙ දිහා බලන්නේ මාව අනුකරණය කරන්න තව කෑලි අල්ල ගන්නද’ කියල. එතුමාම කියලා තියෙනවා එතුමාට වඩා සැරට මං රඟපානවා කියලා.

ඔබට හිතෙන්නේ නැද්ද එකම චරිතයකට ඔබ කොටු වෙලා කියලා?

මාව වඩාත් අඳුර ගත්තේ ඇමැති චරිතයෙන්නෙ. ඊට කලින් ඔය දොන් සිමන් නාට්‍යයේ ඉඳලා චාලි චැප්ලින්ගේ චරිතයෙන් මාව දන්නවා. වැඩි ඉල්ලුම ලැබුණේ ඇමැතිතුමාට. ආනන්ද වික්‍රමගේ තමයි ඇන්ඩ් කොම්පැනි හදපු වසන්ත මොරගොඩට මාව හඳුන්වලා දීලා ඔය චරිතය මට ලබා දුන්නේ. විවිධ චරිත කළත් ඇමැති චරිතය මට සෙට් වුණා. දිගින් දිගටම මට ඇමැතිටම අඳින්න වුණා. උත්සව ෂෝ වගේ ඒවට එන්න කියන්නෙම එහෙම. පුදුම රසික ආදරයක් මට තියෙන්නේ. ඉල්ලුම වැඩි නිසා රසිකයන් වෙනුවෙන් මං ඇමැතිට අඳිනවා.

තිත්ත ඇත්ත රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකිම් ගැනයි මං ඊළඟට අහන්නේ?

ෂූටිං බලන්න ආව කාන්තාවක් මට හමුවෙලා විස්තර, ඉන්න තැන ඇහැව්වා. මං ඒවා කිව්වේ ඇය නිකමට අහන්න ඇති කියලා හිතලයි. මෙන්න දවසක එයා එනවා තෑගි බෝග එහෙම අරගෙන අපේ ගෙදර. මං ඇමැතිතුමා කියලා හිතලා රැවටිලා. පස්සේ ඒක මං තේරුම් කරලා දුන්නා.

එහෙම ඔබට අනන්තවත් මිනිස්සු රැවටෙන්න ඇති?

හයිවේ එකේ මඟ නවත්වලා කෑම කන්න තියෙන තැනකදි දවසක් මුළු පවුලක් මම ළඟට ඇවිත් සර් සර් කිය කිය කතාව. මට තේරුණා රටපටලවාගෙන කියලා. ඔවුන්ටත් පැහැදිලි කර දුන්නා මං එයා නෙවෙයි කියලා. මගේ මිතුරෝ ලණු දීලා මිනිස්සුන්ව එවනවා අපේ ගෙදරට. ළමයින්ව ඉස්කොලේ දමා ගන්න, ගමේ ප්‍රශ්න විසඳගන්න කොච්චර නම් එනවද. මං දන්නවා ඕව අහවලා දුන්නු ලණු කියලා. ඒ මිනිස්සුන්ව සුහදව හරවලා යවනවා. මගේ දිහා බල බල ගිහිල්ලා වාහනයකුත් හැප්පුණා. මං දන්නවා ඒ ආදරය මට ලැබෙන්නේ ඇමැති චරිතය නිසා කියලා.

චාලි චැප්ලින්ගේ චරිතය දැන් කරන්නේ නැද්ද?

ආරාධනා ලැබුණොත් කරනවා. නවත්වලා නැහැ. චාලි චැප්ලින් කියද්දි මතක් වුණේ එතුමාගේ දියණිය ලංකාවට ආවනේ මදර් තෙරේසා ෆිල්ම් එක කරන්න. රවීන්ද්‍ර රන්දෙණියගේ මාර්ගයෙන් මට ඇය මුණ ගැසුණා. එතුමියගේ ඉදිරියේ මට චාලි චැප්ලින්ගේ චරිතය රඟපාන්න අවස්ථාව උදා වුණා. මං දැක්කා ඇගේ නෙතට කඳුළක් උණනවා.

ඔබ වෘත්තියෙන් කලාකරුවෙක්ද?

මං පොඩි බිස්නස් එකක් කරනවා. කරන ගමන් තමයි රඟපාන්නේ. මගේ තාත්තා කිව්වා පුතේ උඹ කලාව කරනවා නම් තවත් ආදායම් මාර්ගයක් තියාන කරපං කියලා. තාත්තා තමයි මාව නළුවකු කළේ. ඉපදිලා අවුරුදු පහක් යනකම් මම කතා කරලා නැහැ. අභිරූපණයෙන් තමයි අදහස් ප්‍රකාශ කළේ. එහෙම මං චිත්‍රපට කෑලි රඟපාලා පෙන්වනවා. තාත්තා හිතුවලු මාව කලාවෙන් ඉදිරියට යවන්න. කලාව කරන්න පටන් ගත්තු වෙලාවෙ ඉඳලා තමයි මං ටික ටික කතා කරන්නට පටන් අරන් තියෙන්නේ. එහෙම කලාවට ගියාට තාත්තගේ උපදෙස් පිට මං ව්‍යාපාර පැත්තටත් යොමු වුණා.

මේ ගෙවෙන්නේ ඔබේ හොඳම කාලේ?

ඔව් මල්ලි. ඉස්සර කෑම පාර්සලයට පවා මං රඟපෑවා. ඒවත් එක්කම ඉස්සර නළුවන්ට සිගරට් පැකට් එකක් දෙනවනෙ. මගේ යාළුවෙක් කිව්වා නිකම් දෙන සිගරට් පැකට් එකනෙ. ඕකවත් ගනිං කියල. එහෙම අරගෙන සිගරට් බොන්න පුරුදු වුණා. දැන් නම් ඒ පුරුද්ද නැහැ. ඕවට තමයි ඉස්සර රඟපෑවේ. දැන් එහෙම නැහැ. දෙයියන්ගෙ පිහිටෙන් හොඳ නිර්මාණ කරලා රසිකයින් පිනවනවා. දොන් ගයි කතාව එලෙසින් අවසන් කළේය. පරිස්සමින් යන්නැයි කියා ලේක්හවුසියේ පිටවීමේ දොරකඩ ළඟට අපි ඔහු ඇරලුවෙමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.