කවුද හිතුවේ දෙයියනේ මෙහෙම දෙයක් වේවි කියලා

මං බේරුණා කියලා සතුටු වෙන්න පුළුවන්ද?
මැයි 2, 2019

ක්ලීටස් මෙන්ඩිස්

 

බත් මමත් හිඳිනා මේ ලොව තුළ
කඳුළ සුසුම කුමකටදෝ
ඔබත් මම අප දෙදෙනෙකු ලෙස නොව
එකකු ලෙසින් සිතමු
හෙටින් උදාවන ලෝකය සැමටම
සුවදායක කරමු . . .

ජගත් අයියාගේ (ජගත් වික්‍රමසිංහ) ගීතයක් මා සවනට වැටෙයි. කම්පනයට පත් වූ සිතට එය අස්වැසිල්ලකි.

මීගමුවේ කොහෙටද මහත්තයෝ යන්න ඕන . . .

රථයේ රියදුරු මගෙන් විමසයි.

කටුවපිටියට . . .

මගේ පිළිතුරෙන් ඩ්‍රැයිවර් මල්ලි තිගැස්සෙයි.

කටුවපිටියට?

මා කී වචනය විස්මයෙන් යළි මට කියයි.

අර බ්ලාස්ට් එකක් සිද්ධ වුණු තැනනෙ . . . බලන්නකො ජීවිත කියක් නම් විනාශ වුණාද කියලා.

ඔහු වික්ෂෝප වෙයි.

එතකොට මහත්තයලා කටුවපිටියට යන්නේ . . .

සුහද වූ රියදුරු මල්ලිගෙන් ප්‍රශ්න වැලකි.

ක්ලීටස් මෙන්ඩිස්ව හම්බු වෙන්න අර සටන් නළුවා . . .

දන්නවා එයාව නම්.

ක්ලීටස් අයියාව බෝම්බයට අහුවෙලා කියලා රාවයක් ගියානෙ. කටුවපිටියනෙ ඉන්නෙ. අනික එයා කතෝලික. ඒ හින්දා ගොඩක් දෙනෙක් හිතන්නට ඇති ක්ලීටස් අයියටත් මොනවා හරි වෙලා කියලා.

වගකීමක් නැති රියදුරන්ට වචනෙන් දෙකෙන් තමාටම ඇහෙන්නට බැන වදිමින් රියදුරු මල්ලි වාහනය පදවයි. නිහඬතාවය මැද ජංගම දුරකතනයෙන් මා අන්තර් ජාලයේ සැරිසරන්නට පටන් ගත්තෙමි.

මගේ ගම එකම මළ ගෙයකි.

මිගමුවේ යෙහෙළියක් මුහුණු පොතට එකී වදන එක් කොට ඇත. ගම පමණක් නොව මුළු රටම ඉකුත් දා එකම මළගෙයක් බවට පත් විය. එදා පාස්කුවදාය. සමහරු පල්ලියට ගියේ තමන්ගේ හොඳම ඇඳුම ඇඳගෙන පවුලේ සියලු දෙනා පිරිවරා ගනිමිනි. හැමදාම එකට යදින තැනදීම අවසන් ගමන් යාමට සිදු වන බව කිසිවෙකුත් හිතුවේ නැත. එහෙත් සියල්ල අවසන් වී ඇත. අප මේ සොයා යන ක්ලීටස් මෙන්ඩිස් වාසය කරන්නේ කටුවපිටිය පල්ලියට ඉතා සමීපවය. කෙටියෙන් කිව්වොත් ඔහු අයත් වන, නිතර දෙවේලේ පා තබන දේවස්ථානය කටුවපිටියයි. නමුත් එදින ක්ලීටස් උදෑසන පූජාවට සහභාගී වූයේ නැත. එතැන් පටන් විස්තරය ඔහුගෙන්ම අසා දැන ගත යුතුය. ක්‍රමයෙන් අප මීගමුව කටුවාපිටියම කිට්ටුවට ළඟා වුණෙමු. මොකක්දෝ මූසල ගතියකින් මුළු ගමම වෙළාගෙන තිබේ. වෙනදා පුදුමාකාර සැහැල්ලුවකින් අප අමතන ක්ලීටස් අයියා වචන ගිලෙමින් කතා කරයි. ගමේ වෙසෙන කීර්තිමත් සහ විශ්වාසනීයම පුද්ගලයකු නිසා ක්ලීටස්ට ඉකුත් දිනවලදී නිවාඩුවක් තිබුණේම නැත. තම ගමේ හිතවතුන්ගේ වියෝව දරා ගනිමින් හැකි පරිදි ගම වෙනුවෙන් ඔහු යුහුසුළුව ක්‍රියාත්මක වෙමින් සිටියේය. ක්ලීටස්ව තවත් වෙහෙස කළ යුතු නැතැයි මට සිතිණ. ඔහුටම කතාබහ ආරම්භ කරන්නට ඉඩ දී මොහොතක් මම කල් මැරුවෙමි.

වෙච්ච දේවල් තවමත් මායාවක් වගේ . . .

ඒ ප්‍රතාපවත් හඬ වෙව්ලයි.

මේක අපේ ගමේ පල්ලිය. තුන් දහසක් විතර කතෝලික අපේ අය යන්නේ එන්නේ මේකට. එදා පාස්කුව නිසා හැමෝටම විශේෂයි. කොච්චර සතුටින්ද අපි එදාට පල්ලි යන්නේ. ඒත් . . . බලන්නකො

ක්ලීටස් ක්‍රමයෙන් කතාව නවත්වයි. දෙනෙතෙහි කඳුළක් මතුව එනු පෙනෙයි. එය ඔහු පිසදාලයි.

සෙනසුරාදාත් පූජාව තියෙනවනෙ. ඒකටත් ගොඩක් අය එනවා. සාමාන්‍යයෙන් රෑ එකොළහ මාරට තමයි මෙච්චර කල් පූජාව තිබුණේ. ඒත් මේ පාර රෑ හතට පූජාව තිබුණා. මම සහභාගි වුණේ ඒකට. බැරි වෙලාවත් රෑ එකොළහට තිබුණා නම් මං ඒකට සහභාගී වෙන එකක් නැහැ. උදේට තමයි එහෙම නම් යන්නේ. එහෙම වුණා නම් මමත් ඉවරයි. මට මතකයි රෑ හතේ පූජාවට උතුරන්න සෙනඟ. මම සාමාන්‍යයෙන් පල්ලියේ එළියේ ඉඳන් පූජාව අහන්නේ නැහැ. ඇතුළට ගිහින් වාඩි වෙලා තමයි ආගමික වතාවත් කරන්නේ. ඒත් මේ පාර මං එළියට වෙලා හිටියේ. එච්චරට සෙනඟ. ඒ වෙලාවේ අර වගේ දෙයක් පත්තු වුණා නම් මීට වඩා ලොකු විනාශයක් වෙන්න තිබුණා.

ඒ බියකරු උදෑසන ඔබ ගෙදරට වෙලා විවේකීව ඉන්න ඇති?

පාස්කු දවසනෙ. බොහෝ කතෝලිකයන්ගේ ගෙවල්වල විශේෂ දේවල් එදාට හදනවා. ගමේ හැමෝම පාස්කු දවසට එහෙමයි. හරි ආසාවෙන් එදාට මිනිස්සු පල්ලි යන්නේ. කොච්චර නම් බලාපොරොත්තු හිතේ තියාගෙන ඉන්න ඇද්ද . . . හප්පා . . . මතක් වෙද්දිත් හිත වාවන්නේ නැහැ. මං ඉරිදා උදේ තේ එකක් බිබී හිටියේ. මට ඇහුණා මහා පිපිරුමක්. මං හිතුවේ ගෙදර ගෑස් එක පිපිරුවා කියලා. වයිෆ්ට කෑ ගැහැව්වා. එයා දුවගෙන මං ළඟට ආවේ කලබල වෙලා. ලොකු සද්දයක් ආවානේද කියලා ඇහැව්වාම මෝනා කිව්වේ සුරුවම ගම වටේ ගෙනියනවනෙ . . . ඒකට රතිඤ්ඤා ගහනවා වෙන්න ඇති කියලා. මම පොඩ්ඩක් විමසිලිමත් වුණාම මිනිස්සු කෑමොර දීගෙන දුවනවා. කලිසමකුයි ෂර්ට් එකකුයි දාගෙන . . . මං දන්නෑ කොහොම ඇඳ ගත්තද කියලා, වාහනයට නැගලා ඒකත් ස්ටාර්ට් කරගෙන පාරට ආවා . . . මොන . . . යනවා තියා හිතන්නවත් බෑ. හිස්ලූලූ අත මිනිස්සු දුවනවා. වාහනය එහෙම්මම ළඟ වත්තකට දාලා පල්ලියට දිව්වා. එතන එකම මළගෙයක්. සමහරුන්ගේ අත පය නෑ. ශරීර කොටස් හැම තැනම. මම කම්පනයට පත් වුණා. ටික වේලවක් බංකුවක වාඩි වෙලා හිටියා. එතැන ඉඳලා මේ වෙනකම්ම පුළුවන් විදිහට හැම උදව්වක්ම ගමේ අය වෙනුවෙන් කළා. මේ දැනුත් එහෙමයි.

ඔබ මීට ප්‍රථම ඔවැනිම අත්දකීමකට මුහුණ පෑව නේද?

මැඩම් ගාව (චන්ද්‍රිකා බණ්ඩාරනායක) හිටියනෙ. එයාව බෝම්බෙට අහුවෙද්දි මං හිටියේ පිටිපස්සේ. ඒවා මොන බෝම්බද මේක දැක්කම. මේ වෙලාවේ මිනිස්සු හිටියේ වන්දනා කරකරනෙ. ඒ වගේ පිරිසක් මරන්න තරම් කොච්චර දරුණුද ත්‍රස්තවාදියෝ . . . දෙවියන් යැද යැදනෙ මිනිස්සු හිටියේ. කවුද හිතන්නේ දෙයියනේ මේ වගේ වින්නැහියක් වේවි කියලා.

ක්ලීටස්ගේ වචනවල හැඟීම් මුහුණෙන් දිස් වෙයි. මේ අතරේ තවත් කරුණක් ඇසීමට සිත් දෙයි. ඒ ඔහු ගැන පැතිර ගිය කටකතාව ගැනය.

බලන්නකෝ ඒ අස්සේ වෙච්ච දේ. කවුදෝ පාපතරයෙක් මම මැරුණා කියලා කතාවක් පතුරවලා. ෆේස් බුක් එකෙත් මගේ පින්තුරයකුත් එක්ක පළ කරලනෙ. එවලෙ ඉඳලා මට කෝල් එනවා එනවා ඉවරයක් නැහැ. බැරිම තැන මං ෆෝන් එක ඕෆ් කළා. යාළුවෙක් කිව්වා ඕක ඕෆ් කළොත් ලෙඩක් වෙනවා, මැරුණා කියලා ඇත්තටම හිතයිනෙ කියලා ෆෝන් එකත් ඕෆ් නිසා . . . ඔන්න ඕක ඔන් කරගෙන එන හැම කෝල් එකක්ම ආන්ස්වර් කරන්න කිව්වා. ෆෝන් එක ඔන් කළා විතරයි ආව කෝල් තොගේ . . . හැමෝටම වචනෙන් දෙකෙන් උත්තර දුන්නා.

ගමේ වර්තමාන තත්ත්වෙ කොහොමද කියා අසන්න සිතිණ. මගේ ඊළඟ පැනය එය වන වග ක්ලීටස් ඉවෙන් මෙන් දැන ගත්තේය.

ගමේ පවුල් ගණනාවක එක්කෙනෙක් හෝ නැති වෙලා. සමහර අයගේ පවුල් පිටින්ම නැහැ. මගේ හිතවත් අයත් කිහිප දෙනෙකුම නැති වෙලා. මම විතරක් බේරුණා කියලා සතුටු වෙන්න පුළුවන්ද . . .

ක්ලීටස් කතාව මඳකට නවත්වයි. දිගු හුස්මකින් පසුව යළිත් ආරම්භයක් සොයයි.

ඉස්පිරිතාලවල ඉන්න අය කියනවා මැරුණා නම් හොඳයි කියලා මෙහෙම මැරි මැරී ජීවත් වෙලා යන්නේ නැතුව. මේ ව්‍යසනය නිසා අසරණ වුණු ළමයින්ට නිසියාකාර වැඩ පිළිවෙළක් සකස් කරමින් තමයි අපි ඉන්නේ. අපේ පල්ලියේ සමිතියත් එක්ක හවුල් වෙලා ඒ කාර්යය කරනවා. කාංචනා මෙන්ඩිස් ළමයින් පස් දෙනෙකුගෙම ඉදිරි වැඩ කටයුතුවල වගකීම බර ගන්නවා කිව්වා. තව මගේ යාළුවෝ . . . රට ඉන්න කිහිප දෙනෙක් මේ ළමයින්ට උපකාර කරන්න පොරොන්දු වුණා. පල්ලිය හදන්න ආධාර ලැබේවි. කොහොමත් සතියක් හමාරක් යද්දි මේවා මිනිස්සුන්ට අමතකයි. එහෙම කරන්න එපා. මේක ජාතික ප්‍රශ්නයක්. බොහෝ දෙනෙකු අද තැති ගැනීමකින් ඉන්නේ කොයි වෙලාවේ බෝම්බයක් පත්තු වේවිද කියලා. ඒක වෙන්න හොඳ නැහැ. වගකිව යුතු අය මැදිහත් වෙලා එකී තත්ත්වය දුරලන්න ඕන.

ඔබේ රූපගත කිරීම් . . .?

ඔක්කොම කල් දැම්මා. මම රඟපපා හිටපු නිර්මාණවල අධ්‍යක්ෂවරු සහාය අධ්‍යක්ෂවරු අහන්නෙවත් දින ඉල්ලන්නෙවත් නැහැ. පුළුවන් දවසට එන්න කියන්නේ. මේ මානසික මට්ටමත් එක්ක කොහොමද මං රඟපාන්නේ. එහෙම කියලා මිනිස්සු අමාරුවේ දාන්නත් බැහැනෙ. මේ පරිසරය මඳක් හෝ යහපත් තත්ත්වයකට පත් වේවා කියලා පතනවා. ඒක තමයි එකම පැතුම.

ක්ලීටස්ගේ නොව අප සැමගේම පැතුම වන්නේ ද එයයි. සියල්ල යහපත් තත්ත්වයට පත්වේවා.