රන් බැඳි මිනිස්සු කාසි නැතුවා සතුට ඇතුවා

ගාමිණී සෝමරත්න
මැයි 16, 2019

ඒකාකාරී මෙගා රැල්ලෙන් මිදුණ ටෙලි සිතුවම් කිහිපයක් මේ දිනවලදී විකාශය වෙනු දක්නට ලැබිණ. ටෙලි නාට්‍ය සඳහා ගෙවන මුදල අවම වන වටාපිටාවක ඇතැම් අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන් හරවත් නිර්මාණ තනන්නට වෙහෙසෙන්නේ සිය නිර්මාණශීලිත්වය රැක ගැනීමේ අරමුණෙනි. එවැනි නිර්මාණකරුවන්ගේ තවත් එක් වෑයමක් ලෙසට රන්බැඳි මිනිස්සු ටෙලි සිතුවම හඳුන්වා දිය හැකිය.

ලක්ෂ්මන් පුෂ්පකුමාර අධ්‍යක්ෂවරයා නිර්මාණය කළ එය ගාමිණී සෝමරත්නගේ නිෂ්පාදනයකි. අති දැවැන්ත පිරිවැයක් යට කරමින් තැනූ රන්බැඳි මිනිස්සු සම්මානනීය රූපවාහිනී රචකයකු වන සෝමවීර සේනානායකයන්ගේ අවසන් ටෙලි කතා රචනයයි. මෙහි නිෂ්පාදක ගාමිණී සෝමරත්න නළුවකු වශයෙන් ද ප්‍රකටය. එමෙන්ම දිගු කාලයක් නිෂ්පාදකවරයකු හැටියට ද අත්දැකීම් ඇති අයෙකි. මෙහි සටහන් වන්නේ ඔහුගේ අදහස්ය.

ගාමිණී, ඔබ නිෂ්පාදනය කළ ටෙලි සිතුවම් පිළිබඳව කතා කළොත්?

ඉස්සෙල්ලාම මම කළේ සිනාසෙන්න මට ටෙලි නාට්‍යය. හිරු තනි වෙලා, බිනරමලී, එරන් ලන්දු, එකගෙයි මිනිස්සු වගේ නාට්‍ය නිෂ්පාදනය කළා. ඊට පස්සේ තමයි රන්බැඳි මිනිස්සු හැදුවේ.

මේ කතාව ඇසුරෙන් මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් චිත්‍රපටයක් තැනීමට සූදානම් වූවා නේද?

සෝමවීර මහත්මයා ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. අපේ රටේ බිහි වූ විශිෂ්ටතම තිර කතා රචකයෙක් හැටියට ඔහුව හඳුන්වලා දෙන්න පුළුවන්. මම නිෂ්පාදනය කළ ඔහුගේ පළමු ටෙලි කතාව එකගෙයි මිනිස්සු. ඊට පසුවත් සෝමවීරයන්ගේ කතාවක් තමයි මට කරන්න ඕනෑ වුණේ. මං ඒ ගැන කිව්වාම එතුමා කිව්වා ලෙස්ටර් මහත්තයට දෙන්න හදපු කතාවක් තියෙනවා කියලා. ලෙස්ටර් මහත්තයා ඊළඟට කරන්න ඉඳලා තියෙන්නේ ඒ චිත්‍රපටය. නමුත් අසනීප නිසා කරන්න බැරි වෙලා. ඒ කතාවම තමයි සෝමවීරයන් මට දුන්නේ.

මේ කාලේ හයිබජට් ටෙලි නාට්‍ය නිර්මාණය වෙනවා අඩුයි?

ඔව්. ඉතා අඩු මුදලට ටෙලි නාට්‍ය කරන යුගයක්නෙ මේක. දවසට එපිසෝඩ් දෙකක්වත් ෂූට් කරනවා. රන්බැඳි මිනිස්සු නාට්‍යයේ අපි දවසට සීන් එක ෂූට් කරපු වෙලාවල් තියෙනවා. ඒතරම්ම මහන්සි වුණා. කලා අධ්‍යක්ෂණය එහෙම හරියටම තියෙන්න ඕනෑ. දර්ශනයකට හතළිස් ගණන්වල දුවපු බස් එකක් වුවමනා වුණා. ඒකත් කොහොම හරි හොයා ගත්තා. බොරු කරන්න බැහැනෙ. එක්තරා චැනල් එකක් විශ්වාස කරගෙන නාට්‍යය කළා. නමුත් මට එයට දීගන්න ලැබුණේ නැහැ. පස්සේ තමයි ස්වර්ණවාහිනියට දුන්නේ. ඒකත් වියදම් වුණාට වැඩිය අඩු මුදලකට. සෝමවීර මහත්තයාගේ පිටපතට අනුව තිතටම ෂූට් කරන්න ඕන. ඒකට අදාළ පිරිවැය යනවා. හිතේ තෘප්තිය විතරයි ඉතුරු වුණේ.

හිතේ තෘප්තිය කියලා කිව්වේ?

නිර්මාණයට ලැබෙන ප්‍රතිචාර එක්ක නිෂ්පාදකවරයා හැටියට හරිම සතුටුයි. අර්ථවත් නාට්‍යයක් කළා කියන හැඟීම තියෙනවා.

සෝමවීර සේනානායකයන් තමන් ලියූ දර්ශන එම ආකාරයෙන්ම රූප ගත කළාද කියලා වැඩි අවධානයක් යොමු කරනවා?

ඒක එතුමාගේ හොඳ ගුණයක්. තමන් චිත්ත රූපයෙන් ලියූ දේවල් ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි. අනවශ්‍ය කිසි දෙයක් තියෙන්න බැහැ. තිබුණොත් විවේචනය කරනවා. එහෙම ඇතැම් කොටස්වල තිබූ දේවල් ඔහුගේ බලපෑම මත ඉවත් කරනු ලැබුවා.

රන්බැඳි මිනිස්සු සඳහා සම්මානයන් ලැබෙයිද?

නිෂ්පාදකවරයා හැටියට මගේ බලාපොරොත්තුව සම්මාන නෙවෙයි. අපි සල්ලි දාන්නේ ලාභයක් බලාපොරොත්තුවෙන්. නිර්මාණයට දායක වන අයට නම් සම්මාන ලැබුණාට කමක් නැහැ. මං කලින් කිව්ව අදහස් වැරැදියට ගන්න එපා. නිර්මාණයක නිර්මාණශීලිත්වය තිබිය යුතුයි. ඒකනෙ රන්බැඳි මිනිස්සු වගේ නාට්‍යයක් හැදුවේ. නමුත් ලාභයකුත් ඕනනෙ.

රංගන ශිල්පියකු විදිහට කොහොමද ඔබේ වැඩ කටයුතු?

සුපුරුදු විදිහට කරගෙන යනවා. මේ වන විට නාට්‍ය හැත්තෑ පහකට වැඩිය මං රඟපාලා තියෙනවා. මගේ රන්බැඳි මිනිස්සු නාට්‍යයෙත් මං චරිතයක් කළානෙ කරත්තකාරයෙක් හැටියට.

මගේ නිෂ්පාදනවල මම රඟපාන්න ඕන කියලා නියමයක් නැහැ. ඇතැම් අධ්‍යක්ෂවරු මට චරිත දුන්නෙත් නැහැනෙ පිටපතේ මට ගැළපෙන චරිතයක් නැති නිසා. මේකෙත් කරත්තකාරයෙක් හැටියට රඟපෑවේ එදා ඒ චරිතයට හිටපු නළුවා ආවේ නැති නිසා.

ටෙලි නාට්‍ය විකාශය කර ගැනීමේදී මොන වගේ ගැටලුවලටද ඔබ මුහුණ දීලා තියෙන්නේ?

ටෙලි නාට්‍ය මං කරපුවායින් ඔක්කොම ලාභ ලැබුවා. රන්බැඳි මිනිස්සු එකෙන් විතරයි පාඩුව වුණේ. එකත් වුණේ දේශපාලන තත්ත්වයක් මත. නාට්‍යය චැනල් එකකින් ගන්නවා කියලා ගත්තෙත් නැත්තේ ඒකයි. නාට්‍යයේ රඟපාන ඇතැම් නළු නිළියෝ දේශපාලනය කරලා තියෙනවා. මට ඔවුන්ගේ දේශපාලනය වැඩක් නැහැ. නළුවා හෝ නිළියනෙ මට වටින්නේ. අනික් බලධාරීන් ඔය ඇසෙන් නෙවෙයි බලන්නේ. දේශපාලනය ගාවගෙන නාට්‍ය ගන්නේ නැහැ. එතකොට නිෂ්පාදකවරු හැටියට අපිටයි පාඩුව. ඒවා ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. කලාකරුවන්ගෙනුත් අද මං ඉල්ලනවා දේශපාලනය කරන්න එපා කියලා.

මොනවද ඔබේ ඉදිරි නිර්මාණ?

සූරිය කැකුළු සහ ඉසබෙලා වලව්ව කියලා නාට්‍ය දෙකක් කළා. ඒවා එන්න තියෙනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.