පැලැස්තර එපා බයිලා එපා බර උසුලන්නේ අපි

ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති - සරසවිය සම්මානනීය නිෂ්පාදක බුද්ධි කීර්තිසේන
මැයි 16, 2019

'මම මේ කියව කියව ඉන්නේත් සිනමා කර්මාන්තයේ තිබෙන ගැටලුවලට හදපු කැබිනට් පේපර් එක. ඒක හදලා තියෙන්නෙත් හොර රහසේ. ඇත්තෙන්ම මේ ප්‍රශ්නවලට මේ අවස්ථාවේ ඉදිරිපත් විය යුත්තේ කැබිනට් පේපර් එකක් නෙවෙයි. එහෙම දෙයක් මේ වෙලාවේ ක්‍රියාත්මක කිරීම බොහොම අපහසුයි. මොකද කැබිනට් පේපර් එකක් කියන්නේ ස්ථිර රාජ්‍ය කර්තව්‍යයක් නෙවෙයි. මේ පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබුණට පස්සේ ඒක පාර්ලිමේන්තුවෙනුත් අනුමත වෙන්න ඕනා. ඒක ලේසි වෙන්නේ නැහැ. සිනමාව ගැන උසාවියේ නඩු ගණනාවක් තිබෙනවා. ඒකට තවත් එකක් එකතු වෙන එක විතරයි මේකෙන් වෙන්නේ. ඒ නිසා පවතින චිත්‍රපට සංස්ථා පනතේ පරණ රෙගුලාසි අයින් කරලා අලුත් රෙගුලාසි ඇතුළත් කරලා ඒවා පාර්ලිමේන්තුවෙන් අනුමත කරගත්තා නම් හරි. හරි කියන්නේ අපි එහෙම හරි කියලා විශ්වාස කරනවා. මොකද අපි නීති විශාරදයෝ නෙවෙයිනේ. කොහොමත් උඩින් පැලැස්තර අලවලා උඩින් කෑලි එකතු කළාට වැඩක් නැහැ. චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රමය පෞද්ගලීකරණය කළාට පස්සේ අපේ චිත්‍රපට සංස්ථාව විශාල ගැටලු රැසකට මුහුණ දුන්නා. ඊට කලින් සුළු සුළු ගැටලු තිබුණා ප්‍රදර්ශන මණ්ඩලවල එහෙම. ඒත් ප්‍රශ්නය සංකීර්ණ වුණේ ඊට පස්සේ.

සිනමාව කියන්නේ ලොකු වස්තුවක්. ඒත් ඒක එක එක්කෙනා මැදිහත් වෙලා ටෙන්ඩර් කැඳවීමක්වත් නැතුව පෞද්ගලික අංශයට පැවරුවේ ශත පහක්වත් අය නොකරයි. එහෙම සිරිතක් නැහැ. සාමාන්‍යයෙන් එහෙම පවරද්දි වන්දියක්, ගෙවීමක් ලබාගන්න ඕනා.සියයට දහයක් ප්‍රදර්ශකයාට නිකම්ම අයිති වෙනවානේ. අපි හිතමු දැන් පෙන්වන චිත්‍රපටයක් කෝටි තුනක ආදායමක් ලැබුවා කියලා. ලක්ෂ තිහක් නිකම්ම මණ්ඩලයටනේ. ලංකාවේ හැම චිත්‍රපටයකින්ම වගේ මිලියන තුන් හාරසීයක් එකතු වෙනවානේ. ඒත් කරන දේකුත් නැහැනේ. ඇයි ඒ මුදල යන්නේ. අපි කියන්නේ බෙදා හැරීම පෞද්ගලික අංශයට ඕනා නම් ඒකට යම් කිසි වන්දියක් සිනමා කර්මාන්තය හා ව්‍යාපාරය ගැන සලකලා ඒවා අය කරන්න. ඕවා මේ වරද්දලා දුන්නට සමහර මිනිස්සු කිඹුල් කඳුළු හලනවා මේක පෞද්ගලික අංශයට දුන්නා කියමින් සමහරු ජනාධිපති කාර්යාලවලට වෙලා ගහපු ගැට අපි දන්නවා.

චිත්‍රපට කර්මාන්තය දැනට තිබෙන්නේ හරිම අභාග්‍ය සම්පන්න තත්ත්වයක. හේතුව අද රටේ තත්ත්වය. ඒක එල්ටීටීඊ එකේ තත්ත්වයට වඩා වෙනස්. කොටිත්‍රස්තවාදීන් නම් වැඩිපුර ආවේ උතුරෙන්. ඒ බව අපට පෙනුණා. පාලනය වන්නේ කොහෙන්ද කියලත් දැනගන්න ලැබුණා. ඒත් අද ප්‍රශ්නය රටපුරාම තිබෙන එකක් බවට පත්වෙලා. හැබැයි එහෙම කියලා රට අකර්මන්‍ය වෙන්න දෙන්න බැනේ. ඒ නිසා සිනමා කර්මාන්තයත් යනවා. ඒත් ඉතාම බරපතළ තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. සිනමා කර්මාන්තයේ පරණ තිබුණු ප්‍රශ්නත් එක්ක මේ අලුත් ත්‍රස්තවාදී ප්‍රශ්නය නිසා කර්මාන්තය විනාශ වෙන තත්ත්වයකට මුහුණ දීලා.

හැබැයි ඇවෙන්ජර්ස් චිත්‍රපටය සෙනඟ බැලුවේ පොර කකා? ලක්ෂ ගාණක ආදායමක්?

හරිනම් ඇවෙන්ජර්ස් එකට මේ වගේ තුන් ගුණයක් ආදායම එන්න ඕනා. අනෙක ඔය ආදායම ලබලා තියෙන්නේ කොළඹ සිනමා ශාලා කීපයක විතරනේ. හැම ශාලාවකමත් නෙවෙයිනේ. මම කියන්නේ සිංහල සිනමාව විනාශ වෙලා නෙවෙයි. කඩා වැටිලා. අද සිනේ සිටි එකේ සෙනඟ නැහැ. ඒත් ප්‍රහාරයෙන් පස්සේ 27, 28 සෙනසුරාදා ඉරිදා දිනවල සෙනඟ ආවත් ඉන්පසු මීගමුවේ ඇති වුණු ප්‍රශ්නය නිසා ශාලා හිස් වුණා. ආදායම එක විදිහට නැහැ. දෙමළ චිත්‍රපටවලටත් ආදායම නැහැ. වෙනදා දාහක් එනවා නම් මේ දවස්වල සීයක්වත් නැහැ. ඒක නිසා වියදම් කපාගන්නවත් බැනේ.

ඉතින් සිංහල චිත්‍රපටවලට ඒ සියයවත් නැනේ?

ඒක වෙනම කතාවක්. අද දවසේ පවතින තත්ත්වයයි මම ඉස්සල්ලා කිව්වේ.

මොකක්ද ඒ වෙනම කතාව?

අද පෙන්වන සිංහල චිත්‍රපටවලින් ආදායම් වාර්තා පිහිටුවන්න පුළුවන් චිත්‍රපට කීයක් තියෙනවාද? මම කියන්නේ මේ ප්‍රහාරයට කලින් වුණත්. චිත්‍රපට 10ක් පෙන්නුවොත් එකක් සාර්ථක වෙයි. එහෙම මේ කර්මාන්තය පවත්වන්න බැහැ. ඉතින් අපි යෝජනා කරන්නේ මේ බයිලා චිත්‍රපට පෙන්නලා වැඩක් නැ. හොඳ චිත්‍රපට, ප්‍රේක්ෂකයන් ශාලාවට ගෙන්වන්න පුළුවන් චිත්‍රපට හදන්න.

ඔබේ නිර්වචනයට අනුව බයිලා චිත්‍රපට මොනවාද?

දැන් රිට්ස් එකේ දිගටම පෙන්වන්නේ බයිලා. බයිලත් නෙවෙයි බයිලා කියන්නේ හොඳ දෙයක්නේ. මේවා අපබ්‍රංස. ටෙලි නාට්‍ය ක්‍රමයට හදන චිත්‍රපට චිත්‍රපට නෙවෙයි ටෙලි නාට්‍යම තමයි. ඒ වගේම චිත්‍රපටයක් කියන්නේ ටෙලි නාට්‍යයක් නෙවෙයි.

අපි කියන්නේසිනමා කර්මාන්තයේ ප්‍රමිතියක් ඇති කිරීම සඳහා නිෂ්පාදනයට යම් වැඩසටහනක් තිබිය යුතුයි. දැන් බලන්න නොමිලේ සර්කිට් බෙදලා දෙන්න ඉස්සෙල්ලා අපේ සිනමා කර්මාන්තයෙන් සියයට 10ක් සංස්ථාවට ආවා. ඒවා නිසා චිත්‍රපට හදන්න ණය දුන්නා. පුහුණු කිරීම් කළා. චිත්‍රපටය නිකුත් කරන්න, ප්‍රචාරක කටයුතුවලට මුදල් ලබා දුන්නා. ඒ නිසා සිනමා කර්මාන්තයේ විවිධ අංශවලට විශාල සහනයක් ලැබුණා. ඒත් අද ඒ මුදල්වලට මොනවද කෙරෙන්නේ. මණ්ඩල ටික බිස්නස් කරලා ලාභ ලබන කටයුතු කරනවා මිසක් ඒ ප්‍රදර්ශකයන්ගෙන් නිෂ්පාදකයන්ට කිසිම සහනයක් හෝ ඉදිරි සැලැස්මක් නැහැ. චිත්‍රපට නිෂ්පාදකයන්ට උදව් කළොත් තමයි හොඳ චිත්‍රපට හදන්න උනන්දු වන්නේ. සංස්ථාවෙන් මූණ බලලා, පෞද්ගලික හිතවත්කම් මත ණයදුන්නා ඒත් ඒක පාඩමකුත් වුණා.

ඔබ සිනමා කර්මාන්තයේ නියළෙන්නෙක් හැටියට ජනතා ආකර්ෂණය ලබාගත හැකි චිත්‍රපට හඳුනාගන්නේ කොහොමද?

සිනමාවේ අපි බලන්නේ රසිකයන් ගෙන්නගන්න පුළුවන් කොහොමද කියලා. ස්වර්ණමය යුගයේ සිනමාව ගැන කතා කළොත් එදා තරුණයන් විදිහට ආ ලෙනින් මොරායස් උදාහරණයකට ගමු. ඔහුගේ චිත්‍රපට විනෝදකාමී වගේම නරඹන්නත් පුළුවන්. හතරදෙනාම සූරයෝ ගැන හිතන්න. ගාමිණි, විජය රඟපාපු චිත්‍රපට ජනප්‍රියයි. ඒත් දැන් ජනප්‍රිය රැල්ලේ චිත්‍රපට හැදෙන්නේ නැ. අනෙක අපට තිබුණා සම්භාව්‍ය මණ්ඩලය කියලා එකක්. හැමදාම ඒ නමින්ම මණ්ඩලය තියෙන්න ඕනා නැ. එත් උසස් ගණයේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න ක්‍රමයක් තියෙන්න ඕනා. දැන් වෙන්නේ කලාත්මක චිත්‍රපට දාන්න වෙලා තියෙන්නේ ගැප් එකේ. සම්භාව්‍ය චිත්‍රපටවලටත් අවස්ථාවක් තියෙන්න ඕනා. හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා. අපේ සිනමාකරුවන් දැන් ගොළු වෙලා. මේ අය එන්ජීඕකාරයින්ට යටවෙලා. අපේ සිනමා ප්‍රදර්ශකයින්ගේ සංගමය හරියට කැප වෙනවා මේ තත්ත්වයෙන් මුදවා ගන්න. ඒත් ඒ යටවුණු අධ්‍යක්ෂවරු ඇතටම යනවා අපෙන්.

ආකර්ෂණීය චිත්‍රපට කියන්නේ කාලයක් කළා වගේ කාම රැල්ලෙ චිත්‍රපට හදලා සෙනඟ අද්දගන්න එක නෙවෙයි. ජනප්‍රිය රැල්ල හා උසස් කලාත්මක චිත්‍රපට හදන්න ඕනා. ඒත් කලාත්මක ඒවා මණ්ඩල මඟින් කොන් කරන්න හොඳ නැ. ජනප්‍රිය රැල්ලේ චිත්‍රපට පිටපත් 50ක් දානවා නම්, කලාත්මක චිත්‍රපට පිටපත් 20ක්වත් දාන්න ඕනා. මේවා විධිමත් කරන්න පළපුරුද්ද, දැනුම සහ සම්බන්ධකම් සහිත පුද්ගලයන් මඟින් ආයතන මෙහෙයවිය යුතුයි. පරිපාලනය පමණක් දන්න නිලධාරීන් ප්‍රමාණවත් නැහැ. ව්‍යාපාරික දැනුමත් අවශ්‍යයි. කතා කරන වේගයෙන්ම ක්‍රියා කිරීමත් අවශ්‍යයි.

ඔබ කොහොමද කියන්නේ ඒ අය රාජ්‍ය නොවන සංවිධානවලට නතු වෙලා කියලා?

මම දන්නවා පහුගිය කාලේ ඇමෙරිකාවෙන් අපේ චිත්‍රපට කර්මාන්තය නඟා සිටුවන්න, බෙදා හැරීමේ සංවර්ධන සැලැස්මකට ඔය සංවිධානයකින් ඇවිත් තිබුණා. විශේෂයෙන්ම ඔය බටහිර ඇන්ජීඕ කියන්නේ සල්ලි හම්බකරගන්නම එන පිරිසක්. අපට ඔවුන්ගේ උපදෙස් ඕන නැහැ අපේ රටේ සිනමාව නංවාලන්න. ඒ අයට ඕනෙ නම් ඒ අයගේ චිත්‍රපට විකුණගත්තට කමක් නැහැ. අපේ කර්මාන්තය හරි පොඩි එකක්නෙ. ඒකට ඇඟිලි ගහන්න ඒ අය එන්න ඕන නැ.

ඒත් ඔබටත් චෝදනාවක් තිබුණා නේද මේ පිරිසට ආරාධනා කළා කියලා?

පට්ටපල් බොරු. පත්තරවල ලොකුවට මගේ පින්තූරෙත් දාලා එහෙම කියලා තිබුණා. අපේ ලංකාව ඇතුළේ ඉන්නවා සිනමාව ගැන විශේෂඥ දැනුම තිබෙන අය. ප්‍රායෝගිකව ක්‍රියා කළ හැකි පිරිස් ඉන්නවා. ඒ නිසා මෙහෙට ඇන්ජීඕ ගෙන්වන්න ඕනෙ නැහැ. ඕවාට මූලික වන අය කවුද කියලා හැමෝම දන්නවා. ඒ අය තමන්ගේ යැපීමට රාජ්‍ය නොවන සංවිධාන මෙහෙ ගෙන්වාගෙන අපේ සිනමා කර්මාන්තය විනාශ කරනවා. අනෙක ඒ අයගෙන් අපේ කර්මාන්තයට ශත පහකවත් දායකත්වයකුත් නැහැ. සිනමාවට විතරක් නෙවේ දේශපාලනයට වුණත් ඔය අය එනවාට මම නම් දැඩි සේ විරුද්ධයි. ඒ බව ප්‍රසිද්ධියේමත් කියනවා. මම විතරක් නෙවෙයි චිත්‍රපට ප්‍රදර්ශකයිනගේ සංගමයත් විරුද්ධයි.

අපි සිනමාවේ ස්වර්ණමය යුගය කියන කාලේ රූපවාහිනිය සහ අනෙකුත් විනෝදාස්වාද ක්‍රම අපට තිබුණේ නැහැ. ඒ නිසාද එය ස්වර්ණමය යුගය වුණේ?

අද ජනගහනය කීයද? අපේ රටේ ජනගහනය කොච්චර වර්ධනය වෙලාද? ඇත්ත වශයෙන් සිනමා කර්මාන්තයේ ප්‍රදර්ශනය ඩිජිටල්කරණය වෙලා. ශබ්ද ක්‍රම 9.1 පවා ඇවිත්, ඩොල්බි ඇට්මොස් දක්වා වෙනස්වෙලා. අපේ සිනෙසිටි එක තමයි මුලින්ම ඒ ක්‍රමය ලංකාවේ ස්ථාපනය කළේ. ඉතින් තාක්ෂණය නවීනත්වයට පත්වෙලා චිත්‍රපට ප්‍රදර්ශනයත් වෙනස් වෙලා. එතකොට රසිකයන් ඒවා බලන්න කැමති වෙනවා. හැබැයි හොඳ චිත්‍රපට තියෙන්නත් ඕනා. බලන්න ඉන්දියාව දිහා. අපේ රටට වඩා විශාලයිනේ. ඒත් කොච්චර ලාභ ලබනවාද? අපේ උනන්දුවෙයි අඩුව තිබෙන්නේ. සමහර අය බෝල බස්සලා කයිවාරු ගහලා චිත්‍රපට හදනවා මෙච්චර ආදායම් කියලා. ඒ කියන්නේ ශාලාවලටයි, සිනමාකරුවාටයි යන මුදලත් එක්කයි. ඒ වුණාට ඇත්ත කොටස ඒ කියන මුදලින් සියයට තිස්පහක් විතර ප්‍රමාණයක්. මිලියන දෙසියයක් හම්බුණා කියන්නේ මිලියන හැත්තැවයි. ඉතින් ප්‍රචාරක වියදම් එහෙම ගියාම ලාභයක් නැහැ. චිත්‍රපට සංස්ථාවෙන් හරියට වගකීම් ඉෂ්ට නොවීම නිසාත් මේ අඩුපාඩු සිදු වෙනවා.

මොනවද ඒ වගකීම්?

එකක් බෙදාහැරීම් පෞද්ගලීකරණය කිරීම. දෙවැනි එක නියාමනයක් නැති වීම. අනෙක සිනමා කර්මාන්තය සංවර්ධනයට කිසිම සේවාවක් සංස්ථාවෙන් වෙන්නේ නැ. හේතුව ඒකට මුදල් නැහැ. මොකද මුදල් සේරම මණ්ඩලවලට ගිහින්. තව එකක් මේ සිනමා කර්මාන්තය පිළිබඳ දැන් කැබිනට් පත්‍රිකාවක් හදලා තියෙනවානේ. ඒකටවත් ඉන්නවාද හරියට දැනුම තියෙන පිරිසක්? මේ සිනමා කර්මාන්තය පිළිබඳ හොඳ විද්වතුන් ඉන්නවා. ඒ අය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්. පුළුල් දැනුමක් තිබෙනවා. අනෙක මේ කර්මාන්තයට සම්බන්ධ අධ්‍යක්ෂවරු චිත්‍රපටයක් හදාගන්න එනවා. මිල අයකරගෙන යනවා. ආයේ එන්නේ ඊළඟ චිත්‍රපටය හදාගන්න විතරයි. ඒ අය බර උහුලන්නේ නැහැ. බර උහුලන්නේ ප්‍රදර්ශකයා. ඔහු පික්චර් පෙන්නුවත් නැතත් සිනමා ශාලාව නඩත්තු කරන්න ඕනා. පඩි නඩි ගෙවන්න ඕනා, බදු ගෙවන්න ඕනා ස්ථිරවම. ඒ වගේම නිෂ්පාදකයා. ඔහුට පාඩු වුණොත් වුණාම තමයි. ඉතින් ප්‍රදර්ශකයා මේ නිෂ්පාදකයාව රැකගන්නත් ඕනා. ඊළඟට නළු නිළියන් සහ කාර්මික ශිල්පීන්. මේ අය දක්ෂතා තිබෙන පුද්ගලයන්. ඔවුන්ගේ දක්ෂතා අගයන්න ඕනා. මේ සියලුදෙනා අඩුවැඩි වශයෙන් දායකත්වය සපයන නිසා ඔවුන් රැකගන්නත් ඕනා. හැබැයි චිත්‍රපට ප්‍රදර්ශනයේ වගකීම තිබෙන්නේ ප්‍රදර්ශකයන් වන අපට. ඒ වගේම චිත්‍රපට සැදීමේ වගකීම තිබෙන්නේ නිෂ්පාදකට. ඒ දෙගොල්ලන් එකතු කරනවා නම් එතැනට නළු නිළියන් කාර්මිකයන් එකතු වෙනවා.

වෙනත් රටවල සිනමා ක්ෂේත්‍රයේ ඒ ඒ අංශ සඳහා වෙනවෙනම සංගම් තනාගෙන ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහා කටයුතු කරනවා. අපේ?

ස්ථිර වහයෙන්ම අපේ රටේ තිබෙන සංගමයක් තමයි චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංවිධානය. අපි තමයි මේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න කියලා සටන ගෙනියන්නේ. ඊට අමතරව චිත්‍රපට කලාකරුවන්ගේ සංවිධානයකුත් තිබෙනවා. තව අධ්‍යක්ෂවරුන්ගේ සංවිධානයක් සහ කාර්මික ශිල්පී සංවිධානයක් තිබෙනවා කීවාට ඒවා අකර්මණ්‍ය ද මන්දා අපට පෙනෙන්නේ දැනෙන්නේ නැහැ. ඒ නිසා පසුගිය සිකුරාදාවක අපි ප්‍රදර්ශකයන් හැටියට චිත්‍රපට නිෂ්පාදකයන්, සිනමා කලාකරුවන්, ආනයනකරුවන්, අධ්‍යක්ෂවරුන් කැඳවා වටමේස සාකච්ඡාවක් තිබ්බා. එයින් අපි කැබිනට් පත්‍රිකාවටත් විරුද්ධ වුණා. පුළුවන් තරම් සියලු දෙනාට එකඟ විය හැකි යෝජනාවලියක් ඇමතිවරයාට ඉදිරපත් කරන්න තීරණය කළා. මොකද සිනමාව කියන්නේ වටිනා කලාවක්. වටිනා කර්මාන්තයක්. වටිනා ව්‍යාපාරයක්. අනෙක මෙය සංස්කෘතිකමය වටිනාකමකින් යුතු වැදගත් ප්‍රකාශන මාධ්‍යයක්.

ප්‍රදර්ශකයන්ගේ සංවිධානය මේ කර්මාන්තය ගොඩ ගැනීමට කරන යෝජනා මොනවාද?

පළමුවැනි එක මේ පනතේ නොයෙක් ගැටලු තිබෙනවා. නිලවීර වාර්තා ඇතුළු අනෙක් වාර්තා. විවිධ රෙගුලාසි එහෙම පිටින්ම පැටලිලා එකකට එකක් ගැළපෙන්නේ නැහැ. ඒ නිසා කැබිනට් පත්‍රිකාවක් ගේන්න කලින් මේ තිබෙන පනත හොඳීන් ක්‍රියාත්මක කරන්න. ඊට පස්සේ ආව සියලු රෙගුලාසි ඉවත් කරලා අදට අවශ්‍ය අලුත් රෙගුලාසි පනවන්න. මේ පනතේ එයට අවශ්‍ය ඉඩකඩ තිබෙනවානේ හොඳටම. මේ කරුණ ප්‍රධානව යෝජනා දහයක් අපි ඉදිරිපත් කළා.

සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ඔබේ යෝජනා පිළිගත්තාද?

ඔව්. සාකච්ඡාව බොහොම සාර්ථකයි කියා හිතෙනවා. මොකද ඒ අවස්ථාවට ක්ෂේත්‍රයේ බොහෝ අංශවලින් නියෝජිතයන් සහභාගී වුණා නළු නිළියන් හැර. අපි යෝජනා කළ පරිදි දැනට තිබෙන කැබිනට් පත්‍රිකාව සංශෝධනය කරලා සියලු දෙනාට එකඟ විය හැකි තීන්දුවකට එන්න චිත්‍රපට සංස්ථාවේ සභාපතිනිය ඇතුළු පාර්ශ්වකරුවන් ඇමතිවරයා ඉදිරියේ තීරණය කළා. ශාලාවලට බදු සහන, ණය දෙන්නත්, චිත්‍රපට බෙදාහැරීම නිදහස් කරන්නත් පොරොන්දු වුණා. මේ සියල්ල ජූනි 30 වෙද්දි සිදු විය යුතු බවට යෝජනා වුණේ. එය නම් බොහොම සතුටුදායක තත්ත්වයක්.

සිනමා ශාලා කීපයක්ම පසුගිය කාලේ වැසුණා. අලුත් තාක්ෂණය ආදියට අනෙකුත් ශාලාත් ඔරොත්තු දෙයිද?

පහුගිය කාලේ ශාලා පහක් වැහුණා. මේකට බලපාන්නේ ආදායම් තත්ත්වය තමයි. මොන ප්‍රශ්නේ ආවත් මූලික වියදම් කළ යුතුමනේ. චිත්‍රපටවලින් හොඳට ආදායම ලැබෙනවා නම් අපිත් අමතර දේවල් කරන්න කැමතියි. මට කියන්න කොළඹ නගරයේ සිංහල චිත්‍රපට පෙන්වන ශාලා කීයක් තිබෙනවාද කියලා?

රීගල්, ලිඩෝ, සැවෝයි, රිට්ස්, රියෝ වගේ සිනමා හල් පහයි. ඒත් විදේශ චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න සිනමා හල් 23ක් තියෙනවා. එතකොට අපට සිංහල සිනමාව දියුණු කරන්න පුළුවන්ද? මේ වෙනකොට අවුරුදු ගණනාවක් තිස්සේ සංස්ථාවට සිනමා හලක් නැ. සංස්ථාව කියන්නේ රජය. ඉතින් තව මොන කතාද? අපි සිනේසිටි හැදුවේ ප්‍රේමදාස මහත්තයාගේ කාලේ. අද ඇමතිවරු එනවා කයිවාරු ගහනවා, කෞතුකාගාර හදනවා කියනවා. ඒත් ඉතිහාසය වෙනුවෙන් හදලා වැඩක් නැහැ. සිනමාවක් පවතින්න එපැයි ඔය කොයික කරන්නත්. ඕන තරම් ඉඩම් තිබුණා රේල්ලුවට අයිති. අපි ඉල්ලුවා එම්එච්එම් මොහොමඩ් මහත්තයාටත් කරගන්න බැරුව ගියා. දැන් අපි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිට කියා තිබෙනවා. සිනමාහල් හදන්න ඉඩම් දෙන්න කියලා. මොකද විනෝදාස්වාදය අවශ්‍යයි නගරෙකට.

ශාලා හිමිකරුවන් අද පවතින තත්ත්වයට සූදානම්ද?

අනිවාර්යයෙන්ම. හැම සිනමා ශාලාවකම ආරක්ෂක තත්ත්වය හොඳීන් පවත්වා ගන්න කටයුතු කරනවා. ඒක රසිකයන්ට වගේම අපටත් කරදරයක් තමයි. මොකද අමතර ආරක්ෂාවක් ලබා දෙන්න වියදම් දැරිය යුතු නිසා. ඉතින් අපි බොහොම නිහතමානීව ඉල්ලනවා ප්‍රේක්ෂකයන්ටත් ඔය බුර්කා වගේ ඒවා, අනවශ්‍ය බැග්, හෙල්මට් ජැකට් තොප්පි ගේන්නේ නැතිව අපට සහාය දීලා චිත්‍රපට රසවිඳීන්න කියලා.

ඔබට අවධාරණය කරන්න යමක් තිබෙනවාද?

 

මගේ මූලිකම කරුණ තමයි අපි සියලු දෙනාම, නළු නිළියන්, ගායක ගායිකාවන්, අධ්‍යක්ෂවරුන්, තාක්ෂණික ශිල්පීන්, බෙදාහරින්නන්, ශාලා හිමිකරුවන් එකට එකතු විය යුතුයි. නළු නිළියන්ට විශාල සිවිල් බලයක් තිබෙනවා යම් දෙයකදි ඉදිරිපත් වන්න. අපේ වෙනස්කම්, අඩුපාඩුකම් තිබෙන්න පුළුවන්. ඒත් එකතු විය යුතු තැනදි එකතු විය යුතුයි. වෙන රටවල මේ සංවිධාන හරිම ශක්තිමත් බලවත්. අපිටත් පුළුවන් එහෙම වෙන්න. එහෙම එකමුතු නොවුණොත් සිනමා හල් වහන්න බැරි නිසා ඒවායේ අරක් ගන්නවා ඇත්තේ ඇවෙන්ජර්ස්ලා තමයි.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.