මේ කාලයේ මගේ චිත්‍රපටය ප්‍රේක්ෂක සිතට සහනයක්

‘සුභා තෙරණියෝ’ ගෙන එන සුමිත් කුමාර
මැයි 16, 2019

බෞද්ධ සාහිත්‍ය ඇසුරෙන් සිංහල සිනමාපට තැනීම ආරම්භ වූයේ අද ඊයේ නොවේ. 1964 වසරේ තිරගත වූ පටාචාරා සිනමා සිතුවම බෞද්ධ සිනමාපට ලැයිස්තුවේ මුල් තැන ගත්තේය. අනතුරුව කුණ්ඩලකේශී, බංගළි වළලු, අජාසත්ත, අංගුලිමාල ආදී චිත්‍රපට රැසක් බෞද්ධ සාහිත්‍යය ඇසුරෙන් නිර්මාණය විය. ඊයේ දිනයේ සිට තිරගත වීම ආරම්භ වූ සුභා තෙරණියෝ එම වර්ගයට අයත් චිත්‍රපටයකි. එය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ සුමිත් කුමාර විසිනි. කලකට ඉහත දී සුමිත්ගේ නම නිතර නෙතට හසු වූයේ ටෙලි නිර්මාණ ඔස්සේය. එහෙත් වත්මනෙහි ඔහු සිනමාව කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනු පෙනෙයි. කුරුලු පිහාටු සුමිත්ගේ පළමු සිනමා නිර්මාණයයි. දෙවැනි සහ තෙවැනි සිනමාපට වනුයේ ඇලඩින් සහ පුදුම පහන සහ ආකාස පාලමයි. සුභා තෙරණියෝ සුමිත්ගේ සිව්වැනි සිනමාපටය වේ.

සුමිත්, සුභා තෙරණියගේ කතාව සිනමාවට නඟන්න හිතුණේ ඇයි?

බුදු දහම කියන්නේ මං පිළිපදින එකම දහම. බෞද්ධ දර්ශනය මං ඉතා ඉහළින් පිළිගන්නවා. ඔය සුභා තෙරණියගේ කතාව මට අහම්බෙන් කියවන්න ලැබුණා. ඒක චිත්‍රපටයකට ඉතාම සුදුසුයි කියලා අවබෝධ වුණා. ඒ වගේම මෙවැනි කතාවකින් යුතු චිත්‍රපටයකට මං අතගහලා තිබුණේ නැහැ. වෙනසකටත් එක්ක සුභා තෙරණියගේ කතාව තිරයට ගේන්න හිතුවා.

සුභා තෙරණියගේ චරිතයට රුවන්ගි රත්නායකව තෝරා ගත් හේතුව?

පොතේ හැටියට සුභා තෙරණිය සුදුයි, රත්තරං පාට ඇඟක් තියෙන්නේ. ටිකක් උස කෙනෙක්. රුවන්ගිව තමයි මට ගැළපුණේ. සමහර නිළියෝ ඉන්නවා උස නැහැනෙ.නමුත් රුවන්ගිට ඒ ගති ලක්ෂණ ඔක්කොම වගේ තිබුණා.

මේ වගේ චරිතයකට ආරාධනා කළායින් අනතුරුව ඇය මොනවද කිව්වේ?

රුවන්ගි සතුටු වුණා. ඒ වගේම මං පිළිපැදිය යුතු පිළිවෙත් එහෙමත් කිව්වා. මේකෙ රුවන්ගිට යොදන මේකප් එක කරන්න වෙලා යනවා. ඇයට අනිවාර්යයෙන්ම රාත්‍රී 2 ට මේකප් පුටුවේ වාඩි විය යුතුයි. ඊට රුවන්ගි එකඟ වුණා. ඇය ඇතුළු අනෙක් පිරිසටත් මං නීතියක් පැන වූවා මස් මාළු කන්න බැහැ කියලා. මේක බෞද්ධ චිත්‍රපටයක් නිසා හරියට පේවෙලා වගේ වැඩ කටයුතු කළා.

ඓතිහාසික කතා රැගත් චිත්‍රපට කරද්දී මුහුණ දෙන ඊළඟ ගැටලුව තමයි ඊට සරිලන දර්ශනතල සොයා ගැනීම?

ඔය ප්‍රශ්නය පොදුයි. මටත් ඒක බලපෑවා. බෙලිහුල්ඔය ප්‍රදේශයේ මං මීට කලින් නිර්මාණයක් කළා. ඒ දර්ශනතල මගේ මතකයේ තිබුණා. මගේ මිත්‍රයකුගේ මාර්ගයෙන් දර්ශන තල සම්බන්ධීකරණය කර ගත්තා. බෙලිහුල්ඔය තමයි චිත්‍රපටයේ සියලු රූපගත කිරීම් කළේ.

පෙර නිර්මාණය වූ බොහෝ ඉතිහාස චිත්‍රපට සඳහා දැඩි විවේචන එල්ල වුණා. විශේෂයෙන් ඇඳුම් පැලඳුම් පසුබිමින් දක්නට ලැබෙන දේවල් වැනි කාරණා උදෙසා?

සුබා තෙරණියෝ චිත්‍රපටයෙන් ගෙන එන්නේ මගේ දැකීම. මට හිතෙන සහ මට හරියි කියලා දැනෙන දේ මං කරනවා. හැමෝගෙම අදහස් එක වගේ වෙන්නේ නැහැනෙ. හැමෝගෙම අදහස් නිර්මාණයක් වෙනුවෙන් යොදා ගන්නත් බැහැ. අධ්‍යක්ෂවරු දහ දෙනෙක් ගත්තොත් දස විදිහක්. මට කියන්න තියෙන්නේ මේ තියෙන්නේ මගේ දැක්ම.

චිත්‍රපටය සුදුසු කාලෙ නෙවෙයි තිරගත වුණේ කියලා කිසියම් හෝ කෙනෙකු කිව්වොත්?

මිනිස්සු චිත්‍රපට නරඹනවා. නැහැ කියන්න බැහනෙ. ඇවෙන්ජර්ස් කියන ඉංග්‍රීසි චිත්‍රපටය නරඹන්න කට කපල සෙනඟ. ගොඩක් හෝල්වල හවුස්ෆුල්. චිත්‍රපට නරඹන්න මිනිස්සු ඉන්නවා. සුභා තෙරණියෝ චිත්‍රපටය රිලීස් කරන්න ඕන කියලා මං හිතාගෙන හිටියේ වෙසක් කාලයකදී. මට ඊට හොඳාකාරවම අවස්ථාව ලැබුණා. මේ පාර වෙසක්වලට දන්සැල් නැහැ. වෙසක් කලාප නැහැ. නමුත් වෙසක් කියන දේ අපේ ඇඟට දැනෙනවා. මේ වගේ කාලයක සුභා තෙරණියෝ චිත්‍රපටය නැරැඹීමෙන් මිනිස්සුන්ගේ මානසික පීඩාව අවම වෙයි කියලා හිතනවා.

ඔබ ටෙලි නාට්‍ය විස්සකට වඩා නිර්මාණය කරපු අධ්‍යක්ෂවරයෙක්. නමුත් අද ඔබ එම ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා වගෙයි?

ඉවත්වීමක් නෙවෙයි, අද ටෙලි කරන්න බැහැ. චැනල් එකට ඕන විදිහටනෙ අපි නාට්‍ය කරන්න ඕන. නිර්මාණකරුවකු විදිහට අපි නිර්මාණයක් කළාම එයාලා අඩුපාඩු කියනවා. අර සීන් එක දිග වැඩියි, මේ මේ නළු නිළියෝ ගන්න. මේ විදිහෙ දෙබස් දාන්න වගේ දේවල්. එහෙම වුණාම නිර්මාණකරුවා නෙවෙයිනෙ නාට්‍ය කරලා තියෙන්නේ. සම අධ්‍යක්ෂ හැටියට චැනල් එකේ නමත් දන්න ඕන. එතකොට තමයි හරි. මං ආස නැහැ නිර්මාණකරුවකු විදිහට ඔවැනි යටත්වීමවලට. හරිම අමාරුයි එහෙම නිර්මාණ කරන්න. අමාරු නෙවෙයි බැහැ. අනික අද නාට්‍යවල තියෙන දෙබස් බලන්න. ඔයා කෑව ද, බිව්ව ද, නෑව ද වගේනෙ ඒවා. හරියට බාල්දියක් අරන් ළිඳට යන මනුස්සයගෙන් අපි අහනවා වගේ ආ නාන්න යනවද කියලා. ඕවද ඩයලොග්. අනුන්ව සතුටු කරන්න නිර්මාණ කරන්න මං සූදානම් නැහැ.

ඔබ අඹ යහළුවො තිරයට නඟන්න සූදානම් වෙනවලු?

ඔව්. චිත්‍රපටයක් හැටියට ඒක ගෙන ආවොත් අමුතුම රසයක් තියේවි. අපේ පරපුරේ අය තමයි අඹ යහළුවො රස වින්දේ. අලුත් අය ඒ වගේ නිර්මාණ දැකලාවත් නැහැනෙ. ඔවුනට පෙන්වන්නත් එක්ක අඹ යහළුවො තිරයට ගේනවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.