OK කියන තුරු හත් සැරයක් සිප ගත්තා

- මධුශානි වික්‍රමසිංහ
මැයි 16, 2019

ඇය තිත්ත ඇත්ත සිනමාපටය සමඟින් සිංහල සිනමාවට පිවිසියාය. ඊට පෙර ඇය අපට හමු වූයේ සල්සපුනා ටෙලි සිතුවමේ හසිනි හැටියටය. වේදිකාවෙන් සිය රංගන ගමන ඇරැඹි මේ සුරූපිණිය මධුශානි වික්‍රමසිංහය.

මධුශානි, ඔබ රංගනයට ප්‍රවිෂ්ට වන්නේ වේදිකාවෙන්?

ඔව්. මං මහරගම තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලා ඩිප්ලෝමාවක් කළා. එහිදී ගොඩනැඟුණ සබඳතා එක්ක ජයසේකර අපොන්සු මහත්මයාගේ තටු, රජු, කිරා ආදී වේදිකා නාට්‍යවලට එකතු වන්නට වරම් ලැබුණා. රජු තමයි පළමු වේදිකා නාට්‍යය. දෙවනුව සල්සපුනා නාට්‍යයටත් තෙවැනුව තිත්ත ඇත්ත චිත්‍රපටයටත් ආරාධනා ලැබුණා.

තිත්ත ඇත්ත සිනමාපටයේ පෙම්වතිය ඔබ. ප්‍රථම සිනමාපටයේ එවැනි වූ චරිතයක් නිරුපණයට අවස්ථාව ලැබීම ගැන මොකද කියන්න තියෙන්නේ?

පළමුව මං චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රීතිරාජ් වීරරත්න මහත්මයාට ස්තූති කරනවා. ඔහු නිසා මට මේ චරිතය ලැබුණේ. චරිතයේ නම මධු. සරල පෙම්වතියක්. පෙම් ජවනිකා තමයි ගොඩක් කරන්න තිබුණේ.

ආදරබර දර්ශන නිසා අපහසුතාවයට පත් වෙන්න වුණු අවස්ථා නැද්ද?

තියෙනවා. එක තැනකදි මම සහ පෙම්වතාට රඟපාන රාහුල් එක්ක බොහොම සමීප සිප ගැනීමක් තිබුණා. මට ඒක කරන්න කලින් දෙගිඩියාවකින් හිටියේ. ඒ නිසා මං දර්ශනයට හරියට මුහුණ දෙන්න බැරුව අධ්‍යක්ෂවරයාගෙන් බැනුම් අහන්නත් වුණා. ටේක් හතකට විතර ගියා. ඊට පස්සෙයි ඕ. කේ. වුණේ.

ඔබ මෑත කාලයේ දායක වූ වේදිකා නාට්‍ය මොනවාද?

මමම කෙටි නාට්‍යයක් කළා. ඒක රාජ්‍ය නාට්‍ය උලෙළට යොමු කරන්න හිතාගෙන ඉන්නේ. රංගනයේ යෙදෙන තාක්කල් වේදිකාව අතහැරලා යන්නේ නැහැ. මොන යම් හෝ වේදිකා නිර්මාණයකට එකතු වෙනවා.

ඇයි ඔබ ඕතරම්ම වේදකාවට ප්‍රිය?

වේදිකා නිර්මාණයක රඟපානවා කියන්නේ හරි විශාල අත්දැකිමක්. ඒක වෙන යම් හෝ නිර්මාණයකින් ගන්න බැහැ. අනික කොච්චර නම් දේවල් ඉගෙන ගන්න පුළුවන්ද. මං නවක අනෙක් අයගෙනුත් ඉල්ලනවා පුළුවන් තරම් වේදිකාව හා එකතුවන්න කියලා.

ඔබ වැඩිය නිර්මාණවල දක්නට නැත්තේ ඇයි? ඉඳහිට රඟපාන නිළියක් වගේ පේන්නේ?

ඒකට හේතුව අධ්‍යාපනයට මුල්තැන දීම. මම මේ වෙනකොට විවෘත විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා උපාධිය හදාරනවා. අධ්‍යාපන කටයුතුවලට කාලය වැය කරලා ඉතුරුවන වේලාවෙදි තමයි රංගනයේ නියැළෙන්නේ.

රංගන අවස්ථා මඟ හැරෙනවා කියලා හිතෙන්නේ නැද්ද?

ගුරුවරියක වීම මගේ එක අරමුණක්. එය වෙනුවෙන් කැප වෙනවා. ඉගෙනුම හමාර කරලා ගුරුවරියක විදිහට පත්විමක් ලැබුණායින් පසුව මීට වඩා වේලාව ඉතිරි වේවිනෙ. එතකොට වැඩියෙන් රඟපාන්න හිතාගෙන ඉන්නවා.

ඔබ රඟපෑ තවත් චිත්‍රපට තියේද?

ඔව්. ප්‍රීතිරාජ් මහත්මයාගෙම එදත් දිනුම් අදත් දිනුම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවා. පුබුදු චතුරංග අයියා තමයි පෙම්වතා.

දිගින් දිගටම පෙම්වතියගේ චරිතය රඟපාන්නද අදහස?

අනේ නැහැ. මං කැමැතියි විවිධ වර්ගයේ චරිත කරන්න. සුදු චරිත කළු චරිත. ඕන එකක්. විශේෂයෙන්ම දුෂ්කර පළාතක ගැහැනු ළමයකුගේ චරිතයක් රඟපාන්න හරිම කැමැත්තෙන් ඉන්නවා.

මධුශානිගේ ගම කොහේද?

බණ්ඩාරවෙල. දැනට පදිංචිය මහරගම. බණ්ඩාරවෙල විශාකා විදුහලෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ.

උපන් දිනය?

අනූ හයේ දහ වෙනි මාසෙ එකොළහ.

පවුලේ විස්තර?

මමයි අම්මයි තාත්තයි.

මේ වන විට පෙම්වතියක්ද?

ඔව්.

පෙම්වතියක් වීම රංගනයට මොන වගේ බලපෑමක්ද තියෙන්නේ?

කිසිම බලපෑමක් නැහැ.

ඔබ කලා ආයතනයක් පවත්වාගෙන යනවා නේද? ඒ ගැනත් විස්තර කියමු?

මහරගම ආනන්ද මෛත්‍රී මාවතේ තමයි ඒක තියෙන්නේ. නම සිසිල සෙවණ නන්දාරාම මාධූර්යා කලා ආයතනය. මං එහි ඩාන්සිං උගන්වනවා.

මධුශානි වික්‍රමසිංහ කියන්නේ මොන වගේ කෙනෙක්ද?

හරිම සරල කෙනෙක්.

හැඩ ගැන්වීම - සැලූන් බියුටි ගෙදර, පිළියන්දල.
 
 
 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.