අරලිය අත්තෙන් අත්තට පැන්න මාලිනි

මැයි 23, 2019

මුලින්ම මාලිනි ඉස්කෝලේ ගියේ කොළඹ විශාඛා විද්‍යාලයට. ඒ කාලයෙත් ඈ කළේ බොහොම දඟවැඩ. පාසල් කාලයේදි මාලිනියි, චිත්‍රා, ජානකී, ඉන්ද්‍රාණි, ඇතුළු යෙහෙළියෝ කිහිපදෙනෙක්ට තිබුණු පුරද්දක් තමයි එයාලා කැමැති ටීචර්ස්ලාට රෝසමල් දෙන එක. දවසක් පාසලේ දවල් විවේක කාලයේදි මේ කට්ටිය පාසලේ ඉඳන් තුන්මුල්ලේ තිබුණු චිත්‍රාලගේ ගෙදරට ආවේ පයින්ම. ඒ රෝසමල් අරගෙන යන්න. කොහොම හරි රෝසමල් ටික ගත්තත් මේ ටික දෙනා පාසලට එන කොට පාසල පටන් අරගෙන. ඔවුන්ව පන්තියේ ටීචර්ට අතේ මාට්ටු. රෝසමල් ගැනිල්ල පැත්තක තියලා ඒ ටීචර් මේ කණ්ඩායමම පුටුව උඩට නැග්ගුවා. පන්තිය අවසන් වෙනකම් කට්ටියට ඉන්න සිද්ධ වුණේ පුටුව උඩට වෙලා. බොහොම නිශ්ශබ්දව හැමෝම ඉදිරියේ පුටු උඩට වෙලා පස්දෙනාම හිටියේ මීයෝ ටික වගේ.

මාලිනිගේ තාත්තා විනිශ්චයකාරවරයෙක්. ඒ නිසා ඈට ඔහුත් සමඟ එක එක ප්‍රදේශවලට යන්න වුණා. ඒ විදියට ගාල්ලේ උසාවියේ වැඩභාර ගත්ත තාත්තාත් එක්ක කාලයක ඈ පාසල් ගියේ ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයට. අටේ පන්තියට. ඒ පන්තියේදිත් සිටි දඟ කෙල්ලෝ ටික මාලිනි වටා රොක් වුණේ ඉබේටම වගේ. මේ දඟ ළමයින්ගේ කණ්ඩායමේ නායිකාවත් මාලිනි. ශාන්තා මානවඩු, එස්.වී.ඒ මල්ලිකා, ලිනට්, පද්මා විජේරත්න ඇතුළු හත්දෙනෙක්ගෙන් යුක්ත මේ කණ්ඩායම සමහර වෙලාවට පන්තියේ ටීචර්ස්ලට හිසරදයක්.

ටීචර්ලාට හිසරදයක් වුණු ඒ දඟ ළමයා අන් කවුරුවත් නොවෙයි එදා වේදිකාවේ වගේ ම අද පුංචි තිරයෙත් හක්කළං කරන මාලිනි වීරමුණි. වසර පනස් පහක කාලයක් ගෙවුණු සිය කලා ජීවිතයේ ආරම්භයේ එක් දවසක් ගැන ඈ සිය හඬ අවදි කළේ මේ විදියට.

“මුලින්ම රංගන කටයුතු මා ආරම්භ කරන්නේ වේදිකාවෙන්. සවුත්ලන්ඩ් විද්‍යාලයට ගිය කාලේ එහේ හිටිය පෙරේරා කියලා සංගීත මාස්ටර් කෙනෙක්. මට මතක විදියට එයා මර්වින් පෙරේරාගේ සීයා. සුදුම සුදුපාට නැෂනල් එකක් ඇඳගෙන එන මාස්ටර් වයලින් එක වාදනය කරන විදිය මට අද වගේ මතකයි. ඔහු පාසලට කළ වේදිකා නාට්‍යයක් වුණේ ‘සීගිරි කාශ්‍යප’. ඒ වේදිකා නාට්‍යයේ කාශ්‍යපගේ චරිතය රඟපෑවේ රමණි ආදිහෙට්ටි කියන ළමයා. ඈ චරිතයට බොහොම ගාම්භීර බවක් එක් කළා. මම රඟපෑවේ මුගලන්ගේ චරිතය වුණත් කිසිම වැඩක් ඇති විදියට නොවෙයි රඟපෑවේ. එක වෙලාවකට රමණි දෙබස් කියන කොට මම බලාගෙන ඉන්නේ තබ්බීරි ගැහිලා. එහෙම වෙලාවට පෙරේරා සර් මට කියන්නේ ඔහොම ඉඳලා බැහැ මාලිනි මුගලන් කියන්නේ යුද්ධයකුත් දිනුව රජ කෙනෙක් කියලා.”

ඒත් ඒ විදියට පුහුණු වීම්වල හිටිය මාලිනි එදා හැමෝම ඉදිරියේ වේදිකා ගත කළ ‘සීගිරි කාශ්‍යප’ නාට්‍යයේදි අපූරුවට රඟපෑවා. ඒ එක වෙලාවකදි ඈ “නවතිනු කාශ්‍යප...” කියලා කෑ ගැහුවේ බොහොම ගාම්භීරව. එක්වරම මුළු ප්‍රේක්ෂාගාරයම හෙල්ලිලා ගියා. හැමෝගෙම අවධානය මාලිනී දෙසට එල්ල වුණේ ඉබේටම වගේ. පෙරේරා සර්ගේ ඇස් උඩ ගියේ මාලිනිගේ වේදිකා රංගනයට.

මෙහෙම දඟ වැඩ කළ මාලිනි වීරමුනිට යළිත් කොළොම්පුරවරයට එන්නට සිදු වුණා. ඒ බෞද්ධ කාන්තා විද්‍යාලයට. එහි හිටිය මාලිනීගේ යෙහෙළියක් වුණු නන්දනීත් එක්ක එකතු වෙලා ඈ ගස්ලබු කැඩුවා. ඒ පාසලේ තාප්පේ අද්දර තිබුණු ගස්ලබු ගහෙන්. තාප්පෙට නැග්ග මාලිනී තරමක් උස ගස්ලබු ගහට නැගලා ඉදුණු ගස්ලබු ගෙඩිය කැඩුවේ ලොකු වීරකමක් කරන වීරවරියක් වගේ. මේට්රන් එනවද කියලා ඔත්තු බැලුවේ නන්දනී.

“පසුගිය දවසක ඒ නන්දනීව මට මුණ ගැහුණා. ඈ එවෙලේත් මතක් කළේ මගේ ගස්ලබු ගහේ නැඟීම ගැන. ඒ කාලයේ මම කොයිතරම් දඟ ද කිව්වොත් අපේ ගෙදර තිබුණු අරලිය ගස් දෙකේ අත්තෙන් අත්තට පැනලා මගේ අත් දෙකම කැඩුණා. එහෙම ගෙවුණු කාලයෙන් පස්සේ මම නාමෙල් සමඟ විවාහ වුණා. ඔහු අපට දුරින් නෑයෝ වෙන කෙනක්. නිතර මගේ අයියත් එක්ක නිතර අපේ ගෙදර ආවා ගියා. ඒ නිසා ඔහුව මට ආගන්තුක කෙනෙක් වුණේ නැහැ. ඒ වන විට නාමෙල් විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන් කරලා සිටියේ. ඔහු බොහොම කරුණාවන්ත කෙනෙක්. ඒත් යකෙකුට වගේ තරහ යනවා. දැන් නම් අඩුයි.”

පාසලෙන් ඇරැඹුණු මාලිනිගේ රංගන දිවිය ඔපවත් වෙන්නේ ඈ නාමෙල් වීරමුනි හා විවාහ වුණාට පස්සේ. හා හා පුරා කියලා ඔහු වේදිකා නාට්‍යයකට අත ගැහුවේ ‘විරූපි රූප’වලට. ඒ වගේ අවස්ථාවල මාලිනි කළේ නාමෙල්ගේ නාට්‍යයේ කොස්ටියුම් මදින එක. තේ හදන එක. සැන්විච් හදන එක. ප්‍රොම්ට් කරන එක. ඔහුගේම ‘ගොළු බිරිඳ’ වේදිකා නාට්‍යයටයි මාලිනි වීරමුනි මුලින්ම රංගයෙන් දායක වෙන්නේ. ඒ එදා ‘ගොළු බිරිඳ’ හරියටම වේදිකා ගත වීමට තිබුණේ කළුතර නගර ශාලාවේ හවස 2.30ට. ඒත් එහි ප්‍රධාන නිළිය වුණු රීටා ප්‍රනාන්දුට කකුළේ ඇති වුණු අසනීපයක් නිසා එන්න නොහැකි වන බව දන්වන ටෙලිග්‍රෑම් එක ආවේ එදා උදේ 10 විතර. නාමෙල්ට කරන්න දෙයක් තිබුණේ නැහැ. අවසානයේ චන්ද්‍රසේන දසනායක, අභය අත්තනායක, මර්වින් ඩයස්ගේ ඉල්ලීමත් එක්ක ගොළු බිරියගේ චරිතය රඟපෑමට මාලිනිට සිදු වුණා. එහි ප්‍රොම්ටර් වුණේ ඈ නිසා කොහොමත් දෙබස් අමුතුවෙන් පාඩම් කරන්නට වුවමනාවක් තිබුණේ නැහැ. එතකොට ස්ලේෂ්නා කුසට ඇවිත් මාස පහයි.

“ඒ කාලයේ මම බොහොම කෙට්ටු කෙනෙක්. ස්ලෙෂ්නා ලැබෙන්න ඉන්නවද කියලා පේන්නවත් නැහැ. ඊට පස්සේ මම සරච්චන්ද්‍රයන්ගේ ‘මඟුල් ප්‍රස්තාව’ වේදිකා නාට්‍යයටත්, නාමෙල්ගේම ‘විරූපි රූප’ නාට්‍යයෙත් රඟපෑවා. විරූපි රූප වේදිකා නාට්‍යය ඉදිරිපත් කළේ සුගතපාල ද සිල්වාගේ ‘අපේ කට්ටිය’ නාට්‍ය කණ්ඩායමෙන්. මොකද ඒ වන විට අපිත් ඒ නාට්‍ය කණ්ඩායමේ වැඩවලට සම්බන්ධ වෙලා සිටියේ. නාමල්ගේ මේ නාට්‍යයේ මගේ සැමියා විදියට රඟපෑවේ ටෝණි රණසිංහ. ඊට පස්සේ සුගත්ගේ ‘තට්ටු ගෙවල්’, ‘හරිම බඩු හයක්’, ‘හෙලේ නැග්ග ඩෝං පුතා’, ‘හිත හොඳ අම්මණ්ඩි’, සුනන්ද මහේන්ද්‍රගේ ‘ගැහැනියක්’, දයා අල්විස්ගේ ‘තාත්තා’ ඇතුළු නාට්‍ය රැසක මම රංගනයෙන් දායක වුණා. ‘සකල බුජං පැනලා ගිහින්’, ‘නැට්ටුක්කාරි’, ‘හතර වැනි තට්ටුව’ වගේ නිර්මාණ රැසක්ම නාමෙල් වේදිකාවට ගෙනාවා.”

ඒ නිර්මාණවල රංගනයෙන් වගේ ම සමහර නිර්මාණවලට තිරයෙන් පිටපස ඉඳගෙනත් මාලිනී වීරමුනි නාමෙල්ට සහය වුණා. ඇගේ සිත් ගත්ත නැට්ටුක්කාරිගේ මැඩම් ඇලෙක්සැන්ඩ්‍රාගේ චරිතය ලිව්වේ මාලිනිට කියලයි නාමෙල් කිව්වේ. ඈ හිටියේ ඒ චරිතය කරන්න බොහොම ආසාවෙන්. ඒත් අවසානයේ ඒ චරිතය මාලිනිට ලැබුණේ නැහැ. මොකද ඒ චරිතය ලියලා ඉවර වනව විට නාමෙල්ගේ සිතේ හිටියේ වෙනස් ඇලෙක්සැන්ඩ්‍රා කෙනෙක්. මාලිනී නාමෙල්ගේ අදහසට එකඟ වුණා. ඒ චරිතයට ගත්තේ නිළි රැජින වුණු රුක්මණී දේවිව. ඒ කාලයේ තිබුණු විවිධ ගැටලු නිසා ඇගේ ගමන නැවතුණා. එහි රඟපෑවේ සෝමලතා සුබසිංහ. ඊට අමතරව දයා තෙන්නකෝන්, විමල් කුමාර ද කොස්තා, පියසේන අහංගම, ජී.ටී. වික්‍රමසිංහ, වික්‍රම බෝගොඩ, ප්‍රේමා ගණේගොඩ, ලයනල් ප්‍රනාන්දු එහි රඟපෑවා. මංගල දර්ශනය දවසේ ඒක නරඹන්න ආවේ රුක්මණී හා එඩී.

“නාට්‍යය නැරැඹුවට පස්සේ රුක්මණීට ඒ චරිතයට ලෝබකමක් දැනුණා. ඒ නිසා නාමෙල්ගෙන් එක දවසක් හෝ මේ චරිතය කරන්න දෙන්නැයි ඉල්ලුවා. ඒ තරමට ඒ චරිතයට ඈ කැමැති වුණා. මේ චරිතය රඟපාන්න මගේ සිතේ තිබුණෙත් ආසාවක්. සමහර වෙලාවට මම ඒ ගැන හිත හිත අඬ අඬ පාරේ ගියා. මගේ ජීවිතයේ මම වැඩියෙන් දුක්වෙලා තියෙන්නේ මේ චරිතය මට නොලැබුණාට. ඒත් මම ඒ චරිතය ඔහුගෙන් ඉල්ලුවේ නැහැ. ඊට පස්සේ ඒ චරිතය මට ලැබෙන්නේ අපි එංගලන්තයට ගිය වෙලාවේ කළ නාට්‍යවලදි. කාලයක් එහි සිටි නිසා එහෙදි අපි දිගටම නාට්‍ය කළා.”

මාලිනි වීරමුනිට මුලින්ම සම්මානයක් ලැබෙන්නේ ‘හෙලේ නැග්ග ඩෝන් පුතා’ වේදිකා නාට්‍යයේ බිග් මමාගේ චරිතයට. ඒ හොඳම සහය නිළිය විදියට. ධම්ම ජාගොඩ ඇවිත් ඈට අපූරු අදහසක් පැවසුවා. ඒ ඔහු විනිශ්චයේ හිටියා නම් හොඳම නිළිය විදියට තෝරන්නේ ඇයව බව. ඊළඟට ඈ හොඳම නිළිය වෙන්නේ ‘වංශක්කාරයෝ’ පරිවර්තන වේදිකා නාට්‍යයට කළ රංගනයෙන්.

“එංගලන්තයෙන් ආවට පස්සේ නාමල්ගේ අදහසක් තිබුණු පුංචි තියටර් එක නිර්මාණය වෙනවා. අද වගේ නොවෙයි එදා නාට්‍ය පුහුණු වීම් කරන්නේ රෝයල් ප්‍රයිමරියේ ගස්යට. එක මියුසික් රූම් එකක් විතරක් පුහුණු වීම්වලට දීලා තිබුණා. කට්ටියක් එක දවසක එකේ පුහුණු වීම් කරන කොට අනෙක් අය ගස් යට පුහුණු වීම් කරනවා. ඊළඟ දවසේ අනෙක් කට්ටිය කාමරේ පුහුණු වීම්. ඒ විදියට බොහොම සුන්දරව ප්ලේන්ටියක් බීලා සුහදවයි අප කටයුතු කළේ. එවන් අතීතයක් යළිත් නම් එන්නේ නැහැ. මට මතක් වෙන්නේ සුගත්ගේ ‘දුන්නදුනු ගමුවේ’ නාට්‍යය කරන කාලේ. නන්දා මාලිනීගේ දැන් තියෙන නිවෙස නොවෙයි කලින් හිටිය නිවෙසේ තමයි පුහුණු වීම් කළේ. එදාට නන්දා එතැන තිබුණු ගහෙන් කොස් ගෙඩියක් කඩලා තම්බලා, පොල් ගාලා, ලුණු මිරිස් එක්ක අපට කන්න දෙනවා. ඒ පුහුණුවේදී මා කියන “පස්සේ බැලින්න නම් ඒක බෝල් පොයින්ට් පෑනක්” කියන දෙබසට ඈ ඒ කාලයේ බොහොම කැමැතියි. ”

මාලිනි වීරමුනි අතීතය මතකයට නැඟුවා. කාලය ගත වෙලා යනවා. තුඹසක් වගේ බොරැල්ලේ තිබෙන මේ පුංචි තියටර් එකේ ඔවුන්ගේ සැදෑ සමය ගත වෙනවා. ඒ බොහොම සුන්දරත්වයෙන්.

තිලානි ශානිකා විතානාච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.