ඉතිහාසය කියන්නෙත් වර්තමානයමයි

මැයි 23, 2019

 

 

ගොවියාගේ නිධානය ජලයයි. එයින්ම ඔහුගේ අභිමාන ඇතිවෙයි. එම අභිමානය හෙතෙම දිවි දෙවැනි කොට රකියි. එබැවින්ම ජලය හා අභිමානය ඔහුගේ නිවීමයි. එසේ නම් ඔවුහු 'සන්තිපරං' වූහ යි කතුවරයා ධම්ම පදයේ සුඛ වර්‍ගයෙන් ගෙන සිය කෘතියේ නම හඳුන්වයි. යටත්විජිතවාදී ආක්‍රමණ නිසා නුවරකලාවියේ වාපි සංස්කෘතියේ බිඳ වැටීමත් සමඟ අදටත් වෙනස් කළ නොහැකි සමාජ, දේශපාලනික මෙන්ම සංස්කෘතික වටපිටාවට පාදක වූ ඉතිහාසය වර්තමානයට ගෙන ඒමට සන්තිපරං ඔස්සේ චම්මින්ද වෙලගෙදර ලේඛකයාට මඟ පෑදුණු ආකාරය මෙසේ විමසමු.

 

 

 

මේ වස්තුබීජය ඔබේ සිතේ පැළ වුණේ කොහොමද?

මම මේ කෘතියට වස්තුබීජය තෝරා ගන්න හේතු දෙකක් පාදක වුණා. එකක් මම මෙහි භාෂාව පිළිබඳ මම කළ හැදැරීමත් සමඟ එය තවත් අය සමඟ බෙදා ගැනීමට ඇති වූ කැමැත්ත. දෙවැන්න නුවර කලාවිය කියන්නේ මේ පොත ලියන කාලය වනවිට පාඨකයන් අතරට නොගිය ප්‍රදේශයක් බවට පත් වී තිබීම. නිදසුනක් ලෙස දකුණු පළාත පිළිබඳ බැද්දේ ගම හොඳ විග්‍රහයක් කරනවා. අම්පාර ප්‍රදේශය පිළිබඳ මායාරත්න හොඳීන් චිත්‍රණය කරනවා. ඒත් 1800 යුගයේ නුවර කලාවිය ලංකා රෙජීමයේ ඉහළම පෙළේ නිලධාරීන්ගේ කටයුතු ගැන හදාරද්දි එය ජනතාව අතරට පැතිරී නැති බව අවබෝධ වුණා. ඇත්තටම මෙයට මට අවස්ථාව ලැබුණේ දඬුවම් මාරුවක් නිසා. මම එහි භාෂාව, වගේම මුළු ලංකාවටම ජලය, බැත සැපයූ මිනසුන්ගේ කොඳු නාරටිය වන වාපි සංස්කෘතිය ජෝන් ඩොයිලි කියන කුමන්ත්‍රණකරුවා විසින් බිඳ දැමූ පසු ඒ මිනිසුන්ගේ දුක, කඳුළ, සුසුම, දැකීමෙන් කැකැරෙමින් සිත තුළ තිබුණු හැඟීම ප්‍රසූත කළේ සන්තිපරං නවකතාවෙනුයි.

මෙය එක්තරා ආකාරයක පර්යේෂණාත්මක කෘතියක්. මේ කරුණු සොයාගන්න පාදක වුණේ?

ඒ මිනිසුන් ඇසුරු කිරීමෙන් ලද අත්දැකීම් සහ කියවීමෙන් ලද පරිචය. ඒක හරියට ස්ථාවර තැන්පතුවක මුදල් දමා පොළිය රැස් කරගත්තා වගේ කාලයත් සමඟ වැඩුණා.

බැංකුවක රාජකාරී කළ ඔබ සාහිත්‍යකරුවකු වුණේ?

බැංකුව කියන්නේ මගේ රාජකාරිය. පැන නැත්නම් ලියවිල්ල කියන්නේ මගේ ආත්මය. මම රාජකාරියෙන් ආත්මය පෝෂණය කළා. ආත්මයෙන් රාජකාරිය වර්ණවත් කරගත්තා. ඒ කියන්නේ මිනිසුන්ට ළං වෙන්න, දුක් ගැනවිලි අසන්න, තේරුම්ගන්න, බලාධිකාරිය තුළ පුළුවන් තරමින් උදව් කරන්න, මට ලියවිල්ලෙන් ලබපු අත්දැකීම පහසුවක් වුණා. ඇත්තෙන්ම මට ඒ මිනිසුන් සමඟ කතා කළ දේ හැරුණු විට විශේෂ ලියකියවිලි වැනි දේවල් කියවන්න ලැබුණෙත් නැහැ. හැබැයි ඒවා ගැන විවේකීව කල්පනා කරනකොට, 1848දි තමයි ලංකාවේ නියම විප්ලවීය ජනතා කැරැල්ල ඇති වුණේ. ඒ කැරැල්ලෙදි මිනිස්සු සටන් කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධව විතරක් නෙවෙයි, නිලධාරීවාදය නැත්නම් නිලමේලාගේ පැළැන්තිය ගෙන ගිය බලයටත් විරුද්ධවයි. මෙය කොයි තරම් හොඳට ජෝන් ඩොයිලි අධ්‍යයනය කළාද කිව්වොත්, ඔහු දැනගත්තා මින්මතු කැරැල්ලක් ඇතිවෙනවා නම් වෙන්නේ මධ්‍යම කඳුකරයෙන්වත්, දකුණෙන්වත් නෙවෙයි නුවරකලාවියෙන් කියලා. ඒකට තිබුණු ශක්තිය මොකක්ද කියලා හොයද්දි දැක්කා ඔවුන්ගේ ශක්තිය වී අටුව. ඒක ගිනි තිබ්බාට වැඩක් වුණේ නැ කුඹුර නිසා. කුඹුරට ගිනි තිබ්බා ඒත් වැඩක් නැ වතුර ආවොත් කොහොම හරි ගොයම් කරනවා. එතකොට තුන්වේල බත් කනවා. ඒ නිසා නුවරකලාවිය මිනිසුන්ගේ ශක්තිය තමයි බත. මේ රාෂ්ට්‍ර පාලකයා ඒ නිසා කළේ වැව් තිස් හතරක් කඩන්න පටන් ගැනීම. ඒවායින් පෝෂණය වන කුළු වැව්180ක් කැඩුවා. ඒ නිසා ප්‍රදේශය සම්පූර්ණ කාන්තාරයක් හා සමාන වුණා. ගෙවල්වල වී බිස්ස හිඳුණා. මේ පිළිබඳ දිසාපති ලියපු සටහන්වල තිබෙනවා නුවරකලාවියේ එක් ගමක මාස තුනක් ඇතුළත ගැමියන් 6400ට අධික සංඛ්‍යාවක් බඩගින්නේ මියගියා. හාමතය නිසා නුවරකලාවියේ මිනිසුන්ගෙන් අධිරාජ්‍යයට එරෙහිව නොනවත්වා ඇතිවෙන්න තිබුණු කැරැල්ල යටගියා. මිනිසුන්ගේ කොඳුනාරටිය කඩා දැමීම නිසා සිදුවුණු හානියේ ප්‍රතිඵල අදත් තිබෙනවා. පදවිය පැත්තට යද්දි ලංකාවේ දේශගුණයට සිදුවන වෙනස දැනෙන්න පටන්ගන්නවා. එය මිනිස්සු විඳවනවා. ඒ අසරණ වූ මිනිසුන්ගේ හදවත් තුළ තවමත් තිබෙනවා කැකැරෙන හැඟීම්. වැහි බලිය, මුට්ටි මංගල්‍යය වගේ දේවලින් මට දැනුණා. අනෙක මගේ පියාත් අහිංසක, ශක්තිමත් ගොවියෙක් නිසා මගේ බාල කාලෙදි ඔහුගෙන් ඇසූ කතාබතා සහ ඔවුන්ගේ කෙම්කම්, අත්බෙහෙත්වල ආරය නිසා මට යම් චිත්‍රණයක් මේ නුවරකලාවිය පිළිබඳව ඇඳගන්න පහසු වුණා. මගේ හදවතේ නැඟුණු ඒ චිත්‍රය මට පුළුවන් විදිහට මම කැන්වසයක අඳීනවා වගේ මවන්න උත්සාහ කළා.

මෙහි භාෂාව උකහා ගන්න උපකාර වුණේ?

මම පුළුවන් තරම් පොත් කියෙව්වා. මට එහිදී උදව් උපකාර වුණා නුවරකලාවියේ ජනශ්‍රැති පිළිබඳ කතා කරන දෙදෙනෙක්. ඔවුන් මම පියවි ඇසින් දැක හමුවී නැති වුණාට පුවත්පත් ඔස්සේ හඳුනාගත්ත. එක්කෙනෙක් මාමිනියාවේ ඉලංගසිංහ මහත්මයා. අනෙක් කෙනා කේ.බී මානැව මහත්මයා. අපි අලුත් වචන හමු වුණාම එකිනෙකාගෙන් අහනවා. ඉතින් ඒ අය මට සැහෙන ආධාර වුණා අද වන විට වෙනස් වී ඇති වචනවල මූලාරම්භයන් සොයාගන්න. ඊටත් අමතරව පරංගියාවාඩිය, හොරොව්පතාන, ගලෙන් බිඳුණු වැව, ගල්නැව, බුල්නැව, හොරිගස්වැව, පළාගල වගේ ප්‍රදේශවල පැරැණියන් සමඟ කතාකිරීමේදී අහුලාගත් වචන සටහන් කරගැනීම නිසා මට ශබ්ද කෝෂයක් හදාගන්න ලැබුණා. එය මට බොහෝ ප්‍රයෝජනවත් වුණා. ඒ ගබඩා කර ගැනීමේ පුරුද්දට බැංකුවෙන්, විශ්වවිද්‍යාලයෙන් සහ හොඳ ගුරුවරුන්ගෙන් ලැබුණු පරිචය බොහෝ වැදගත් වුණා. ඊටත් වඩා මම බෞද්ධ දර්ශනයට ගරුකරන පුද්ගලයකු ලෙස පෙර භවයකින් ආ පුරුද්දක් අලුත් වුණාද කියන්නත් මම දන්නේ නැහැ.

කතාවේ ආකෘතිය ඔබ තෝරාගන්නේ කෙසේද?

එය පොත විසින්ම නිර්මාණය වුණු දෙයක්. මොකද දිසාබණ්ඩාරගේ චරිතයට ගැළපෙන අයුරින් එය යායුතු වුණා. ඒ එක්කම ඒ කාලේ නුවරකලාවියේ පාලනය තිබුණේ ඈපාවරු, මාපාවරු ලෙස සලකන වන්නියාර්වරු අතේ. ඒ අය පවත්වාගෙන ජන සම්මතය පිළිබඳ කීමට අවශ්‍ය ආකෘතිය තැනීමේදී මමත් හිතාමතාම යම් වෙනස්කම් වගයක් කළා. ඒ නුවරකලාවියේ පාරම්පරික ජනයා සඳහා පැරැණි භාෂාවත්, ඉංග්‍රීසි නිලධාරීන් ආශ්‍රිතව ජීවත්වන ජනයා සඳහා ඊට වඩා වෙනස් වර්තමානයට වඩාත් හුරු භාෂාවකුත් ලෙස යොදා ගන්න උත්සාහ දැරීම.

ඉතිහාස කතා රැල්ලක් වගේ ආවා. ඔබ එය ගැන මොකද හිතන්නේ?

මම රැල්ලේ යන්න කැමති හෝ යන පුද්ගලයකු නම් නෙවෙයි. සන්තිපරං මම ඉතිහාස කතාවක් හැටියට හඳුන්වන්න කැමතිත් නැහැ. මම බැලුවේ මිනිසුන්ගේ අතීතයේ සැඟවුණු හැඟීම් සමුදායක් නැවත වතාවක් එළියට අරගන්න. ඒ මඟින් වර්තමානයේ කිසිම ඉවක් බවක් නැතිව හැසිරෙන මානසික සහ කායික මිනිස් ප්‍රපංචයන් තුළ එහා මෙහා වෙන ඉබාගාතේ යන සත්තාවට නායකත්වයක් පිළිබඳ කිසියම් ඉඟියක් ලබා දීමට. ඒ මෙහෙයවීම සඳහා දිසා බණ්ඩාර චරිතය තෝරා ගත්තා. දිසාබණ්ඩාර එදාට විතරක් නෙවෙයි. ඊයෙත් අදත් හෙටත් ඉන්න චරිතයක්. ඒ නිසා ඔහු මම ඉතිහාසයට කොටු කරන්න කැමති නැහැ. මොකද මම වර්තමානයේ ජීවත්වන පුද්ගලයෙක්. මගේ දැක්ම නම් හැමදාම ඉතිහාසය කියන්නේ වර්තමානය තමයි.

ඔබ ව්‍යාකරණ පිළිබඳ දක්වන සැලකිල්ල කොහොමද?

මගේ පොත්වල සියලු සෝදුපත් බලන්නේ මම. ඒ නිසා පොත හයපාරක් විතර මගේ අතින්ම සංස්කරණය වෙනවා. මගේ ගුරුදෙවිවරුන්ට පින්සිදු වෙන්න මට ඒ දේ පුළුවන් වෙලා තියෙන්නේ. අද ඉන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වඩා ඔවුන් දස ගුණයකින්වත් හොඳ අය. ඔවුන් නොමසුරුව දුන් දැනුම සහ අප කියවූ පැරැණි පොත්වල ආභාසය වන්නත් පුළුවන්. ඒත් තවදුරටත් මට සැක තැනක් ආවොත් මට වඩා දැනුම තිබෙන කෙනකුගෙන් අහන්න මැළි වෙන්නේ නැහැ.

පොතක අලෙවිය සඳහා ලිංගිකත්වය යොදාගැනීමට අද ඇතැම් ලේඛකයන් උත්සාහ දරනවා?

පොතක අලෙවිය හැටියට මම දකින්නේ පොත බහුතරයක් දෙනා කියවීම. එයට මම කැමතියි. ඒ මම කියන දේ කොයි තරම් දුරට පාඨකයන් පිළිගන්නවාද නැද්ද ඒ ගැන තිබෙන ප්‍රතිචාර මොනවාද කියන එක දැනගන්න මට තිබෙන එකම මාර්ගය එය නිසායි. ඒත් අලෙවිකරණ උපක්‍රම තිබෙනවා. උදාහරණයකට බීම බෝතලයක් අලෙවි කිරීමේදී වෙළෙඳ දැන්වීම්වලට අමතරව බීමවලට ඇල්කොහොල් මිශ්‍රකරනවාය කියන එක ප්‍රසිද්ධ රහසක්. සමහර පොත්වලට සමහර අය මෙවැනි උපක්‍රම යොදන බවත් ඒ වගේම රහසක් නොවේ. නිර්මාණයකට නිරුවත් දර්ශනයක් අවශ්‍ය නම් එය කතාව විසින් ඉල්ලා සිටිනවා නම් ස්වභාවිකව ගලාගෙන යාවි. එහෙත් අලෙවිකරණය සඳහා එය බලෙන් ඔබ්බන්න ගියොත් එය අසාර්ථක කෘතියක්වෙනවා. මොකද අද ඉන්න පාඨකයන් අඥානයන් හෝ නොසරුප් අය නෙවෙයි. එවැනි ලේඛකයින් පොතකින් දෙකකින් ප්‍රතික්ෂේප වනබව මම දැක තිබෙනවා. ඉතින් සල්ලි හම්බ කරන්න ඕන නම් අපට ලේසියෙන් පුළුවන් කුඩු වුණත් විකුණන්න. ඒත් ලේඛකයකු හැටියට මට මගේ පොතක් කියවලා කවුරු හරි බැන්නත් ඒකට මම කැමතියි. මොකද පොත කියවපු බව දැනෙන නිසා. හැම පාඨකයකුම පොතක් කියවන්නේ මානව හිමිකමක් හා ගරුත්වයක් ලබා ගන්න. ලේඛකයකු ලෙස මම උත්සාහ කරන්නේ ඒ දේ පාඨකයාට ලබා දෙන්න. අද ඕනම පාඨකයෙක් පොතක් වෙනුවෙන් රුපියල් 500ට වඩා වියදම් කරනවා. කියවන්න පැය දෙකතුනක් වැය කරනවා. ඒ කාලයට හා මුදලට අපි හරි වටිනාකමක් නුදුන්නොත් ණය කරුවන් වෙනවා. එය කුඩු විකුණනවාටත් වඩා අන්ත දෙයක්.

සම්මාන ගැන ඔබට අත්දැකීම් බොහෝ තිබෙනවා?

සම්මාන මම දකින්නේ නිර්මාණකරුවකුට ලැබෙන ශක්තියක්. තල්ලුවක් විදිහට. එහෙත් සම්මාන බලාගෙන ලියනවා නම් එය තරම් නිහීන අපරාධයක් තවත් නැහැ. වරක් එක් මහාචාර්යවරයෙක් කීවා සම්මාන කියන්නේ බලුපොරයක් වගේ දෙයක් කියලා. ඉතින් මිනිසුන්ගේ සන්තානය සුව කරන්න උත්සාහ කරන ලේඛකයෙක් ඇයි ඒ තත්ත්වයට වැටෙන්නේ.

අරුණි මුතුමලී

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.