මම රඟපාන්න පෙරේතයි

මැයි 23, 2019

 

ඔහු වේදිකාවට පිවිසෙනුයේ 1978 දී ජයසේකර අපොන්සුගේ මඟුල් සක්වළ සමඟය. එදා මෙදාතුර ඔහු රංගනයේ නියැළි වේදිකා නාට්‍ය තිහකි. ඉන් රාජ්‍ය නාට්‍ය නියෝජනයන් වූ නිර්මාණ පහළොවකි. ඔහු සිනමාවට පා තබන්නේ 1981 දීය. ඒ විජය ධර්ම ශ්‍රීගේ සූරියකාන්ත සිනමා නිර්මාණයත් සමඟය. මේ වන විට චිත්‍රපට 56 කට දායක වී ඇත.

1982 දී පුංචි තිරයට ප්‍රවිශ්ට වන්නේ දයානන්ද ජයවර්ධනගේ හිමගිරි අරණ ටෙලි නාට්‍යයේ රංගනයත් සමඟය. එතැන් පටන් මේ දක්වා ඔහු රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය 87 කි. කලා මාධ්‍ය ත්‍රිත්වය තුළම දශක හතරකට වැඩි කලක් සිය රංග භූමිකාවන් නිරූපණය කළ ඔහු නමින් ජයතිස්ස අතුලසිරිය.

 

මේ දවස්වල ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන හැඩයි?

ආනන්ද අබේනායකගේ වීරයා ගෙදර ඇවිත් මාමා, ධම්මික තිසේරාගේ හේලන්කඩ පන්සලේ ඇබිත්තියා, ලෙසින් මම පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ප්‍රේක්ෂකයන් අතර.

නිර්මාණ තිරගත වන අතරේම ඔබ මේ දවස්වල රූපගත කිරීම්වලත් නියැළෙනවා ඇති?

රට තුළ ඇති වූ අයහපත් වාතාවරණය හමුවේ සමහර රූපගත කිරීම් කල් ගියා. සමහර නිර්මාණ සඳහා දින ලබා දීලා තියෙනවා. ඊට අමතරව හේලන්කඩ, වීරයා ගෙදර ඇවිත් රූපගත කිරීම්වල නියැළී ඉන්නවා. ගොවි තාත්තා චිත්‍රපටයේ රූපගත කිරීම් අවසන් කළා.

රංගනයේ නියැළුණු සිනමා නිර්මාණ පෙළක්ම ඉදිරියේ දී ප්‍රේක්ෂකයන් වෙනුවෙන් දිග හැරෙන්න සූදානම් නේද?

ආදර ගීතය, හිතුමතේ ජීවිතේ, මරුකතර, සාරිගප්පි, තට්ටු දෙකේ ඉස්කෝලේ, ගාඩි, ශ්‍රී සද්ධා චිත්‍රපට වැලක්ම තිරගත වෙන්න නියමිතයි. ඒ වගේම ආනන්ද අබේනායක මහත්මයාගේ නිර්මාණයකත් ඉන්නවා. සෝමදාස මල්දෙනිය මහත්තයාවත් මේ වෙලාවේ මතක් කරන්න ඕන.

ඔබ වටා රොක්ව සිටින පේ‍්‍රක්ෂකයන් බහුතරයක් ඔබව දකින්නේ කොයි ආකාරයෙන්ද?

බොහෝ දෙනා මම වේදිකා වගේම ටෙලි නාට්‍යවල රඟපෑවත් හඳුනාගෙන සිටින්නේ චිත්‍රපට නළුවෙක් ලෙසින්.

දැනට ඔබ රඟපා ඇති චිත්‍රපට අතුරින් වඩාත් රංගනයේ ප්‍රේක්ෂක මතකය රැඳී පැවතියේ මොන නිර්මාණ ඔස්සේ කියලද හිතන්නේ?

ගරිල්ලා මාකටින්, තාත්තා, සමනළ සංධ්වනියේ බෝඩිමේ අයියා, ආලෝක උදපාදි හාමුදුරුවෝ, බන්ධන ගැමියා, උලත් එකයි පිලත් එකයි පොලිස්කාරයා.

පුංචි තිරයේ ඔබේ රඟපෑම් වඩාත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණා නොවේද?

ප්‍රමාණය අතින් බොහොමයක් තියෙනවා. රණා වෙද හාමුදුරුවෝ, යම පෙලහරේ මලිද කට්ටඬියා, සූරියභානු හේරත්හාමි, සිංදුර් කට්ටඬියා, සිල් ලියන මහත්තයා, රිදී ඉට්ටංකරය මහාසේන, ටිකිරි සහ උංගි අන්දු, දිය යට ගිනි විදුහල්පති, හිමගිරි අරණ සුමති ඩ්‍රයිවර් ආදී බොහොමයක් තියෙනවා.

රජරට ඔබේ වාසභූමිය වුවත් ඔබ කලාවට අත් පොත තබන්නේ නුවරඑළියෙන්?

කලා නිර්මාණ වෙනුවෙන් මම මුලින්ම අත්පොත තබන්නේ නුවරඑළියේ ඉඳලා. ඒත් මම මිනිස්සු අතරට එන්නේ වන්නි වේදිකාව හරහා ආනන්ද ගුණවර්ධනගේ වරිග සංගය ඔස්සේ මම වේදිකාවේ ගමනක් අරඹනවා.

වසර හතළිහකට වැඩි කලා ජීවිතය දෙස ආපසු හැරිල බලන කෙට ඔබට මොකද හිතෙන්නේ?

සතුටක් දැනෙනවා. මම සමාජයේ යම් පිළිගැනීමක් ඇති කර ගත්ත නම් ඒ කලාව නිසා කියන දේ මා සිත තුළ තියෙනවා.

ඇත්තටම කලකිරීම් නැද්ද?

අද රඟපාන්න ලැබෙන නිර්මාණ ගත්තම එදා සහ අද අහසට පොළොව වගේ. අද කොලිටිය කියන දේ තුට්ටුවට මායිම් කරන්නේ නැහැ. අද තියෙන්නේ තිබ්බ ගැහුව නිර්මාණ කෙරිල්ලක්. කලාකාරයාගේ වටිනාකමක් නැහැ. එදා නළුවෙක්ට නිළියක්ට ගෞරවයක් තිබුණා. අද ඒකත් නෑ. අද ඉන්නේ ආට් කම්කරුවෝ.

මේක හරිම ඛේදවාචකයක් නේද?

ඒ ගැන කතා මොනවටද? අද ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් හිතේ හැටියට කරන්න පුළුවන්. එදා ආටිස්ලා කාර්මික ශිල්පීන් එකට එකතු වෙලා වැඩ කළා. අද ඒකේ අනිත් පැත්ත. අද දවසේ කුලියට සමහර විට රඟපෑවට ඒකත් නැහැ. ඒක ගන්න ප්‍රඩක්ෂන් මැනේජර්ලා පස්සෙ යන්න ඕනේ. සමහර වෙලාවට පොරොන්දු වෙච්ච මුදල අතට දෙන්නේ නැහැ.

ඔය තත්ත්වය හැම කලාකරුවෙකුටම තියෙනවාද?

මම එහෙම හිතන්නේ නැහැ. කොටසක් ඉන්නවා රෝස මල් යහනාවල ජීවත් වෙන. අන්න ඒ අයට මේ අවැඩ නැතුව ඇති. මම කියන්නේ කලාකාරයෝ කියන්නේ අපි කවුරුත් එකයි. අපිට තියෙන රස වින්දනය එකයි. ඒත් අපි දිහා බලන්නේ වැරැදි කෝණයෙන්. අපිත් කොළඹට වෙලා හිටිය නම් මේ තත්ත්වය වෙනස් වෙන්න තිබුණා. දැන් බලන්න මම අනුරාධපුරයේ පදිංචි. ඒ නිසා අපිව හඳුන් වන්නේ ප්‍රාදේශීය කලාකරුවෝ හැටියට. කොළඹ ඉන්න අය විතරයි කලාකරුවෝ. මොකක්ද මේ හරුපේ තේරුම. යාපනේ හිටියත් දෙවුන්දර හිටියත් කලාකාරයා කලාකාරයම තමයි.

ඔබේ රංගනයේ ගුරුන් කොට තකන්නේ මොන වගේ පුද්ගලයින්ද?

කලාවේ සතර අභිනයන් මම ඉගෙන ගත්තේ ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගෙන් කිව්වොත් මම නිවැරැදියි. ඒ අතරට ප්‍රසන්න විතානගේ, උදයකාන්ත වර්ණසූරිය, නෙදර්ලන්ත ජාතික මහාචාර්ය හෑන්ස්, ජර්මන් ජාතික යේල ප්‍රධානයි.

ඔබට ලැබෙන චරිත වෙනුවෙන් බොහෝ කැප කිරීම් කළ අවස්ථාත් මේ රංගන දිවියේ ඇති?

ඕනෑ තරම්. මම නළුවෙක් නොවෙයි මම සාමාන්‍ය මිනිහෙක්. ආගමානුකූල දිවි පෙවතක් ගෙනියන ස්වභාවධර්මයාගේ සෙවණේ හැදී වැඩුණු මිනිහෙක්. මට ලැබෙන දේ අනුව චරිතවලට අනුගත වෙනවා. නළුවෙක් වුණාම අඬන ගමන් හිනා වෙන්නත් ඕනෑ කියලා තමයි මට මහාචාර්ය හාන්ස් කියලා තිබුණේ. අපි කොයි තරම් චරිත වෙනුවෙන් කැප වෙලා වැඩ කළත් අපි ප්‍රාදේශීය කලාකරුවෝ කියන බැජ් එක නිසා සැලකිල්ලක් නැහැ. අපේ කැප කිරීම් අගයක් නැහැ. මම හොඳම උදාහරණයක් කියන්නම්. ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ හාමුදුරුවන්ගේ චරිතය වෙනුවෙන් මම විනාඩි ගණනක් එක දිගට හුස්ම තද කරගෙන හිටියා ඒ චරිතයේ සැබෑ ස්වරූපය අධ්‍යක්ෂවරයාට ලබා ගන්න.

එදා තිබුණු ගරු කිරීම අද කලාවේ නැහැ කිව්වොත්?

සියයට දෙසීයක් ඔබ හරි. මිනිස්කමට සලකන අධ්‍යක්ෂවරුන් නැතුවා නොවෙයි. අපි වෘත්තීය රැක ගැනීම වෙනුවෙන් හඬක් නඟන්න ගියොත් අපිට නිර්මාණ දෙන්න කෙනෙක් නැති වෙයි. ඕනෑ තරම් අය ඉන්නවා ගිනි ගෙඩි දෙන්න. අනිකට වළ කපන්න කකුලෙන් අදින්න. අපිට අද කලා ක්ෂේත්‍රය තුළ කුලීකාරයන් වෙන්න වෙලා තියෙනවා. සමහර විට රඟපාපු නිර්මාණයේ ටයිට්ල් එක නැහැ. මොන කරදර බාධක සිත් රිදීම් ආවත් අපි වේදිකාවේ දුක හඳුනන මිනිස්සු නිසා සියල්ල ඉවසා වදාරනවා.

වෙළෙඳ දැන්වීම්, වාර්තා චිත්‍රපට නිර්මාණයෙත් මේ සිත් බිඳීමද රංගන ශිල්පීන් ලෙස අත් විඳින්න වෙන්නේ?

නැහැ. වෙළෙඳ දැන්වීම් නිර්මාණයේදී සුහදතාවය රැඳිලා තියෙනවා. ඩොකියුමන්ට්‍රි කරන කොටත් එහෙමයි. ඒ තුළ කොලිටිය රැඳිලා තියෙනවා. මුදල් ගෙවීම් වුණත් අපේ කාර්ය අවසන් වෙන කොට අතට චෙක් එක ලැබිලා. ගසා කෑම්, සිත් රිදවීම් නැහැ. වෘත්තීයට නිසි සැලකීම ලැබෙනවා.

ඉස්කෝලෙට මං ආවා චිත්‍රපටයේ ඔබේ භූමිකාව ගැන මොකද හිතෙන්නේ?

මේ විනය පාලක චරිතය නිසා ගොඩක් අය අතර මම ජනප්‍රියත්වයක් ලැබුවා. මම හිතන්නේ එතැන තිබුණ ඒ චරිතය තුළ යම් ප්‍රහසනාත්මක බවකුත්. ඒ නිසා මගේ චරිතයත් එක්ක බද්ධ වූ ඒ ළමා චරිත නිසා මගේ නිරූපණ කාර්ය සිනමාපටයට ප්‍රහසනයකුත් එක් කළා.

ලැබෙන ඕනෑම නිර්මාණයක් වෙනුවෙන් ඔබේ දායකත්වය දෙන්න සූදානම්?

මෙහෙමයි, ඇත්තම කියනවා නම් රඟපෑමේ පෙරේතකමකුත් මට තියෙනවා. එහෙම වුණා කියලා මට බෑ වෘත්තීය පාවා දෙන්න. මට යම් නිර්මාණයක හිටගෙන ඉන්න කියලා චරිතයක් දුන්නත් ඒ චරිතයට අවශ්‍ය අභිනයන් සමඟ රංගනයක් අධ්‍යක්ෂවරයා වෙත ලබා දෙන්න වුණත් මම සූදානම්.

රංගන දිවියේ ආගමනයට පවුලෙන් මොන වගේ දිරියක්ද එක් වන්නේ?

මගේ බිරිය නන්දා මාම්පිටිය. ඇය කිවිඳියක්. මට පුතාලා දෙන්නයි. ලොකු පුතා තුසිත සුජාන්, ඔහු ගුවන් හමුදාවේ. පොඩි පුතා සමීර සිරාන් ඔහු වෙළෙඳ කළමනාකරුවෙක්. දෙදෙනාම විවාහකයි. මට මිනිබිරියන් දෙන්නෙක් මුනුපුරන් දෙන්නෙක් ඉන්නවා. මේ සියලු දෙනාගෙන්ම මට ලැබෙන්නේ විශාල දිරිය ශක්තියක් ඔවුන්ගෙන් ලැබෙන මානසික සුවය. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලැබෙන ආශිර්වාදය මට සිත නිවන අස්වැසිල්ලක්.

දුරකථන අංකය වගේම ලිපිනයත් රසිකයන් වෙනුවෙන් මතක් කළොත්?

071-5788889 / 0779428848. නො: 11, පාසැල් මාවත, පොතානේගම, අනුරාධපුරය.

 

චන්දන දයාසිරිවර්ධන

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
20 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.