හාස්කමටත් කුතුහලයටත් පෙම් බැන්ද

මැයි 23, 2019

එම්. ඩී. මහින්දපාලයන් මට මුලින්ම හමුවන්නේ ටීවීටී ආයතනයේදීයි. රාජ්‍ය බැංකුවක් වෙනුවෙන් පරාක්‍රම නිරිඇල්ලයන් අධ්‍යක්ෂණය කළ වෙළෙඳ දැන්වීමක සහාය අධ්‍යක්ෂිකාව ලෙස මුල්ම වරට ඔහු සමඟ කටයුතු කරද්දී මා ඔහු හඳුනාගත්තේ නිරන්තර අත්දිග කමිසය යටකර අඳීන, පිළිවෙළට කොණ්ඩය පැත්තට පීරන, බොහෝ තැන්පත්, වැඩිය කදේට නොවැටෙන එක්තරා අන්දමක වෙනස් මහත්මයකු ලෙසයි. වසර දහයකට පමණ පසුව බර්ට්‍රම් අය්යා (බර්ට්‍රම් නිහාල් මහතා) සමඟ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් සඳහා කළ වාර්තා වැඩසටහනකදී ඔහු හමුවන විටද ඔහුගේ පෙනුමේ කිසි වෙනසක් නැහැ. එහෙත් ඩිංගි බෝට්ටුවේ නැඟී අප යද්දී දළ රළ පහරට මා අට ඉස්බක් උඩ විසි වී බලන විටත් කිලෝ දොළහක් පමණ බර බීටාකැම් කැමරාවද කරදරා මහින්දපාලයන් නොසැලෙන රූප රාමුවක සිටියේ හැඩි දැඩි තරුණයකුගේ ස්වරූපයෙන්. තවත් දස වසරකට පමණ පසු අප සිනමා සම්මාන සඳහා විනිශ්චය මණ්ඩලවල හමුවද්දී ඒ සිහින් පෙනුමැති උස සිරුරක්, දසන් දක්වනවාට වඩා දෙතොලින් සිනාසෙන මුවක් සහ වගකීම් සහගත පෙනුමක් ඇති, වෙලාවට කලාවට වැඩකරන මහින්දපාල මහත්තයා විහළු තහළුවලටද දක්ෂ බව මම දැනගත්තා. ඔහු ලියූ විෂයානුබද්ධ ග්‍රන්ථ සහ පරිවර්තන කෘතිද කියවා තිබුණමුත් එම්. ඩී. මහින්දපාල යනු කතාකීමේ කලාවේ මෙතරම් දක්ෂයකු යැයි ටක්කෙටම වැටහුණේ ඔහුගේ කතාව අසන්නට අද ගිය මොහොතේයි. ඔන්න එහෙනම් අහගන්න.

'මම රජයේ චිත්‍රපට අංශයට බැඳුණේ 1973. අපි පොඩි කාලේ හිටියේ කිරුළපණ බර්ඩ් ප්ලේස්. පවුලේ ළමයි හතයි. මම හයවැනියා. අනෙක් කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. මම ගියේ ඉසිපතන විද්‍යාලයට. පාසල් කාලේ ඉඳන් ඡායාරූප ශිල්පයට ඇල්මක් තිබුණා. ඒක කොහොම ඇති වුණාද කියන්න මම දන්නේ නැහැ. අපි ට්‍රිප් එකක් ගිය වෙලාවේ පෙට්ටි කැමරාවෙන් පින්තූරයක් ගත්ත නිසාද මන්දා. චිත්‍රාගාරවල රෙද්දෙන් වහගෙන පින්තූර ගන්න එක ගැන මට කුතුහලයක් තිබුණ නිසා අස්සෙන් බලන්න ආසා හිතුණා. දවසක් ශිල්පියෙක්ගෙන් අහලා රිංගලා බැලුවාම ඔළුව පහළට පේනනේ. ඉතින් මට හරි ප්‍රශ්නයක් පින්තූරෙ ඔළුව උඩට හැරෙන්නේ කොහොමද කියලා. අපේ තාත්තා හරියට චිත්‍රපට බලන්න එක්කගෙන ගියා. සිංහල චිත්‍රපට තමයි බලන්නේ. අපේ ගෙදරට හරි කිට්ටුයි සැෆායර් සිනමාහල. ඒක අසූතුනේ ගිනිතිබ්බා. ප්ලාසා එකෙත් සිංහල චිත්‍රපට පෙන්නුවා. රොක්සි, නුගේගොඩ ක්වීන්ලන්ඩ්, මෙට්‍රො වගේ ශාලාවල චිත්‍රපට තාත්තා කලින් බලලා අපට හොඳයි නම් තමයි එක්කං යන්නේ. මගේ මතකය ගැනත් මට හරි පුදුමයි. ඒ වෙද්දි මට අවුරුදු තුන හතරක් ඇති. මම ඉපදුණේ 1951නේ. සිනමා හලට ගියාම මට හරිම ආකර්ෂණීයයි. ඒකේ ඉස්සරහම තියෙනවා ලොකු කටවුට්. දැන් තියෙන්නේ බෝඩ්නේ. කටවුට් කියන්නේ නළු නිළියන්ගේ පින්තූර ඇඳලා වටේ ගාණට කපලා. ඇතුළු වුණාම අමුතු සුවඳක් තියෙනවා. ඊළඟට අද වගේ සුදු තිරය නෙවෙයි ඒක වහලා තියෙනවා තවත් රෙදි තිරයකින්. ඒක මෙහේ...ම හෙමීට ඇරෙනවා. ඇරුණාම අර සුදු තිරය එකපාරට විනිවිදගෙන ඇතුළෙන් රූප පේනවා. හැරිලා බැලුවාම උඩ කවුළුවකින් එනවා ලොකූ ආලෝක කදම්භයක්. මේක හරි මැජික් එකක්. ඇත්තෙන්ම සිනමාව කියන්නේ මැජික් එකක් වගේනේ. ඒකට තමයි මම ආකර්ෂණය වුණේ. පස්සේ කාලෙක අපේ ඉස්කෝලේ ළඟ එහෙම චිත්‍රපට රූගත කරනවා මම දැකලා තියෙනවා. ඉතින් මට හිතුණා ඒ මැජික් වැඩ ඔක්කොම කරන්නේ කැමරාමන් තමයි කියලා. මොකද අපේ ගෙවල් ළඟ හිටියා හර්බි සෙනෙවිරත්න, සේනාධීර කුරුප්පු වගේ නළු නිළියො. ඒ අය ඇත්තට දැක්කාම මේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු. ඒත් අර තිරයේ මේගොල්ලෝ මහා විශාල දැවැන්ත රූප වෙන්නේ මේ කැමරාවේ හාස්කමකින් කියලායි මගේ ඔළුවේ මැවුණේ. ඊට පස්සේ පටල පට හොයාගෙන බැලුවාම ඒ ඒ රූපවල පොඩි පොඩි වෙනස්කම් තමයි පේළියට තියෙන්නේ. ඉතින් ඒවා ප්‍රොජෙක්ට් කරන්න උත්සාහ කළා. ඒත් ඉතින් අපට ඒක තේරෙන්නේ නැහැනේ.

ඡායාරූප ශිල්පයත් ඒ වගේනේ. මුලින්ම පටලපට දාලා පින්තූර අරගෙන ගිහින් දෙන්න ඕනා ස්ටූඩියෝ එකට. ඒවායෙත් සුවඳ වෙනස්නේ. පටල පටවල සුවඳ වෙන්න ඇති සමහරවිට. සුමානයක් විතර යනවා අපට පින්තූරෙ දකින්න. ඒක හරි කුතුහලයක්. ඔන්න ඔය හේතු නිසයි ඡායාරූපකරණයට කැමති වුණේ.

 

ඉතින් ගෙදරින් විරෝධයක් ආවේ නැද්ද?

මම ඉගෙන ගන්න ගමන්නේ මේවා කළේ. විරෝධයක් එන්න හේතුවක් නැ. අපේ තාත්තා නැති වුණා අපි පොඩි කාලෙම. පවුලේ නොයෙකුත් ආර්ථික ප්‍රශ්න නිසා රැකියාවක් සොයාගන්න ගෙදරින් බලපැමකුත් තිබුණා. මම ඉතින් ගැසට් පත්තරේ බල බලා රස්සාවල් හොයනවා. රජයේ චිත්‍රපට අංශය ලොකු ඉතිහාසයක් තියෙන තැනක්නේ. ඉතාලි ජාතිකයන් තුන්දෙනෙක්ගේ මූලිකත්වයෙන් 1948 පටන් ගත්තේ. රේඛාව වගේ චිත්‍රපටයක් ඊට පෙර තිබුණු දකුණු ඉන්දීය වෘත්තාන්ත සිනමාවෙන් වෙනස් කරන්න ලේස්ටර් ජේම්ස් පීරිස් ඇතුළු පිරිසට හැකි වුණේ යුරෝපීය ආභාසයක් තිබුණු මේ චිත්‍රපට ඒකකයේ වැඩ කරපු අත්දැකීම් නිසා කියලා එහෙම දන්නවානේ. හතළිස් තුනේ කණ්ඩායමට තමයි ඒ අය අයිති. මම ඔය කාලේ චිත්‍රපට බලන්න ගියාම රජයේ චිත්‍රපට ආයතනයේ නිවුස් රීල්ස්, වාර්තා චිත්‍රපට පෙන්වනවා. පෝල් සීල්ස් කියලා ජර්මන් ජාතිකයෙක් ඒ කාලේ ඒකේ හිටියා. එයාගෙ වගේම පී. හෙට්ටිආරච්චි, තිස්ස ලියනසූරිය වගේ අයගේ වැඩසටහන් වෘත්තාන්ත චිත්‍රපටවලට කලින් දාන නිසා දකිද්දි මට තේරුණා මේවා අනෙක් අයගේ ඒවාට වඩා වෙනස් කියලා. ගොරහැඩි නැහැ. මේවා ජංගම සිනමා රථවලින් ගෙනත් අපේ ගෙවල් ළඟ වත්තෙත් පෙන්වනවා. මම කෙළින්ම වාඩි වෙන්නේ ප්‍රොජෙක්ටරේ ළඟ. ඒක ප්‍රොප්‍රො ප්‍රොප්‍රො ගාලා වැඩකරද්දි මට හරි ආසයි.

ඊළඟට අපි පාසල් යන කාලේ 60 දශකයෙ අපි දැකලා තියෙනවා රජයේ චිත්‍රපට අංශයේ කැමරා ශිල්පීන් එනවා කැමරා කරන්න. ඊරියගොල්ල මහත්තයාගේ පැළ සිටුවීමේ ව්‍යාපාරය එහෙමත් ෆිල්ම් කළේ ෆොක්ස්වගන් වැන්වල උඩ අට්ටාලයක් ගහලා තියෙනවා ඒක උඩ නැඟගෙන, මම බලන් ඉන්නවා. මේ දේවල් නිසා මට රජයේ චිත්‍රපට අංශය ගැන උනන්දුවක් ඇති වුණා. ලංකාවේ එතෙක් හොඳම ජාත්‍යන්තර සම්මානය මං හිතන්නේ හම්බුණු මේකර්ස් මෝටිව්ස් මෙටීරියල් කියන අත්කම් ගෙත්තම් හා විස්කම් කියලා ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි හදපු වර්ණ චිත්‍රපටය බැලුවාම මට හිතුණා මටත් රජයේ චිත්‍රපට අංශයට ඇතුළු වෙන්න ඇත්නම් කියලා. මෙන්න මගේ වාසනාවට ගැසට් එකේ තියෙනවා ආධුනිකයන් බඳවා ගන්නවා කියලා. ඒ 72. ඩී. බී. නිහාල්සිංහ තමයි අධ්‍යක්ෂ. මම ඉල්ලුම්පත්‍රයක් දාලා බලන් ඉන්නවා- ඉන්නවා උත්තරයක් නැ. අපේ ගෙවල් ළඟ ඉන්නවා කැමරා ශිල්පියෙක් කේ.ඩී. දයානන්ද කියලා. එයා මාව ලංකා චිත්‍රාගාරයේ වැඩකරන හැටි පෙන්නන්නත් එක්කන් ගිහින් තියෙනවා. නිහාල්සිංහගේ කැමරා සහායක සත්සමුදුර චිත්‍රපටයේ. මම ඔහු හමුවුණා. එයා මාවත් එකතු කරගෙන ගියාම දැනගන්න ලැබුණා, නිහාල්සිංහ මහත්තයා ඒ කාලේ හිටපු ප්‍රවෘත්ති හා ගුවන්විදුලි ඇමති ආර්. එස්. පෙරේරාත් එක්ක ගැටුමක් ඇතිවෙලා එතනින් අස්වෙලා. ඒත් අගමැතිතුමිය අලුතෙන් පටන්ගන්න එතකොට රාජ්‍ය චිත්‍රපට සංස්ථාවෙ සාමාන්‍යාධිකාරී තනතුරට පත් කර තිබෙනවා. අද ජාතික චිත්‍රපට සංස්ථාව කියන මේ ව්‍යූහය සම්පූර්ණයෙන් ගොඩ නැඟුවේ එයානේ.

මම ඉතින් ආයෙත් ගැසට් එක බලන්න ගංසභා හන්දියට. ඒ වෙද්දි මම බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයේ ඉද්දි මට යාළුවෝ කීවා හේවුඩ් එකේ ඡායාරූප ශිල්පයට ඩිප්ලෝමාවක් තියෙනවා කියලා. මහගම සේකර තමයි එතකොට විදුහල්පති. දැන් ප්‍රථම පන්තියේ සාමාර්ථ්‍යයක් එක්ක ඩිප්ලෝමාවකුත් තියෙනවා. මෙන්න මාස හයකට විතර පස්සේ ආයෙම තියෙනවා ඒක. මම සුදුසුකම් එක්කම ඉල්ලුම් කළා. මාව තෝරාගත්තා. හරි පුදුමයි. මගේ තිබුණු අපේක්ෂාවක්නේ ගැසට් කරලා. මොකද මම ආමි එකට පවා ඉල්ලලා තිබුණේ. ඒ නිසා සමහරවිට වෙන රස්සාවකට යන්නත් තිබුණා.

රජයේ චිත්‍රපට අංශයට ගිය එක තමයි මගේ ජීවිතේ ලොකුම පෙරළිය. මම හරි ආසාවෙන් රාජකාරි කළා. අපට ඉගැන්නුවේ පෝල් සීල්ස් කියන ජර්මන් ජාතිකයා. නවතම උපකරණ, ශබ්ද පටිගත කිරීම්, අලුත්ම ස්ටූඩියෝ එකක් තිබුණා. රූපවාහිනීත් නැනේ අපි කරන ප්‍රවෘත්ති තමයි චිත්‍රපටවලට කලින් පෙන්වන්නේ. ඒක හරිම සතුටක්. මම වැඩ කළා සුගතපාල සෙනරත් යාපා, තිස්ස ලියනසූරිය, රංජිත් ලාල්, ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි, වගේම හිට්ලර්ගේ කාලේ ඉඳලා ගොබෙල්ස්ගේ ෆිල්ම් යුනිට් එකේ කොල්ලා කාලේ වැඩ කළ බව කියන පෝල් සීල්ස් එක්ක එහෙම. කම්හලක ගීතය, ස්මෝල් ඉස් බියුටිෆුල්, ගරුඬ ගල, ඕකිඩ් මල් තුනක්, ගාඩ්න් ඔෆ් ඊඩ්න්, ද එවර් ග්‍රීන් වැලි වගේ වාර්තා පණහක් හැටක්වත් කරලා ඇති.

පොතක් ලියන්න හොඳ නැද්ද ඔය ඉතිහාසය?

ලියන්න හිතාගෙන ඉන්නේ. කොටසක් ලියලත් තියෙන්නේ. තව ඉතින් දේවල් එකතු කරන්නත් තියෙනවානේ. පොත ලියන්න හිතුවේ මුකුත් නිසා නෙවෙයි, බොහොම දෙනා දන්නේ නැනේ මේ ඉතිහාසය. ඒ නිසා.

ඉතින් රජයේ චිත්‍රපට අංශයේ අවුරුදු 10ක් විතර ඉද්දි පෞද්ගලික කට්ටියක් රූපවාහිනිය පටන්ගත්තා. ඒත් ඒක කඩාවැටුණාම රජයෙන් බාර දුන්නා ගුවන්විදුලි සංස්ථාවේ නිසි බලධාරී තේවිස් ගුරුගේට. එයාට ඕනාවුණා මේක පුළුල් කරන්නයි දේශීය දේවල් පෙන්වන්නයි. ඒත් බඩු නැ. තිබුණේ ප්ලේ බැක් උපකරණ ටිකක් විතරයි. ඒ අතර ඒමන් කාරියකරවන ගුවන්විදුලියේ සභාපතිවරයාට කවුරුහරි ජපන් කෙනෙක් දුන්න නිකං පොඩි කැමරාවක් තිබුණා. ගුරුගේට මේ ගැන දැනීමකුත් නැනේ. එයා හිතුවා මෙකෙන් දේශීය දේවල් කරන්න පුළුවන් කියලා චිත්‍රපට අංශයෙන් අපිව ගෙන්වා ගත්තා. මාත් එක්ක ආවේ දයානන්ද ගුණවර්ධන. අපිට මුලින්ම ලැබුණේ 1979 ද මන්දා මැයි දින රැලි ෂූට් කරන්න. දයානන්ද මොකද මන්ද කීවා අපි ටවුන්හෝල් යමු මුලින්ම ජේවීපී එක ගන්න කියල. ඒක හරි ලස්සනයි රතු ඇඳගෙන පිළිවෙළට පෝලිමේ එනවා විජේවීරලා එහෙම. ඊට පස්සේ අපි ගියා ගෝල්ෆේස් ආණ්ඩුවේ, ඒ කියන්නේ යූඑන්පී රැළිය ආවරණය කරන්න. එතකොට ජේආර් එහෙම කතා කරලා ඉවරයි. තේවිස් ගුරුගේලැ ගෙදර ගෙනිහින් පෙන්නුවාම එයාට හරි ආසයි. ඒත් දාන්න විදිහක් නැ. නායකයෝ ටික නැනේ. ඒක එහෙමම නැවතුණා. ඊට මාස දෙකකට විතර පස්සේ දයානන්ද ගුණවර්ධන ගෙනාවා එයාගේ ගජමන් පුවත නාට්‍යය රෙකෝඩ් කරමු කියලා. එතකොට ගුවන්විදුලියට හොඳ කැමරාවක් ගෙනැල්ලා. මම ඒකත් අතපතගාලා බැලුවා. පස්සේ සුදර්ශි ශාලාවේ රැ එළිවෙනකල් තනි කැමරාවෙන් ෂූට් කළා ගජමන් පුවත. හැබැයි ශබ්ද දෝංකාර දෙනවා. පස්සේ උනන්දුව කොච්චරද කිව්වොත් ඒ කට්ටිය එකතුවෙලා ඩබ් කළා. ඒ කාලේ හඬකැවීම් පහසුකම් තිබුණෙත් නැහැ. මෙහෙ විකාශය කළාට පස්සේ දයානන්ද ඒ පටියත් අරගෙන මෙන්න ගියා යුගොස්ලෝවියාවේ සිනමා උලෙළකට. ඇවිත් එයා පත්තරේ ලිපියකුත් දාලා තිබුණා, හැබැයි එයාගේ නෙවෙයි මගේ පින්තූරෙත් එක්ක.

දැන් 82 අවුරුද්දේ ලංකාවේ දීප ව්‍යාප්ත රූපවාහිනිය පටන් ගන්න රජයේ චිත්‍රපට ආයතනයේ තමයි නැෂනල් ටෙලිවිෂන් ප්ලැනිං සෙන්ටර් කියන එක පිහිටෙව්වේ. රජයේ චිත්‍රපට අංශයේ ශිෂ්‍යත්ව දෙන්නේ ජ්‍යෙෂ්ඨත්ව පිළිවෙළට. මට මැලේෂියාවට ශිෂ්‍යත්වයක් ලැබෙද්දි මගේ නෝනට පුතා හම්බෙන්න ඉන්නවා. ඒ නිසා මම බැ කිව්වාම මට වඩා ජූනියර් කෙනකුට ඒක දෙන්න වුණා. වෙලාව කියන්නේ ඊට පස්සේ අපෙන් හත් දෙනෙක් ඇරියා ජපානෙට රූපවාහිනිය සඳහා පුහුණුවෙන්න. ජපන් රජය තීරණය කළා ඒක 14ක් කරන්න. ඔන්න මගේ චාන්ස් එක ආවා. මාස තුනක් වැඩසටහන් නිෂ්පාදනය ගැන ඉගෙනගෙන ආයෙත් ආවා චිත්‍රපට ඒකකයට. අපේ ජ්‍යෙෂ්ඨයන් දෙන්නෙකුත් රූපවාහිනියට ගියා. ඉතින් කට්ටිය මගෙනුත් අහනවා ඒ පැත්තේ යන්නේ නැද්ද කියලා. ඒ වෙද්දි චිත්‍රපට අංශයත් දේශපාලනීකරණය වෙලා ටිකක් බෝරිං වගේ. අතන පඩිත් හොඳයි. ඉතින් මමත් ගියා රූපවාහිනියට. ගම්පෙරළිය, කඩඉම, සෝමාගේ සිහිනය වගේ පරාක්‍රම, ලූෂන්, බර්ට්‍රම් වගේ අයත් එක්ක නාට්‍ය ගොඩක් කළා.

 

මම පොඩි බාධාවක් කරනවා. ශාන්තා අක්කාට බබා හම්බෙන එක ගැන කීවා. ශාන්තා අක්කාව හමුවුණු විදිහ කීවේ නැනේ?

ආ... අපි දෙන්නම චිත්‍රපට අංශෙනේ වැඩ කළේ. එයා රසායනාගාරයේ වැඩ කළේ. ජපන් යන 15 දෙනාගෙන් රසායනාගාර අංශයෙන් ගියේ ශාන්තා. මම කැමරා ශිල්පියෙක් නිසා නිතර- නිතර රසායනාගාරයට යනවා පටලපට අරගෙන. එහෙම තමයි සම්බන්ධය ගොඩනැඟුණේ. අපි දෙන්නම එකම තැන නිසා ජාතික චිත්‍රපට රසායනාගාරයට එයා මාරු වුණා. විශ්‍රාම ගියාට පස්සේ චිත්‍රපටවල රේඛීය නිෂ්පාදනයට සම්බන්ධ වුණා. අපේ පුතා දැන් පරිගණක විද්‍යාව පිළිබඳ එංගලන්තයේ වොරික් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනවා. එයාටත් පුතෙක් ඉන්නවා.

ඔහු එසේ කියද්දි මට එය ඉතා පැහැදිලිය. හේතුව අග්නිදාහයට මා සම්බන්ධ වී අපේ රේඛීය නිෂ්පාදක සරත් චන්ද්‍රසිරි හමු වීමට චිත්‍රපට සංස්ථාවට යන විට රේඛිය නිෂ්පාදකවරියක වූ ශාන්තා අක්කාගේ සුහද පිළිගැනීම මට නිරතුරු නව ජීවයක් ගෙන ආ බැවිනි.

රූපවාහිනී ඉංජිනේරු අංශයත් ඒ ජපන් ගිය අයගෙන් සමන්විතයි. ඒත් අපි කවුරුත් හරියට වැඩසටහන් කරන්නේ කොහොමද කියලා විධිමත් ක්‍රමයක් නැ. ඒත් කොහොම කොහොම හරි ඔය නාට්‍ය අංශෙන් එහෙන් මෙහෙන් වැඩසටහන් විකාශය කරන්න ගත්තා. හැබැයි තේවිස් ගුරුගේගේ මිනිස්සු කට්ටිය කවුරුවත් රූපවාහිනියට ගත්තේ නැති එක තමයි වැඩේ. දයානන්ද ගුණවර්ධනට එන්න හම්බුණේ නැහැ නාට්‍ය අංශයේ ප්‍රධානියා විදිහට ආවේ එම්.ජේ. පෙරේරාගේ හිතවතකු වුණ ධම්ම ජාගොඩ. ඔහොම ඉතින් දන්නා අඳුනන අය. පාඨමාලා කරපු අය, නාට්‍යයක් කළා කියලා ඉල්ලපු අය ගත්තා. ඔහොම බඩ ගාගෙන දණගාගෙන තමයි රූපවාහිනිය ඉදිරියට ආවෙ.

 

ඒ කැමරා මේ කැමරා අතර වෙනස කොහොමද දැනුණේ?

මට නම් එච්චර ඇල්ලුවේ නැ රූපවාහිනී කැමරාව. මොකද පටල පටයේ තරම් ගුණාත්මක බවක් තිබුණෙ නැ. අද වගෙත් නෙමෙයි. අනෙක එවෙලෙම ඒක බලන්න පුළුවන්. කුතුහලයක් නැ. හැමෝම ඇවිත් බලනවා. අතන ලයිට් නැ මෙතන ලයිට් නැ කියනවා. ඉස්සර කැමරා ශිල්පියාගේ ආධිපත්‍යයට අහුවුණු රූපය දැන් එක එක්කෙනාගේ ඕනැ එපාකම් අනුව හදන්න වුණා. කොහොම හරි මම ඉතින් විශ්‍රාම යනකල්ම රූපවාහිනියේ හිටියා. ඒත් ද්විතීයික පදනම යටතේ රූපවාහිනී අභ්‍යාස ආයතනයට ගියා 1990 විතර. මට රූපවාහිනිය ඇල්ලුවේ නැති නිසා මට එතැන තෝතැන්නක් වුණා. මගේ ඔළුවේ තිබුණේ කවදා හරි වෘත්තාන්ත චිත්‍රපටයක් කරන්න. රූපවාහිනයෙන් ඒකට කවදාවත් ඉඩ දෙන්නේත් නැ. ඇත්තෙන්ම අභ්‍යාස ආයතනයට මම 84 කාලේ ගියා ඉගෙන ගන්න වගේම උගන්වන්න. ඒ කාලේ ජර්මන් ජාතිකයන් උගන්වන්න එනවා. ලස්සන පොකුණක් තිබුණා මාළු හිටියා. තණකොළ වවලා තිබුණා. අදට වඩා හුඟක් ලස්සනයි. නිස්කලංකයි. දැන් වගේ නෙවෙයි. පොත් ගුලක්, වීඩියෝ ලයිබ්‍රරියක්, සම්භාව්‍ය සංගීත තැටි 2000ක විතර පුස්තකාලයක්. මම ඉබ්බා දියේ දැම්මා වගේ පොත් බලනවා, චිත්‍රපට බලනවා, සංගීතය අහනවා. පාඨමාලා සංවිධායකයකු නිසා පරිපාලනය ඉගෙනගන්න ඕනා. සාෆ් ක්‍රීඩා උලෙළට, ක්‍රිකට් තරගවලට, සිනමා ඡායාරූපකරණය පිළිබඳ පාඨමාලා කළා අපි. ශිෂ්‍යත්ව ලැබිලා දැනුම පුළුල් වුණා. පොත් ලීවා.

ඔය අතර සුදත් දේවප්‍රිය රූපවාහිනී නිෂ්පාදකධුරයෙන් අස්වෙලා චිත්‍රපටයක් කළා තරණය කියලා. ඒක තමයි මගේ පළමු වෘත්තාන්ත චිත්‍රපටය. ඊට පස්සේ තිස්ස අබේසේකර එක්ක තිරරචනය පිළිබඳ පාඨමාලාවක් කළා. ඒකේ ශිෂ්‍යයන්ගෙ පිටපතකින් නාට්‍යයක් කරන්න හැඳුවත් ඒවා එතරම් සාර්ථක පිටපත් නෙවෙයි. පස්සේ තිස්සගෙම පිටගංකාරයෝ දීර්ඝ ටෙලි නාට්‍යය කළා. තව ද සන් ඇන්ඩ් ද මූන් ස්ටෝන් වගේ ඒවත් කළා. පුදුමයකට වගේ මට කෝල් එකක් ආවා ප්‍රසන්න විතානගේගෙන්. ඒ වෙද්දි එක සැරයක්ද කොහෙද විතරයි හමුවෙලා තිබුණේ අපි. තිස්ස අබේසේකර තමයි මාව රෙකමන්ඩ් කරලා තියෙන්නේ ප්‍රසන්නට. අනන්ත රාත්‍රිය තමයි මමයි ප්‍රසන්නයි සම්බන්ධ වන මුල්ම චිත්‍රපටය. ඒකෙදි ප්‍රසන්න මට කීවා ප්‍රධාන චරිතයේ යුග තුන වෙන් කරන්න කලර් ටෙක්ස්චර්ස් කීපයක් පාවිච්චි කරන්න ඕනා. මේ විදිහේ දෙයක් මීට කලින් කරලා තියෙන්නේ ලාස්ට් එම්පරර් හා ලාස්ට් ටැංගෝ ඉන් පැරිස් කියන චිත්‍රපටවල කියලා ඒවා මට පෙන්නුවා. මමත් කල්පනා කළා කොහොමද කරන්නේ කියලා. ලංකාවේ ඊට කලින් එහෙම කරල නැ. ඇමරිකන් සිනමැටෝග්‍රැෆි ගැන පොත් කියවලා තියෙන නිසා ඒක කරන විවිධ ක්‍රම ගැන කියවලා තිබුණා. මම ෆිල්ටර්වලින් ඒක කරන්න හිතුවා. ප්‍රසන්නටත් කීවා. දළ සේයාපටය අරගෙන ඉන්දියාවට යද්දි බයයි කියන්නේ... කියලා වැඩක් නැ. ජෙමිනි රසායනාගාරයේ අයට විස්කි බෝතල් දෙකක් එහෙම ගෙනියලා තමයි පටන් ගත්තේ. පහුවදා රැ හෝල් එකට ගියේ ගැහි ගැහි. මගේ කල්පනාවේ හැටියට නම් ඒ තරම් සාර්ථකව ඒ ටෙක්ස්චර් එක එන්න ඇත්තේ අපි රූපගත කරපු වික්‍රමසිංහ වලව්වේ තිබුණු පරිසරය නිසාම අපේ හිතේ ඇති වුණු මූඩ් එක පටල පටයේ සටහන් වෙලා වෙන්න ඇති. මටත් සම්මාන හම්බුණා. අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමක් වුණ නිසා ප්‍රසන්න විතානගේටත් දකුණු ආසියාව මට්ටමෙන් හොඳ පිළිගැනීමක් ලැබුණා. ඒ අනුව ජපානයේ එන්එච්කේ ආයතනය ප්‍රසන්නට චිත්‍රපටයක් දුන්නා. ඒ පුරහඳ කළුවර. ඒකට ආරක්ෂක හේතුන් මත බොහෝ ප්‍රශ්න ඇති වුණා. අද අපි දකින චිත්‍රපටය නෙවෙයි කලින් තිබුණෙ. ප්‍රසන්න ලොකේෂන් බලන්න මැදවච්චි ගිහින් ඇවිත් කීවා මායිම් ගම්මානවල කතාව සම්පූර්ණ වෙනස් අපි ඒ කතාව කරමු කියලා. මේක ජපානයට ආරංචි වෙලා ජපනා කඩාගෙන මෙහෙ ආවා. ප්‍රසන්න දඩිබිඩි ගාලා තිරපිටපත ලියන ගමන්ම වගේ චිත්‍රපටය කළා. ඒක තහනම් වුණා. නඩු දැම්මා. දිනුවා. චිත්‍රපටයට නොහිතපු ප්‍රසිද්ධියක් ලැබිලා නැගලාම ගියා. ඊට පස්සේ මචං චිත්‍රපටයේ මම දෙවැනි ඒකකයේ කැමරා අධ්‍යක්ෂවරයා ලෙස කටයතු කළා. මලිත් හෑගොඩගේ 'දැකල පුරුදු කෙනෙක්'ට පස්සේ ප්‍රසන්නගෙම ගාඩිවලත් පසුගිය දවස්වල මම කළේ දෙවැනි ඒකකයේ අධ්‍යක්ෂවරයා හා කැමරා ශිල්පියා ලෙසයි. කැමරා අධ්‍යක්ෂ වුණ රජීව් රවි අසනීප වුණ නිසාත් වැස්ස නිසා දෙවැනි ෂෙඩුල් එකට යන්න වුණ නිසාත් කැමරා ශිල්පියා ලෙස චිත්‍රපටයෙන් බාගයක්ම රූගත කරන්න වුණා. ඒ නිසා ඇත්තටම සම කැමරාකරණය වගේ තමයි. මේ දවස්වල සිනමා පුහුණු වැඩසටහන් කරනවා. ඒ වගේම අමෙරිකාවේ විස්කොන්සින් සරසවියේ ඩේවිඩ් බෝඩ්වෙල් හා ක්‍රිස්ටීන් තොම්සන් කියන දෙදෙනා ලියූ ෆිල්ම් ආට් පොත පරිවර්තනය කළා 'සිනමා කලාව' නමින්. ඒකටත් සැහෙන කාලයක් වැය කළා. මම ලේඛන කලාවට සම්බන්ධ වුණේ අහම්බෙන් රාවයට, කැමරා සඟරාවට ලිපි ලියලා. මම මුලින්ම පරිවර්තනය කළේ ෆිල්ම් ඇන්ඩ් ද පබ්ලික් කියන රොජර් මැන්වෙල්ගේ පොත. පස්සේ පොත් කීපයක්ම කළා. තිස්ස අබේසේකර මහත්මයාගේ බ්‍රිගිං ටෝනි හෝම් පුංචි කෝච්චිය නමිනුත්, අහසින් පොළවට තිර රචනය සිංහලටත් පරිවර්තනය කළා. ඉංග්මාන් බර්ග්මාන්ගේ ස්වයං චරිතාපදානය මැජික් ලන්තැරුම නමින් පරිවර්තනය කළා. මාලන් බ්‍රැන්ඩෝගේ ස්වයං චරිතාපදානය අම්මා මට කියා දුන් ගී නමින් පරිවර්තනය කළා ගිය අවුරුද්දේ.

කැමරා ශිල්පය කොහොමද ඔබ හඳුනාගන්නේ?

විටෝරියෝ ස්ටොරාරෝ කියන ඉතාලි ජාතික කැමරා ශිල්පියා උසස් සිනමා ඡායාරූපකරණය හඳුන්වන්නේ සිදුවීමේ කතාවේ පරිසරයේ හා චරිතවල හැඟීම් කැමරාව හරහා සටහන් කිරිම කැමරාකරණය කියලා. එහෙම නැතුව ලස්සන ඡායාරූප ගැනීම නොවෙයි කියලයි. ඒ වගේම බ්ලේන් බ්‍රවුන් කියන්නේ කතාව, පරිසරය, චරිත හා සිදුවීම්වලට උචිත රූපමය විශ්වයක් ගොඩනැඟීම කැමරාකරණය කියලා. මම පිළිගන්න මේ මත දෙකෙන්ම කියන්නේ අපේ අරමුණ රූපය අලංකාර කිරීම නෙවෙයි. කිසියම් අවස්ථාවක ඒ පරිසරයේ, චරිතවල, සිදුවීම්වල මනෝභාවය සටහන් කිරීමයි. එය කතාවට උචිත විය යුතුයි. එයට යම් යම් අංගෝපාංග තිබෙනවා වර්ණභාවිතය, කෝණ, චලන, කාච වගේ තව තව. ඒවාට හේතුත් තිබෙනවා. මේ සියල්ල වහාම තීරණය කළ යුතුයි යම් ජවනිකාවක් රූගත කරන්න කලින්. අවසානයේ සංස්කරණයේදී මෙය එන්නේ කොහොමද කියන එකත් සංකීර්ණ කටයුත්තක්. සිනමාව කියන්නේ තාමත් ළාබාල කලාවක්. අවුරුදු150ක්වත් නැති. ඒ කාලය තුළ සිනමාව ගිය දුර බැලුවාම බොහෝ ඉහළයි. ඒත් සිනමාව පිළිබඳ අවබෝධයක් නැති අය කරන්න හදන්නේ මෙය අලංකාර කිරීම. එයම නෙවෙයි කැමරා ශිල්පය කියන්නේ.

විදේශවල හා අපේ රටේ තාක්ෂණික දුරස්ථබව අද හරිම අඩුයි. ගාඩි කරද්දි ඉන්දියානු ශිල්පියාගේ හා මගේ වැඩ බලන්න පුළුවන් වෙනවා. අද අපට තිබෙන්නේ කලාත්මක ප්‍රකාශනයේ ගැටලුවක් විතරයි. කලාත්මක ප්‍රකාශන කියන්නේ මන්දගාමී නීරස ඒවා නෙවෙයි. අපටත් ඒ තත්ත්වයට එන්න පුළුවන්. තරුණ තරුණියන් අතේ තමයි එය තියෙන්නේ. වෙන රටවලත් එහෙමයි වුණේ. අද කැමරාව ඉතාම සැහැල්ලු උපකරණයක් වෙලා. 90 දශකයේ ගඩොල් බාගේ කියපු ජංගම දුරකථනයෙන් චිත්‍රපට හැදෙනවා. ප්‍රශ්නේ තිබෙන්නේ ගුණාත්මක බව හා කාචය වෙනස් කිරීමට නොහැකි වීම ඒවා ඉදිරියේදී වෙනස් වෙයි. අබ්බාස් කියරොස්තාමි ටෙන් කියන චිත්‍රපටය කළේ අතේ ගෙනියන පුංචි කැමරාවකින්. අපි එදා චිත්‍රපට අංශයේ කැමරාව ගෙනියද්දි මිනිස්සු බයේ දුවනවා. පොඩි ළමයි කැගහනවා. සූදානම් වෙද්දි වැඩේ ඉවරවෙලා. දැන් එහෙම නෑ පැන්න ගමන් ගන්න පුළුවන්. ඒකත් හොඳයි.

 

ජීවිතය ගැන ඔබ හිතන්නේ?

තේරුම් ගන්න හරි අමාරුයි. බැඳීම් අත්හැරියාම හරි කීවාට එහෙම අතහැරියාම ජීවිතේ ගෙනියන්න බැරි කවදාවත් ඉවරයක් නොවෙන දෙයක් කියන එකයි මගේ අදහස. ජීවිතය හරි අවිනිශ්චිතයි. ඒත් කලා කෘතියකින් අප කළ යුත්තේ ජීවිතය කියන්නේ ජරාවක් වුණත්, කොතරම් පීඩාකාරී වුණත් අපි කෙසේ හෝ ඉදිරියට යා යුතුයි, ජය ගත යුතුයි කියලා තේරුම් කිරීම. එහෙම හැඟීමක් දෙන්න බැරිනම් කලාකෘති නොකළ යුතුයි.

 

අරුණි මුතුමලී

 

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.