මම මේ චරිතයට බයවුණා

නීටා ප්‍රනාන්දු
මැයි 23, 2019

හරියටම අවුරුදු විස්සකට පසසේ නීටා ආයෙත් ජගත් සම්මානයෙන් පිදුම් ලබයි

"මම පුංචි කාලේ ඉඳන් වතුරට හරී බයයි. මූණට වතුර දාපු ගමන් මට හුස්ම නැතිවෙනවා. ඒත් මම මේ චරිතේ වෙනුවෙන් මාස 6ක් උත්සාහ කළා පීනන්න. හරි ගියේම නැහැ. මොකද මම උගන්නන එක්කෙනාගේ අත අල්ලගෙනම තමයි යන්න හදන්නේ. ඒ නිසා මම විසාට (අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම්) කිව්වා මේ චරිතේ හරි ලස්සනයි ඒත් පාංශු එකේ අම්මාගේ චරිතෙට මාව ගන්න එපා, වෙන කෙනෙක් ගන්න කියලා. එතකොට විසා මට කීවා උඩ අතට පීනන්න පුළුවන් නම් එත් ඇති කියලා. ඒ පාර උඩුබැලි අතට පීනන්න පුරුදු වෙන්න බැලුවා. අන්තිමට නංගී ඔයාට කියන්න මට ඒක පුළුවන් වුණානේ..."

නීටා අක්කා (ප්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු) කිංකිණි පරදවන සිනාවකින් මගේ දෙසවන් පුරවන්නීය. යම් හෙයකින් ඇය උඩුබැලි අතට පිහිනීමට ගන්නා උත්සාහය අතහැරියා නම් ඒ අතහරින්නේ පිහිනුම් හැකියාව ලැබීම හෝ මින් මතු වතුරට බය නොවීමේ කතාව පමණක් නොවේ. වෙසක් දාට යෙදුණු සෙනසුරාදා (18) ප්‍රංශයේ නීස් අන්තර්ජාතික සම්මාන උලෙළේ විදේශ භාෂිත වෘත්තාන්ත සිනමා අංශයේ හොඳම නිළියට හිමි සම්මානයයි. එහෙත් අද අප ඇය සමඟ මෙසේ ආඩම්බර පුරස්සරව, අභිමානයෙන් කතා කරන්නේ ඇගේ අධිෂ්ඨානශීලී බවටද කරන ගෞරවයක් වශයෙනි. වසර 1998 කාලයේ සිංහල සිනමාව අතරමංව සිටියදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂවරයාගේ 'පවුරු වළලු' සිනමා පටයේ වයලට් වෙනුවෙන් සිංගප්පූරුවේ 11 වැනි අන්තර්ජාතික සිනමා උලෙළෙන් හොඳම නිළියට හිමි සම්මානය හිමිකරගෙන ඇය අපේ සිනමාවට නව පණක් දුන්නාය. ඉන් වසර 20ට පසු පසුගියදා අන්තවාදී ත්‍රස්තයන්ගේ ප්‍රහාරය හමුවේ ආරක්ෂක හේතුන් මත සිනමා ශාලා වසා දමමින් සිංහල සිනමාව අගාධයක් හමුවේ සිටින මොහොතක ඇය විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂවරයාගේ 'පාංශු' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයක් හිමි කරගනිමින් අඩපණ වූ අපේ සිනමාවට නව ජීවයක් ගෙන දීමට සමත් වී සිටින්නීය. ඉතින් අපි අහමු තවතවත් ඇගේ දෝරෙ ගලන සතුටෙ වගතුග...

පීනන්න පුළුවන් වුණාට පස්සේ?

මම විසාකේස ඊට කලින් මුණගැහිලා තිබුණේ නැහැ. මම කැනඩාවේ ඉද්දි ඔහු මෙහේ. මම මෙහේ එද්දි ඔහු ඔස්ට්‍රේලියාවේ. හැබැයි, මේ චරිතය බාරගන්න ඉස්සෙල්ල විසාකේස මට හැම රූපරාමුවක්ම එකින් එක චිත්‍රයට නඟලා ගෙනත් පෙන්නුවා. අනුරාධපුරේ ගලේවෙල පැත්තේ තමයි රූපගතකිරීම් කළේ. අපි නළු නිළියෝ වගේම තාක්ෂණ ශිල්පීන්, කාර්මික ශිල්පීන් හැමෝම එකම සහෝදර පිරිසක් වගේ වැඩ කළා. ඒ ගම්වාසීන් අපට උපරිමයෙන් සහයෝගය ලබා දුන්නා. ඒකේ ප්‍රතිඵල තමයි මේ සම්මාන හැටියට එන්නේ. මට විතරක් නෙවෙයි. කුමාර කරව්දෙණියටත් හොඳම ඇඳුම් නිර්මාණය වෙනුවෙන් සම්මානය හිමිවුණා. හොඳම චිත්‍රපටයටත් පාංශු නිර්දේශ වුණා.

නාඳුනන අධ්‍යක්ෂවරයෙක් යටතේ වැඩකරන්න තීරණය කළේ?

මම කීව විදිහට අර චිත්‍ර කතාවක් වගේ රූපරාමු ඔක්කොම පෙන්නලා, ඊළඟට අපට සුමාන දෙකක විතර වැඩමුළුවක් වගේ පෙරහුරුවක් කළා. මේ දේවල් අපේ බැඳීම තහවුරු කළා. අපි හිතුවටත් කලින් රූපගතකිරීම් ඉවර කරන්නත් ලැබුණා. ඒ විදිහට අධ්‍යක්ෂවරයා දුන් උදව්, දිරිගැන්වීම සහ මාව මෙහෙය වූ ආකාරය අවුරුදු 20ට පස්සේ මට අන්තර්ජාතික සම්මානයක් හිමිකර දෙන්න තරම් වීම ගැන මම ස්තුතිවන්ත වෙනවා.

පාංශු චිත්‍රපටයේ ඔබේ චරිතය මදක් විස්තර කළොත්?

මම නිරූපණය කරන්නේ බබා නෝනා කියලා රෙදි සෝදන ගැහැනියකගේ චරිතයක්. මේ චිත්‍රපටය 1988-89 කාලේ අපේ රටේ භීෂණය පිළිබඳ තැනුණු එකක්. මේ අම්මාගේ පුතා පැහැරගෙන යනවා. ඒ පුතා වෙනුවෙන් කැපවෙලා කොයි මොහොතේ හෝ පුතා එයි කියන සිතුවිල්ලෙන් තමයි ඒ අම්මා කටයුතු කරන්නේ. ඇත්තෙන්ම මේ චරිතය කරන්න මම බය වුණා. ඒ තරම් සංකීර්ණයි.

මේ මොහොතේ රටේ පවතින තත්ත්වයත් සමඟ සිනමාවට මෙවැනි සම්මාන හිමිවීම ගැන මොකද හිතෙන්නේ?

මම කතෝලිකයෙක්. මගේ දවස මම පටන් ගන්නේ ස්වාමීන් වහන්සේට, ඒ වගේම දේව මැණියන්ට කැප කරලා. පහුගිය දවස්වල වුණ ව්‍යසනයෙන් පීඩාවට පත්වෙලා අපි දුකෙන් ඉන්නේ. අපි හිටගත්ත තැන හිටගෙන හිටියා. ඉඳගත්ත තැන ඉඳගෙන හිටියා.

කවදාවත් නැතුව පැය ගණන් රූපවාහිනිය ඉස්සරහ බලාගෙන හිටියා. මොනව කරන්නද කියලා නිනව් නැතුව අතරමංවෙලා ඔහේ හිටියා. ඒ දුක තාමත් සම්පූර්ණයෙන් තුනී වෙලා නැහැ. මම සියලුම ලංකා වාසීන්ට ස්වාමීන් වහන්සේගේත්, දේවමැණියන්ගේත් ආශීර්වාදයෙන් සැනසීම සහ සමාදානය ලැබෙන්න කියලා ඉල්ලනවා.

ඒ වගේම මේ සම්මානයෙන් ලබන සතුට කර්මාන්තයේ නියැළෙන සියලු දෙනා අතර බෙදාගෙන, එ අයටත් මේ වගේ අවස්ථා උදාකරලා සිනමාවේ දියුණුව සලසා දෙන්න කියලත් මම ඉල්ලනවා. අද රටේ තියෙන වාතාවරණය අතර වුණත් අපේ මේ පුංචි පින් බිමට, අපේ ප්‍රේක්ෂකයන්ට, අපේ සිනමා කර්මාන්තයට මෙවැනි දෙයක් ගෙන ඒම නිසා සුළු හෝ අස්වැසිල්ලක්, සිසිලසක් ගෙන එන්න පුළුවන් වීම ගැන නිහතමානී ආඩම්බරයකුත් මගේ හිත ඇතුළෙන් දැනෙනවා.

ඔබේ රංගන ජීවිතේ අභියෝගාත්මක චරිත ලෙස දැනුණේ මොනවාද?

ඇත්තෙන්ම මේ බබානෝනා හැරුණාම පවුරු වළලුවල වයලට් තමයි අමාරුම භූමිකාව. මොකද එය හරිම ව්‍යාකූල චරිතයක්. මම හරි බයෙන් කළේ. හැබැයි එදා ප්‍රසන්න විතානගේ දුන් පොරොන්දුවත් මම මතක් කරන්නම ඕනා. ප්‍රසන්න මට කීවා නීටා අක්කගේ සිනමා ජීවිතේ දෙවැනි ගමනට මම වගකියනවා කියලා. ඔහු ඒ පොරොන්දුව ඉෂ්ට කළා. ඊළඟට ඒ වගේ වගකීමක් ගත්තේ විසාකේස චන්ද්‍රසේකරම්.

ඒ බය වුණු චරිත දෙකටම අන්තර්ජාතික සම්මාන ලැබුණා?

(ඇය සිනාසෙයි...) ඕහ්... දුහුළු මලක් කරද්දිත් මට ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩාක් ලැබුණා. රවීන්ද්‍ර රන්දෙණිය සහ ටෝනි රණසිංහ එක්කයි නිලූපාගේ චරිතය මට කරන්න ලැබුණේ. ඒ චරිතය කරද්දි අපට දැඟලිල්ල හරි වැඩියි... හරි තරුණ කාලෙනේ. එතකොට වැඩි ගාණක් නැහැ. අනෙක් අයගේ මතය තමයි අපට බලපැවේ. ඒත් මේ චරිත එහෙම නෙවෙයි. අපි මුහුකුරා ගිහින්. අපිම චරිතවලට බයවෙලා කළේ. පවුරු වළලුවලට මට සිංගප්පූරුවේ 11 වැනි අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම නිළිය සම්මානය හිමි කර දෙන්න ඒ චරිතය සමත් වුණා. බබා නෝනා ඊටත් වඩා අවුරුදු විස්සකට විතර පස්සේ කරද්දි තවත් දැනුම, අවබෝධය වැඩි වෙලා තවත් බය වෙලා කළේ. ඉතින් මම විශ්වාස කරන්නේ මේ සම්මාන ලැබෙන්නේ මගේ වාසනාව සහ අනික් අයගේ සහාය වගේම මම අදහන දෙවියන්ගේ ආශීර්වාදය මට තිබෙන නිසා කියලා මම බය නැතුව කියනවා.

නීටා අක්කා සිනමාවට එන්නේ තම්පොලාගේ චිත්‍රපටවලින්?

ඔව්. රොබින් තම්පොගේ පියා, ඩබ්ලිව්. එම්. එස්. තම්පෝ මහත්මයාගේ චිත්‍රපටයකින් පටන් අරගෙන තමයි කේ. ඒ. ඩබ්ලියු. පෙරේරා, ටයිටස් තොටවත්ත, බැප්ටිස්ට් ප්‍රනාන්දු, විජය ධර්මශ්‍රී වගේ ගොඩක් අයගේ චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න ලැබුණේ. මම වාණිජ චිත්‍රපට වගේම මැද මාවතේ පින්තූරයි හැම එකම කෙරුවනේ. ඒ අතර තමයි විජය ධර්මශ්‍රීගේ දුහුලු මලක්, සූරිය කාන්ත වගේ චිත්‍රපට කෙරුවේ. ශාන්ති වගේ පැල් බැඳගෙන දුවලා බොක්ස් ඔෆිස් වාර්තා තියපු චිත්‍රපටවලටත් මම සම්බන්ධ වුණා. ඊට පස්සෙ මගේ මහත්තයා මා වෙනුවෙන් නිෂ්පාදනය කරපු ප්‍රසන්නගේ පවුරු වළලු වගේ ඒවා කළා. අවුරුදු ගණනාවකින් පස්සේ තමයි පාංශු කළේ.

තවමත් ප්‍රදර්ශනය නොවුණු චිත්‍රපට කීපයකුත් තියෙනවා නේද?

අනේ ඔව්. ස්වර, තේජා වගේ ඒවා තාම ආවෙ නෑ. මම හිතනවා ඒවාත් මේ අවුරුද්දේ හෝ ලබන අවුරුද්දේ මහජන ප්‍රදර්ශනයට එළියට එයි කියලා. ඒ හැමදේටම සිනමා ශාලා ඇරිලා අපේ ප්‍රේක්ෂක ජනතාව යථා තත්ත්වයට පත් වෙන්න කියන ප්‍රාර්ථනාවෙන් තමයි අපි ඉන්න ඕනේ නේද?...

අවුරුදු 20ක කාල පරාසය තුළ සිනමාවේ, රංගනයේ සිදු වූ වෙනස්කම් දකින්නේ කොහොමද?

අත්දැකීම් එක්ක තමයි අපි හැමදාම දියුණු වෙන්නේ. අපෙන් සිදු වුණු වැරදි තේරුම් ගන්නවා. ඒවා තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒවා හදාගන්න උත්සාහ කරනවා. ඒ ගැන කැමැත්තක් එනවා. මම කවදාවත් මම කරන දේමයි හරි කියලා හිටිය කෙනෙක් නෙවෙයි. ඒත් අපේ මුහුකුරා යැමත් එක්ක තවත් ඒ අවබෝධය වැඩි වෙනවා. නැත්නම් අපට ඉදිරියට යන්නත් බැනේ නේද? ඒනිසා අපි මෙහෙම කියමු. අපි මුහුකුරා යද්දි අපේ තේරුම්ගැනීමේ ශක්තියත් ඒ හා සමානව වැඩිවෙනවා.

ටෙලි නාට්‍යවලටත් ඔබ සම්බන්ධ වුණා?

මම ටෙලි නාට්‍ය සහ ටෙලි චිත්‍රපට හුඟකට දායක වුණා. එයින් සමන් කුමාරගේ රන්තලිය වලව්වේ චරිතයට ගොඩක් කැමතියි. මොකද ඒකේ තරුණ කාලේ, මැද වයස සහ මහලු විය කියන යුග තුනම නිරූපණය කරන්න වුණා. ඊට පස්සේ සමනළ දඩයම කළා. ඒවා තාම විකාශය වෙලා නැහැ. හැබැයි මම මුලින්ම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණේ ඔයගොල්ලන්ගේ එඩිටර් අරුණ ගුණරත්නගේ සූර්ය විංසතිය කියන ටෙලි නාට්‍යයෙන්. එදා විශේෂ සිදුවීමක් වුණා. අපි ඒ ටෙලි නාට්‍යයේ කටයුතු ගැන කතාකරන්න මුණ ගැහිලා හිටියේ ප්‍රසන්න විතානගේ, අරුණ, දමින්ද මඩවල, මම. එතකොට තමයි පණිවිඩේ ආවේ පවුරු වළලු සිනමා උලෙළට තේරිලා අපට සහභාගී වෙන්න යන්න වෙනවා කියලා. ඉතින් අපිට අරුණගෙන් දින වෙනස් කරලා ඉල්ලීමක් කරන්න වුණා. සමනලී ෆොන්සේකාගේත් මුල්ම ටෙලි නාට්‍යය, ටෝනිත් හිටියා. මගේ හස්බන්ඩ්ට රඟපැවේ දැන් හාමුදුරුනමක් වෙලා ඉන්න අලකෝලංග මහත්මයා. සංජය නිර්මාල් කියන අධ්‍යක්ෂවරයා මුලින්ම ඒකාංගික ටෙලි නාට්‍ය දහයක් ඔස්සේ පුංචි තිරයට ගෙනාවෙත් අපි තමයි.

අනූ අටේදි සම්මානේ ගන්න සිංගප්පූරු ගියාට මේ වතාවේ සම්මානය ගන්න උලෙළට ඔබ ගියේ නෑ?

එදාත් මම සම්මානේ හම්බෙනකල්ම දන්නේ නැ. නම කිව්වාමත් මම වටපිට බලලා මගේ නමද කිව්වේ කියලා ඇහුවා. මොකද එතකොට මගේ මහත්තයා අසනීප වෙලා. එදා එයාට ඒ ඩිනර් එකට යන්නත් බැරි වුණා. මම ගිහින් ඒ අයට කිව්වාම එන්න වෙන්නේ නැහැ කියලා ඒ ගොල්ලෝ කිව්වා අය්යෝ හැමෝම තමන්ගේ ජාතික ඇඳුම ඇඳගෙන රට නියෝජනය කරන්නත් එක්කයි එන්නේ. ඒ නිසා පොඩ්ඩකට හරි ඇවිත් යන්න කිව්වා. පස්සේ කොහොම-කොහොම හරි ඔසරියකුත් පටලවාගෙන මම ගියා. ඒ අය ජාතික ඇඳුම ගැන කියලා තියෙන්නේ බොරු. එතන මගේ නම කියද්දි මම තුෂ්ණීම්භූතවෙලා කොහොම හරි ස්ටේජ් එක උඩට ගිහින් වචන දෙකක් කිව්ව වගේ මතකයි. මයි හස්බන්ඩ් ඉස් සික් ඇට් ද මූමන්ට් ( මේ වෙලාවේ මගේ මහත්තයා අසනීපෙන්) කිව්වා මං හිතන්නේ. ඒක වීඩියෝ එකේ තියෙනවා. මගේ ඇස්වල කඳුළු පිරිලා. ඊට පස්සේ මම ඒ සම්මානය මගේ ලංකාවටයි, මගේ ප්‍රඩක්ෂන් එකටයි, හැමෝම වෙනුවෙන් සතුටින් බාරගන්නවා කියලාත් කියනවා. මේ සැරේත් අපිව නිර්දේශ වෙලා කියලා ආරංචි වුණාට ඉතින් මම යන්න ඕනා කියලා හිතලා අවස්ථාවක් හදාගත්තෙත් නැහැ. විසාකේස යන්නෙත් නැහැ කීවා. කුමාර කරව්දෙණිය යන නිසා කමක් නැ කියලත් හිතුවා.

ඔබ මේ අන්තර්ජාතික සම්මාන දෙකම ගන්නේ බොහොම විශේෂ අවස්ථාවල?

අනේ ඔව්. 98 පවුරු වළලු සම්මානය අරන් එද්දිත් අපේ වැටිලා තිබුණ සිනමාවට ප්‍රබෝධයක් බවට එය පත්වුණා. අපි කොහොම හරි ගොඩවේගන ගියා. මේ වතාවේ ත්‍රස්තවාදී ප්‍රහාරයත් එක්ක ජීවිත විනාශත් එක්ක ඒ ප්‍රබෝධය නැවත වැටිලා තිබෙනවා. මං බලාපොරොත්තු වෙනවා, මම හිතනවා කතෝලිකයකු වශයෙන් අපේ ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ හොඳම දවස, හරියට බෞද්ධයන්ට වෙසක් දවස වගේ, අපේ ස්වාමීන් වහන්සේ මරණයෙන් නැඟිට උත්ථාන වූ දවසේ තුන්සිය ගාණක් ඒ දෙව්මැදුරු තුළ ජීවිත පූජා කළේ මගේ මව් බිමට අනාගතේ යහපතක් වීම වෙනුවෙන් කියල අපි පතමු කියලා.

තව දෙයක්. අපේ රටේ නිළියෝ තමයි විදේශ සම්මාන රැසක්ම ගෙනාවේ. නළුවන් එච්චර නෑ?

අනේ මන්දන්නේ නැ. ජෝ අය්යා ගත්තා නේද මට හම්බෙච්ච එකම සිංගප්පූරුවේ. ඒ ඇරෙන්න මේ කට්ටියට මොකද වුණේ... ම්...(ඇය කල්පනා කරයි. අවසානයේ මෙසේ කියයි) ඒ අය ප්ලේන් එකේ යන්න බයද දන්නේ නැ? හහ් හහ් හා... ඒ වුණාට අපේ රටේ හොඳ දක්ෂ නළුවෝ ඉන්නවා. මම ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදී ඒ අයටත් හොඳ නිෂ්පාදකවරුන් හමුවෙලා, හොඳ අධ්‍යක්ෂවරුන්, හොඳ චරිත ලැබිලා අනාගතයේ සම්මාන රටට ගෙනත් දෙන්න ලැබෙන්න කියලා.

අන්තිම ප්‍රශ්නේ. අපේ රටේ සිනමා අර්බුදයට ඔබ යෝජනා කරන විසඳුම මොකක්ද?

මේකයි... අපි ඔය හැම මීටිමට ගිහින් තියෙනවා. මම ඒකෙන් විඳවන කෙනෙක්. තේජා චිත්‍රපටය රිලීස් කරගන්න බැරුව අපි අවරුදු ගාණක් බලාපොරොත්තුවකින් හිටියා. ඩිජිටල්කරණය කළාම අපට මුදල් ඉතිරි වන නිසා එහෙමත් කළා. ඒ පාර ගැප් රිලීස් ක්‍රමයක් ඇවිත්. ඒවා ඔක්කොම වෙද්දි අපේ ණය මුදල් පොළි එක්ක තුන් හතර ගුණයකින් වැඩි වෙලා. ඒවාට අපි සැලසුම් ඉදිරිපත් කරලා ඉල්ලීම් කරලා තියෙන්නේ. මේ ප්‍රශ්න නිසා අපි හොඳටම තැලිලා පොඩිවෙලා ඉන්නේ. මගේ එකම බලාපොරොත්තුව මේ චිත්‍රපටය සැනසීමෙන් සහනෙන් රිලිස් කරගන්න ලැබෙන්න කියන එකයි. ඒ එක්කම සමස්ත සිනමාවේ මම වගේ විඳවන අයගේ අයිතිවාසිකම් නිසි අයුරින් ලැබෙයි කියල වගේම ඒ වෙනුවෙන් බලධාරීන්ගේ ඇස් ඇරේවා කියලාත් මම ප්‍රාර්ථනා කරනවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.